#lka #Covid19 #SriLanka #CoronaVirus #colombo

  • ‘අනේ අපොයි’ නොකියන්නට නම් මාලිමාව දිනවන්න - අනුර

    ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නිර්මාණය කළ හොත් කිසිදු දිනක ‘අනේ අපොයි’ කියන්නට ජනතාවට සිදුනොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකපැවසී ය.

    හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (29) පොළොන්නරුවේ පැවති ජන රැලිය අමතමිනි.

    එම ජන රැලියේ දී අනුර කුමාර දිසානායක කළ සම්පූර්ණ අදහස් දැක්විම මතු දැක්වේ.

    සතුටු විය හැකි තීන්දුව

    ‘‘අපේ වැඩිහිටි අය මීට කලින් ආණ්ඩු හැදුවා, නායකයෝ ගෙනාවා. ඒත් අවසානයේ ඉස්පිරිතාලවල බෙහෙත් ටික නැතිවුණා. අධ්‍යාපන පහසුකම් නැති වුණා. ලෝකය ඉදිරියේ බාල්දු වුණු රටක් බවට මේ රට පත්වුණා. අද ණය ගෙවා ගන්න බැරි, ආහාර ටික සපයා ගන්න බැරි ජනතාවක් බවට පත්වී තිබෙනවා. පැරණි ඉතිහාසයෙන් මිදිලා, ලෝකය ඉදිරියේ පිළිගන්නා රටක්, ජනතාවට හොඳ ජීවිතයක්, පොහොසත් රටක් නව ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. සැප්තැම්බර් 21 දා ඔය ආණ්ඩුව හදමු කියලා අපි යෝජනා කරනවා.

    අපට තීරණය කරන්න තිබෙන්නේ පැති දෙකයි. රට දුප්පත් කරපු, ඒගොල්ලන් පොහොසත් වුණු පරණ පාර. එහෙම නැතිනම් මේ රට අලුත් දිසාවකට යොමු කරලා, ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කරන්න යෝජනා කරන ජාතික ජන බලවේගයේ පාර. අපි කල්පනා කරන්න ඕනැ මේ දෙකෙන් මොකක්ද අපි තෝරා ගන්නේ කියලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදපුවාම, කවදාවත් අනේ අපොයි කියන්න සිදුවෙන්නේ නැහැ. මේ සැරේ තමයි තීන්දුව හරියට ගත්තේ කියලා සතුටු වෙන්න පුළුවන්. මම හෝ මේ වේදිකාවේ ඉන්න කිසිවෙකු හෝ මේ දේශපාලනය තෝරා ගත්තෙත්, ආණ්ඩු හදන්න ඕන කියන්නෙත් අපට යමක් උපයා ගන්න නොවෙයි. අපට ඕනැ මේ රට පොහොසත් රටක් කරන්න. අපට ඕනෙ මේ රටේ ජීවත් වෙන ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් දෙන්න. ඒ ඇයි? රස ආහාර වේලක් මොකක්ද කියලා දන්නේ නැතිව අපේ ගම්වල අම්මලා තාත්තලා මියැදෙනවා. 

    හොඳ පහසුකම් සහිත පාසලක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව අපේ දරුවෝ ඉගෙන ගන්නවා. අපේ තරුණ තරුණියන් විශාල ලෙස අවිනිශ්චිතතාවයකට පත්වෙලා තිබෙනවා. සෑම පැත්තෙන්ම වේදනාවට, දුකට පත්වුණු ජනතාවක් ඉන්නේ. මේක අපේ පරම්පරාවෙන් අවසන් කරන්න ඕනෑ. ඒකට අපි ආණ්ඩුවක් හදමු.  එකින් එක අපි පටන් ගනිමු. රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනෑ. අපිට ආයෝජකයෙක් ආව ගමන් බලන්නේ ඇමතියාට කීයක් දෙනවාද? කියලා. පාරක් හැදුවත් හොරකම් කරනවා, බෙහෙත්වලින් හොරකම් කරනවා. මේ හොරකම ආර්ථිකය වැටීමේ ප්‍රධාන සාධකයක්. හොරකම, වංචාව, දූෂණය නතර කිරීමකින් තොරව  අපේ රට හදන්න බැහැ. ඒ විතරක් නොවෙයි හොරකම් කරපු දේපළ ආපහු ගන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි.

    අපරාධවලට එරෙහිව සංවිධානාත්මක මෙහෙයුමක්

    ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය අපේ රටට අවශ්‍යයි. ලෝකයේ දියුණු හැම රටක ම නීතිය ඉදිරියේ හැමෝ ම සමානයි. අපේ රටේ ධනය, බලය තිබෙන කෙනාට එක නීතියක්, දුප්පත්, බලය නැති අයට තව නීතියක්. මේ නිසා මත්ද්‍රව්‍ය, අපරාධ විශාල ලෙස වැඩිවෙනවා. අපරාධ, මත්ද්‍රව්‍ය ව්‍යාපාර තිබෙන්නේ සංවිධානාත්මකව. මේවා පිටිපස්සේ දේශපාලනය තිබෙනවා. මේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සංවිධානාත්මක මෙහෙයුමක් යන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි. පළමුවෙන්ම අපේ ගම්වල දුප්පත්භාවය නැති කරන්න ඕනෑ. දුප්පත්භාවය කියන්නේ කන්න නැතිකම විතරක් නොවෙයි. දුප්පත්කම නිසාම, නොසැලකීමට ලක්කෙරෙනවා. අධ්‍යාපනය නතර වෙනවා. 

    අපි ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරනවා. දුප්පත්භාවයෙන් ගොඩ එන්න තිබෙන එක පාරක්  තමයි  අධ්‍යාපනය. අපි අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කරනවා. අපේ ගුරු පුරප්පාඩු තිබෙනවා. රැකියා නැති උපාධිධාරීන් ඉන්නවා. අපි ආරම්භයේදීම පුරප්පාඩු සඳහා විසි දහසක් බඳවා ගන්න සැලසුමක් හදා තිබෙනවා. කිලෝ මීටර් තුනක් ඇතුළත පහසුකම් සහිත පාසලක් හැම දරුවෙකුට ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් අපි හදනවා. නවය වසර හෝ දහය වසරේදී තෝරා ගැනීමේ විභාගයක් තියනවා. ඒ විභාගය අනුව දරුවයි, දෙමව්පියොයි, ගුරුවරයයි එකතු වෙලා දරුවාගේ දක්ෂතාවය අනුව දරුවාට යන්න තියෙන පාරට යොමු කරනවා. එවැනි පාරවල් ගණනාවකින් දරුවන් ඉස්සරහට ගෙනැල්ලා පාසලෙන්  එළියට එනකොට වෘත්තියවේදියෙක් හැටියට හෝ අධ්‍යාපනයෙන් ඉස්සරහට යන නව අධ්‍යාපන ක්‍රමයක් ජාතික ජන බලවේගය ස්ථාපිත කරනවා. අධ්‍යාපනය තමයි ගමේ දුප්පත්භාවය තුරන් කරන පාර.

    යලට මහට අතර මැද තව කන්නයක්

    අපේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කර ගන්න තිබෙන අනෙක් පාර තමයි කෘෂිකර්මාන්තය නගා සිටුවීම. අපි බීජ පර්යේෂණායතන දියුණු කරලා අඩු වියදම් සහිත හොඳ බීජ ගොවියාට ලබා දෙන්න සැලසුම් කොට තිබෙනවා. ගොවිතැනට අවශ්‍ය වතුර ලබාදීමට සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් පද්ධතිය පිරිසිදු කොට නැවත පැරණි කාලයේ පමණටම ජලය පුරවන්න තරමේ ධාරිතාවෙන් වැඩි කරනවා. මහ කන්නය යල කන්නය පමණක් නොවෙයි අතරමැදි කන්නයක් වගා කරන්න අවශ්‍ය වතුර ප්‍රශ්නය විසඳනවා. යෙදවුම්වලටත් සහනාධාර දීමේ වැඩපිළිවෙළක් අපි සකස් කරනවා. ගොවි ජනතාව ණය බරින් මිරිකිලා ඉන්නේ. අපි ඉතා හොඳින් සමීක්ෂණයක් කරලා, ගෙවා ගන්න බැරි ණය යම් ප්‍රමාණයක් කපා හරින්න අපි යෝජනා කර තිබෙනවා. ඒ වගේම අඩු පොලියට ණයක් ලබා ගන්න සංවර්ධන බැංකුවක් අපි ඇති කරනවා.

