රුපියල 230 කට පා කරයි !

රුපියල 230 කට පා කරයි !

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (07) නිකුත් කර ඇති නිවේදනයක් අනුව ඩොලර් එකක් සඳහා රුපියල් 230ක් දක්වා විශාල වශයෙන් අවප්‍රමාණය කිරීමක් සිදු කර තිබේ.

මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරයේ රුපියල් විනිමය අනුපාතය විකුණුම් මිල රුපියල් 203ක මට්ටමේ කෘතීමව පවත්වාගෙන තිබිණි. එහෙත් කළුකඩ වෙළඳපොළේ එය රුපියල් 250ක් පමණ වී තිබිණි. මෙම තත්වය තුළ මහ බැංකුව විසින් අවම වශයෙන් රුපියල් 27කින් ඩොලරයට නියම වී තිබූ විනිමය අනුපාතය පා කර හැර තිබේ.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ මේ වනවිට පවතින ඩොලර් අර්බුදය හමුවේ දැනට පවතින රුපියල් 250ක් පමණ වූ කළු කඩ මිල තව දුරටත් එසේම පවතිනු ඇති බව පුරෝකථනය කළ හැකි බවයි.

එසේම මෙම තත්වය තුළ මහ බැංකුවට තවදුරටත් රුපියල පාකර හැරීමට සිදුවනු ඇති බවත් ඔවුන් පවසයි.

මහ බැංකු නිවේදනය මෙන්න !

 බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මාර්තු 04වන දින පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කරන ලදි. එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ඇතිවෙමින් පවතින සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරන බවට නිවේදනය කරන ලද අතර, උද්ධමනය, විදේශීය අංශය සහ මූල්‍ය අංශයේ ස්ථායීතාව ළඟා කර ගැනීමේ අරමුණින් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද දැනුම් දෙන ලදි.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලැබේ. විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් දේශීය විදේශ විනිමය වෙළපොළෙහි ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ගැළපීම් සිදු කරනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න