ඇමරිකානු මැදිහත්වීම් තුළ ලෝක බලතුලනය වෙනස්කිරීමේ වැඩපිළිවෙලවල් කිහිපයක් 2026 ආරම්භයත් එක්කම දකින්න පුළුවන් වුණා. වෙනිසුවේලානු ජනාධිපති නිකලස් මදුරෝව ඇමරිකානු අත්අඩංගුවට පත්වුණා. ඔහු නිව්යෝක් නුවරටත් රැගෙන ගොස් අවසන්.

ලතින් ඇමරිකානු කලාපයේ බලය තහවුරු කරගැනීම
ඇමරිකාව කියන විදියට, මදුරෝ කනබොන විදිය, අඳින පළඳින විදිය විතරක් නෙමෙයි, ඔහුගේ "සුරතලුන්" ගැන පවා ඔවුන් ඩ්‍රෝන තුළින් නිරීක්ෂණය කර තිබෙනවා. ආවේක්ෂණ මෙහෙයුම්වලින් පසුව දෙසැම්බරයේ දී ඔහුව යටත් කරගැනීමේ මෙහෙයුම ඇරඹුණා. ඒත් සමගින් ඇමරිකාව විසින් ලතින් කලාපීය බලය තහවුරු කරගැනීමේ මෙහෙයුම් කඩිනම් වුණු බව අපට තේරුම් ගන්න පුළුවන්. කොමියුනිස්ට් සහ සමාජවාදී නැඹුරුවක් තිබෙන ලතින් ඇමරිකානු කලාපයේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඇමරිකාව 60 දශකයටත් පෙර සිටම රහසිගත මෙහෙයුම් දියත් කළ බව "ආර්ථික ඝාතකයෙකු ගේ පාපොච්චාරණය" යනාදි පොත් තුළින් කියවගන්න පුළුවන්. ඒවා කලින් කලට අඩපණ වුණේ හියුගෝ චාවේස් බදු නායකයින් එම කලාපයෙන් බිහිවුණු නිසා. නමුත් ඒ සියලු දෙනාගේ පාලන කඩාවැටුණා. වෙනිසියුලානු ජනාධිපතිවරයාව ඇමරිකානු අත්අඩංගුවට පත්වීම පිළිබඳව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සිය අකමැත්ත ප්‍රකාශ කර තිබුණා.

අපේ කලාපයේ ඇමරිකානු බළල් අත
මේ වනවිට මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය පාලනය නොකළොත් පහරදෙන බව කියමින් ඇමරිකාව මෙක්සිකානු රජයට අනතුරු අඟවා තිබෙනවා. රටවල් තුළ අභ්‍යන්තරික ප්‍රශ්න ඇතිකිරීම තුළින් දේශපාලන අස්ථාවරත්වයක් ඇතිකොට, පාලකයන්ව තෙරපීමට පත්කරමින් ඔවුන්ව තමාට අවනත කරගැනීම තමයි මේ ක්‍රමය. ආර්ථික විශේෂඥයෙකු ලෙස පෙනී සිටිමින් සී.අයි.ඒ. මෙහෙයුම් සිදුකළ ජෝන් පර්කින්ස් ඒ බව ලියා තැබුවා. ඉරානය තුළ මේ වනවිට අභ්‍යන්තර ජන අරගලයක් ක්‍රියාත්මක වෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඒ එක අරගලකරුවකුට හෝ වෙඩි තැබුවහොත් ඇමරිකාව ඊට මැදිහත් වන බවයි. පෙර-අපර සන්ධි ගළපාගෙන එය මෙරට මෑත ඉතිහාසයට සම්බන්ධ කරගන්නට පුළුවන් නම් ලොකු දෙයක්. අපේ කලාපයේ ඇමරිකානු බළල් අත තමයි අපේ අසල්වැසි භාරතයා. කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය සහ පාකිස්තානය අභ්‍යන්තර අරගල තුළින් කඩාකප්පල් වුණා. ඉන් කෙටිම කාලයකින් නැගිටි රාජ්‍යය තමයි ශ්‍රී ලංකාව. බංග්ලාදේශයේ ප්‍රති-අරගලය තවමත් ක්‍රියාත්මකයි. අරගල පිළිබඳ කෙටි සැපයක නිමග්න වුණාට, විශාල චිත්‍රය මෙරට ජනතාවට නොතේරීම කණගාටුවට කරුණක්.
ආබාධිත සටන් විරාමය
පසුගියදා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ප්‍රහාරක ගුවන් යානා විසින් සිරියාවේ අයි.එස්.අයි.එස්. ඉලක්කවලට පහර දුන්නා. මේ දෙපළ ම ඇමරිකානු හිතවාදීන්. රුසියාව මේ වනවිටත් යුක්‍රේනය සමග යුද්ධයක පැටලී ඉන්නවා. ඔවුන් ඔවුන් ගේ න්‍යෂ්ටික මිසයිල කිහිපයක් බෙලරූස් රාජ්‍යයේ ස්ථානගත කළා. ඒත් චීනය තවමත් නිහඬයි. පසුගිය සතියේ ඔවුන් ඇමරිකානු හිතවාදී තායිවානය අවට දී ඉතිහාසයේ විශාලම යුධ අභ්‍යාසය සිදුකළා. ඊට හේතුවුණේ ඇමරිකාව විසින් තායිවානයට ඇ.ඩො.බිලියන 11ක අවිආයුධ විකිණීමයි. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ සෞදි අරාබියට ඉතිහාසයේ විශාලම අවි සංචිතය විකිණුවා. එහි වටිනාකම ඇ.ඩො.බිලියන 142ක්. ඒ පිළිබඳ මැදපෙරදිග කලාපය විමසිල්ලෙන්. මේ වන විට යේමනය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සහය දක්වන බෙදුම්වාදින් සහ සෞදි අරාබිය විසින් සහාය දක්වන හමුදා අතර ගැටුමක් තිබෙනවා. ගාසා තීරයේ සටන් මෙතෙක් අවසන් වී නැහැ. එහි තිබෙන්නේ "ආබාධිත සටන් විරාමයක්".

