ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනි ගෙන් පසු ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහු ගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරී පත්ව ඇති බව වාර්තා වේ.
පසුගිය 28වන දා එල්ල වූ දරුණු ප්‍රහාරයකින් දශක තුනකට අධික කාලයක් ඉරානය පාලනය කළ අලි කමේනි මෙන්ම ඔහු ගේ බිරිඳ, දියණිය, බෑණා සහ මුනුපුරා ද ජීවිතක්ෂයට පත් වූ බව ඉරාන මාධ්‍ය තහවුරු කර ඇත.
කවුද මේ මොජ්තබා කමේනි?
1969 සැප්තැම්බර් 8වන දා ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්තබා, අලි කමේනි ගේ දරුවන් හය දෙනා ගෙන් දෙවැන්නා වේ.
ටෙහෙරානයේ 'අලවි' ආගමික පාසලෙන් ද්විතීය අධ්‍යාපනය ලැබූ ඔහු, 1999 වසරේ සිට ෂියා දේවධර්මයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන 'කොම්' (Qom) ශුද්ධ නගරයේ ආගමික අධ්‍යයන කටයුතුවල නිරත වී ඇත.
වයස අවුරුදු 17දී ඉරාන - ඉරාක යුද්ධය පැවති සමයේ කෙටි කාලයක් හමුදා සේවයේ ද නිරත වී ඇත.
මොජ්තබා කමේනි මෙතෙක් කිසිදු නිල රජයේ තනතුරක් දරා නොමැති අතර ප්‍රසිද්ධ දේශන හෝ සම්මුඛ සාකච්ඡා ලබා දීමෙන් ද වැළකී සිටි නිහඬ චරිතයකි.
තිරය පිටුපස බලය
ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටිය ද, වසර ගණනාවක් පුරා ඉරාන පාලන තන්ත්‍රය තුළ තිරය පිටුපස සිට ප්‍රබල බලපෑමක් එල්ල කළ අයකු ලෙස විදෙස් මාධ්‍ය ඔහුව හඳුන්වයි. ඔහු ගේ ඡායාරූප සහ වීඩියෝ පවා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවකි.
පියා ගේ අභාවයෙන් පසු ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය හමුවේ, ඉරානයේ ආධ්‍යාත්මික සහ දේශපාලනික නායකත්වය ඉදිරියට ගෙන යෑමේ වගකීම දැන් මොජ්තබා කමේනි වෙත පැවරී ඇත. කලාපීය යුධ උණුසුම මධ්‍යයේ ඔහුගේ පත්වීම ලෝක දේශපාලනයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
මූලාශ්‍ර

