සිරිමල්ව මං අදුරගන්නෙ පාරාදීසය පත්තරෙන්.
ඒ පත්තරේ කියන්නෙ ලංකාවෙ ලොකු වෙනසක් කරපු ලොකු පිටු ගොඩක වැඩක්. සිරිමල් එයාට ආවේණික මුනිවර අලස බවෙන් ඒ පත්තරේ ඇතුළෙ නිර්මාණශීලී විප්ලවයක් කළා. දර්ශන න්‍යාය ඔය ඔක්කොටම වඩා අවකාශය තමයි වැදගත් කියන එක මං පාරාදීසෙන් ඉගෙන ගත්තා. සිරිමල් කියන්නෙ අවකාශ තනන්නෙක්.
අවදානම් අවකාශයේ සැනසීම
සිරිමල් කවදාවත් රස්සාවක් කළේ නෑ. ඒක වාමාංශික බවකින් ආපු දේකට වඩා සාංදෘෂ්ටික බවකින් ආපු දෙයක් කියලයි මගේ වැටහීම. ජීවිතේ කියන්නෙ රස්සා කරමින්, මුදල් උපයමින් නාස්ති කළ යුතු දෙයක් නෙමෙයි කියල සිරිමල් කල්පනා කළා. ඒ වෙනුවට ජීවිතේ ඉන්න කෙටි කාලෙ දි උපරිමයෙන් විඳින්න
උත්සාහ කළා. ඒ විඳීම කියන්නෙ මිතුරන් ඇසුරු කරමින්, චිත්‍රපටි බලමින්, විවේකීව සිටිමින් ගත කරන බොහිමියානු එකක්. ලංකාවෙ බොහිමියානු ජීවිතයක් නිර්මාණය වෙන්න කිසිම පසුබිමක් නැතුවත් සිරිමල් හිතුවක්කාර බොහිමියානුවෙක් විදිහට ජීවත් වුණා.
වැඩ වෙනුවට ජීවිතය තමයි මං හිතන්නෙ සිරිමල් ගෙ මොටෝ එක වෙන්නෙ. කිසිම දවසක සල්ලි ගැන වටිනාකමක් ඌට තිබුණෙ නෑ. සල්ලි කීයක් හරි හම්බුනොත් හන්දියේ ත්‍රීවීල්කාරයන්ටත් කතා කරලා අහලා සල්ලි බෙදනවා. යාලුවන්ට කෝල් කරලා සල්ලි දෙනවා. ඒ හම්බුණ ගාන ඉවර වෙනකල් ඌට නින්ද යන්නෙ නෑ. හැමතිස්සෙම සල්ලි කීයක්වත් අතේ නැති අවදානම් අවකාශයක සිරිමල් සැනසීමෙන් හිටියා.
අලසකම පාවා නොදීම
සිරිමල් සල්ලි නැති වුනාම යාළුවන්ගෙන් කීයක් හරි ඉල්ලගන්නවා. ඒ ඉල්ලාගැනීමෙත් කලාවක් තිබුණා. කිසි දවසක අනෙකාට බරක් දැනෙන්න ඌ කීයක්වත් ඉල්ලුවෙ නෑ; බොරු කිව්වෙ නෑ. ඒ වෙනුවට සුහද සරල යාළුකමෙන් කීයක් හරි දෙන්න පුළුවන් වෙලාවක් නම් ඌ ඉල්ලගත්තා. ඒක හරියට භික්ෂුවක් යැපීම හා සමානයි කියලයි මට හිතෙන්නෙ. කිසිම හේතුවක් නිසා සිරිමලා තමන් ගෙ අලසකම පාවලා දුන්නෙ නෑ. නැති වෙලාවට යාළුවෙකු ගෙන් කීයක් හරි ඉල්ලගෙන, ඇති වෙලාවට උන්ටත් දෙමින් ඌ සතුටෙන් හිටියා. වාමාංශිකයෙක් වුනාට හරිම ලස්සන පුද්ගලිකත්වයකුත් ඌට තිබුණා. ඌ බත් කනකොට ලුණු, ගම්මිරිස් ටිකක් වෙන වෙනම බෙදාගන්නවා. අමුමිරිස් කරලක් කපා ගන්නවා. තියෙන්නෙ එක එළවළුවක් වුනත් මලාගෙ බත් එක දකිද්දි ඕන කෙනෙකුට කෙල ගිලෙනවා. හැබැයි කවුරු හිටියත් ඌ ඒ බත් එක කන්නෙ තනියම. බත් පිගානට කාටවත් අත දාන්න ඌ ඉඩ දෙන්නෙ නෑ.
