Image

ASP ඕලුගල, බිරිඳ ගේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතියේ සහය පතයි

ASP ඕලුගල, බිරිඳ ගේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතියේ සහය පතයි

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, සිය බිරිඳ විසින් සිදු කරනු ලබන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

එලෙස ගොනු කළ පැමිණිල්ලට අදාළව, ඊයේ (23) ඔහු ගේ බිරිඳ වන කිතුලින්න ගමාතිගේ මෙතුරිකා ගුණරත්න සිය ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කළා ය.

රොහාන් ඕලුගල මෙලෙස නීතිමය පියවර ගෙන තිබුනේ තමන්ට සහ දරුවන්ට එල්ල වන බරපතළ තර්ජන හමුවේ බිරිඳ ගෙන් තාවකාලික ආරක්ෂණ නියෝගයක් ලබා ගැනීම සඳහා ය.

සහකාර පොලිස් අධිකාරීවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ: තමන් පසුපස හඹා ඒම, සේවා ස්ථානයට පැමිණ බාධා කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සහ පෞද්ගලිකව සම්බන්ධ වීමට උත්සාහ කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ය.

නිරන්තරයෙන් එල්ල වන තර්ජන, රැකියා ස්ථානයට පැමිණ කරන බාධා කිරීම් සහ අනවශ්‍ය දුරකථන ඇමතුම් හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට ද ගොදුරු වූ බව සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

ගොනු කළ ලිඛිත දේශන මගින් අදාළ සියලු චෝදනා මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන බිරිඳ ගේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ මෙය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් නොව, සැමියා ගේ කාර්‌යබහුල රැකියාව, විදේශ ගමන් සහ දරුවන් වෙනුවෙන් කාලය වෙන් නොකිරී ම යනාදි කරුණු මත පදනම් වූ සාමාන්‍ය විවාහ ආරවුලක් පමණක් බවයි.

එමෙන් ම විත්තිකාරිය සඳහන් කරන ආකාරයට මෙම චෝදනා සනාථ කිරීමට තරම් වෛද්‍ය වාර්‌තා, CCTV දර්ශන, දුරකතන සටහන් හෝ ස්වාධීන සාක්ෂි කිසිවක් පැමිණිලිකාර සැමියා පාර්‌ශ්වයෙන් ඉදිරිපත් කර නොමැත. සැමියා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති දිවුරුම් ප්‍රකාශ සහ පෞද්ගලික සාක්ෂි ස්වාධීන නොවන බව පවසන බිරිඳ, තමා වෙත පනවා ඇති තාවකාලික ආරක්ෂණ නියෝගය වහාම අවලංගු කරන ලෙසත්, ස්ථිර ආරක්ෂණ නියෝගයක් නිකුත් නොකරන ලෙසත් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා ය.

මූලාශ්‍ර - ttvnews.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න