ශ්‍රී ලංකාවෙන් බිහිවූ වඩාත් බහුනිපුණ (most versatile) ගායකයා; නෙවිල් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවෙන් බිහිවූ වඩාත් බහුනිපුණ (most versatile) ගායකයා; නෙවිල් ප්‍රනාන්දු

මට අනුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ වඩාත් බහුනිපුණ (most versatile) ගායකයා තමයි නෙවිල් ප්‍රනාන්දු.

'මල්බර හිමිදිරියේ, ගයන ගැයුම් නටන නැටුම්, මාස්ටර් සර්' යනාදි ගීත අපට හැමදාම මතක, සදා නොමියෙන ගීත. අලුත් ගීත සහ බොහෝ පැරණි ගීත ජනප්‍රියත්වයේ උඩ පල්ලෙහා ගියාට, නෙවිල් ප්‍රනාන්දු ගේ ගීත හැමදාම තිබුණේ ඉහළ, එක තැනක.

හොඳම දෙන්නා එකට ගයපු ගීතය

ඔහුගේ බහුනිපුණත්වය (versatility) ගැන කිව්වොත්, 'මල්බර හිමිදිරියේ' කියන්නේ කැරිබියානු/ලතින් කැලිප්සෝ පන්නයේ ගීතයක්. ඔහු ඒක ගැයුවේ ශ්‍රී ලංකාවේ වඩාත් බහුනිපුණ ගායිකාව සමග ම වීම විශේෂත්වයක්. ඒ තමයි රුක්මණී දේවි. ඔවුන්ගේ සුසංයෝගය සිදුවෙන්න ඇත්තේ රසික අපගේ වාසනාවට. හොඳම දෙන්නා එකට ගයපු ගීතයක්. 'මාස්ටර් සර්' කියන්නේ බටහිර ක්ලැසික් ශෛලියේ ගීතයක්. ඒක ඔහු විසින් ගයලා තියෙන්නේ අපට ජිම් රීව්ස්ලා, ජොනී කෑෂ්ලා, එවර්ලි බ්‍රදර්ස්ලා, කෙනී රොජර්ස්ලා මතක් වෙන විදියට. ඒ වගේ කාලෙක එවැනි තාක්ෂණයකින් පර්පූර්ණ හඬක් පවත්වාගැනීම පුදුමාකාර දක්ෂතාවයක්.

ඔහු ගයන Malaguena Salerosa නමැති ස්පාඥ්ඥ ගීතය මම අහලා තියෙනවා. ඔහු ඉංග්‍රීසී ගීත ගයන අලංකාරය මම අහලා තියෙනවා. ඔහු විසින් ගයපු, අමරදේව සූරීන් විසින් සංගීතවත් කරපු 'බඳුන් පිරී' ඔහු ගයන්නේ හින්දුස්තානි සරල ගීයක් විදියට. ඊට අමතරව 'නුරා බැලුම් හෙලා, සිත් සෙනෙහසකින්, ලස්සන ලෝකෙට පා ඔසවාලා, පොඩි මැණිකේ, මා පැතූ මගෙ රන් ලොවයි, මා රකින්න, අතීතයේ උණු අළු පල්ලේ, සමුදුරු දේවි, අනන්ත වූ තරු පිපෙන රැයේ, සුදු සිනහ දකින්නයි, හිතේ ඇති දේ' යන ගීත ඔහු සහ ඔහුගේ සංගීත කණ්ඩායම වුණු Los Caballeros ගයපු ගීත. ඔහු ඇතුළත් ඒ සංගීත කණ්ඩායම ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් ඉතිහාසයේ එක් පරිච්ඡේදයක්. (යූටියුබයට එම ගීත මුදාහල goonewj ඇතුළු සහෘදයින්ට ස්තුතියි...!)

බහු නිපුණත්වයේ (versatility) උපරිමය

ඔහු හෝටල් සංගීතඥයෙකු ද වීම නිසා ඔහුට ඕනෑම ගීයක් ගයන්න හැකියාව තිබුණා. විටෙක ඔහු අමරදේවගේ 'ඉපිද මැරේ' ගයනවා. විටෙක ටෝනි ඕලැන්ඩෝගේ 'Candida' ගයනවා. විටෙක C.T.ප්‍රනාන්දුගේ 'මගෙ සුදු මාමේ' ගයනවා, විටෙක මිගෙල් මෙහියාගේ 'Malaguena Salerosa' ගයනවා, විටෙක සුනිල් සාන්තයන්ගේ 'හෝ ගා රැල්ල බිඳේ' ගයනවා. "බහු නිපුණත්වයේ" උපරිමය.