‘ඇයි මචං බෙදාගෙන කාපංකො. මගේ පිඟානෙ ම කන්න ඕන නෑනෙ...’
මලා ඒ වෙලාවට කියනවා.
මගේ ඉංග්‍රීසි ගුරුවරයා
ඉංග්‍රීසි හෝඩිය විතරක් පුළුවන් කාලෙ මාව පරිවර්තකයෙක් බවට පත්කළේ සිරිමල්. ඒ පාරාදීසය වෙනුවෙන් ඩී. එච්. ලෝරන්ස්ගෙ ලිපි පරිවර්තනය කරන්න දීලා. ඉළ කඩලා යන වැඩක්. ඩික්ෂනරි පෙරළගෙන, වචනෙන් වචනෙ ලිය ලිය මං ලෝරන්ස් පරිවර්තනය කළා. ඇත්තට ම ලෝරන්ස් මාව පරිවර්තනය කළා.
ඩී. එච්. ලෝරන්ස්
මලාට තිබුණෙ ලොකු ව්‍යාපෘති ගැන අදහසක්. කවදාවත් යථාර්ථයක් බවට පත් කරන්න බැරි සුවිසල් නිර්මාණ ව්‍යාපෘතී සිරිමල් ළඟ තිබුණා. ඒවා අහලා මාත් සතුටු වුණා. කරන්න බැරි වුනත් ලොකු හීන දකින්න පුළුවන් පොහොසත්කමක් ඌට තිබුණා.
අන්තිම කැමැත්තත් ලිව්ව මචං...
මේ වෙද්දි සිරිමල් දරුණුවට අසනීප වෙලා. මං ඌව බලන්න ගියා. ඌ කැහැ කැහැ හිනාවෙවී හිටියා.
‘මචං මං අන්තිම කැමැත්ත ලියලා තියෙන්නෙ. තව ටිකයි පපුව වැඩ කරන්නෙ...’
ඒ තරම් සැහැල්ලුවෙන් මරණය දිහා බලන ඌ දැකලා මට ලොකු ආදරයක් ඇතිවුණා. ඇත්තටම සිරිමල් ජීවිතේ දැඩිව අල්ලාගත්ත එකෙක් නෙමෙයි. ඒක ඕනම වෙලාවක අතාරින්න පුළුවන් එකෙක්. රැස් කරපු එකෙක් නෙමෙයි. ලෝබ නැතුව බෙදපු එකෙක්. වැඩ කරපු එකෙක් නෙමෙයි. ජීවත් වුණු එකෙක්.
‘මචං මට දැන් ගොඩක් ඉස්සර දේවල් මතක නෑ. මතක නැති එක හොඳයි. මොකටද ඔය මගුල් මතක තියාගෙන? හැබැයි බං මතක චුට්ටක් වුනත් සමහර වෙලාවට හරි වේදනාවක් එනවා. ඒ පරණ දේවල් ගැන පසුතැවීමක් නෙමෙයි. මොන හු…ට ද එහෙම කළේ කියලා හෙන මෝඩකමක් දැනෙනවා. අපි හෙන මෝඩ වැඩ නෙ කරලා තියෙන්නෙ කියලා හිතෙනවා’ ’ අමාරු කැස්ස මැද්දෙ පොඩි හිස්තැන්වලදි ඌ අතීතෙට හැරිලා තමන්ටම හිනාවෙනවා.

මේ සිරිමල්ට උදවු කළ යුතු නිමේෂය යි
සිරිමල් මේ වෙද්දි වැලිසර ප්‍රතිකාර ගන්නවා. ඒ වෙනුවෙන් ලොකු වියදමක් වැය වෙනවා. වෙනදා වගේ කෝල් කරලා හිනාවෙවී, කීයක් හරි තියෙනව ද බං කියල අහන්න ඌට පුළුවන්කමක් නෑ.
සිරිමල් වගේ මනුස්සයෙකුට මේ ලෝකෙ ඉන්නෙ ඌම විතරයි. ඒක අසිරිමත් ජීවිතයක්. මං ගොඩක් ආදරය කරන මනුස්ස පැවැත්මක්. සිරිමල්ට මේ වෙලාවෙ උදව් කරන්න ඕන. ඌ තව කාලයක් ජීවත් වෙන්න ඕන. එහෙම හිතෙන අය මේ ගිණුම හරහා පුළුවන් උදව්වක් කරන්න.
දුරකතනය- 0776686332
W. A. D Sirimal
බැංකු ගිණුම් අංකය- 107054112534 සම්පත් බැංකුව
චින්තන ධර්මදාස
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
