නව ත්රස්ත විරෝධී පනත් කෙටුම්පතේ (PSTA) කොතැනකවත් 'කොණ්ඩයක්' පිළිබඳව සඳහන්ව නැති බවත්, ඒ පිළිබඳව සමාජ මාධ්ය තුළ අසත්ය සහ විකෘති අර්ථකථන ප්රචාරය වන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ පිළිබඳව වැරදි තොරතුරු පතුරුවන ඇතැම් පිරිස් නීතිඥවරුන් බවත්, ඔවුන්ට පනත කියවා තේරුම් ගැනීමේ හැකියාව තිබියදීත් මෙලෙස හිතාමතාම නොමඟ යවන සුළු ප්රකාශ සිදු කරන බවත් අමාත්යවරයා සඳහන් කළේය.
අමාත්යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.
"මේ වන විට මුහුණු පොත පුරා, සමාජ මාධ්ය තුළ ඉතාම විකෘති අර්ථකථන දෙමින් යම් තොරතුරු පළ කරනවා. විශේෂයෙන් ඔවුන් කියන්නට යෙදෙනවා මේ අලුත් නීතිය යටතේ කොණ්ඩේ වවලා තිබුණොත්, පච්ච කොටලා තිබුණොත්, හිරේ යන්න පුළුවන් අපරාධමය වරදක් ඒක නිසා මේකෙ ලොකු භයානකකමක් තියෙනවා කියලා.
අපි ගේන අණපනත් විවේචනය වෙන එකට අපි කැමතියි. සංවිධානාත්මක, පාතාල කල්ලි විසින් කරන අපරාධ නැවැත්වීම සඳහා, එනම් ඒවා විමර්ශනය කිරීම, ඒවාට නඩු පැවරීම සහ දඬුවම් දීම සඳහා වූ අලුත් පනතක් අපි ගේනවා. මේ රටේ පාතාලය, අපරාධ කරන එක අපි නවත්වනවා කියලා ජනාධිපතිතුමාත් ප්රකාශ කළා. තිබෙන නීති මදි නම් අලුතෙන් නීති ගෙනත් හරි මේක නවත්වනවා කියලා අපි කිවුවා.
මෙතන විකෘති අර්ථකථනය ලබා දෙන්න ඒ අය කරන මූලික දෙයක් තමයි, “සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ ප්රකට සාමාජිකයන්’’ යන එක වචනයක් හිතාමතා පාවිච්චි කරන්නේ නෑ. මතක තියාගන්න මේක තනි තනි පුද්ගලයන්ට නෙමෙයි, සංවිධානයක් එක්ක වැඩ කරන සාමාජිකයන්ට තමයි මේ පනත ගෙනත් තිබෙන්නේ.
අපි දන්නවා අපේ රටේ සුලබ නොවුණට ජපානය, ඇමරිකාව, ඕස්ට්රේලියාව, සිංගප්පූරුවෙ පවා යම් සංවිධාන ඉන්නවා. අපරාධ කල්ලි යම් අවස්ථාවලදී යම් හස්ත මුද්රා, ඒ කියන්නේ යම් අවස්ථාවල තමන් ඒ ගෲප් එකට අයිතියි කියලා පෙන්නන ටැටූ එකක්, එහෙමත් නැතිනම් තත්ත්වය පිළිබිඹු කරන්න ඒවා පාවිච්චි කරනවා. මේ ටැටුස් සහ ඇඳුම් පැළඳුම් යමෙක් අපරාධ කල්ලියක සාමාජිකයෙක්ද යන්න බලන්න අන්තර්ජාතිකව විමර්ශකයෝ පාවිච්චි කරනවා. මේ පනත් කෙටුම්පතේ කොතනකවත් කොණ්ඩයක් ගැන නැහැ. ඒක කෙහොම ආවද කියන්න මා දන්නේ නැහැ. මේ පනතින් අර්ථවත් කරන්නේ එහෙම දෙයක් විනා වෙනත් කාරණාවක් නොවෙයි. ඉතින් ඒක නොදැනගෙන නෙමෙයි මේ තොරතුරු ප්රචාරය කරන අය ප්රචාරය කරන්නේ. මොකද සමහර අය නීතිඥවරු. ඔවුන්ට මේක කියවන්න බැරි අඩුපාඩුවක් නැහැ. අපේ රටේ ඒක සුලබ නෑ, 'එහෙනම් ඇයි ඒ නීතියෙ ගේන්නේ කියලා, නමුත් එහෙනම් සමහර අයට අහන්න පුළුවන්.".. යැයි පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
