විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට විශේෂ සාකච්ඡා සහ සම්මන්ත්‍රණ රැසකට සහභාගීවීමට සිදුවූ අතිශය කාර්ය බහුල තවත් දින 07ක් ඉකුත් සතියේ ගෙවී ගියේ ය. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සිදුවූ සාකච්ඡාව කරුණු ගණනාවක් නිසා විශේෂත්වයක් ගෙන තිබුණි.
මෙරටට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රිකයින් ජනාධිපති සහ අගමැති හමුවීම අනිවාර්ය කාර්යයක් වුවත්, මෑතක සිට ඒ එන සියලු ම දෙනා විපක්ෂ නායක සජිත්ව හමුවීම ද සුලබව දැකගත හැකි සිදුවීමකි.
පසුගිය සතියේ මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං ද සජිත්ව හමුවී බෙහෝ කරුණු පිළිබඳ සාකච්ජා කර තිබුණි. දෙරට අතර ඓතිහාසික, සංස්කෘතික ගණුදෙනුවලට අමතරව ඉන්දීය සාගර කලාපයේ පවතින සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා වන සහයෝගීතාව සඳහා වූ ඉදිරි සැලසුම් පිළිබඳවද නායකයින් දෙදෙනා අතර අදහස් හුවමාරු වී තිබුණි.
“ඔබ සෑම කරුණක් ගැන ම විශේෂ අවධානයක් යොමු කරන දේශපාලඥයෙක් විදිහට මට දැනිලා තියෙනවා. රටක නායකයෙක් කියන්නේ අන්න ඒ වගේ ඉදිරිගාමි සහ යාවත්කාලීන මිනිස්සුන්ට.”
එලෙස සජිත් ප්‍රේමදාස පිළිබඳ තමන් ගේ අදහස් ප්‍රකාශ කළ ශ්‍රී රාජ්නාත් සිං, ඉදිරි කාලයේ වඩාත් සමීපව කටයුතු කිරීමට එකඟත්වය ද පළ කළේ ය. මීට පෙර දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි ද එම ගමනේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව හමුවිය. මේ අයුරින් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින්, තමන්ව හමුවීම සහ සමීපව සබඳතා පැවැත්වීම, රජයේ පාර්ශවයේ ද දැඩි අවධානය යොමු වී ඇති කරුණක් බව සජිත්ට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ද දැනගන්නට ලැබී තිබුණි.
ආණ්ඩුවේ බාධා මැද 22ට අභියෝග කළ සජිත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත්වු පෙත්සම් දෙකක් විවෘත අධිකරණයේ කැඳවීමකින් තොරව අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත්, පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ, එමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුව ඇති බව අවධාරණය කරමිනි.
22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් පිළිබද වාර්තාවක් කතානායකවරයා විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ අවස්ථාවේ, ස්ථාවර නියෝග අනුව නැගී සිටි සජිත් අවධාරණය කර සිටියේ, මෙම සංශෝධනයට එරෙහිව දුලාර ගුණතිලක සහ ශාන්ත ජයතිලක යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ම අදාළ පෙත්සම් විභාගය අවසන් කර ඇති බව ය.
ඒ අනුව මෙම පෙත්සම් විභාගය අසම්පූර්ණ එකක් බවට සජිත් තර්ක කළ අතර, ඒ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වීමට කතානායකවරයා ඉඩ ලබානොදුන්නේ, ආණ්ඩු පක්ෂයේ 159 දෙනා ගේ ආශිර්වාදය ඇතිව ය.
විපක්ෂ නායකවරයා ගේ සහ තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කරන වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ ක්‍රියා කලාපය එහි දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩිව විවේචනය කරනු දැකගත හැකි විය.
ආණ්ඩු පක්ෂයේ 159 දෙනාගේ බාධා කිරීම් හමුවේ, තමන්ගේ කථාව නතර නොකළ සජිත් පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ ප්‍රධානී ස්ටීවන් තිරූට, අධිකරණ ඇමතිවරයා හමුවීමට අවස්ථාව නොදීම පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සිදුවූ අපකීර්තිය පිළිබඳ කරුණු පෙන්වා දුන්නේ ය.
“පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ ප්‍රධානී ස්ටීවන් තිරූ මහත්තයා මාවත් හමුවුණා. ඔහු මේ 22වන සංශෝධනය මගින් සිදුවිය හැකි අහිතකර බලපෑම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු අවධාරණය කළා. ඒ ගැන පෙන්වා දීමට අධිකරණ ඇමතිතුමා හෝ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ හමුවී සාකච්ඡා කරන්න ඔහු අදහස් කරගෙන ඉඳලා තිබුණා. ඒත් ඔහු කිව්වේ ඒකට අවස්ථාවක් ලැබුණේ නෑ කියලා. ඇයි එහෙම කළේ. මේ වගේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීතිඥ සංගමයක් මගහැරීම සුදුසු දෙයක් නෙමෙයි.”
කියන දේ නොතේරෙන ආණ්ඩුවට ටොක්කක්

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර කියා සිටියේ, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය පිළිගත් නීතිඥ සංගමයක් නොවන බව ය.
“ඒක පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් පිළිගත්ත එකක් නෙමෙයි, ඒ සංගමය Pre paid ක්ලබ් එකක්. මේක Commonwealth Secretariat එකේ ලියාපදිංචි කරපු සංගමයක් නෙමෙයි. මේක පුද්ගලික සාමාජික ගාස්තු ගෙවන සංවිධානයක්.”
ඊට පෙරළා සැර ප්‍රකාශයක් කළ සජිත් කියා සිටියේ…,
“එවැනි සංවිධානයක් ලෝකයේ රටවල් විසින් පිළිනොගන්නා බව කියනවා නම් වහාම එම සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ද පිළිනොගන්නා බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්න.”
සජිත් දුන් එම අභියෝගයෙන් ආණ්ඩුවේ 159 යේම කටවල් වැසී ගිය අයුරු පෙනෙන්නට තිබුණි.
මේ අතර අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර කළ ප්‍රකාශයට මාර රිටන් එකක් දුන්නේ, සජබයේ මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු ය.
“පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයට අධිකරණ ඇමති හමුවෙන්න අවස්ථාව නොදුන්න එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. අඩුම ගණනේ අපේ රටේ නීතිඥ සංගමයටවත් හමුවෙන්න හර්ෂණ ඇමතිතුමා අවස්ථාවක් දුන්නේ නෑ නේ. හැංගිලනේ හිටියේ. 22 සංශෝධනයට පෙර ඒ ගැන කථා කරන්න අධිකරණ ඇමති සහ ජනාධිපති හමුවෙන්න අවස්ථා 7ක් ඉල්ලුවා. වැන්දේ නැති ටික විතරයි. මෙන්න පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ වාර්තාව මේක අපේ අධිකරණ ඇමතිටත්, වටගල නීතිඥතුමාටත්, බිමල් ඇමතිටත්, ආණ්ඩුවේ අනිත් නීති විශාරදයින්ටත් බලාගන්න පුලුවන්, මම මේක සභාගත කරන්නම්. මේකේ ඇමිණුම් එකේ තියෙන්නේ මොකක්ද? ඒකේ තියෙන ආයතනවල ලයිස්තුවේ උඩින්ම තියෙන්නේ මොකක්ද Commonwealth Law Association. මේකේ පහළට එද්දී ඔන්න අපි දැකලා පුරුදු නමක් තියෙනවා Commonwealth Parliamentary Association. CPA කියන්නේ. ඔය මන්ත්‍රීවරු 159 දෙනා අහලා ඇති මම හිතන්නේ. එතකොට මේ Commonwealth Parliamentary Association එකත් එක්ක ඔයාලට හොඳයිනම් දීග කන්න. එකේ උඩම තියෙන Commonwealth Law Association එක බොරුවක්ද? CPA එක ඇවිල්ලා කථානායක හමුවෙනවා, නියෝජ්‍ය කථානායක හමුවෙනවා. ඒගොල්ලෝ ආවම මෙන්න ඇමති බිමල්ව හමුවෙලා, අධිකරණ ඇමති හර්ෂණ එංගලන්තේ ගිහිල්ලාත් කොමන්වෙල්ත් පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ හමුවෙලා මෙන්න ලස්සන ෆොටෝත් ගහලා තියෙන්නේ. හෙට Commonwealth Parliamentary Association එක නියෝජනය කරලා දකුණු අප්‍රිකාවට යනවා ඔය පැත්තේ පස් දෙනෙක්. ඉතිං කියහල්ලකෝ අපිට ඕන නෑ ඔයාලව හමුවෙන්න ඔයාලා නීත්‍යානුකූල ආයතනයක් නෙමෙයි කියලා. ඒක නිසා කන්න ඕන වෙලාවට කබරගොයා තලගොයා කරගන්න එපා ඇමතුමාලා. නීතිඥ සංගමය ගැන බොරු කිව්වා, මහනායක හිමිවරුන් ගේ ලියුම ගැන බොරු කිව්වා, අපේ විරෝධය ගැන රටට බොරු කිව්වා. ඕක නෙමෙයි ඇමතිතුමා රටේ මිනිස්සු බලාපොරොත්තු වුනේ”
චිත්‍රාල් ගේ ඒ කතාවනම් මසුරුන් කථාවක් බව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සමාජයේ ප්‍රගතිශීලී ජනතාව පවා ප්‍රකාශ කරන අයුරු පෙනෙන්නට තිබුණි.
