Language Switcher

V2025

සජිත් කිසිදින නොදකීද මොක්පුර!

සජිත් ප්‍රේමදාස කන්තෝරු කාමරයට වී යූටියුබයෙන් සිය පියාණන්ගේ කතාවක් ශ්‍රවණය කරමින් සිටියේය.ඒ නවවැනි ජනාධිපති වීමේ දවල් හීනයේද ගිලෙන අතරතුරේය.

" ඔය නිදාගත්ත ඇති සජිත්" එතැනට පැමිණි ඔහුගේ බිරිඳ ජලනි කියා සිටියාය ."දැන්වත් නැගිටින්න "

"ඇයි ජලනි මම උදේම අවදි වී මේ රට මට ඉටු කළ යුතු යුතුකම් ගැනත්, ඒවාට උර නොදෙන අකෘතඥ ජනතාව ගැනත් මෙනෙහි කරමින්නෙ හිටියෙ ?"සජිත් ඇගෙන් ඇසුවේය .

"අණ්ඩර දෙමළ කතාකරන්නෙ නැතුව සාමාන්‍ය මනුස්සයෙක් වගේ කතා කරන්නකො සජිත් " ජලනි නොරිස්සුමෙන් කියා සිටියාය ."ඔයා සිංහලෙන් කතා කරොත් කුමාරතුංග මුනිදාසව ඕන ,ඉංග්‍රීසියෙන් කතා කරොත් ශේක්ස්පියර්ව ඕන කියන මගුල තේරැම් ගන්න "

"මගේ විදග්ධ සිංහලත්,ක්ලැසිකල් ඉංග්ලිෂුත් මේ රටේ මිනිස්සුන්ට නොතේරීම මගේ වැරැද්දක්ද ජලනි ?"සජිත් ඇසුවේය ."දැන්වත් අවදියෙන් සිටින මට නිදි යැයි කීම පැහැදිලි කරනවද ?"

"ඔයා කොහෙද සජිත් අවදියෙන් ඉන්නෙ ?"ජලනි ⁣නොරිස්සුමෙන් ඇසුවාය."ඔයා ඔය ඇවිදින්නෙ හීනෙන්නෙ,කතා කරන්නෙ නින්දෙන්නෙ .පණකඳක් නැති ඔය හැසිරීම ඔයාට ඇරෙන්න මුළු රටටම තේරෙනවා "

"ඇයි ජලනි විපක්ෂ නායකයා හැටියට මේ දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව මා ගෙනයන දැවැන්ත සටන අක්‍රීය යැයි ඔයා චෝදනා කරන්නේ කොහොමද? "සජිත් ප්‍රකාශ කළේය .

"රෙද්ද තමයි "ජලනි සිය අප්‍රසාදය පළ කළාය."ඔයා 2020 ඉඳන් ආණ්ඩු විරෝධී සටන පාර්ලිමේන්තුවට ගෙනියන්න විපක්ෂ නායකයා හැටියට මොන මගුලක්ද කරේ ? පාර්ලිමේන්තුවෙවත් නැති හිරැණිකා පහුගිය මාස කීපෙට එළියෙ ඉඳගෙනත් ඔයාට වැඩියෙ හොඳ ගේමක් දුන්නනෙ ආණ්ඩුවට "

මෙහිදී සජිත්ගේ මුහුණ හැකිළී ගියේය .ජලනි කතාව නතර නොකළාය.

"අනික අර මොන පිස්සුවක්ද නැටුවෙ මනුස්සයො පහුගිය ටිකේ ඩලස්ව ජනාධිපති කරන්න ලෑස්ති වෙලා"ජලනි කෝපයෙන් කියා සිටියාය ." ජනාධිපතිවරණයෙදි ලක්ෂ පනස්පහක් ගත්තු විපක්ෂ නායකයා හැටියට තමුන් නේද ජනාධිපති වෙන්න ඉදිරිපත් වෙන්න ඕන පොහොට්ටුවේ වලිගයක් වෙන්නෙ නැතුව"

"පාර්ලිමේන්තු ජනාධිපති සටනට ඉදිරිපත් නොවී පරාජය වීමේ අවමානයෙන් ගැලවීම මකියාවෙලිගේ බඳු මගේ බුද්ධි මහිමයෙන් කළ වික්‍රමයක් බව නොවැටහුණේ ඇයි ජලනි ?"

"තමුසෙ ප්‍රශ්නවලට මූණ දෙන්නෙ නැතුවද ඕයි ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්නෙ?එතකොට වැරදීමකින් වත් ජනාධිපති වුණොත් ප්‍රශ්නයක් ආවම ගෝටා වගේ පැනල යන්නද හිතාගෙන ඉන්නෙ? "ජලනි ඇසුවාය ."එකල මෙකල වෙවී ඉන්නෙ නැතුව ගෝටා අගමැතිකමට කතා කරපු වෙලාවෙ ඒක බාරගත්ත නම් තමුසෙ නේද මේ වෙලාවෙ හිස් එක්සලන්සි.දැන් ඉතින් තමුසෙ හිස් සජිත් විතරයි "

"මම ඔය දේශපාලන සූදුවලට ගිහින් ඔට්ටු අල්ලන්න කැමති නෑ ජලනි "සජිත් කියා සිටියේය ."මට ඕන මහා මැතිවරණයකින් හරි ජනාධිපතිවරණයකින් හරි නිවැරැදි මගින් ලබන ජයග්‍රහණයකුයි"

"ඕගොල්ලොන්ගෙ තාත්තා ජේ.ආර්,ගාමිණී දිසානායක ,ලලිත් ඇතුලත්මුදලි වගේ ගේම් කැප්ටන්ල එක්කත් ඉත්තො මාරැ කරලයි ජනාධිපති පුටුවෙ ඉඳගත්තෙ"ජලනි කියා සිටියාය "ඒ මනුස්සය නොමැරී හිටිය නම් ඔයාගෙ පතෝල වැඩ දැකල ඒ ලැජ්ජාවටයි දැන් මැරෙන්නෙ "

"දැන් ඔයා මට මොකක්ද කරන්න කියන්නෙ "සජිත් දුර්මුඛව ඇසුවේය .

"ඔයාගෙ වැඩ දැකල දැන් මම නම් ජනාධිපති ආර්යාව වෙන හීනෙන් අවදිවෙලයි ඉන්නෙ සජිත් "ජලනි පසුතැවිලි වන හඬකින් කියා සිටියාය.

."ඔයැයිත් දැන්වත් නැගිට්ටෙ නැත්නම් ඔයත් එක්ක රාජපක්ෂලව පන්නන්න සම්මෙට බෑ කියල මොකෙක් හරි පක්ෂ නායකකමයි,විපක්ෂ නායකකමයි අල්ලගන්නවත් බලල තමයි අපිට ගෙදර යන්න වෙන්නෙ "

සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් ගිනුමෙනි