විපක්ෂයේ සියලු නායකයෝ බ්‍රහස්පතින්දා එක මේසයක වාඩි වූහ. ශක්‍රයාගේ පුතා වෛමාටවත් කරන්නට නොහැකි වූ ඒ කාරණය සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූයේ අනුර කුමාර ගේ ආණ්ඩුවයි.
"නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා විපක්ෂයේ එකමුතුවක් බිහි කිරීම " යන්න එම එකමුතුවේ තේමාව විය. දෙමළ සහ මුස්ලිම් පක්ෂ නායකයෝ ද ඊට ඉතා උද්යෝගයෙන් සහභාගී වූහ.
ගජේන්ද්‍ර පොන්නම්බලම් එහි දී කීවේ මේ කාරණය ජනතාව අතරට ගෙන යා යුතු බවයි. පාර්ලිමේන්තුව ඇතුළෙ මෙන්ම පිටත් ආණ්ඩුවට එරෙහි ව්‍යාපාරයක් ගොඩනැගීමට පක්ෂ නායකයෝ එහිදී කතිකා කරගත්හ.
සඳුදා සංඝ සමුළුවක්

එහිදී අදහස් දක්වමින් නායක රනිල් කීවේ මේ වන විට ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව ඒකරාශී වී තිබෙන බවයි. ඊට අමතරව ලබන සඳුදා සංඝයා වහන්සේලා ගේ විශාල සමුළුවක් කැඳවා තිබෙන බව කී රනිල් බදාදා නීතිඥ සමුළුවක් කැඳවා තිබෙන බව සඳහන් කළේ ය. මේ කාරණය ගැන සියලු දෙනා එකඟත්වයෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන තීරණය මෙහි දී එළැඹිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය. මේ රටේ නඩු ලක්ෂ 11 විසඳීම සඳහා තේරුම් කාරක සභාවක් පත් කරන ලෙසට පාර්ලිමේන්තුවට යෝජනාවක් බාර දෙන්නැයි විපක්ෂ නායකවරයාට යෝජනා කරන බව ද රනිල් වැඩිදුරටත් සඳහන් කළේය.
ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කිරීමට කැප වෙමු

මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් පැවසූයේ අධිකරණයේ ස්වාධීනත්වය මොට කිරීම සඳහා දැරූ හැම උත්සාහයක් ම අවසාන වූයේ ආණ්ඩු පෙරළියකින් බවයි.අනුර ගේ ආඥාදායක ඒකාධිපති ආණ්ඩුව අධිකරණයට අත තබා තිබෙන්නේ යැයිද ප්‍රගතිශීලි ජනතාව ලෙස එම උත්සාහය පරාජයට පත්කර අධිකරණයට අත තැබීම අත පුච්චා ගැනීමක් බවට පරිවර්තනය කරනු ඇතැයි ද විපක්ෂ නායකවරයා එහි දී සඳහන් කළේය.තම පක්ෂ වල අදහස කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ පොදු අරමුණ වෙනුවෙන් පක්ෂ පාට හෝ වෙනත් භේද නොතකා ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කිරීමට කැප වෙමු යැයි විපක්ෂ නායකවරයා යෝජනා කළේ ය.
විනිසුරුවරුන්ට තර්ජන...?
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් පැවසූයේ පුද්ගලයින් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමෙන් තමන්ගේ ආණ්ඩු පවා පරාජයට පත් වූ බවයි. ජනතාව එම ක්‍රමය ප්‍රතික්ෂේප කළ බව ද නාමල් රාජපක්ෂ කීය. ඉන්න අයගේ කාලය දිගු කළා කියා නඩු ඇහෙන කාලය දිගුවන්නේ නැතැයි ද ඔහු කීය. ප්‍රායෝගික නැති කාරණා හේතු කරගෙන ආණ්ඩුව වාසි ගන්න උත්සාහ කරනවා නම් එය වැරදි බව ද නාමල් සඳහන් කළේ ය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලී චම්පික රණවක කීවේ ආණ්ඩුවේ දේශපාලන බලය පාවිච්චි කර අධිකරණය පාලනය කිරීමට උත්සාහ කරන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස විනිසුරුවරුන්ටත් යම් යම් තර්ජන එල්ල වී තිබෙන බව පෙනෙන්නේ යැයි චම්පික එහි දී පෙන්වා දුන්නේ ය.
අධිකරණය සිරගත කරලා

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කීවේ විපක්ෂ නායක කාර්යාලයට යන්නැයි තමන්ලාට දැනුම් දී තිබෙන්නේ ආණ්ඩුව විසින් බවයි. නැතිනම් විපක්ෂ නායක සමග එකතු වී සාකච්ඡා පවත්වන්න වුවමනාවක් මතුවී තිබුණේ නැති බව ද වීරවංශ පැවසීය. ආණ්ඩුව විසින් දැන් මේ රටේ අධිකරණය සිරගත කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් ෆකිම්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු අමාත්‍ය ටිරාන් අලස්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්, ජාතික කම්කරු සංගමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රමුඛ නායකයෝ මීට සහභාගී වූහ.