අඛණ්ඩව සූරාකෑමට ලක්වන ඊශ්‍රායල් රැකියා අපේක්ෂිතයින්

සිහින බොඳ වූ ඊශ්‍රයල් රැකියා අපේක්ෂකයින් පිරිසක් පසුගියදා (10) පොල්දූව මංසන්ධියට පැමිණ විරෝධතාවක නිරත වූයේ රජයේ තීන්දු තීරණ හේතුවෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා කරමිනි.
ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යොමු කිරීමේ වැඩපිළිවෙළෙහි වැඩි කොටසක් පුද්ගලික රැකියා ඒජන්සි වෙත පැවැරීම හේතුවෙන් තමන්ට අසාධාරණය සිදුව ඇති බවට ඔවුන් කියා සිටියේ ය. පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමන් ගේ ගමන මදකට නතර කර විරෝධතාකරුවන් අතරට ගියේ තවමත් රජය ඔවුන්ට ලබාදුන් පෙරොන්දුව ඉටු කළේ නැද්දැයි විමසමිනි.

“ ඔයාලා පහුගිය මාසයේත් මෙතනම විරෝධතාවක් කළානේ, ඒ වෙලාවේ විදේශ රැකියා ඇමති කිව්ව නේද ඔය ගැටලුව ගැන හොයලා බලනවා කියලා. කලින් මෙතැන ම විරෝධතාවක නිරත වෙච්ච ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අපේක්ෂිතයින් 3500 ගැන මම පාර්ලිමේන්තුවේදී කතා කළා.”
එහිදී එතැන සිට තරුණයකු ආවේගයෙන් යුක්තව කියා සිටියේ,
“සර් දැන් මේ ආණ්ඩුව කරන්න යන්නේ ඊශ්‍රායලය සිතියමෙනුත් ඉවත් කරන්න යනව වගේ වැඩක්. එහෙම වුණාම අපේ රටේ කොල්ලන්ට ඒ රට පේන්නේ නෑනේ. එතකොට ගැටලුව විසඳෙනව නේ. අපිට ඉතිං පුවක් ගහක ගියත් දෙබලක් තමයි.”
තවත් තරුණයකු කිවේ…,
“ලක්ෂ 5 ක් 10 ක් වියදම් කරලා අපිට ඊශ්‍රායලයට යන්න තිබුණු චාන්ස් එක මේ ආණ්ඩුව ඇවිල්ලා අපිට නැති කළා. දැන් අපි ඊශ්‍රායලයේ රස්සාවකට යනවනම් අඩුම ලක්ෂ 40ක් 45ක් වියදම් කරන්න වෙනවා. අපි මුන්ට ඡන්දේ දීලා කරගත්තේ ඕනන ඕකයි සර්…,”
එම විරෝධතා කරුවන්ට සමුදී පාර්ලිමේන්තුවට පැමිණි සජිත්, විරෝධතාවයේ නිරතව සිටි ඊශ්‍රයලයේ යටිතල පහසුකම් අංශයේ රැකියා අපේක්ෂිතයින් 560 දෙනාට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් විමසා සිටියේය.
