Language Switcher

V2025

පැන්ඩෝරා පේපර්ස් : විමර්ශන අරඹන්න අගමැති සූදානම් !

රහස්‍ය ධනය රැස්කිරීම් හා ගනුදෙනු පිළිබඳ තොරතුරු ඇතුළත් ‘පැන්ඩෝරා ලේඛනවල’ නම් සඳහන් පකිස්ථාන පුරවැසියන් පිළිබඳ විමර්ශනය කරන බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, යම් වැරැද්දක් සිදු වී ඇත්නම්, ඔවුන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බවයි.

තව ද අතිශය බරපතළ මෙම අසාධාරණය ලොව මුහුණදී සිටින දේශගුණික විපර්යාස අර්බූදයට සමාන ලෙස සලකන්නැයි ද අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

ඉම්රාන් අග‍්‍රාමාත්‍යවරයාගේ මුදල් අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නම් ඇතුළත් ය.

එසේම, අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ හිටපු මූල්‍ය උපදේශකවරයාගේ පුතාගේ නම පැන්ඩෝරා පත‍්‍රිකාවල සදහන්වන බව පැවසේ.

ලොව රටවල් දුප්පත් නොමැති බව පවසන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ, දුපත්කමට ප්‍රධාන හේතුව දූෂණ හා අක්‍රමිකතාය යන්න, සිය විශ්වාසය බවයි. තව ද සම්පත් සොරකම රටක් පහත වැටීමට හේතු වන බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා එමගින් ඇතිවන දරිද්‍රතාවය දහස් ගණනකගේ මරණවලට එය හේතු වන බව ද සඳහන් කර සිටී.

මේ අතර නැගෙනහිර ඉන්දීය සමාගම ඉන්දියාවේ ධනය කොල්ලකෑවාක් මෙන් සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ පාලක පැළැන්තිය ද එය සිදු කරන බව අගමැතිවරයා අවධාරණය කර සිටී.

තවද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ධනවත් රාජ්‍යයන් මෙම මහා පරිමාණ කොල්ලයන් වැළැක්වීමට හෝ කොල්ලකන ලද මුදල් ආපසු ලබා දීමට උනන්දුවක් නොදැක්වීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

පැන්ඩෝරා ලේඛන (Pandora Papers) ලෙස හැඳින්වෙන විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වකින් ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කෙරුණු අතර විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එම ලිපි ගොනුවල රටවල් 90 කට වැඩි සංඛ්‍යාවක දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවකගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.

(මව්රට )