අනෙක තමයි ඔහුගේ හැඟුම් ගැයීමේ විශිෂ්ටත්වය. ඒ කාලේ මැදිරිවල පටිගත කිරීම් සිදුවෙන්නේ එකම එක මයික්‍රොෆෝනයකින්, එක වාරයකින් (one shot) නිසා වාදන භාණ්ඩවල හඬ අතරේ වරද්දන්නේ නැතිව, මයික්‍රොෆෝනයට ඈත ඉඳලා හැඟුම් ගැයීම කියන්නේ අතිශය අපහසු කර්තව්‍යයක්. ඉස්සර ග්‍රැමෆෝන් ගායකයන් කෑගහනවා වගේ අපට ඇහෙන්නේ ඒකයි. වාදන භාණ්ඩවලට නොදෙවෙනිව ඇහෙන්න ගයන්නත් එපැයි. අද වගේ සංයෝජන උපකරණ නෑනේ. ඒත් නෙවිල් ප්‍රනාන්දුට එනකොට කතාව සම්පූර්ණයෙන් ම වෙනස්. ඔහු ඔහුගේ ළයාන්විත ගැයුම් ගයලා තියෙන්නේ වාද්‍ය වෘන්දයක් සමග එකම එක මයික්‍රොෆෝනයකට, වරද්දන්නේ නැතිව, ශ්‍රැතිය 100%ක් පවත්වාගෙන, වාදනයත් කරන ගමන් හැඟුම්බරව වීම මාව මවිතයට පත් කරවන කාරණයක්. 'අතීතයේ උණු අළු පල්ලේ', 'මා පැතූ මගෙ රන් ලොවයි' යනාදි ගීත ඊට හොඳම උදාහරණ. ඒ හැඟුම්බර හඬ පාලනය අද්විතීය යි.

 



දකුණු ආසියාවේ ම ජනප්‍රිය ගීතය

හැඟුම් ගැයීමේ හැකියාව නිසා ම ඔහුට චිත්‍රපට කිහිපයකට ගීත ගයන්න අවස්ථා ලැබී තිබුණා. 1966 දී 'ගයන ගැයුම්' ගීතයෙන් පටන් ගෙන 1967දී 'රන්සළු' චිත්‍රපටයට ඔහු 'බඳුන් පිරී' ගැයුවා. 'මාස්ටර් සර්' තමයි ඔහු ගේ අවසන් චිත්‍රපට ගීතය. ඒක 'කළු දිය දහර' චිත්‍රපටය වෙනුවෙන්. ඒ ගීතය රේඩියෝ සිලෝන් තුළින් ලංකාවේ විතරක් නෙමෙයි, මුළු දකුණු ආසියාවේ ම ජනප්‍රිය ගීතයක් වුණාලු. දවසකට ඔහුගේ ගීත ඉල්ලීම් 500කට වඩා පැමිණියාලු.

කේමදාස සූරීන් ද මවිතයට පත්ව

1972දී K.A.W.පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ 'දුලීකා' චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණය කළේ කේමදාස සූරීන් වුණාට සනත් නන්දසිරි විසින් ගැයූ 'සීත රෑ යාමේ' ගීතයට සංගීතය නිර්මාණය කරලා දෙන්න කියලා කේමදාස සූරීන් විසින් නෙවිල් ප්‍රනාන්දුට ඇරයුම් කළ බව ෂෙල්ටන් වීරරත්න කියනවා.

සමාජ ශාලාවක දර්ශනයක් වෙනුවෙන් නිමැවුණු ගීතය වෙනුවෙන් නෙවිල් ප්‍රනාන්දු නිර්මාණය කළ සංගීතයෙන් කේමදාස සූරීන් අමන්දානන්දයට පත් වුණාලු. ඒ කාලයට අනුව ඒක විශේෂ සංගීත නිමැවුමක්. නෙවිල්ගේ ගිටාරයත්, සිතාරයකුත් එකවර වැයෙන ගීයක් තමයි 'සීත රෑ යාමේ'. ලෝක ප්‍රසිද්ධ Beatles සංගීත කණ්ඩායමේ සාමාජික ජෝජ් හැරිසන් ඉන්දියාවට ඇවිත් පණ්ඩිත් රවී ශංකර් එක්ක ගිටාර්-සිතාර් සුසංයෝජනය කරන්නේත් ඔන්න ඔය කාලයේ දී ම යි. ඒ තමයි නෙවිල් ප්‍රනාන්දුට ලෝක සංගීතය සහ නව නිර්මාණ පිළිබඳ තිබුණු විඥඥාණය.


