නේපාලයේ මහ වැසි; 50කට ආසන්න පිරිසක් මරුට

නේපාලයේ මහ වැසි; 50කට ආසන්න පිරිසක් මරුට

නේපාලයේ ඉකුත් සිකුරාදා (03) සිට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාපතනය සහ ආශ්‍රිත විපත් හේතුවෙන් 47 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, එරට විපත් කළමනාකරණ නිලධාරීහු පැවසීය.

නාය යෑම් සහ හදිසි ගංවතුර හේතුකොට මාර්ග රැසක් අවහිර වී ඇතැයි වාර්තා වේ.

ඉන්දියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නැගෙනහිර ඉලම් (Ilam) දිස්ත්‍රික්කයේ සිදු වූ නාය යෑමකින් පුද්ගලයින් 35දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ගංවතුරට හසු වීමෙන් තවත් පුද්ගලයින් 09දෙනෙක් අතුරුදන්ව ඇති අතර, අකුණු සැර වැදීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

මේ අතර නැගෙනහිර ඉන්දියානු දේශ සීමාවේ පිහිටි බටහිර බෙංගාලයට අයත් කඳුකර කලාපයක් වන දර්ජීලින් (Darjeeling) හි අධික වැසි හේතුවෙන් හට ගත් නාය යෑම් වලින් පුද්ගලයින් 07දෙනකු වත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. ප්‍රදේශය පුරා විසිරි සුන් බුන් අතර තිබී මළසිරුරු 07ක් හඳුනාගත් බව නේපාල මාධ්‍ය පවසයි.

නාය යෑම් හේතුවෙන් නේපාලයේ ප්‍රධාන සහ අධිවේගී මාර්ග අවහිරව තිබේ. මාර්ගයේ ධාවනය වෙමින් පැවති මෝටර් රථ එහි සිරවී සිය ගණනක් මගීහු අතරමං ව සිටිති.

දේශීය ගුවන් ගමන් ද සම්පූර්ණයෙන් අඩාලව පවතී. එහෙත්, ජාත්‍යන්තර ගුවන් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දන්වා සිටී.

අග්නිදිග නේපාලයේ කොෂී (Koshi) ගංගාවේ ජල මට්ටම අන්තරායකර සීමාව ඉක්මවා ඇතැයි වාර්තා වේ. වාර්ෂිකව නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මාරාන්තික ජලගැලීම් හට ගැනෙන්නේ එම ගංගාව පිටාර ගැලීමෙනි. අන්තරායකර ජල මට්ටම හේතුවෙන් ගංගාවේ වාන් දොරටු 56ම විවෘත කර ඇතැයි සුන්සාරි (Sunsari ) දිස්ත්‍රික් ආණ්ඩුකාර ධර්මේන්ද්‍ර කුමාර් මිශ්‍රා (Dharmendra Kumar Mishra) පැවසීය. සාමාන්‍ය තත්ත්වයහිදී විවෘත්ත කෙරෙන්නේ වාන් දොරටු 10ත්, 12ත් අතර සංඛ්‍යාවක් පමණක් බව ද ඔහු කියා සිටියේය.

අන්තරායකර කාලගුණික තත්ත්වය හේතුවෙන් කොෂී ගංගාව හරහා පිහිටි පාලම මතින් මෝටර් රථ ධාවනය තහනම් කර තිබේ.

ගංගා රැසක් පිටාර ගැලීමෙන්, කත්මන්ඩු අගනුවර සියළු මාර්ග ජලයෙන් යටවී නිවාස රැසකට හානි සිදුවී තිබේ. අගනුවරට පිවිසෙන සියළු මාර්ග ජලයෙන් යටවීමෙන්, එහි සිට සෙසු ප්‍රදේශ වෙත සහ ඒ වෙත සියළු ප්‍රවාහන සේවා ඇණහිට ඇත.

ධාරාණිපාත වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හෙට (06) තෙක් නොවෙනස්ව පවතිනු ඇතැයි කාලගුණ බලධාරීහු ප්‍රකාශ කරති.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/5/2025


Heavy rains kill at least 47 in Nepal, block roads

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න