    මෝල් හිමියන් වෙත විශේෂ අවධානය

    ඊළඟට, අපි හැමදාම කියනවා වී සහ හාල් වෙළඳපොළේ විකෘතියක් තිබෙනවා. වී මිල තීරණය කරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක්. ඒගොල්ලන්ට පොළොන්නරුවෙ ම මිල තීරණය කරන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් පද්ධතියක් ම තිබුණා. ඒ පද්ධතිය කඩා වැටුණා. ලොකු මෝල් හිමියන්ට ණය දීල තමයි පොඩි මෝල් හිමියන්ට ණය දෙන්නේ. ලොකු මොල් හිමියා අඩු මිලට කිරලා, පොඩි මෝල් හිමිය වී කිරන්න එනකොට මිල වැඩි කරනවා. වැඩි කරලා මේ මෝල් පද්ධතිය ම කඩා වැට්ටුවා. අපි නැවත සුළු හා මධ්‍ය පරිමාණ මෝල් නගා සිටුවලා, ඔවුන් මුහුණ දීල තිබෙන මූල්‍ය දුෂ්කරතාවලට වැඩපිළිවෙළක් හදලා තව මෝල් හිමියන් ගණනාවක් නිර්මාණය කරනවා. වී සහ සහල්වල මිලත් සාධාරණ ලෙස තීන්දු කරන්න පුළුවන්. ගොවි ජනතාව ණය උගුලෙන් ගලවා ගන්නවා.

    නව පර්යේෂණ සහ නව සොයාගැනීම්

    ඉස්සර ලෝකයේ ආර්ථිකය හයිය තිබුණෙ අමු ද්‍රව්‍ය තිබුණ විදිහට. ලෝකයේ ඉස්සරහට වටිනාකම් හැදෙන්නේ දැනුමට. ලෝකයේ හැමතැනම අලුත් ආර්ථික ප්‍රවණතා හැදිලා තිබෙන්නේ නව නිර්මාණවලින්; නව නිපැයුම්වලින්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පර්යේෂණ හා සංවර්ධන අංශය, විද්‍යා හා තාක්ෂණය පැත්ත පුළුල් කිරීම සඳහා සැලසුමක් සකස් කොට තිබෙනවා. අලුත් පර්යේෂණ කරනවා. අලුත් සොයා ගැනීම් කරනවා. ඒවායෙන් නිර්මාණ ඇති කරනවා. අපි දෙදහස් තිහ වෙනකොට  අයි.ටී. ඉංජිනේරුවන් ලක්ෂ දෙකක් හදනවා. ඒ මානව සම්පත් ගම්වලට ගලාගෙන යනවා. නව ආදායම් මාර්ග ඉපැද්දෙනවා. ගම්වල ජීවිතය උසස් වෙනවා. ඒ වැඩේ කරන්න තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ඉල්ලන්නේ. එක පැත්තකින් රට පොහොසත් වෙන්න ඕනෑ. ජනතාවට මුදල් ගලාගෙන එන්න ඕනෑ. අපේ රට දුප්පත් වුණා. පාලකයා පොහොසත් වුණා.

    සෙකන්ඩ් ක්ලාස් වැඩ ඉවරයි

    ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පියවරෙන් පියවර: අපේ රට පොහොසත් කරන, ජනතාවගේ ජීවිතය ලස්සන කරන ආර්ථිකයක් හදනවා. අද ආණ්ඩුව අරගෙන හෙට මේ වෙනස කරන්න බැහැ. එතකන් ජනතාව බලා ගන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ දෙදහස් හතළිස් අටේ දී ආර්ථිකය හදනවාලු. හතළිස් අටේ දී ආර්ථිකය හදනකම් මිනිසුන්ට කන්න නැතිව, බෙහෙත් ගන්නෙ නැතිව, දරුවා ඉගෙන ගත්තේ නැතිවට කමක් නැහැ. අපි අධ්‍යාපනය ගන්න බැරි, ආහාර ගන්න බැරි, සෞඛ්‍ය පහසුකම් ගන්න බැරි, පවුල්වලට ආරම්භයේ සිටම රුපියල් දහදාහක අවම මුදලක් ගෙවන්න සැලසුම් කොට තිබෙනවා. ගොඩක් අමාරු නම් දහ දාහට වඩා වැඩි මුදලක් ගෙවන්න සූදානම්. හැමදාම ද? හැමදාම ඕන ද?

     අපේ ගම්වල ජනතාව අතපාලා ජීවත්  වුණු ජනතාවක් නොවෙයි. ගෞරවයක්, වටිනාකමත් තියාගෙන හිටි ජනතාවක්. වී කඳු පිටින් ගොඩගැහුවා. අපේ ගම්වල මතයක් තිබුණා කඩෙන් හාල් කන එක සෙකන්ඩ් ක්ලාස් වැඩක් කියලා. වී තම්බලා හාල් කොටාගෙන කෑවා. වී කඳු ගෙවල්වල ගොඩගහපු පොළොන්නරුවේ ජනතාව. අද හාල් කිලෝ දහයක් ගන්න පෝලිමේ යනවා. ජනතාව දුප්පත්භාවයේ ගිලිටීනයට තල්ලු කළා. අපි මාසිකව දහදාහක දීමනාවක් ගෙවනවා, ආර්ථික වැඩපිළිවෙළ හදලා ආර්ථිකයෙන් ජනතාව පොහොසත් වෙන තෙක් මේ මුදල දෙනවා. අධ්‍යාපනයට, ආහාරවලට, සෞඛ්‍යයට මේ ආණ්ඩුව ගසා තිබෙන බද්ද අයින් කර, ඒ සඳහා යන වියදම අඩු කරනවා.

    සුළං බලයෙන් විදුලිය

    ඒ වගේම අවුරුදු එකහමාරක්, දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල තුනෙන් එකක් අඩු කරන්න පුළුවන්. අනාගතයේ සියයට අසු පහක් පමණ බලය උපදවන්නේ පුනර්ජනනීය බලශක්තියෙන්. මන්නරාම් ද්‍රොණියේ සුළං බලයෙන් ගිගාවොට් හතළිහකට වැඩිය නිපදවන්න පුළුවන්. දෙදහස් හතළිහ වෙන විට අපේ රටට මුළු ඉල්ලුම ම ගිගාවොට් අටයි. අපට සුළංවලින් විතරක් මෙගාවොට් හතළිස් දාහක් විතර හදන්න පුළුවන්. අපට විශාල විභවතාවක් තිබෙනවා. එතනට අපි ආයොජනය ගෙනත් මේ සුළං බලය හදන්න ඕනෑ. මේ ගොල්ලොත් ගෙනාවා අදානිව. අදානි විදුලි ඒකකයක් හදන්න ඩොලර් සත අටයි දශම දෙකයි දෙකක් ගන්නවා. හැබැයි ඒ අදානිම ඉන්දියාවේ සුළංවලින් හදනවා ඩොලර් සත හතරට අඩුයි. ඇයි ඒ? ඇමතියාට ගාන දෙන්න ඕනෑ. ඒ ව්‍යාපෘති ගැන නැවත සැලකිල්ලට ලක්කරලා, සුළං බලයෙන්, සූර්ය බලයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘති ඉස්සරහට ගෙනත් අඩු මිලට විදුලියත්, අතිරේක විදුලිය එළියට යවන්නත් සැලසුමක් ජාතික ජන බලවේගය හදා තිබෙනවා.

    විධිමත් සුව සේවයක්


    අපේ සෞඛ්‍ය සේවය හොඳ මට්ටමක නැහැ. කොහෙන්ද බෙහෙත් ගන්නේ කියලා ලෙඩා තමයි තීරණය කරන්නේ. බෙහෙත් ගැනීම තීරණය කරන්නේ ප්‍රාථමික වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයා ලෙඩාගේ ස්වභාවය බලලා, එයා තමයි ලෙඩේට ප්‍රතිකාර ගන්න යන්න ඕන තැන තීරණය කරන්නේ. යම් පවුල් සංඛ්‍යාවක් තීරණය කරලා, ඒ පවුල් සංඛ්‍යාවට වෛද්‍යවරයෙක් යොදනවා. ලෙඩා ඉස්සෙල්ලාම යන්න ඕනෙ තමන්ගේ වෛද්‍යවරයා ළඟට. එයා ළඟ ඉතිහාසය තිබෙනවා. පවුලේ පරම්පරාවේ රෝග තිබෙනවාද? සියලුම විස්තර ඔහු සතුව තිබෙනවා. එයා යා යුතු ස්ථානයට ලිපියක් දෙනවා. සෞඛ්‍ය සේවය විධිමත් වෙනවා. අද තිබෙන සෞඛ්‍ය සේවය අවිධිමත්. පෝලිමේ ඉන්න ඕන නැති, දොස්තර මහතා ලෙඩා ගැන දන්නවා, එහෙම තමයි විධිමත් සෞඛ්‍ය සේවයක් වෙන්න ඕනෑ.

    ස්කූටි ඕනෙ ම ද...?