අපි කලබල විය යුත්තේ මොනවාට ද...?
අප්‍රිකානු කලාපය ගත්තහම සුඩානයේ සිවිල් ගැටුම් තවත් තීව්‍ර වෙමින් තිබෙනවා. ආර්ථික වශයෙන් ඉහළට එමින් ඉන්න ඉතියෝපියාවත්, එරිත්‍රියාවත් රතු මුහුදේ ඉඩකඩ වෙන්කරවාගැනීමේ සටනක නියැළෙනවා. අපි අපේ රට ඇතුළේ සිදුවෙන සතිපතා විනෝදසමයම්වල පැටලෙමින් ඉද්දී ගෝලීය බල දේශපාලනය 2026 ආරම්භ කරමින් ඉක්මන් වෙනස්කම් පෙන්වන්න පටන් අරගෙන තියෙනවා. ඇත්තටම අපි කලබල විය යුත්තේ ඒවා ගැනයි. ශ්‍රී ලංකාවේ 68ලක්ෂයක් මහජනතාව අනුර දිසානායකව ජනාධිපති ධුරයට පත්කළේ, ඔහුට ආසන 159ක විශාල බලයක් ලබාදුන්නේ මෙන්න මේ පසුබිම තුළයි. සාමාන්‍යයෙන් 2015 වගේ වර්ෂයක් දක්වාම සමාජවාදයට හෝ කොමියුනිස්ට්වාදයට බර රටවල් වලට එරෙහිව එන ඇමරිකානු මැදිහත්වීම් පිළිඳව හඬනැගූ පක්ෂයක් තමයි ජවිපෙ. ඒ බලය නැති කාලයේදී. ඊයේ විශ්ව විද්‍යාල "අන්තරේ" ඒ පිළිබඳ විරෝධය දක්වා තිබුණා. ඒවා කවුරුවත් ගණන් ගන්නේ නෑ.

ඒත් දැන් රටේ බලය තිබෙන්නේත් ජවිපෙ අතේ. ඔවුන් කට වරද්දගත්තොත් ඒක අපි සියලු දෙනාට බලපානවා. ඒත් ඔවුන් ඇමරිකානු විරෝධී කිසිදු ප්‍රකාශයක් නොකරාවි සහ ඇමරිකානු විරෝධී කිසිදු පියවරක් නොගනීවියැයි මම බලාපොරොත්තු වෙනවා. එහෙම නොවේවා යැයි ප්‍රාර්ථනා කරනවා. ඉස්සරහට එන්නේ අමාරු කාලයක්.
- අසංක හදිරම්පෑල.