දැන් විපක්ෂයේ සියලුම නායකයෝ එකතුයි
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයට සති අන්තයේ පැමිණි දේශපාලක විචාරකයන් කීවේ බෞද්ධ විරෝධී මෙන්ම හින්දු විරෝධී වැඩසටහනකට ආණ්ඩුව ගමන් කරමින් තිබෙන බවයි.
බෞද්ධ මතය යට ගැසීම සඳහා සූක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ඔවුහු සඳහන් කළහ. කෙසේ වුවද විපක්ෂයේ සියලුම නායකයෝ දැන් එක්ව සිටිති. විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණු පක්ෂ නායක හමුව එම ඇරඹුමක මූලාරම්භය ලෙස නිසා අර්ථ ගැන්විය හැකි ය.
විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් සහභාගී වන එම හමුවට රනිල් ද සහභාගී වු හෙයින් එහි මාධ්‍ය මෙහෙයවීම් කටයුතු බාර කෙරුනේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් දිනික් චින්තක කරුණාරත්නට සහ රනිල් ජනපති සමයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නටයි. විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් එකතු විය යුතු බවට නායක හිමිවරුන් කිහිප විටක්ම ඉල්ලීම් කර තිබිණි.
රනිල් ගේ සිනහවේ රහස
"සර්, මේ ඔක්කොම එකතු කළේ කවුද? මහනායක හාමුදුරුවෝ ද? එහෙම නැත්නම් අනුර කුමාර දිසානායකද?'' වජිර විමසූයේ යටි අරුතක්ද මතු කරමිනි.
රනිල් ඊට සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.
ටික වෙලාවක නිහැඬියාවකිකින් පසු රනිල් කීවේ අනුර නිසා හරි විපක්ෂයේ නායකයන් එක තැනකට පැමිණීම සතුටු විය හැකි කාරණයක් බවයි.
"අනුර කරපු වැඩේ නිසා ලෝයර්ස්ලා සියලු ම දෙනා ගෙන් එකතු වෙන්න කියලා ප්‍රෙෂර් එකක් ආවා.දේශපාලන පක්ෂවල ලෝයර්ස්ලා පවා එකතු වෙලා තියෙනවා. හිතුවේ නැති විදියට විදියට විපක්ෂය එකතු වෙලා. ආණ්ඩුව තව පැත්තකින් සංඝයා වහන්සේලා තරහ කරගෙන.''
විපක්ෂ බලවේගය තව දියුණු වෙනවා මිස වැටෙන්නේ නෑ. සජිත් කැඳවූ රැස්වීමට අනෙක් අයත් ආවේ ඒ කාරණයේ තිබිච්ච වැදගත්කම නිසා රනිල් පැවසී ය.
දැන් රට ඇදගෙන යන්නෙ හතර ගාතෙන්