    ප්‍රවාහනයත් ප්‍රධාන ප්‍රශ්නයක්. ලෝකයේ ගොඩක් රටවල්වල පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහනය; දිරි දෙන්නේ පොදු ප්‍රවාහනයට. අපි වැඩිපුර පොදු ප්‍රවාහනය දිරි ගන්වනවා. කාර් එකට මාසෙකට තිස්පන් දහසක් වියදම් වෙනවා. ප්‍රවාහනයට තමන්ගේ වැටුපෙන්, තමන්ගේ ආදායමෙන් ඒතරම් දරන්න ඕනෑද? අද ගාමන්ට්වල වැඩකරන සහෝදරියන් ඉස්සෙල්ලා ම ගන්නේ ස්කූටියක්. පඩිය හතළිස් දාහයි; ස්කූටියට මාසෙකට කැපෙනවා තිස්පන් දහසක්. අන්තිමට මුළු පඩියම ස්කූටියට. පොදු ප්‍රවාහනය පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් හදනවා.  තමන් කැමති නම්, ආදායම හොඳ නම්, දරා ගන්න පුළුවන් නම්, කාර් එකක් ගන්න. අද දරා ගන්න පුළුවන් හන්දා නෙමෙයි ගන්නේ. යන්න එන්න වෙන විදිහක් නැති නිසා. විශ්වාසවන්ත, පහසුකම් සහිත, හොඳ ප්‍රවාහන සේවයක් නැති නිසා.

    පොර බැදුවොත් හොඳ රටක්

    අධ්‍යාපනයේ බර අඩුවෙන, ප්‍රවාහනයේ බර අඩුවෙන, සෞඛ්‍ය සේවයේ බර අඩුවෙන ආණ්ඩුවක් අපට ඕනෑ නැද්ද? එහෙම ආණ්ඩුවක් තමයි අපි හදන්නේ. ජාතික ජන බලවේගය මේ සැලසුම් කොට තිබෙන්නේ රට ඉතාම දියුණු කරන, සැලසුම් සහගත ආර්ථික වැඩපිළිවෙළක්. අවුරුදු හතරක් පහක් හොඳට පොර බැදුවොත් හොඳ රටක් බවට මේ රට පත්කර ගන්න  පුළුවන්. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙන්න ඕනෑ. මේකෙ අවස්ථා දෙකක් තිබෙනවා. එක බලය ගැනීම. දෙක බලය අරගෙන රට හදන එක. දැන් තිබෙන්නේ බලය ගන්න එක. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට කතිරෙ ගහලා පුරවන්න ඕනෑ. මේ ටික දවසේ අපි මහන්සි වෙමු. ශක්තිමත් ජන වරමක්, සැප්තැම්බර් විසි එක්වෙනිදාට ලබා දෙන්න. අපි ඉස්සෙල්ලා ආණ්ඩුව හදමු. පස්සේ අපි හැමෝම එකතු වෙලා මේ රට හදමු.’’

  • 2024 පළමු කාර්තුවේ කොළඹ වරාය ලොව හොඳම වර්ධක වරාය වෙලා !

    කොළඹ වරාය 2024 වසර තුළ 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කරමින් මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර ඇති බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර  පැවසීය.

    එසේම 2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබා ඇති බවද පෙන්වා දුන් ඒ මහතා එම ප්‍රගතිය අත්පත් කර ගැනීමේදී පසුගිය කාලය තුළ පැවති විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිදු බාධාවක් නොවූ බවද සඳහන් කළේය.

    වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර  මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර  මෙසේද පැවසීය.

    කොළඹ වරායේ මෙහෙයුම් කාර්ය සාධනය සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන තිබෙන බව මම මුලින්ම සඳහන් කිරීමට කැමතියි. 2024 වසර තුළ කොළඹ වරාය 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    අප මේ ප්‍රගතිය ලබා ගත්තේ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ද සිදුවන අතරතුරයි. නමුත් ඒවා අපගේ කටයුතු සඳහා කිසිදු බාධාවක් වූයේ නැහැ. 2023 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ලාභයක් වාර්තා කළ අතර 2024 වසරේ පළමු කාර්තුවේ දී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ලාභයක් ලබා තිබෙනවා.

    මෙම මෙහෙයුම් කටයුතු සඳහා පර්යන්ත හතරම දායක වී තිබෙන බව කිව යුතුයි. මෙම පර්යන්තවල මෙහෙයුම් ධාරිතාව වර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට සිදු වනවා. ඒ අනුව ECT හා බටහිර පර්යන්තයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතින අතර බටහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු 2025 පෙබරවාරියේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම නැගෙනහිර පර්යන්තය සහ උතුරු වරාය සංවර්ධන කටයුතුද සිදු කෙරෙනවා.

    එසේම ත්‍රිකුණාමලය, ගාල්ල, කන්කසන්තුරය යන වරායවල සංවර්ධන කටයුතු ද සිදු කරමින් තිබෙනවා. ඒ වගේම කන්කසන්තුරය වරායේ අලුතින් ඉදිකරන ලද පර්යන්ත ගොඩනැඟිල්ල තොටුපළ මෙහෙයුම් සඳහා යොදා ගනිමින් සෑම සිකුරාදාවකම ඉන්දියාවේ සිට මගී යාත්‍රා සේවයක් ක්‍රියාත්මක වේ.

    එසේම ගුවන් සේවා මෙහෙයුම් ද 2023 වසරට සාපේක්ෂව 25%ක ප්‍රගතියක් ලබා තිබෙනවා. මෙහිදී මගී මෙන්ම භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර 2023 වසරේ 36ක් වූ ගුවන් සේවා පැමිණීම් 2024 වසරේ ජූලි මාසය වන විට 46 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

  • 2026දී ළමයින්ටත්, දෙමව්පියන්ටත්, ගුරුවරුන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා - අගමැතිනි

     ළමයින්ටත්, ගුරුවරුන්ටත්, දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරනවා. මේක කරන්නේ ජනප්‍රිය වෙන්නවත්, ඡන්දේ ගන්නවත් නෙමෙයි, අපේ රටේ අධ්‍යාපනය නිවැරදි කරන්න ඕන කියන අවංක අදහසින්..... පසුගිය කාලයේ ගුරුවරුන් බඳවා ගැනීම නිසි පරිදි සිදුවී නොමැති බවත්, ඉදිරියේ දී පුරප්පාඩු අනුව ගුරුවරුන් බඳවා ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පොල්ගහවෙල, වීරඹුගෙදර, පිදුරුවැල්ල, පිල්ලැස්ස, මාවතගම සහ පරගහදෙනිය යන ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් ඇය මෙසේ පැවසුවාය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

    ‘‘රජය සෑම ක්⁣ෂේත්‍රයකම තිබෙන ගැටළු හදුනා ගනිමින්, ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරමින්, අවශ්‍ය දක්ශ නිලධාරීන් තෝරාගනිමින් රජය කටයුතු කරගෙන යනවා. ඒ ව්‍යාපෘති ගමට ගේන්න මේ මැතිවරණය අපිට සුවිශේෂයි.

    දේශපාලනයේ ඉහළ ස්ථරය සුද්ධ කලා වගේම බිම්මට්ටමත් පිරිසිදු විය යුතුයි.

    අපේ ප්‍රතිවාදී කණ්ඩායම් වලට තියෙන්නේ වෙනස් වුවමනාවක් මේක විපක්ෂයට දේශපාලන පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් කියලා අපිට තේරෙනවා.

    නමුත් අපිට පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. රජයේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අපිට පාලන ව්‍යුහය හරියට හදාගෙන ඉන්න ඕන.

    මම දැක්කා එක්සත් ජාතික පක්ෂය කියලා තියනවා අගෝස්තු වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා කියලා. මං දන්නෑ කොහොමද ඒක වෙන්නේ කියලා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස දෙසැම්බර් වෙනකොට ජනාධිපති වෙනවා කියලා කිව්වා ඇත්තටම මං දන්නෑ කොහෙන් මතුවෙන අදහස් ද කියලා.

    විහිලු සපයන ඒ ව්‍යාපාර දිහා අනුකම්පාවෙන් බලලා අපේ ගමන අපි යන්න ඕනේ. අපේ ගමන අපිට හරියට යන්න අවශ්‍ය ඒ කණ්ඩායම පත් කරලා එවන්න එක තමයි ඔබ කරන්න ඕන.

    දේශපාලන සංස්කෘතිය තුළ අපි කරලා තියෙන වෙනස ජනාධිපති සහෝදරයා ජනාධිපති වුණ මොහොතේ සිටම ඔබ දකින්න ඇති. අපි මේ රටේ ජනතාවට බරක් නොවන විදිහට ආණ්ඩුව ගෙනියන්න සෑම උත්සාහයක්ම ගන්නවා. දේශපාලනඥයන්ට ඕන විදිහට නටන්න අපි ඉඩතියන්නේ නැහැ.

    අමතර වියදම්, නාස්තිය, හොරකම් සියල්ල නතර කරලා තියෙන්නේ. තවදුරටත් අපිට කාටවත් දැන් චෝදනා කරන්න බැහැ හොරකම් කරනවා කියලා.

