ඕස්ට්‍රේලියා රජය අද (17) ලාඕස තානාපතිවරයා කැන්බරා නුවරට කැඳවී ය. ලාඕසයේදී මෙතනොල් අඩංගු මත්පැන් පානය කළ ඕස්ට්‍රේලියානුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වීමේ චෝදනා සම්බන්ධයෙන්, ප්‍රමාණවත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම ඕස්ට්‍රේලියානු රජයේ දැඩි කනස්සල්ලට සහ නොසතුටට හේතුව ඇතැයි එහි දී දැන්විණි.
ලාඕසයේ ජනප්‍රිය සංචාරක නගරයක දී 2024 වසරේ විෂ සහිත මත්පැන් පානය කළ හොලී බොව්ල්ස් සහ බියන්කා ජෝන්ස් නම් 19 හැවිරිදි ඕස්ට්‍රේලියානු තරුණියන් දෙදෙනෙක් වැන්ග් වියෙන්ග් නගරයේ දී ජීවිතක්ෂයට පත්වූහ.
"2024 නොවැම්බරයේ සිදු වූ හොලී බොව්ල්ස් සහ බියන්කා ජෝන්ස් ගේ මරණ සම්බන්ධයෙන් එල්ලවන චෝදානාවල බරපතළ බව, විනිවිදභාවයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු බව අප දිගින් දිගට ම කියා සිටියා," ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය, පෙනී වොන්ග් විශේෂ සඳහනක දැන්වී ය.
එළැඹෙන සතියේ පැවැත්වෙන අග්නිදිග ආසියානු රටවල සංගමයේ (ASEAN) සැසිවාරයේ දී මේ සම්බන්ධයෙන්, ලාඕස විදේශ අමාත්‍යවරයා ගෙන් සෘජුව විමසන බව ද, ඇය කියා සිටියා ය.
නිවෙස්වල පෙරන මත්පැන් ලාඕසයට විශාල ගැටලුවක්
අග්නිදිග ආසියානු රටක් වන ලාඕසයේ, ජනප්‍රිය විදෙස් සංචාරක ගමනාන්තයක් වන වැන්ග් වියෙන්ග් නගරයේ දී විෂ මත්පැන් ශරීර ගත වීමෙන්, මීට පෙර, ඩෙන්මාර්ක ජාතිකයින් දෙදෙනෙක්, බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සහ ඇමෙරිකානුවෙක් ද ජීවිතක්ෂයට පත් වූහ.
නිසි ප්‍රමිතියෙන් තොර, ව්‍යාජ ලේබල යටතේ වෙළඳපොළෙහි ඇති, ඇල්කොහොල් අඩංගු විවිධ පාන වර්ග සහ නිවෙස්වල පෙරන මත්පැන්, ලාඕසයේ විශාල ගැටලුවක් බවට පත්ව ඇත. එරට තුළ මත්පැන් පරිභෝජනයේ දී ප්‍රවේසම් වන ලෙස, ඔස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය රජයන් විසින් එම රටවල පුරවැසියන්ට විටින් විට නිවේදන ද නිකුත් කර ඇත.
වසරක සිර දඬුවම් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් 1,600ක (ඇමෙරිකානු ඩොලර් 1,120) උපරිම දඩයක්
කැන්බරා හි පිහිටි ලාඕස තානාපති කාර්යාලය මෙතෙක් එම චෝදනා පිලිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වා නැත. අදාළ චෝදනා සම්බන්ධයෙන් ලාඕස රජය එම වරදකරුවන් වසරක සිර දඬුවම් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් 1,600ක (ඇමෙරිකානු ඩොලර් 1,120) උපරිම දඩයකට යටත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඕස්ට්‍රේලියානු ගුවන් විදුලිය අද පැවසී ය.
එවන් බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් ලබා දුන් ලාඕස රජයේ නිද්‍රාශීලී තීන්දුව පිළිබඳ බලවත් අප්‍රසාදය පළ කළ ජීවිතක්ෂයට පත් ඕස්ට්‍රේලියානු තරුණියන් ගේ පවුල් සාමාජිකයෝ, ඒ සම්බන්ධයෙන් වහා මැදිහත් වන ලෙස, ඕස්ට්‍රේලියානු රජයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළහ.
මෙතනෝල් යනු ඇල්කොහොල් හි අඩංගු විෂ සහිත රසායනික සංයෝගයක් වන අතර, එය පලිබෝධ නාශක සහ කාර්මික ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය ද්‍රාවණ නිෂ්පාදනයේදී යොදා ගැනේ. මෙතනෝල්, විකල්ප ඉන්ධන ප්‍රභවයක් ලෙස ද භාවිතා කෙරේ.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