Nevil
අමරදේව ගේ අමනාප

1966දී 'දෙලොවක් අතර' චිත්‍රපටයට 'ගයන ගැයුම්' ගීතය සහ සංගීතය නිමැවුවේ අමරදේව සූරීන්. ඒත් ඔහු විසින් නිර්මාණය කරන ලද සංගීතය ඒ ගීතයට නොගැළපෙන බව චිත්‍රපටයේ අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හිතලා තිබුණා. ඉන්පස්සේ නෙවිල් ප්‍රනාන්දු ඊට අවශ්‍ය පරිදි වෙනස්කම් එකතු කළාලු. දැන් අපි අහන්නේ නෙවිල් ප්‍රනාන්දු විසින් ඔප දැමූ 'ගයන ගැයුම්' ගීතය. ඔය ගැන අමරදේව සූරීන් නෙවිල් ප්‍රනාන්දු සමග හිත් අමනාපයක් ඇතිකරගත්තු බවත් කියැවෙනවා. ඉන්දියාවෙන් සංගීතය උගත් බොහෝ දෙනාට නෙවිල් ප්‍රනාන්දු යනු නුරුස්සන චරිතයක්ව තිබුණා. ඒ කාලේ ඔහුට තිබුණු කැපිලි කෙටිලි ගැනත් එතකොට හිතාගන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ කුලය පිළිබඳ ඇතැමුන් කරදර වී තිබුණා. සුනිල් සාන්තයන්ටත් වුණේ එහෙමයි.

නෙවිල් ගෙන් පසු එරල්

අපි මේ කතා කරන්නේ වයස අවුරුදු තිස් ගණන්වල දී ලියුකේමියා රෝගයෙන් මියැදුණු තරුණ, සුවිශේෂී සංගීතඥයෙක් ගැන. ඒ කෙටි කාලය තුළ ඔහු විසින් සිදුකළ දෑ බොහෝයි. මෝසාර්ට්, බොබ් මාලේ, ජිම් මොරිසන්, කර්ට් කෝබේන් වගේ කෙටි කලක දී විශාල පෙරළි සිදුකළ ගොඩක් සංගීතඥයින් ඒ වගෙයි. මම නෙවිල් ප්‍රනාන්දුව තබන්නේ ඔවුන් සමග එක මට්ටමක. ඔහු තව දශකයක්වත් ජීවත් වුණා නම් අපේ රටේ සංගීතය හින්දුස්තානී කටේම හිර නොවන්නට තිබුණු බව තමයි මගේ විශ්වාසය.

තරුණ නෙවිල් ප්‍රනාන්දු 1975දී ජීවිත ගමනට සමුදීමත් එක්ක එතෙක් ලෝක සංගීතය හා එකට ගියපු අපේ සංගීත කලාව හින්දුස්තානි සංගීතයේ ග්‍රහණයට නතු වුණා. නැවත ක්ලැරන්ස් විජේවර්ධනලා, ජිප්සීස්ලා, රූකාන්ත ගුණතිලකලා, රාජ් සෙනවිරත්නලා, ආත්මා ලියනගේලා විසින් වෙනස් කරනකම්, ලාංකේය සංගීතය තිබුණේ එතන. ඒ අතරතුර නෙවිල්ගේ වියෝවෙන් පසුව ඔහුගේ සොයුරු එරල් ප්‍රනාන්දු ඔහුගේ ගීත රසට ගැයුවා.


අපේ ජීවිත සහ හැම හවසක් ම ලස්සන කරපු, මගේ ප්‍රියතම ගායකයෙක් යැයි කටපුරා කියන්න පුළුවන් නෙවිල් ප්‍රනාන්දු නමට හදපිරි ප්‍රණාමය!

සටහන - අසංක හදිරම්පෑල

උපුටා ගැනීම සිනමා රූ සේයා face book පිටුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න