ආණ්ඩුව අභ්‍යන්තරයේ විශාල අර්බුදකාරී තත්ත්වයක් - රනිල් කොලම

ආණ්ඩුව අභ්‍යන්තරයේ විශාල අර්බුදකාරී තත්ත්වයක් - රනිල් කොලම

හිටපු ජනපති රනිල් සිංගප්පූරුවේ සැත්කමට ගොස් සතියක් සම්පූර්ණ වන විට වූ සුවිශේෂී සිදුවීම වන්නේ ඔහුගේ 77 වෙනි උපන් දිනය යෙදීම යි.

රනිල්ට අදාළ සැත්කම කළේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍ය sevadasan ය. ඔහු ශ්‍රී ලංකාවේ කළු ජූලිය අවස්ථාවේ සිංගප්පූරුව බලා ගිය දක්ෂ වෛද්‍යවරයෙකි. ඔහු ලෝකයේ ම හෘද සැත්කම්වලට සිටින ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන් අතරින් කෙනෙක් ලෙස නම් දරා සිටී. ගෝඨාභය ජනපති අපේක්ෂක ලෙස නම් කළ සමයේ ඔහුගේ හෘද  සැත්කම සිදු කළේ ද, හිටපු සෞඛ්‍ය ඇමති රාජිත ගේ හෘද සැත්කම කළේ ද මෙම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයා ය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සොයුරු චන්න වික්‍රමසිංහ ඇතුළු පවුලේ සාමාජිකයෝ ද රනිල් සමග සිංගප්පූරුවට ගියහ. සැත්කමින් සතියකට පසු චන්න ඇතුළු පවුලේ සාමාජිකයෝ නැවත ලංකාවට පැමිණියහ. රෝහල් ගතව සිටි රනිල්ගේ සැප දුක් විමසීම සඳහා සභාපති වජිර, ජාතික සංවිධායක සාගල, වජිරගේ පුත් තීක්ෂණ අබේවර්ධන ද පසුව සිංගප්පූරුව බලා ගියහ.

උපන් දිනය රෝහලේ දී...

රනිල්ගේ උපන් දිනයේ යෙදුණු ඉකුත්  24 වැනි දා වජිර වෛද්‍යවරයා ගේ අනුමැතිය පරිදි රෝහල් කාමරයට කේක් ගෙඩියක් ගෙන ගොස් චාම් උපන්දින සැමරුමක් සංවිධාන කළේය. මහාචාර්ය මෛත්‍රී, වජිර, සාගල තීක්ෂණ මෙන්ම වෛද්‍යවරයා පමණක් ඊට සහභාගී වූහ. සැත්කමින් පසුව රනිල් මේ වන විට ශීඝ්‍රයෙන් සුවය ලබමින් සිටී. සැත්කම සිදුකර සතියකින් පසු රනිල් රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරිණි. සුව වෙමින් පවතින කාලයේ දී වෛද්‍යවරයා රනිල්ට දුරකතන ඇමතුම් තහනම් කර ඇත. අමුත්තන්ට බැහැ දැකීම ද තහනම්ය. ගුවන් ගමන් සඳහා සුදුසු සෞඛ්‍ය තත්ත්වයට පැමිණි සැණින් රනිල් යළි මව්බිමට පැමිණීමට නියමිත ය. රනිල්ගේ සැත්කම කළ වෛද්‍යවරයාට වජිර සිංගප්පූරුවේ දී දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමා තිබෙන බව ආරංචි ය.

LEN - www.lankaenews.com | The Slap Heard Sri Lanka: Ranil Wickremesinghe's  Endgame?

ජාත්‍යන්තර සංවිධාන 12කට යොමු කළ ලිපිය

අධි ආරක්ෂිත කලාපයක් ආසන්නයේ වෙඩි තබා නීතිඥ යුවළ ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුව ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්දැයි සැත්කමට යෑමට පෙර රනිල්, මහාචාර්ය ජී.එල් ගෙන් විමසී ය. විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කර පුළුල් තීරණයකට එළඹීම රනිල් ගේ මෙන්ම ජී.එල්. ගේ ද මතය විය. එහි පියවරක් වශයෙන් සියලු පක්ෂ නායකයින් ගේ අත්සනින් යුතුව ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ද තීරණය විය. ජී.එල් ඉංග්‍රීසි භාෂාවෙන් එම ලියවිල්ල සකස් කළේ ය. ඒ සඳහා පක්ෂ නායකයින් ගේ අත්සන් ගැනීමට වජිර මෙන්ම දොළොවත්ත මුල් වී ක්‍රියා කළහ. ඒ ඒකාබද්ධ ප්‍රකාශය මාධ්‍යයට නිකුත් කෙරුණේ ඉකුත් සතියේ දී ය. රනිල්, සජිත් ,නාමල් ඇතුළු පක්ෂ නායකයෝ 17 දෙනෙක් මේ ප්‍රකාශයට  අත්සන් කළහ. ජාත්‍යන්තර සංවිධාන 12කට මෙම ලිපිය යොමු කරනු ලැබීය.

