ගත වූ කාලයේ ඉරාන ඇමෙරිකානු ඊශ්‍රායල් යුද්ධය සඳහා වැය වී ඇති මුළු මුදල (ඇමෙරිකානු පාර්ශ්වයෙන්) ඇමෙරිකානු ඩොලර් කෝටි 3300 (බිලියන 33) පමණ වන බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ යුද තොරතුරු විමර්ශකයෝ පවසති.
මෙම වාර්තාවේ වඩාත් වැදගත් තොරතුර වන්නේ, මෙවර යුද්ධය ආරම්භ වී ගත වූ පළමු පැය 24 තුළ පමණක් ඩොලර් කෝටි 80කට ආසන්න මුදලක් (මිලියන 779) වැය කිරීම පිළිබඳ වාර්තාවයි.
මෙතරම් විශාල මුදලක් වැය කොට කරගෙන යනු ලබන විනාශකාරී යුද්ධය තවත් සති හතරක් හෝ පහක් පැවතිය හැකි බව ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ වන විට ප්‍රකාශ කර ඇත. ඒ අතර ඔහු ඉරානයට අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ වහා යටත් වන ලෙසයි. එහෙත් ඉරානය යටත් වීම ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව ඉදිරියට ඇදී යන යුද්ධය හේතුවෙන් මේ වන විට ඇමෙරිකානු සෙබළුන් හය දෙනෙකු පමණ ඝාතනය වී ඇතැයි ද ඉරානයේ වැසියන් 1300කට අධික පිරිසක් (දරුවන් 190 ද ඇතුළුව) ඝාතනය වී ඇතැයි ද වාර්තා වේ.
යුද්ධයට අදාළ නවතම යුද අවි පිළිබඳ වාර්තාවක සඳහන් වූයේ ඇමෙරිකාව සතු දිගු දුර මිසයිල අවසන් වෙමින් පවත්නා වගය. ඒ අනුව යුද අවි නිෂ්පාදකයන් ධවල මන්දිරයට කැඳවාගෙන විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇතැයි කියැවෙයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම යුද්ධයේ අරමුණ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ විනාශ කිරීම බවය. මේ දක්වා පැවති යුද්ධයේ දී ඉරාන නාවික යාත්‍රා 42ක් විනාශ කළ බව ඇමෙරිකාව කියයි. නමුත් ඉරානය පවසන්නේ තමන්ගේ යාත්‍රා 9ක් පමණක් විනාශ වූ බවයි. මෙකී මෙහෙයුම් සඳහා ගුවන් ප්‍රහාරක යානා 300ක් පමණ යොදාගෙන ඇති බව ද සඳහන්ය.