    මේ වෙනකොට මහනුවරට විශාල පිරිසක් පැමිණෙනවා.
    මහනුවර දළදා වන්දනාවට ගිය බැතිමතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම් ජනතාව පල්ලිය විවෘත කරලා දුන්නා, ව්‍යාපාරික ස්ථාන විවෘත කරලා දුන්⁣නා රටේ ජනතාව තුළ එවැනි සාමූහික හැගීමක් ඇති වෙලා තිබෙනවා.

    අපේ දරුවන්ට දැනුම තිබුණත් ලෝකය ඉදිරියට යන්න පුළුවන් කුසලතා ආකල්ප වර්ධනයේ බරපතල ගැටළු තියෙනවා.

    එතකොට ඒක විතරක් නෙවෙයි ඊටත් එහා ගියොත්ඒ කියන්නේ අධ්‍යාපනයේ අඩුම තරමේ ඒ දැනුමක ආකල්ප සහ කුසලතා අධ්‍යාපන ක්‍රමය තුළ හරියට සිද්ධ වෙන්නේ නැති නිසා විශාල සමාජයක් අර්බුධයක් නිර්මාණය වෙලා තිබෙනවා.

    පාසල් අතර විෂමතාවයක් තියෙනවා. හොඳ පාසල් හොඳ නැති පාසල්, ජනප්‍රිය පාසල් ජනප්‍රිය නොවන පාසල්, පාසැල් අතර විශාල තරගකාරීත්වයක් ඇතිවෙලා තියෙනවා. උසස් පෙළ හදාරන ළමයි පාසල් යන්නේ නැහැ. පාසලට යන්නේ රෙජිස්ටර් එකේ නම දාගන්න විභාග විභාගයට පෙනී සිටින්න විතරයි. පිරිමි දරුවන් සීග්‍රයෙන් අධ්‍යාපනයෙන් හැලෙනවා. පාසල් තුලත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නෙ දැනුම විතරක් නෙවෙයි සමාජයට අවශ්‍ය ගුණාංග, අධ්‍යාත්මික දියුණුවත් අවශ්‍යයි.

    මේක වෙනස් කරන්න අපි මැදිහත් වෙන්න ඕනේ. එතකොට අධ්‍යාපනයෙන් මේ ආර්ථිකයට මේ සංවර්ධන සැලැස්මට සම්බන්ධ වෙන්න පුළුවන් කුසලතා තියෙන පිරිසක් බිහිවෙන්නත් ඕනේ.

    ගුරු විද්‍යාපිඨ වල ලබා දෙන්නේ පුහුණුවක් නෙමෙයි ඒක නවක වදය වගේ එකක්. නේවාසික පහසුකම් නෑ, සනීපාරක්ෂක පහසුකම් නෑ, ඉගෙනුම් පහසුකම් නෑ, වසර පහලොවකින් විෂය නිර්දේශ වෙනස් වෙලා නෑ, ගුරුවරුන් පුහුණු කරන්න සුදුසු ආචාර්ය මණ්ඩල නෑ මේ සියල්ලම අපිට නිවැරදි කරන්න වෙලා තිබෙනවා.

    ජර්මනියේ අවුරුදු 9ක් පුහුණු වුණාට පස්සේ තමා දරුවන්ට උගන්වන්න දෙන්නේ නමුත් අපේ රටේ මොනවද කරන්නේ. ඒ තත්ත්වයට නැතත් තියන තත්වයෙන් ඉදිරියට යන්න අවශ්‍ය වටපිටාවක් හදන්න ඕන. පාසල්වල විශාල ගුරුහිගයක් තිබෙනවා. සමහර පාසල් වල ගුරුවරුන් බෙදීයාමෙි විෂමතා තිබෙනවා. පසුගිය කාලයේ නිසි පරිදි ගුරුවරුන් බඳවාගෙන නැහැ. ඉදිරියේ දී පුරප්පාඩු අනුව ගුරුවරුන් බඳවා ගන්න අවශ්‍ය කටයුතු අපි සැලසුම් කරමින් යනවා.

    පාසල්වල විෂය මාලා හඳුන්වා දීම, ගුරු පුහුණුව, පාසැල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය සිදු කරන්න අපි කටයුතු කරමින් යනවා. ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය තුළ බරපතල ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ පිළිබඳ නිවැරදිව නිරීක්ෂණය කරලා අවශ්‍යතා හදුනාගෙන අවශ්‍ය නිර්දේශ කඩිනමින් ලබා දෙන්න මේ වන විට කමිටුවක් පත් කර තිබෙනවා.‘‘

  • ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරය නැවතත් ජෙනරාල් ශවේන්ද්‍රට

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නැවත වතාවක් පත්කර තිබේ.

    ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.

    ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වේ.

    ඔහු ප්‍රථම වරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ 2022 ජුනි 1 වැනිදාය.

    යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා 2022 මැයි 31දා යුද හමුදාපති ධුරයෙන් ඉවත්ව යාමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කරනු ලැබිය.

  • එජාප මහ ලේකම් ධූරය : පාවාදීම සූදානම් වූ රංගේ දොට්ට : තනතුර තලතාට !

    එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ පාලිත රංගේ බණ්ඩාර එම ධූරයෙන් ඉවත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    වාර්තා වන ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (29) රංගේ බණ්ඩාර ඉවත් කිරීමට අදාළ ලිපියට අත්සන් තබා ඇත.

    වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව පාලිත රංගේ බණ්ඩාර පසුගිය කාලයක් තිස්සේ සිය ධූරයට අදාළ වගකීම් කිසිවක් ඉටුකර නොමැති.

    දේශපාලන කරළිය තුළ මේ සම්බන්ධයෙන් පැතිර ගිය තොරතුරු අනුව ඔහු සමගි ජනබලවේගය සමඟ එක්වීමට නියමිතව සිට තිබේ.

    මේ අතර වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පසුගියදා සමගි ජනබලවේගය පක්ෂය අත් හැර පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය සඳහා නම් කිරීමට නියමිත ය. කෙසේ වුවත් ඇය මෙතෙක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බවක් සඳහන් කර නොමැති බවද වාර්තා වෙයි.

  • ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

    අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.

    වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා රහස් ඔත්තු සේවා සාමාජිකයෙකුගේ වෙඩි ප්‍රහාරවලින් ජිවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    රහස් ඔත්තු සේවාව සඳහන් කර ඇත්තේ, වෙඩි තැබීමෙන් මැතිවරණ රැලියට සහභාගී වූ පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි වැදී බරපතළ තුවාල සිදු වී ඇති බව ය.

    ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කරනු ඇත.

  • දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරුන් !

    ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    IMG 20240502 WA0018

    IMG 20240502 WA0017

  • දෙවැනි මනාපය ගණන් කිරීම ඇරඹෙයි

    කිසිදු අපේක්ෂකයෙකුට පරම බහුතරයක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක  අද (22) කැඳවූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

    ඒ අනුව ලංකා ඉතිහාසයේ මුල්වරට ජනාධිපතිවරණයක දෙවෙනි මනාපය ගණන් කිරීම ආරම්භවී තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක,

    "මැතිවරණ කොට්ඨාසවල දෙන ලද වලංගු ඡන්දවලින් එක් අඩකට වැඩි සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකු ලබා නොමැති බැවින් ඉතාම වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් අනුර කුමාර දිසානායක හා ඊළඟට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් සජිත් ප්‍රේමදාස  හැර අනෙක් අපේක්ෂකයන් තරගයෙන් ඉවත්කළ බව නිවේදනය කරමු."

    "එසේ තරගයෙන් ඉවත්කරනු ලැබූ අනෙක් අපෙක්ෂකයන්ගේ දෙවැනි හා තුන්වැනි මනාපය තරගයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබාදී ඇත්ද යන්න ගණනය කිරීම 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබඳ පනතේ 57, 58, 59 සහ 60 යන වගන්තිවලට අනුකූලව සිදුකළ යුතු බව මැතිවරණ කොට්ඨාස භාර තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම්දී ඇති බව නිවේදනය කරමු."

    "ගණන්කිරීමේ ශාලාවලින් මනාප ගණන්කර එහි ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන්වෙත දැනුම්දෙන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා."

    "ඉන් අනතුරුව මැතිවරණ කොට්ඨාසයේ සියලුම ගණන්කිරීමේ ශාලාවලින් තරගයේ සිටින අපේක්ෂයන්ගේ වාසියට ලබාදී ඇති මනාප සංඛ්‍යාව ගණනය කර මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා කරන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා."

    "මැතිවරණ කොට්ඨාසවලින් ලැබෙන ප්‍රතිඵලය මාධ්‍ය වෙත නිකුත් කරනු ඇත. ඉන් අනතුරව මැතිවරණ කොට්ඨාස 22හිම තරගයේ සිටින අපේක්ෂකයින් දෙදෙනාගේ වාසියට ලබාදී ඇති මනාප එකතු කරනු ලබනවා."

  • පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක්

    පැපුවා නිව් ගිනියාවේ අද (07) රිච්ටර් මාපක 6.7ක භූ කම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යාව පිලිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය ඒ බව තහවුරු කරමින් නිවේදනයක් ද නිකුත් කර ඇත.

    කි.මී.10ක භූ අභ්‍යන්තරයේ එය සිදුව ඇතැයි වාර්තා වේ.

     

    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/7/2025

  • පිරිවෙන් සිසු සිසුවියන්ට හෙට (24) ජනපති ශිෂ්‍යත්ව !

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (24) පස්වරු 3.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

    මෙතෙක් මෙරට කිසිඳු අවස්ථාවක පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිමත් කෙරෙන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක නොවු අතර ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව දිවයිනම ආවරණය වන පරිදි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයකි.

    පිරිවෙන්(සාමාන්‍ය පෙළ) දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සීල මාතාවන් හා අ.පො.ස (සාමාන්‍ය පෙළ)දක්වා ඉගෙනුම ලබන ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මසකට රුපියල් 3000/-බැඟින් මාස 12 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම මෙහිදී සිදු වන අතර හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ හෙට දින මෙම සිසුන්ගේ ගිණුම්වලට රුපියල් 9000/-ක් සෘජුවම බැර කිරීමටත් එතැන් සිට මසකට රුපියල් 3000/-බැගින් ගෙවීම් කිරීමටත් කටයුතු කෙරේ.

    එසේම පිරිවෙන් (සාමාන්‍ය පෙළ)/අපොස(සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට විභාගය සමත්ව පිරිවෙන් ප්‍රාචීන විභාගය සඳහා හෝ අපොස (උසස්පෙළ)විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විභාගයට පෙනී සිටින මාසය තෙක් මසකට රුපියල් 6000/- බැගින් මාස 24 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ද නියමිත අතර හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ ශිෂ්‍යත්ව ප්‍රදානොත්සවය පැවැත්වෙන දින මෙම එක් එක් ශිෂ්‍යත්වලාභියාගේ ගිණුමට රුපියල් 18000/-ක මුදලක් එකවර බැර කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට කැඳවා නැති අනෙකුත් ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ඉදිරි දිනවලදී සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුම්වලට වාරික මුදල් ගෙවීමට කටයුතු කරනු ලැබේ.

    මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාල සියලුම ශිෂ්‍යත්වලාභීන් තෝරාගෙන ඇත්තේ එක් එක් පිරිවෙනේ පරිවේණාධිපති හිමියන් /ආයාතනාධිපති හිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් වන අතර සියලු කටයුතු අධීක්ෂණය කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පිරිවෙන් අධ්‍යාපන අංශ මගිනි.

    මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජනාධිපති අරමුදලෙන් වසරකට වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 300කට ආසන්නය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන දිවයිනේ 10126ක් වන සියලුම පාසල් ආවරණය වන පරිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 106000ක් තෝරාගෙන උසස්පෙළ හදාරන සිසුන් සඳහා මාසිකව රුපියල් 6000/- බැගින් මාස 24 කාලයක් හා 1ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මසකට රුපියල් 3000 /-බැගින් මාස 12ක කාලයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනේ පළමු අදියර ද මේ වන විට අවසන් වෙමින් පවතී.

    සහන අවැසි කිසිවකු මෙම අවස්ථාවේදී අත්නොහැරිය යුතුය යන ජනාධිපතිවරයාගේ සංකල්පය අනුව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

  • රයිස්, කොත්තු ඇතුළු ආහාරවල මිල පහළට

    අද (05) මධ්‍යම රාත්‍රියේ සිට කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 25කින් අඩු කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි.

    එසේ ම, කෙටි ආහාර වර්ගවල මිල ගණන් රුපියල් 10කින් අඩු කර ඇති අතර ප්ලේන්ටි එකක් රුපියල් 5කින් අඩු කළ බව ඔහු සඳහන් කළේ ය.

    ඔහු තවදුරට ත් සඳහන් කළේ, එළවළු, බිත්තර සහ ගෑස් මිල අඩු වීම නිසා පාරිභෝගික ජනතාවට එම සහනය ලබා දුන් බව ය.

    කිරි තේ එකක මිල අඩු ගණන් සංශෝධනය නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරට ත් පැවසීය.

    කිරි පිටි මිල ගණන් රජයට තව අඩු කිරීමට හැකි අතර කිරි පිටි සූරාකෑම නිසා කිරි තේ එකක මිල අඩු කිරීමට නොහැකි බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

  • විශ්‍රාම වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීමට කැබිනට් අනුමැතිය

    සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව යෝජිත අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සමාගම් දෙකෙහි අරමුදල්වලින් රුපියල් මිලියන 844ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

    මීට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබු අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ලැබීමට මේ වන විටත් සේවකයින් 267 දෙනෙකු කැමැත්ත පළ කර ඇති බවය.

    ඒ අනුව, රාජ්‍ය ව්‍යවසායයන්හි අතිරික්ත සේවකයින් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශයන්ට යටත්ව, සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව සේවකයින් සඳහා ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

  • ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සහාය අඛණ්ඩව

    මෙරට සංචාරයක නිරත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපති ෆ්‍රැන්සුවා වැලරියන් (Mr. François Valérian)  සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර හමුවක් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් විණි.

    රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම පවත්නා දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා රජය දරන අඛණ්ඩ ප්‍රයත්නය මෙහිදී ෆ්‍රැන්සුවා වැලරියන් වෙත පැහැදිලි කළ ජනාධිපති ලේකම්වරයා දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළ කිහිපයක්ම ආරම්භ කර ඇති බවත්, ඒවා දැනටමත් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවත් සඳහන් කළේය.

    අල්ලස සහ දූෂණය තුරන් කිරීම, රාජ්‍ය අරමුදල් ඵලදායී ලෙස භාවිතා කිරීම සහතික කිරීම සහ රට තුළ සුපිළිපන්න සංස්කෘතියක් ඇති කිරීම යන පුළුල් අරමුණු ඇතිව අල්ලස සහ දූෂණය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහාද වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති ලේකම්වරයා පැවසීය.

    මෙහිදී, අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම මෙන්ම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හඳුන්වා දුන් පියවරද අගය කළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපතිවරයා, දූෂණ විරෝධී ඉලක්ක ඉදිරියට ගෙන යාමේදී රජය සහ සිවිල් සමාජය ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය දැක්වීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කැප වී සිටින බවද පැවසීය.

  • සජිත්ට ගැළවිල්ලක් නෑ : ජුනි 6 විවාදයට අනුර සූදානම් !

    ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ සමගි ජනබලවේගය පක්ෂයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය ජුනි 06 පැවැත්වීමට තම පාර්ශ්වය සූදානම් බව ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක කමිටු සාමාජික නලින්ද ජයතිස්ස අද (20) පැවසීය.

    මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කර සිටියේ සජබ වෙනුවෙන් අදාළ විවාදයේ කටයුතු සූදානම් කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ඊයේ (19) යොමුකළ ලිපියට ප්‍රතිචාර දක්වමින්ය.

    ඒ අනුව නලින්ද ජයතිස්ස පවසා සිටියේ , අදාළ විවාදය සඳහා අභියෝගය ලබාදුන් අවස්ථාවේ තම පාර්ශ්වය ඒ සඳහා දින කිහිපයක් ලබාදුන් නමුත් සජබ ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බවය. අනතුරුව තම පක්ෂය විසින් මැයි 20 වනදාට පෙර අදාළ විවාදය සඳහා දින නියම කළත්, ඒ සම්බන්ධවද ප්‍රතිචාර නොදක්වා සිටි සජබ , ඊයේ ලිපියක් යොමුකරමින් දින කිහිපයක් ඉදිරිපත් කර , ඉන් එක් දිනයක් විවාදය සඳහා තෝරාගන්නා ලෙස දැනුම්දී ඇති බවද ඔහු පැවසීය. ඒ අනුව සජිත් ප්‍රේමදාස  සමග විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බවට ප්‍රකාශ කළ නලින්ද ජයතිස්ස ඒ අනුව සමගි ජන බලවේගය විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත් කළ නලින් බණ්ඩාර මහතා සමඟ ස්ථානය, වේලාව, විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  • ''ආණ්ඩුව හොඳ ගමනක් යනවා''- එස්.බී. දිසානායක

    ජාතික ජන බලවේග ආණ්ඩුව ඉතාම හොඳින් ලෝකය දිනාගෙන ඉදිරියට යමින් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පැවසීය.

    මේ ගමනේදී ජපානය, චීනය, වියට්නාමය වැනි රටවල් ලංකාවට උදව් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ හිටපු අමාත්‍යවරයා චීන කොමියුනිස්ට් ආණ්ඩුව කළ ආකාරයටම ආයෝජකයන් අතර විශ්වාසය තහවුරු කර අයෝජකයන් රටට නොපමාව කැඳවාගත යුතු බව ද අවධාරණය කළේය.