“මං මීට පෙරත් ඊශ්‍රයලයේ රැකියා බලාපොරොත්තුවෙන් ඉඳලා අසරණ වු 3500ක් ගැන මේ සභාවේ අවධානය යොමු කළා. අදත් තරුණයින් පිරිසක් විරෝධතා පවත්වනවා. ඇයි මේ රජය ඊශ්‍රායල් රැකියා ව්‍යාපෘතිය පුද්ගලික අංශයට දුන්නේ. මේකෙන් ඒ තරුණයින්ට ලොකු අසාධාරණයක් සිදුවෙලා. ඉස්සර ලක්ෂ 10 ට රට ගිය අයට දැන් ඒ වෙනුවෙන් ලක්ෂ 40-45ක් වැය කරන්න වෙලා. වහාම මේ අයට සාධාරණයක් කරන්න.”
සජිත් එලෙස එම ගැටලුව පිළිබඳ ආණ්ඩුවට අවධාරණය කළේ ය.
‘Is it ok to put my hands on your shoulder’

දරුවන් වෙනුවෙන් සහ දරුවන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙවුණු සතියේ දී විශේෂ සමාජ සංවාදයක් සිදුවූයේ පොළොන්නරුවේ රාජ්‍ය නායකයා තමන් බව කියා ගන්නා ඇමතිවරයකු ගේ ක්‍රියා කලාපයක් සමග ය. දරුවන්ට දක්වන ආදරය හා අනිසි ස්පර්ෂය පිළිබද බලවත් කථිකාවක් නිර්මාණය කළ එම ක්‍රියාව ළමා අතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනු දැකගත හැකි විය.
එවැනි පසුබිමක සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකට ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක මෙන්ම 'Stop Child Cruelty Trust' සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය පෙන්වා දී තිබුණේ, ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගත නොහැකි රටක දරුවන් ගේ අනාරක්ෂිත බව අදාළ දේශපාලනඥයා ගේ හැසිරීම තුළින්ම නිරූපණය වී ඇති බව ය.
මීට පෙර අවස්ථාවක ළමා අයිතිවාසිකම් වෙනුවෙන් අත්සන් 40,000ක පෙත්සමක් පාර්ලිමේන්තුවට භාරදුන් අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් දැක්වූ සුවිශේෂී ආදර්ශයක් පිළිබඳව ද වෛද්‍ය තුෂාරා වික්‍රමනායක එම සමාජ මාධ්‍ය සටහනේ සිහිපත් කර තිබුණි. අදාළ පෙත්සම භාරදෙන අවස්ථාවට පැමිණ සිටි පිරිමි දරුවකු ගේ කරට අත තැබීමට පෙර සජිත් "මගේ අත් දෙක ඔයාගේ උරහිස උඩින් තිබ්බට කමක් නැද්ද?" යනුවෙන් විමසා ඊට අනුමැතිය ලැබීමෙන් අනතුරුව දරුවා ගේ උරහිස් ස්පර්ශ කළ බව ඇය සිහිපත් කර තිබූ අතර ඇය එය ලියා තිබුණේ…
“ Is it ok to put my hands on your shoulder’ ලෙස සජිත් ඒ දරුව ගෙන් විමසුවා. දරුවා ගෙන් ඒ සඳහා අනුමැතිය හිමිවූ පසුවයි සජිත් ඔහුගේ උරහිස් ස්පර්ශ කළේ. ඇත්තට ම සජිත් සැබෑ දේශපාලඥයෙක්. දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාවය සහතික කළ හැක්කේ මෙවැනි නායකයින් එක්ක පමණයි.”
ඒ වෛද්‍ය තුෂාරා ලියා තිබූ සටහනය.
සජිත් ගිය මග යන්න සැරසෙන තුන් කට්ටුව

සියල්ල අතරේ සමගි ජනබලවේගය පක්ෂයක් ලෙස සිය සංවිධාන ශක්තිය වර්ධය කිරීමේ ව්‍යාපාරයකට මේ වන විට අත තබා අවසන් ය. ‘එකම විකල්පය සජිත් & Team' යන තේමාවෙන් දියත් කෙරුණු එම වැඩසටහනේ සමාරම්භය සිදුවූයේ අනුරාධපුරයෙනි. අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ආසන 7 තුළ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 636 ම ආවරණය වන පරිදි මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ අතර පක්ෂයේ නියෝජිතයින් ගමටම ගොස් ජනතාව මුණගැසී සාකච්ඡා කරමින් සංවාද කරමින් එය සිදු කිරීම ද විශේෂත්වයක් විය.