උපන් දින සැමරුම් ලිපි පෙළක්

ඊට අමතරව  රනිල්ගේ උපන්දිනය වෙනුවෙන් වෙනදාට වඩා සමාජයේ කතා බහක් මෙන්ම උනන්දුවක් ඇතිවී තිබිණි. රටේ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය මෙන්ම රනිල්  ප්‍රතිකාර සඳහා රටින් බැහැරව සිටීම ද එම උනන්දුවට එක් හේතුවක් විය. මුද්‍රිත මාධ්‍යවල රනිල් පිළිබඳව ලිපි පළ කිරීමට හිතවතුන් ගේ මෙන්ම සාක්ෂිකයින් ගේ වැඩි උනන්දුවක් දැකගත හැකි වූ අතර පුවත්පත් කතුවරුන් ද ඒ සම්බන්ධයෙන් රනිල් ගේ  සමීපතමයන් දැනුවත් කර තිබිණි. හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක,රනිල් ජනපති සමයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න සහ ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ මේ පිළිබඳව ගන්නා පියවර සාකච්ඡා කළහ. ඒ අනුව පුවත්පත් කර්තෘවරුන් සමග සාකච්ඡා කර එකම ලිපිය තැන් දෙකක පළ නොවන ලෙස සැලසුමක් හදා විධිමත්ව ලිපි පළ කිරීමට වැඩපිළිවෙලක් සකස් කළේ ය.

බාල ගල් අඟුරු පිළිබඳ ජි. එල්. කියයි

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමු දිගින් දිගටම පැවැත්වීම සම්බන්ධයෙන් ද රනිල් සැත්කමට යෑමට පෙර ජී. එල්. සමඟ කතිකා කරගෙන තිබිණි. එහි දෙවැනි මාධ්‍ය හමුව පැවැත්වුණේ ඉකුත් සතියේ බදාදා ය. ඒ, ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී ය. ජී.එල්, ලසන්ත අලගියවන්න, සංජීව එදිරිමාන්න, අජිත් මාන්නප්පෙරුම මෙහි අදහස් දැක්වූහ. කොමියුනිස්ට් පක්ෂය සමඟ සම්බන්ධවී නිපොන් හෝටලයේ දී පවත්වන මාධ්‍ය හමුවකට සහභාගී වන ලෙස අසාත් සාලිගෙන් සහ රාජිතගෙන් ජී.එල් ට ඇරැයුමක් ලැබිණි. එම මාධ්‍ය හමුව ද යෙදී තිබුණේ බදාදා දිනයේ ම හෙයින් ජී.එල්. පැවසූයේ තමා අවසාන මොහොතේ දී හෝ විනාඩි පහකට ඇවිත් යන්නට බලාපොරොත්තු වෙන බවයි. ඒ අනුව ජී.එල් තේමා දෙකක් ඔස්සේ මාධ්‍ය හමුවල අදහස් පළ කළේ ය. ශ්‍රී ලාංකික ජනතාව වර්තමානයේ විදින අසාමාන්‍ය දුකට සහ පීඩනයට හේතුව යුද්ධය පමණක් නොවන බවත් ජනතා දුකට සහ පීඩනයට ආසන්නතම හේතුව වර්තමාන ආණ්ඩුවේ වංචාව සහ කළමනාකරණයක් නොමැතිවීම බවත් මහාචාර්ය ජී.එල් එහිදී මූලික වශයෙන්ම සඳහන් කළේ ය. මෙම සියලු ගැටලු සහ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ වංචාව බව ද මෙම තත්වය හමුවේ ජනතාව පුදුමාකාර දුකක් විදින අතර නැව් 10 කින් ආනයනය කළ ගල්අඟුරු ගුණාත්මක බවින්  අඩු බාල ගල්අඟුරු බව ජී.එල් එහි දී කීය.