    ආණ්ඩුව ශක්තිමත් වෙමින් පවතින බවත් විපක්ෂය දවසින් දවස දුර්වල වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

    එස්බී දිසානායක මෙසේ පැවසුවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

     (lankadeepa | සුජිත් හේවාජුලිගේ)

  • ''ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම බලශක්ති ක්ෂේත්‍රයට ශක්තියක්''

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති යලි ක්‍රියාත්මක කිරීමට හැකි වන බවත් එය බල ශක්ති අර්බුදය විසඳාගැනීමට මහත් පිටුවහලක් වන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ  සඳහන් කළේය.

    රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්වල නිරතව සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ  මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    පසුගිය අර්බුද සමයේ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති ගණනාවක්ම අතරමඟ ඇනහිටියා. නමුත් මේ වන විට ද්වීපාර්ශ්වික ණයහිමි රටවල් සමඟ අවබෝධතාවයට පැමිණ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ නිසා විදෙස් රටවල ණය ආධාර මත ආරම්භ කළ නමුත් පසුව අතරමඟ නවතා දැමුණු එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට අවශ්‍ය නීතිමය තත්ත්වය සම්පූර්ණ වී තිබෙනවා. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම රටේ පවතින බලශක්ති අර්බුදය විසඳා ගැනීමට මහත් පිටුවහලක් වන බව කිව යුතුයි.

    ඒ වගේම වහල මත සවි කෙරෙන සූර්ය පැනල ආධාරයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා වැයවන පිරිවැය පිළිබඳව විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල අමත්‍යාංශය එක්ව අදාළ ගණනය කිරීම් සිදු කර තිබෙනවා. ඒ අනුව මිල ගණන් පහළ දැමීමට හැකි වී තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉකුත් සතියේ ඉදිරිපත් කළා. ඒ අනුව අඩු මිලකින් විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම් සඳහා යොමුවීමට අපට හැකි වී තිබෙනවා. මෙවැනි පියවර ගැනීම හමුවේ විදුලි බල මණ්ඩලය පාඩු නොලබන තත්ත්වයකට පත් කිරීමට හැකි වී තිබෙනවා.

    තව ද අදානි ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයනයන් සහ පරිසර වාර්තා මෙන්ම ඊට අදාළ වැඩිදුර කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා. අනතුරුව පවතින මිල ගණන් අනුව කටයුතු කළ හැකි ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

    රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ගේ නිරතව සිටින බවක් පෙන්නුම් කෙරෙනවා. ඔවුන් උමාඔය සහ සාම්පූර් වැනි විදුලි බලාගාර නිර්මාණය කිරීමේ දී ද අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් කටයුතු කළා.

  • ''මෙය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක්'' - අගමැති

    දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක් බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනක දී ය.

    එම වැඩසටහනේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...

    පාසල් හෝ ගුරුවරු පමණක් ඉලක්ක කළ පනතක් නොවේ

    "මේක පාසල් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. මේක දරුවන්ට දෙන ශාරීරික සහ මානසික දඬුවම් පිළිබඳ ප්‍රශ්නයක්. පාසලේ විතරක් නෙවෙයි, ඔබ දන්නවා පොලිසිය විසින් පරිවාසය භාරයට ගත්ත දරුවන්ට, ආයතනගත දරුවන්ට, අතරමං වෙච්ච දරුවන්ට වගේ ම සමාජයේ ඉන්න සියලු ම දරුවන්ට එල්ල වෙලා තියෙන ප්‍රශ්නයක්. ඒක ශාරීරික වත්, මානසික වත් සිදු වෙනවා.

    සමාජයේ වැඩිහිටියන්ගෙන් නැත්නම් වගකිව යුතු අයගෙන් ඒ දරුවන්ට සිද්ධ වෙලා තියෙන හිංසනය පිළිබඳ බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තියෙනවා. මේක පාසල් ඉලක්ක කරගෙන නැත්නම් ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වෙච්ච නීතියක් නෙවෙයි. මේක සමස්තයක් හැටියට දරුවන්ට දඬුවම් දීම පිළිබඳ සංශෝධනයක්.

    ශාරීරික දඬුවම් පිළිබඳ වත් මානසික හිංසනය පිළිබඳ වත් විශේෂයෙන් ම ආයතනගත වෙච්ච දරුවන්, පොලිසිය භාරයේ ඉන්න දරුවන්, පරිවාස භාරයේ ඉන්න දරුවන් යන මේ සියලු දෙනා ඉලක්ක කරගෙන කෙරෙන සංශෝධනයක්, මේක. මේකේ මීට වඩා පුළුල් අර්ථයක් තියෙනවා නමුත් දැන් ඇති වෙලා තියෙන සංවාදය තමයි අපිට දරුවන්ගේ විනය පවත්වාගෙන යෑම සඳහා දරුවන්ට දඬුවම් කරන්න ම බැරි වෙනවා, කිසි ම දඬුවමක් කරන්න බැරි වෙනවා කියන කාරණය.

    අපි දඬුවම් දෙන එක කොතනින් වත් නතර කරලා නැහැ. විනය පවත්වාගෙන යෑම අපි තහනම් කරලා නැහැ. හැබැයි අපි සමාජයක් හැටියට හිතනවා නම් දඬුවම් දිය හැක්කේ දරුවන්ට ශාරීරිකව වද හිංසා දීම තුළින් පමණයි, එහෙම නැත්නම් ඔවුන්ව මානසික ව වට්ටලා විතරයි කියලා... අන්න එහෙනම් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. විනය පවත්වාගෙන යෑමට වද හිංසා දීම අත්‍යවශ්‍යයි කියලා හිතන සමාජයක් තුළ නම් අපි ජීවත් වෙන්නේ... මම හිතන්නෙ අපිට කතා කරන්න ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ විවාදය තව දික් කරලා තියෙන්නෙ. මේක සංවාදයට ගත යුතු කාරණාවක්.

    අපි කියන්නේ දඬුවම් දෙන්න, විනය පවත්වාගෙන යන්න ධනාත්මක දේවලුත් තියෙනවා, කරන්න කියලයි. දරුවෙක්ව ලැජ්ජාවට පත් කරන්නෙ නැතුව වද හිංසා නොකර පීඩනයට ලක් නොකර දඬුවම් දිය හැකි ක්‍රම ඕන තරම් තියෙනවා. ඒවා ගැන අපි වැඩමුළු තියලා සාකච්ඡා කරමු. මීට වඩා අපේ සමාජය තුළ අපිට හිතන්න ඕන කාරණාවක් තියෙනවා.

    අපේ සමාජයේ ගැටුම් නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා

    අපේ සමාජය තුළ ඔබ අද පොලිස් වාර්තා අරගෙන බලන්න. එහෙම නැත්නම් රෝහලකට ගිහිල්ලා බලන්න... අපේ රටේ ආර්ථික අර්බුදයක් පමණක් නෙවෙයි, සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වෙලා තියෙන බව දකින්න පුළුවන්. ඒ අර්බුද තුළ ගැටුම් කියන්නෙ ප්‍රධාන ම අර්බුදයක්. ඕනෑ ම සමාජයක ගැටුම් තියෙන නමුත් අපේ සමාජයේ ගැටුම් නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා තියෙනවා. ඒකයි, ගැටලුව.

    ගෘහස්ථ හිංසනය වැඩි වෙලා තියෙන රටක අපි ජීවත් වෙන්නේ. ගෘහස්ථ හිංසනය හිතන්න බැරි විදියට ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා. අපේ පරම්පරාවේ අය නවක වදය ගැන හිතන කොට තවමත් හිතන්නේ ඉතා ම ප්‍රේමණීය විදිහටනේ. ඒ අපේ වයසෙ අය ලබපු අත්දැකීම් එක්ක. ඒත් අද නවකවදය ළමයින්ට දරාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා. අපේ සමාජයේ ගැටුම් අපි නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා තියෙනවා.

    ඔබේ දරුවන්ගෙන් කතා කරලා අහන්න නේවාසිකාගාරවල වෙන සිද්ධීන් ගැන. ප්‍රචණ්ඩත්වය එතන තියෙන්නේ. ආයතන තුළ තරුණ තරුණියන් අතරේ, පන්සල් පල්ලි කෝවිල්වලත් මේ තත්ත්වයන් නිර්මාණය වෙමින් යනවා. එක අතිශයින් ම භයානකයි. එතකොට අපි ගැටුම් නිරාකරණය කිරීම ප්‍රචණ්ඩත්වය තුළින් කළ හැකියි කියලා පිළිගන්න සමාජයක් බවට පත් වෙලා ද? එහෙමනම් ඒක ඉතා බරපතළයි. ඒක ශිෂ්ට සම්පන්න නෑ මීට වඩා දියුණු තැනකට සමාජය ගෙනයාම අත්‍යවශ්‍ය යි."