කෙසේ වුව ද මහාචාර්ය ජීරිස් යටතේ ඒකාබද්ධ විපක්ෂය මේ වන විටත් විශාල වැඩ කොටසක් ආරම්භ කර ඇත. අනෙක් පැත්තෙන් නීතිඥයෝ ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරමින් සිටිති. එමෙන්ම සියලු පක්ෂ බිම් මට්ටමට බැස දේශපාලන වැඩසටහන් ආරම්භ කර ඇත.
" මේ එකතුවීම ආරම්භයක් විතරයි."
රනිල් කීවේ විශාල බලාපොරොත්තුවකිනි.
විපක්ෂය එකතු වෙනකොට අනෙක් කණ්ඩායම් ද එකතු වෙනවා. වෘත්තීය සමිතිය එකතු වෙමින් තිබෙනවා. මුලින් කරුණු කාරණා නොතේරුණු අයටත් දැන් කාරණා වැටහෙමින් තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ වේදිකාවෙන් තමයි ඔය පණිවිඩය ගියේ මාන්නපෙරුම පැවසී ය.
රනිල් පැවසුවේ දෙවැනි අවුරුද්ද අවසන් වෙන්න කලින් ලොකු වෙනසක් දැක ගන්න පුළුවන් වනු ඇති බවයි.
"අච්චර අමාරු රටක් බාර අරගෙන අවුරුදු දෙකක් අපට පහසුවෙන් දුවන්න පුළුවන් වුණා. දැන් මේ අය පහසු රටක් බාර අරගෙන හතර ගාතෙ දාගෙන අදිනවා"
රත්නප්‍රිය කීවේ අන්තිමට ආණ්ඩුවට ගහපු පදයක් මෙන්ම බෙරේ පළුවකුත් නැතිවෙන බවයි.
'රීඩ් විත් රනිල්' තරුණ පරපුර අතර
හරින් සංවිධාන කළ 'රීඩ් විත් රනිල්' වැඩසටහන සමාජ මාධ්‍යයේ මෙන්ම සාමාන්‍ය සමාජයේ ලොකු අවධානයකට ලක් විය. විශේෂයෙන් මේ ගැන කතා බහට ලක් කෙරුණේ තරුණ පරපුර අතරයි. එම වැඩසටහන කොළඹින් පිට නගර මට්ටමින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒකාබද්ධ විපක්ෂය ලෙස මෙතෙක් සිදුකර ඇති කාර්යභාරය සහ අනාගතයේ දී කරන වැඩ සම්බන්ධයෙන් මහාචාර්ය ජී එල් ඇතුළු පක්ෂ නායකයෝ සමාලෝචනයක් සිදු කළහ. ප්‍රථම අදියර ඉතා සාර්ථක බව සියලු නායකයන් ගේ ඒකමතික තීරණය විය. රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳ ජන මතයක් හදන්නට ඒකාබද්ධ විපක්ෂය සමත් වී තිබෙන බවද එහිදී සඳහන් විය. ආර්ථිකය, මැතිවරණ, විනිශ්චකාරවරුන්ගේ ප්‍රශ්නය ගැන ජන මතයක් නිර්මාණය කිරීම සඳහා මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය රැලි පහක් පවත්වා තිබේ.කොස්ගම,ජා ඇළ, මහනුවර,මාතර සහ කුරුණෑගල එම රැලි පැවැත්වූ ස්ථාන වේ.
"අපේ මාධ්‍ය සාකච්ඡා ඉතා සාර්ථකයි. ඒ වගේම විදේශ තානාපතිවරුන් හමුවීම, මහා නා හිමිවරුන් හමුවීම ඉතා සාර්ථක ලෙස සිදු කෙරුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවුණා. වැඩසටහන් තවත් පුළුල් කරමින් බිම් මට්ටම දක්වා ගෙන යාමට අප තීරණය කර තිබෙනවා. වෘත්තිය සමිති තරුණයන් හා කාන්තාවන් සවි බල ගැන්වීමේ වැඩසටහනක් අප ආරම්භ කරනවා.මේ කියන්නේ වැඩ පිළිවෙල ආසන මට්ටමට ගෙන යාම කාලෝචිත බව අප තීරණය කළා."
ජී.එල් එම සමාලෝචනයේ දී පක්ෂ නායකයන් අමතමින් සඳහන් කළේය.
ආණ්ඩුවේ හැංගිමුත්තන් සෙල්ලම
විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමටද ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේය.
"ආණ්ඩුව මේ වැඩ පිළිවෙළ කරන්නෙ හැංගි හොරා. කිසිම විනිවිද භාවයක් නැහැ. ඒ සම්බන්ධයෙන් නීතිඥ සංගමයක් අධිකරණ ඇමතිවරයාට ලිපියක් යවා තියෙනවා. මේ ගැන ඉදිරියේ දී තානාපති කාර්යාල දැනුවත් කළ යුතුයි.
මානව හිමිකම් කවුන්සලය ජිනීවා නගරයේ දී සැප්තැම්බරයේ රැස්වන අතර ශ්‍රී ලංකා අධිකරණය දේශපාලනීකරණය කිරීම තුළින් ත්‍රිවිධ හමුදාවට ද එහි දී ලොකු අවදානමක් ඇතිවනු ඇතැයි ජී. එල්. පක්ෂ නායකයන්ට පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක කාර්යාලයේ රැස්වීමේ දී කතා කර විසිර යනවාට වඩා සැලසුමක් ඇතිව අංග සම්පූර්ණ වැඩ පිළිවෙළක් සඳහා එකඟත්වයකට එළඹීමට ද ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
