බටලන්ද වධකාරය හොයන්න ගියේ 1994 අග.
එයත් හරියටම ‘ලංකා භූමියේ ඉන්දියානු යුද අපරාධ 1987 – 1990’ හා ‘පුලස්තිනී රාජේන්ද්ර - ඉන්දියානු ඔත්තුකාරිය’ ලීව වගේ වැඩක්. ඕනෑම මොහොතක අනික් පැත්තට පත්තු වෙන බව දැන සිටියා. ආණ්ඩුව මාරු වී තිබුණත් රනිල් වික්‍රමසිංහ ගේ පොලිස් මැර නායකයාට ඒ වන විටත් බලය තිබුණ. අපි හිටපු තනි කාඹරේ කුලී නිවසට මහ රෑක ඩග්ලස් පීරිස්ගේ මැරයො ආව. මම කොහොමත් එහෙම වැඩක් කළාම ටික දවසක් මඟ ඇරල ඉන්නේ. පැමිණිල්ල කරන්න තිබුණේ පැලියගොඩ පොලීසියට. පැමිණිල්ල බාර ගත්තේ අයි. පී. වික්‍රමසිංහ. එයත් බටලන්දේ කොටස්කාරයෙක්. මම කට්ටි පැන්නත් බිණූ නාගාර්ජුන හා එයාගේ අම්මගේ ආරක්ෂාව ගැන ලොකු බයක් තිබුණ
බී.බී.සී සිංහල අංශයෙන් ඇරයුමක්
මේ අතරවාරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ගවේෂණාත්මක ජනමාධ්‍යකරුවන් ගේ ආයතනයේ [Investigative Journalist Inc – USA] සමුළුවකට යන්නත් එහි ජනමාධ්‍ය ආයතනවලට යන්නත් නම් කෙරුණ. මේ දෙකම සිද්ධ වුණේ ළඟ ළඟ. මගේ ගෙදරට කඩා පැනීම ‘ඇමරිකාවට ගොස් දේශපාලන රැකවරණ පැතීමට’ උපායක් බව රාවයේ ඕපදූපයක් වුණා. කොහොම වුණත් එක්සත් ජනපදයට යන අතරේ ලන්ඩනයට බැස්සේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය හා පුස්තකාලය බලන්න. ඒ අතරේ බී.බී.සී සිංහල අංශයට ගියාම අවුරුදු 2 එහි වැඩ කරන්න ආරාධනයක් ලැබුණ. ඊට කලින් මම ‘සංදේශයේ’ තාවකාලික වාර්තාකරුවකුව සිටීම මේ ඇරයුමට මුල් වුණා.
මම බිණූ නාගාර්ජුනට ලන්ඩන් රස්සාවට එන කොටම කිව්ව “අවුරුදු දෙකක් වැඩ කරල මම සල්ලි සොයා ගෙන එන්නම් ගෙයක් ගන්න.”
සිහිනයක් තුළ සිහිනයක්

මම රස්සාවට ඇවිත් මාස 4 යද්දි එයා අඬන්න ගත්ත එයාටත් එන්න ඕන කියල. 1995 ශීත ඍතුවට හිම වැටෙන්න ගත්තු දෙසැම්බරයේ මුල එයා අම්මත් එක්ක ලන්ඩනයට ආවා. එතකොට එයාට අවුරුදු 5 පැනල. එයාට මේ මහා නගරයයේ ජීවිතය පෙණුනේ, ‘හීනයක් ඇතුළෙ හීනයක් දකිනව වගේ’ එයා වේගයෙන් මෙට්‍රෝපොලිටනයට හැඩ ගැහුණ. එතකොටම වින්ඩෝස් [Widows] ආව. කාලයත් එක්ක මම ඇනලොගයෙක් හැටියට දණ ගාද්දි එයා ඩිජිටලයෙක් වෙලා දුවන්න ගත්ත. අන්තිමට එයා මට අත දුන්න ඩිජිටලයෙක් හැටියට නැඟිටින්න.
එතකොට බිණු නාගාර්ජුනගේ වයස අවුරුදු 9ක් විතර ඇති. එයා ඉස්කෝලේ ඇරිල ඇවිත් මුණ බැරෑරුම් කරගෙන බරපතළ ප්‍රශ්නයක් ඇහුව.