සමගියේ එම ප්‍රවර්ධන කටයුත්තෙන් අනතුරුව දැන් දැන් බොහෝ අය ද අනුරාධපුරයේ යන්නට සැරසෙන බව සමගියේ මන්ත්‍රීවරයකු කියා සිටියේ කෝට්ටේ පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවක දී ය.
“අපි ගියා වගේම, නාමල් සහ ජනාධිපතිත් දැන් අනුරාධපුරේ යන්න ලෑස්ති වෙනවලු.” යනුවෙන් එක් මන්ත්‍රීවරයකු කියද්දී සිරිකොතේ පැවති එජාප පක්ෂ සම්මේලනයට ගිය සමගියේ තවත් මන්ත්‍රීවරයෙකු කීවේ…
“ඇයි ඇයි නාමල්, අනුර විතර ද? ඔන්න දැන් රනිල්
ලොක්කටත් අනුරාධපුරේ යමු කියල එහේ කට්ටියක් බලකරනවා කියලත් ආරංචියක් ආවා.”
ඒ කතාබහෙන් පසු එතැන රැස්ව සිටි කට්ටියම අනුරාධපුරයේ ගමන ගැන සිහිපත් කරන්නට විය.
“අපි අනුරාධපුරයට ගිහින් දේශපාලන වශයෙන් සිද්ධ කළේ ලොකු මැන බැලීමක්. ඒකෙ ප්‍රතිපල සාර්ථකයි නේ. ඇත්තට ම අපිත් එක්ක ලොකු පිරිසක් ඉන්න බව දැනගත්තෙත් අනුරාධපුරයට ගියාට පස්සෙ නේ… දැන් මේකේ ගැඹුර අපිට විතරක් නෙමෙයි. අනෙක් පක්ෂවලටත් තේරිලා. දැන් ඒ අය අපේ ගමනට බයවෙලා. අපි කරන දේම එයාලත් කරන්නේ ඒ නිසයි” සමගියේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සෙසු අයට මෙහි අරුත පැහැදිලි කළේ එලෙස ය.
“මුං වැපුරුවොත් මුං ලැබෙයි - තල වැපුරුවොත් තල ලැබෙයි”

පසුගිය දිනෙක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය. එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සරයට සමගිය නියෝජනය කරමින් සහභාගී වූ මන්ත්‍රීවරු ද එම සාකාච්ඡාවට එක්ව සිටි අතර, ඔවුන් පුංචි නෝක්කාඩුවක් ලෙස පෙන්වාදුන්නේ, “ බලන්න සර්, ඉතිහාසයේ පළවෙනි පාරට, ඩී. ඒ. රාජපක්ෂට සිරිකොත ඇතුළෙ දි මල්මාලා දැම්මා. එදා ගුටිකාපු දකුණේ මිනිස්සු මොනව හිතනවා ඇද්ද? ඒ මිනිස්සු මේවා දැකලා සාප කරනවා ඇති. නාමල් අත්අඩංගුවට ගත්ත එක ගැන රනිල් මහත්තයා කණස්සල්ල පළකරපු එකත් නෙගෙටිව් විදිහට ගොඩක් මීඩියා උස්සන් දුවනවා. ඇත්තටම රනිල් ලොක්කා ඒ කරන දේ ගැන දෙපාරක් හිතුව නම් හොඳයි කියලා තමයි මම නම් කියන්නේ. එදා මහින්ද හොරා කියලා අපිම කියලා, අපිම එයාලා හොරු නෙමෙයි කියනවා වගේ වැඩක් ඒකනම්. මම නම් ඒ වැඩේට විරුද්දයි සර්.”
එතැන සිටි මන්ත්‍රීවරයෙකු එලෙස කියද්දී, සජිත් ඊට පිළිතුරක් දුන්නේ වචන දෙක තුනකිනි.