     මෙම වැඩසටහනේ දී අදහස් දැක්වූ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක...

    ''ගුරු ගීතයේ ඉන්න විදුහල්පතිවරුන් අමාරුවෙ වැටෙනවා''

    "අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සහ පාසල් සම්බන්ධයෙන් කියන්න වෙන දෙයක් තියෙනවා. ඒ තමයි පාසල් පවත්වාගෙන යෑම සඳහා ඉතා විශාල අරගලයක විදුහල්පතිවරුන් නියැළිලා ඉන්නවා කියන එක. බොහෝ වෙලාවට ළමයින්ගෙන් සල්ලි එකතු කරන දේවල් අපිටත් වාර්තා වෙනවා. දවසක් මම ලේකම්තුමාටත් කතා කළා මේ ගැන. චක්‍රලේඛත් නිකුත් කරලා තියෙනවා. පාසල් සංවර්ධන සමිතිත් තියෙනවා. ඒවට සල්ලිත් ගන්නවා. පාසලේ වැඩ කරන්නත් තියෙනවා. දැන් ඒවා යම් කෙනෙකුට අල්ලසක් විදිය පේන්නත් පුළුවන්. ඒ නිසා ඒවා ඇත්තට ම විධිමත් කරන්න ඕනේ. ඔබට ගත හැකි දේවල් සහ ගන්න බැරි දේවල් ලෙස. මොකද එහෙම නැත්නම් අවංක ව තමන්ගේ ඉස්කෝලෙ හදන්න ඕන කියලා කියන ගුරු ගීතයේ වගේ ඉන්න විදුහල්පතිවරුන් අමාරුවෙ වැටෙනවා. ඒක නිසා ඒවා හදන්න ඕනේ. එතකොට අපිටත් ඇයි වැඩි දේවල් ගත්තේ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්.

    ළමයි ඉස්කෝලේ දාන ඒකත් ඇත්තට ම අපිට එක පැත්තක ඉඳන් බලන්න බෑ. විදුහල්පතිවරුන්ට තියෙන වැඩි ම චෝදනාව ළමයි ඉස්කෝලේ දාන්න සල්ලි ගන්නවා කියන එක. එතකොට ළමයි ඉස්කෝලේ දාන්න සමහරුන් සල්ලි දෙනවා. සල්ලි දීලා ළමයි ඉස්කෝලේ දාගත්ත අය කවදා වත් අපිට පැමිණිලි කරලත් නැහැ, මගේ ළමයා ඉස්කෝලෙට දැම්මේ සල්ලි දීලා කියලා. හැබැයි ඒ අයත් කියනවා ලංකාව මාර දූෂිතයි, ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න වත් බෑ සල්ලි දෙන්නේ නැතුව කියලා. එතනත් මානුෂික ප්‍රශ්නයක් තියනවා. ඒ නිසා ඒකට 'සිස්ටම්' එකක් හදන්න ඕනේ අනිවාර්යයෙන්.

  • ''ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වීම ඉතා බරපතලයි''

    ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටක් බවට පත්වීම ඉතා බරපතල තත්ත්වයක් බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පවසති.

    ඒ අතර මේ රට මත් උවදුරින් මුදා ගැනීම සඳහා වත්මන් රජය අවංක වුවමනාවකින් කටයුතු කරන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව උන්වහන්සේ සදහන් කළේය. තරුණ පරපුර මත් උවදුරින් ගලවා ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් උන්වහන්සේ වදාළහ.

    මහනාහිමි එසේ පැවසුවේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන අය  ඊයේ (27) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී ය.

  • ''සජිත්-අනුර හැංගුන තැන වහා හෙළි කරන්න''

    ඉන්ධන ගෑස් විදුලිය නැතිව ජනතාව දුක් වින්ද කාලයේ ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටියේ කොහේදැයි යන ප්‍රශ්නයට වහා පිළිතුරු දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුරයේදී අද (17) සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට අභියෝගයක් කෙළේය.

    රට සහ ජනතාව අමාරුවේ වැටී සිටි මොහොතේ අභියෝගය බාර නොගෙන පලා ගියේ මන්දැයි යන ප්‍රශ්නයට සජිත් සහ අනුර පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව කී ජනාධිපතිවරයා, ඊට පිළිතුරු දෙන්නට අසමත් නම් තම වේදිකාවට පැමිණ මගේ දෙපසින් දෙපසින් වාඩි වී සිටින්නැයි ඔවුන්ට පවසන බව ද සඳහන් කළේය.

    ඉන්ධන , ගෑස් , විදුලිය ප්‍රශ්න යන ප්‍රශ්නවලට තමා මේ වන විට සාර්ථකව පිළිතුරු ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා කීය.

    අද කටින් වැඩ පෙන්වන නායකයන්ට එදා ජනතාවගේ දුක තේරුනා නම් ආණ්ඩු බලය ගෙන ඒ ප්‍රශ්න විසඳන්න තිබූ බව කී ජනාධිපතිවරයා, තිබෙන ආණ්ඩුව ඉවත් වුනොත් එය බාරගන්නට විපක්ෂ නායකට මෙන්ම විපක්ෂයේ සෙසු නායකයන්ට යුතුකමක් තිබෙන බව සඳහන් කළේය.

     රට ආර්ථික අතින් අන්තයටම අද වැටුණු මොහොතේ සජිත් - අනුර ඇතුළු විපක්ෂයේ සෙසු නායකයන් සිටියේ කොහේද යන ප්‍රශ්නයට වහා පිළිතුරු දිය යුතුව ඇතැයි කී ජනාධිපතිවරයා , ඊට පිළිතුරු දෙන්නට බැරි නම් ඔවුන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසූයේ අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති ජනපතිවරණ මංගල ජනරැළිය අමතමිනි.

    පිළිතුරු නැතිනම් මගේ වේදිකාවට එන්න...

    අනුරාධපුරයට ඇදහැලුණු මහ වැසි නොතකමින් ජනතාව සංගාදු පිටියට ඒකරාශී වී සිටිනු දැක ගත හැකි විය.

    හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීම සඳහා එක්වීම විශේෂත්වයක් විය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු බොහෝ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මෙම ජනරැළියට සහභාගී වූහ.

    (ජේ . මුණසිංහ සහ සී. ඇල්ලදෙණිය අනුරාධපුරයේ සිට)

    dsdeeee34

     

  • '2024 ජනාධිපතිවරණ වියදම්' - කුසල් පෙරේරා ගෙන් මැකෝ ට ලිපියක්

    2024 ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයකු විසින් වියදම් කරනු ලැබිය යුතු මුදල කොපමණ ද යන්න නියාමනය කිරිම පිළිබඳ ගැසට් පත්‍රය පසුගිය 18වන (2024/08/18) වන දින නිකුත් කෙරිණ.

    ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධාකාරයේ අදහස් දක්වා ඇති අතර මැතිවරණ කොමිසම් සභාවේ මෙම තීන්දුවට එරෙහිව අලුත් පක්ෂ දෙක තුනක අපේක්ෂකයින් ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වන්නේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමේ අදහසක් ඇති බව ද ගන්නට ලැබිණ.

    මැතිවරණ ඉතිහාසයෙහි පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු මැතිවරණ කටයුතු සම්න්ධයෙන් දරණ්නාවූ වියදම් නෛතිකව නියාමනය කිරීමේ පළමු අවස්ථාව මෙය වන අතර එහි දී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේ දී ඉදිරිපත් කෙරුණු යෝජනා පදනම්ව, එක් ඡන්දදායෙකු වෙනුවෙන් උපරිමයෙන් රුපියල් 109 බැගින් වැය කළ හැකි යැයි ඉකුත් 18 වන දින තීන්දු කළ බවත් වාර්තා වි තිබිණ. ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 21 වන දිනට නියමිත ජනාධිපතිවරණය සඳහා පක්ෂයකට හෝ ස්වාධීන අපේක්ෂකයෙකුට වැය කළ හැකි සමස්ථ මුදල වන්නේ රුපියල් මිලියන 1,863.9 (බිලියන 01.9) ක් ය යන්න එම ගැසට් පත්‍ර යේ සඳහන් කර ඇත.

    මෙම ගැසට් පත්‍රයේ අඩංගු ධනාත්මක සහ ඍණාත්මක භාවය සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමේ ලිපියක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ ප්‍රවීන දේශපාලන විචාරකයකු වන කුසල් පෙරේරා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.

    මතු දැක්වෙන්නේ කුසල් පෙරේරා ඉදිරිපත් කළ එම ලිපිය යි.

    විද්‍යුත් තැපෑල මගින්
    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    2024 අගෝස්තු 21 වන දින

    සභාපති,
    ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම් සභාව
    මැතිවරණ මහ ලේකම් කාර්යාලය
    අංක 02, සරණ මාවත
    රාජගිරිය.