“ තාත්තේ, අපි සිංහල ද, දෙමළ ද? අපේ රටේ යුද්ධයක් තියෙන්නේ ඇයි?
අපි කවුද...?
එයා ගිය හවුන්ස්ලෝ හීත්ලන්ඩ් පාසලේ විවිධ ජනවර්ගවල ළමයි හිටිය. වැඩිපුම හිටියේ දකුණු ආසියාවේ ළමයි. එතකොට ඊළාම් යුද්ධය උත්සන්න වෙල. ක්‍රිකට් තරගවල ලකුණු කියනව වගේ අපි, දෙපැත්තේම මැරෙන ගණන් ප්‍රවෘත්තිවලට කීවේ.
“අපි සිංහලත් නෙවෙයි දෙමළත් නෙවෙයි. එහේ යුද්ධ කර ගන්නේ පස්සේ කාලෙක ඉන්දියාවෙන් ආපු සිංහල හා දෙමළ උදවිය. ඒක ඉඩම් නඩුවක් යුද්ධයක් බවට පත් වෙල. අපි ලංකාවේ බටහිර වෙරළෙන් එන නාග ගෝත්‍රිකයො. බුද්ධ කාලේ ඉඳලම නාග රජවරු හිටිය. අපිට පස්සේ සිංහලයෝ, බෞද්ධ වුණේ. බටහිර ඉන්දියාවෙන් ආපු රාජකීය හොරු රැලක් ඇවිත් රට අල්ල ගත්ත. නාග ගෝත්‍රිකයන්ට වුණේ ඇමෙරිකාවේ ජීවත්වුණු රතු ඉන්දියානුවන්ට වෙච්චි දේමයි. අපි සිංහලයන්ගේ සංස්කෘතික විජිතකරණයට යටත් වුණා. අපේ ‘ලිංගුවා ෆ්‍රැන්කාව’ ඒ බාසාව බවට පත් වුණා. තාමත් එක මුල් පදිංචිකාර ගෝත්‍රයක් ඉන්නව. ඒ වැද්දෝ ...!
ලංකාවෙන් පැමිණි නාග ගෝත්‍රිකයා
එයා ඊට පස්සේ ඉස්කෝලෙදි යාළුවන්ට එයා ලංකාවෙන් එන නාග ගෝත්‍රිකයෙක් බව කීව ද මම දන්නේ නෑ. හැබයි එයාටත් මට වගේම කොණ්ඩේ බදින්න තිබුණු ආසාවඉෂ්ට වුණා. ඉස්කෝලෙන් අවසර ලැබුණ කොණ්ඩේ වවන්න.
මම එයත් අරගෙන අවට තියෙන නේපාල, තායි හා බුරුම පංසල්වලට ගියා.
පස්සේ අපි ජීවත් වූ හවුන්ස්ලෝ නගරයේ පංසලකුත් පටන් ගත්ත. පංසල බාරව හිටපු භික්ෂුව, උපාසකම්ම කෙනෙක් අරන් පැදුරටත් නොකියා ගිහිගෙට ගියා. පංසල වහල දැම්ම. එයාගේ නමට නාගාර්ජුන තිබුණට එයා කිව්ව “තත්තා, මම බෞද්ධයෙක් වෙන්නේ පැවැත්මෙන් විතරයි.”
එයා ඒ අනුව ජීවිතේ හැඩගසා ගත්ත. මේ අතරේ මගේ බීබීසී රස්සාවේ ආයුෂ අඩුවෙමින් තිබෙන බව මට දැනෙන්න ගත්ත. බොහෝ දේ මතවාදී ගැටුම්. මම ආපහු ගමට රට බලා යන්න හිත හදාගනිමින් සිටියෙ
මතු සම්බන්ධයි
නන්දන වීරරත්න
සබැඳි
‘විසාලා මහනුවර’ උපන් බිණු නාගාර්ජුන
ආචාර්ය නාගාර්ජුන ගේ තොටගමු විහාරය
බිණූ නාග අර්ජුන ගේ මතකවත 03 - ශූන්‍යතා සිහිනයෙන් අවදිවීම
බිණූ නාග අර්ජුන ගේ මතකවත - 05 සිහිනවල සිටි අතුරුදන් වූවෝ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
