ට්‍රම්ප්ගේ ප්‍රති-ත්‍රස්ත මර්දන ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ට්‍රම්ප්ගේ ප්‍රති-ත්‍රස්ත මර්දන ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ ජාතික ප්‍රති-ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ (NCTC) අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජෝ කෙන්ට් (Joe Kent) ඊයේ (17) සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහු චෝදනා කරන්නේ ඉරානය සමඟ පවතින යුද්ධය ඊශ්‍රායලයේ සහ ඇමරිකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රබල ඊශ්‍රායල හිතවාදී කණ්ඩායම්වල බලපෑම මත ආරම්භ වූවක් බවයි.

"ඉරානයෙන් ඇමරිකාවට තර්ජනයක් තිබුණේ නැහැ"

සිය ඉල්ලා අස්වීමේ ලිපිය X සමාජ මාධ්‍ය ජාලයට මුදාහරිමින් කෙන්ට් සඳහන් කර ඇත්තේ, ඉරානයෙන් ඇමරිකාවට කිසිදු ක්ෂණික තර්ජනයක් නොතිබූ බවයි. "පවතින ඉරාන යුද්ධයට මගේ හෘද සාක්ෂියට එකඟව සහාය දිය නොහැක. ඊශ්‍රායල නිලධාරීන් සහ මාධ්‍ය විසින් දියත් කරන ලද වැරදි තොරතුරු ව්‍යාපාරයකට ජනාධිපතිවරයා හසුවී ඇති බව මගේ විශ්වාසයයි," ඔහු එහි සඳහන් කර ඇත.

කෙන්ට් වැඩිදුරටත් පවසන්නේ ඉරානයට එරෙහිව යුද්ධ කිරීම සඳහා ජනාධිපතිවරයා පොළඹවා ඇත්තේ 2003 වසරේ ඉරාක යුද්ධයට ඇමරිකාව පටලවා ගැනීමට යොදාගත් උපක්‍රමවලට සමාන ක්‍රමවේදයක් මගින් බවයි.

ට්‍රම්ප්ගේ පළමු පාලන සමයේ අයිසිස් (ISIS) පරාජය කිරීම වැනි ක්‍රියාමාර්ග අගය කළද, "නිමක් නැති යුද්ධ" වලට තමා විරුද්ධ බව කෙන්ට් පවසයි.

ඊශ්‍රායලය විසින් සැලසුම් සහගතව ඇමරිකානු රජය නොමඟ යවා ඇති බව ඔහුගේ මූලික චෝදනාවයි.

ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් යටතේ සේවය කළ කෙන්ට්ගේ ඉල්ලා අස්වීම ට්‍රම්ප් පරිපාලනයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි සැලකේ.

 
මූලාශ්‍ර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න