    සභාපති තුමනි,

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සහ “2024 ජනාධිපතිවරණ වියදම්” සම්බන්ධයෙනි

    අපගේ මැතිවරණ ඉතිහාසයෙහි පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු මැතිවරණ කටයුතු සම්න්ධයෙන් දරණ්නාවූ වියදම් නෛතිකව නියාමනය කිරීමේ පළමු අවස්ථාව, මෙවර ජනාධිපතිවරණය සමග ඔබගේ සභාපතිත්වයෙන් වන මැතිවරණ කොමිසම් සභාවට බාර වන්නාවූ කාර්යකි. වගකීමකි.

    මැතිවරණ කොමිසම් සභාවට එළෙස “2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත” මගින් ලබා දී ඇති ප්‍රතිපාදන අතුරින් ප්‍රධාන කාර්යක් වන, මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් උපරිම වියදම තීන්දු කිරීම සඳහා දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළ බවත් එහිදී ඉදිරිපත් කෙරුණු යෝජනා පදනම්ව, එක් ඡන්දදායෙකු වෙනුවෙන් උපරිමයෙන් රුපියල් 109 බැගින් වැය කළ හැකි යැයි ඉකුත් 18 වන දින තීන්දු කළ බවත් වාර්තා විය. ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 21 වන දිනට නියමිත ජනාධිපතිවරණය සඳහා පක්ෂයකට හෝ ස්වාධීන අපේක්ෂකයෙකුට වැය කළ හැකි සමස්ථ මුදල වන්නේ රුපියල් මිලියන 1,863.9 (බිලියන 01.9) කි.

    මැතිවරණ කොමිසම් සභාවේ මෙම තීන්දුවට එරෙහිව අලුත් පක්ෂ දෙක තුනක අපේක්ෂකයින් ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වන්නේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමේ අදහසක් ඇතැයිද දැන ගන්නට ලැබිණ. ඔවුන්ගේ මූලික අයිතීන් මෙම තීන්දුවෙන් උල්ලංඝණය වන්නේ කෙසේදැයි නොදනිමි. නමුත් මෙම උපරිම මුදල ගණනය කිරීමේ මූලික වරදක් සහ අරමුදල් භාවිතය නියාමනය කිරීමේ පිළිවෙත්හි දොස් ඇතැයි කිව යුතුය.

    පළමු කාරණය නම්, කෝවිඩ්-19 වසංගතයට එන්නත් ගෙන්වීමේදී රටේ ජනගහනය අනුව ඇස්තමේන්තු හැදූ ආකාරයට මැතිවරණ ප්‍රචාරක කටයුතු ඡන්දදායකයින් සංඛ්‍යාව අනුව ඇස්තමේන්තු කිරීම වැරදිය. චන්දදායකයින් කියෙව්වා නොකියෙව්වා, පුවත් පතක දැන්වීමකට එහි ප්‍රමාණය, වර්ණ හා පිටුව අනුව නියමිත වියදමක් ඇත. චන්දදායකයින් බැලුවා නොබැලුවා රූපවාහිනි දැන්වීමකට එහි කාලය හා වැඩසටහන අනුව නියමවූ මිලක් ඇත. ඇසුවා නෑසුවා, ගුවන් විදුලි ගාස්තුද එවැනිමය. සෙනග ආවා නාවා, මැතිවරණ රැළි සඳහාවන වියදම තීන්දු වන්නේ ඊට එකතු කරන ප්‍රචාරක කටයුතු හා සම්පත් අනුවය.

    එබැවින් මැතිවරණ වියදම ගණන් හැදිය යුතු වූයේ පුද්ගල සංඛ්‍යා අනුව නොවේ. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතෙහි මුදල් වැය කිරීම් පිළිබඳව මැතිවරණ කොමිසම් සභාවට වාර්තා ලබා දියු යුතු යැයි පනතේ 05 වන වගන්තියේ (1)අ සිට (1)ඉ දක්වා වන උප වගන්තිවල සඳහන් වියදම් ශීර්ෂ සඳහා ය. නිදසුනක් ලෙස පනතෙහි 05(1)අ උප වගන්තියේ නියමය අනුව, “ඒ මැතිවරණයට අදාළ ප්‍රචාරක දැන්වීම්, අත්පත්‍රිකා, ධජ, සිතුවම්, ඡායාරූප, දැන්වීම් පත්‍ර හෝ පෝස්ටර්, මුද්‍රණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, ඇලවීම, ප්‍රදර්ශනය කිරීම හෝ නිරූපණය කිරීම සඳහා....” උපරිමයෙන් වැය කළ හැකි මුදල තීන්දු කළ යුතුව ඇත. මැතිවරණ අරමුදල් නියාමනය කළ යුත්තේ පනතේ උප වගන්ති යටතේ අපේක්ෂකයින් වාර්තා ලබා දිය යුතු එවැනි මුදල් වෙන් කිරීම් අනුව ය.

    අනෙක් බරපතලම අවුල ඇත්තේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පිළිවෙත කුමක්ද යන්නෙහිය. පක්ෂයේ හෝ අපේක්ෂකයාගේ පෞද්ගලික ගිණුම් වලින් බැහැරව මැතිවරණ අරමුදල සඳහා වෙනම ගිණුමක් තිබිය යුතු යැයි නියමයක් පනතේ නැත. එබැවින් පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු මැතිවරණ ප්‍රචාරක අරමුදල් ලෙස භාරගත් නියමිත උපරිම මුදල කොපමණදැයි හා ඒ කාගෙන්දැයි පක්ෂය හා අපේක්ෂකයා ලබා දෙන වාර්තා මගින් මිස බැංකු වාර්තා මගින් මැතිවරණ කොමිසම් සභාවට ස්වාධීනව සනාථ කර ගත නොහැක.

    දෙවැන්න, පක්ෂ විසින් හා ස්වාධීන අපේක්ෂකයින් විසින් මේ මැතිවරණ අරමුදල් එකතු කර ගැනීම සඳහා වෙනම බැංකු ගිණුමක් පවත්වා ගත යුතු යැයි සහ එහි අත්සන්කරුවන් විය යුත්තේ කවුරුන්දැයි නිර්දේශ හෝ කොන්දේසි පනතේ කොතැනකවත් සඳහන්ව නැත. එවගේම මේ මැතිවරණ අරමුදල ගණන් හදන්නේ කවදා සිට දැයි යන්නද සඳහන්ව නැත. එබැවින් ඒ තීන්දු කොමිසම් සභාවට බාර ගැනීමට සිදුවනු ඇත. 2024 ජනාධිපතිවරණය සම්බන්ධව මැතිවරණ කොමිසම් සභාව නිකුත්කර ඇති ගැසට් පත්‍ර දෙකෙහි සහ චක්‍ර ලේඛ 07 හි ද ඒ සම්බන්ධව කිසිත් සඳහන් වන්නේ නැත.

    අරමුදල ගණනය කිරීමේ දිනය සම්බන්ධ ඒ තීන්දුව කුමක් විය හැකිද? නිදසුනක් වශයෙන් මැතිවරණ අරමුදල නියාමනය කෙරෙන්නේ මැතිවරණ කොම්සම් සභාව විසින් මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටද? නැතිනම් අපේක්ෂකයින් නාම යෝජනා ලබා දුන් දිනයේ සිටද? නාම යෝජනා බාර ගන්නා දිනය කල් ඇතිව ප්‍රකාශ කෙරෙන හෙයින්, මෙවර අගෝස්තු 15 නාම යෝජනා දිනය සැළකුවහොත් අගෝස්තු පළමු සතියේ දිනක ලබන සැප්තැම්බර මාසයේ පුවත් පත්, ගුවන් විදුලි, රූපවාහිනි දැන්වීම් සඳහා ගෙවූ රුපියල් මිලියන සිය ගණනක මුදල් නියාමනය නොවනු ඇත.

    එවැනි අවිනිශ්චිත පසුබිමක, මේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මෙවර ක්‍රියාත්මක කිරීමට නොහැකි ය. මෙය මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා යැයි කියන්නේ ඡන්දදායකයා රැවටීමකි. එබැවින් ඔබට මා යෝජනා කරන්නේ, මෙම 2024 ජනාධිපතිවරණයෙන් පසු මේ වසරේ හෝ ලබන වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ක්‍රියාත්මක කිරීම සඳහා පනතෙහි ඇති අඩු පාඩු, හිස් තැන් සියල්ල සම්පූර්ණ කිරීම විවෘත ක්‍රියාවලියක් තුල නොපමාව ආරම්භ කළ යුතු යැයි කියා ය.

    මෙයට ඔබගේත් කොමිසම් සභාවෙහි සාමාජික සභිකයින්ගේත් පූර්ණ අවධානය ලැබෙණු ඇතැයි අපේක්ෂා කරමි.

    ස්තුතියි.
    මෙයට ලියාපදිංචි ඡන්දදායෙකු වන,
    කුසල් පෙරේරා
    150/62බී, යොවුන් මාවත
    බෙල්ලන්විල

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න