Image

ගම්පහ පක්ෂ කාර්යාල දේපළ සම්බන්ධයෙන් ජවිපෙන් දිසා අධිකරණයට නඩුවක්..

ගම්පහ පක්ෂ කාර්යාල දේපළ සම්බන්ධයෙන් ජවිපෙන් දිසා අධිකරණයට නඩුවක්..

ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ පක්ෂ කාර්‍යාලය වන "අපේ නිවහන" නම් දේපල සහ පරිශ්‍රය පෙරටුගාමි සමාජවාදී පක්ශ සාමාජිකයන් විසින් බලහත්කාරයෙන් සහ නීති විරෝධී භුක්තියේ සිටීම මත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ ලේකම්වරයා වන ටිල්වින් සිල්වා මහතා පැමිණිළිකරු වශයෙන් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ කරුණු තහවුරු කිරීමෙන් පසුව පැමිණිල්ලේ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්ව එකී නඩුවට විශයගත දේපල  "අපේ නිවහන" පක්ෂ කාර්‍යාලයේ පවතින තත්වය වෙනස් කිරීම වළක්වාලමින් හා එකී දේපලෙහි භුක්තිය වෙනත් තෙවැනි පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝග දැන්වීම් සහ විත්තිකරුවන්ට එරෙහිව සිතාසි නිකුත් කරන ලෙස අද දින (21) ගම්පහ  අතිරේක දිසා විනිසුරු දුලාන් වීරවර්ධන  මහතා නියෝග කලේය.

ගම්පහ ප්‍රදේශයේ පිහිටි දේපළක නීත්‍යානුකූල හිමිකම සහ භුක්තිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන ටිල්වින්  පුද්ගලයන් 20 දෙනෙකුට එරෙහිව ගම්පහ දිසා අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබේ.

අධිකරණයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අනුව, අදාළ දේපළ 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ අරමුදල් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 8කට මිලදී ගත් බවත්, එය එවකට පක්ෂයේ සාමාජිකයකුගේ නමින් පක්ෂය වෙනුවෙන් භාරයක් ලෙස පවත්වාගෙන ගිය බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත. පසුව එම ස්ථානය “ගම්පහ අපේ නිවහන” නමින් පක්ෂ කාර්යාලයක් ලෙස සංවර්ධනය කළ බවද පැමිණිල්ලේ සඳහන් වේ.

2011 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්ව ගිය කණ්ඩායමක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවීමෙන් පසුව, අදාළ දේපළ සම්බන්ධයෙන් ආරවුලක් ඇති වූ බව පැමිණිලිකරු පවසයි. දේපළ නැවත පක්ෂයට භාරදෙන ලෙස අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටි බවත්, 2017 සැප්තැම්බර් 27 දින නීතිඥවරයෙකු මගින් ලිඛිත දැනුම්දීමක්ද යවා තිබූ බවත් නඩු ලේඛනයේ දැක්වේ.

ඒ සම්බන්ධයෙන් 2018 ජනවාරි 23 දින ගම්පහ දිසා අධිකරණයේ අංක 3445/L යටතේ නඩුවක් පවරා ඇති අතර, 2022 පෙබරවාරි 28 දින ලබාදුන් තීන්දුවකින් අදාළ දේපළ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් භාරයක් ලෙස දරනු ලබන බව තීරණය කර එය පැමිණිලිකරු වෙත පවරාදෙන ලෙස නියෝග කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ.

පැමිණිලිකරුගේ ප්‍රකාශය අනුව 2025 අගෝස්තු 22 දින අංක 257 දරන ඔප්පුවක් මගින් රුපියල් මිලියන 19.57ක වටිනාකමක් සඳහන් කරමින් දේපළ පැමිණිලිකරු වෙත පවරා ඇති අතර, එම ඔප්පුව 2025 සැප්තැම්බර් 18 දින ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කර තිබේ.

කෙසේ වෙතත්, 2025 සැප්තැම්බර් මාසයේදී දේපළේ භුක්තිය ලබාගැනීමට ගිය අවස්ථාවේදී විත්තිකරුවන් විසින් ඊට බාධා කළ බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කැකල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් නඩු ලේඛනයේ සඳහන් වේ.

මේ අතර, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති වෙනත් නඩු කටයුත්තකදී 2026 මාර්තු 30 දින භුක්තිය පිළිබඳ ආරවුල විත්තිකරුවන්ට වාසිදායක ලෙස තීරණය කර තිබුණද, එම නියෝගය දේපළේ නීත්‍යානුකූල හිමිකම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොවන බවත්, හිමිකම් පිළිබඳ ප්‍රශ්නය බලය ඇති සිවිල් අධිකරණයක් ඉදිරියේ විසඳාගත හැකි බවත් සඳහන් කර තිබේ.

නව නඩුව මගින් පැමිණිලිකරු ඉල්ලා ඇත්තේ, අදාළ දේපළේ නීත්‍යානුකූල හිමිකරු සහ භුක්තිකරු තමන් බවට තීන්දු කරන ලෙසත්, විත්තිකරුවන්ට එම දේපළ සම්බන්ධයෙන් නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව ප්‍රකාශ කරන ලෙසත්, ඔවුන් ඉවත් කර දේපළේ භුක්තිය තමන් වෙත ලබාදෙන ලෙසත්ය.

එමෙන්ම, නඩුව අවසන් වන තෙක් දේපළේ පවතින තත්ත්වය වෙනස් කිරීම, එහි හිමිකම හෝ භුක්තිය තෙවන පාර්ශ්වයකට පැවරීම වැළැක්වීම සඳහා වාරණ සහ අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම කරුණු පැමිණිලිකරු විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති ප්‍රකාශ සහ ඉල්ලීම් වන අතර, නව නඩුවේ අවසන් තීන්දුව අධිකරණය විසින් ලබාදීමට නියමිතය.

පැමිණිලිකාර ටිල්වින් සිල්වා මහතා වෙනුවෙන් නීතික පාර්ට්නර්ස් නීතිඥ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වන නීතිඥ චමීර හපුතන්ත්‍රි, නීතිඥ නිකිණි මාපිටිගම සහ නීතිඥ තනූජ සදරුවන් යන නීතිඥ මඩුල්ලේ උපදෙස් මත නීතිඥ ඉෂාන් අලවතුරගේ මහතා පෙනී සිටින ලදි.

අකිලා නදීෂානි බණ්ඩාර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න