තෙල්පිරිපහදුව වසා දැමීමේ අවදානමක්

"බාල ගල් අඟුරුවල පාඩුව මඟහරවා ගන්නා  ඩීසල් පාවිච්චි කරන්න සිද්ධ වෙලා. එම ප්‍රමාණය ස්වල්පයක්  නොවේ. දිනකට ඩීසල් බැරල් ලක්‍ෂ 8ක්. මෙම තත්ත්වය  විදුලිබල කප්පාදුවට බලපාන අතර තෙල්පිරිපහදුව වසා දැමීමේ අවදානමක් තියෙනවා. සිංහල අවුරුදු කාලය වන විට තෙල් පිරිපහදුව වසාදැමුව හොත් විදුලිබල කප්පාවක් කිරීමට අනිවාර්යෙන් සිදුවන බව කිසිදු සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකි යි. දරාගැනීමට නොහැකි තරමකට ඉන්ධන මිල ඉහළ යෑම නිසා ජන ජීවිතයේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටෙන තත්ත්වයක් මේ වන විට උදා වෙලා. ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය සිමෙන්ති ඇතුළු සියලු ම ද්‍රව්‍ය දළ වශයෙන් සියයට 15 ක පමණ ප්‍රතිශතයකින් ඉහළ ගිහින්. සම්පූර්ණයෙන් බොරු කියා බලය ලබාගත්ත මාලිමාව  අද වන විට බලය රඳවාගැනීමට ද සම්පූර්ණ බොරුව පාවිච්චි කරනවා.''

මෙරට දේශීය කර්මාන්තවල අනාගතය දැඩි අනතුරක

ජී.එල් වර්තමානයේ රට මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය ඉතා පැහැදිලි අයුරින්  විස්තර කරන අතර තවත් අනතුරක සේයාවක් ගෙනහැර දැක්වීය.

"ආනනයන මත පනවා ඇති සෙස් බද්ධ සහ වරාය, නැව් තොටුපොළවලට අයකරන බද්ධ අප්‍රේල් මස 1 වැනිදායින් පසුව ක්‍රමක් ක්‍රමයෙන් ඉවත්කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. මෙය අතිශයින් හානිකර තීරණයක්. එසේ කළ හොත් මෙරට දේශීය කර්මාන්තවල අනාගතය දැඩි අනතුරකට පත් වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියයට 90ක් කඩා වැටෙනවා. සෙස් බද්ධ සහ වරාය, නැව් තොටුපොළවලට අයකරන බද්ධ ඉවත් කළහොත් වන හානිය කිසිසේත් අව තක්සේරු කරන්නට හැකියාවක් නැහැ,'' යනුවෙන්ද ජී.එල් කීය.

පරීක්ෂණ අවසන් නොකළ නඩු නිමිත්ත

රහස් පොලිසිය නීතියේ මූලික ක්‍රමවේදයට පරිබාහිරව එංගලන්තයේ වුල්වහැමිටන් විශ්වවිද්‍යාලයෙන් රනිල්ගේ ගමන ගැන තොරතුරු ඉල්ලා තිබිණි. සාමාන්‍යයෙන් එලෙස ඉල්ලීම් කළ විට තොරතුරු ලබාදීමට විශ්වවිද්‍යාලයක් බැඳී නැත. එංගලන්තයෙන් තොරතුරු ලබා ගැනීමේ වෙනම ක්‍රමවේදයක් පවතී. නමුත් විශ්වවිද්‍යාලය රහස් පොලිසිය යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් ඊමේල්  පණිවිඩයක් එවීමට කටයුතු කර තිබිණි.

වුල්වහැම්ටන් සරසවිය රනිල්ට නිල ආරාධනයක් කළ බවත් ඒ අනුව ඔහු ඊට සහභාගී වූ බවත් එම පිළිතුරෙහි සඳහන් වී තිබිණි. මෙම පිළිතුර ලැබීමත් සමග රහස් පොලිසිය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ද ආණ්ඩුව අභ්‍යන්තරයේ ද විශාල අර්බුදකාරී තත්ත්වයක් මතු වී තිබෙන බව ආරංචිය.

"මේ නඩුව දැන් ඉස්සරහට ගෙන යන්නේ කොහොමද...?" යන කාරණය මේ අර්බුදකාරී තත්ත්වය ඇතිවීමට මූලික හේතුවයි.

නඩුව පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති හෙයින්  නීති පති දෙපාර්තමේන්තුව ද දෙපැත්තට බෙදී තිබෙන බව ආරංචිය. පරීක්ෂණ අවසන් නොකළ නඩු නිමිත්තකට ගියා යැයි නිලධාරීන් එකිනෙකා චෝදනා කරමින් බව කනින් කොනින් ආරංචි වෙයි.

රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය: වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන්  කළ තොරතුරු ඉල්ලීම්වලින් මෙතෙක් හෙළි වී ඇති කරුණු - BBC News සිංහල

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න