“මුං වැපුරුවොත් මුං ලැබෙයි - තල වැපුරුවොත් තල ලැබෙයි”
කපන්න බැරි සජිත් ගේ අත ඉම්ඹ බිමල්…

එල්නිනෝ තත්ත්වයේ අහිතකර බලපෑම් එල්ලවීමට පෙර සූදානම්වීම ගැන මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ඉතා ධනාත්මක කරණු පැහැදිලි කිරීමක් කළ සජිත්ට ආණ්ඩුවේ මන්ත්‍රී අසිත නිරෝෂණ සමච්චල් කළ අවස්ථාව මුළු රටම දුටු සිදුවීමක් විය.
“අපි පාසල් යන කාලයේ ඒ ලෙවල් පන්තියේදීවත් කෙල්ලෙක් සෙට් කරගන්න බැරිවුණ කොල්ලෝ, 9 වසරේ කොල්ලෙක්, කෙල්ලෙක් සෙට් කරගනිපු හැටි දැක්කම හද කකියන තරමේ වේදනාවක් ඇති කරගැනීම හා සමානයි දැන් විපක්ෂය එල්නීනෝ එකෙන් ආණ්ඩුවට ගහන්න උත්සාහ කිරීමත්,” කියා මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන සජිත්ට සමච්චල් කර ගතවූයේ මාස දෙකක් තරම් කෙටි කාලයකි.
දැන් දැන් සිදුවෙමින් ඇත්තේ කුමක්දැයි රටට ම අවබෝධවී හමාර ය. එල්නිනෝ උත්සන්න වීමට මත්තෙන් ඊට අවශ්‍ය සුදුසු පියවර ගැනීම වැදගත් බව සජිත් පසුගියදා (10) පාර්ලිමේන්තුවේ දී යළි සිහිපත් කළේ ඇති විය හැකි අනතුරුදායක තත්ත්වයෙන් ජනතාවත්, පරිසරය ඇතුළු සත්ත්ව සම්පතත්, ආර්ථිකයත් ආරක්ෂා කරගැනීමට විධිමත් ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත් කම පෙන්වා දෙමිනි. සජිත් අවස්ථා ගණනාවක දී මේ අවධාරණය කරමින් ඇත්තේ කුමක්දැයි වටහා ගත් බිමල්, කපන්නට බැරි අත සිඹින්නාක් මෙන් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී සජිත්ට විශේෂ ස්තුතියක් කළේ මෙලෙසිනි.
“විපක්ෂ නායකතුමා මීට මාස 6 කට පෙර සිටම මේ ගැන අනතුරු ඇඟවීමට පියවර ගත්තා. ඇත්තට ම අපි එය විශේෂයෙන් අගය කරනවා.”
සජිත් නම් අත්දැකීම් බහුල පරිණත දේශපාලඥයා මෙලෙස රට වෙනුවෙන් වැදගත් කරුණු ගෙනහැර දක්වද්දී, පළමුවරට පිනට පාවී ආ මන්ත්‍රීවරු අසංවර ලෙස ප්‍රතිචාර දක්වද්දී, බිමල්ගේ ඒ ප්‍රතිචාරය අගය කළ යුතු බව මාළිමාවේ ඇතැම් අය ද පාර්ලිමේන්තු ලොබියේ දී කියනු අසන්නට ලැබුණි.
දිනෙන් දින ලස්සන වෙන සජිත්

සජිත් පසුගිය සතියේ සමගි වනිතා බලවේගයේ ආසන බලමණ්ඩල පිහිටුවීමේ අවස්ථා කිහිපයකට ද එක්විය. ඔහු මුලින්ම ගියේ රත්තොට සමගි වනිතා බලමණ්ඩල රැස්වීමටය. සජිත් එහි යන විට විශාල කාන්තා සහභාගීත්වයක් සහිතව වනිතා සමුළුවක් සංවිධාන කිරීමට රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය කටයුතු කර තිබු අතර, ඊට: හිරුණිකා, චමින්ද්‍රාණි ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

සජිත්ව උණුසුම ලෙස පිළිගත් සමගි වනිතා නියෝජිතවරියන් සජිත්ව වටකරගෙන කතා කරන්නට විය.
“අනේ සර් අපෙන් මොනවද වෙන්න ඕන, අපි මොනවද කරන්න ඕන, අපි ඉක්මනින් මේ ආණ්ඩුව පෙරළමු සර්” ආදී වශයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්ණ වැලකට පිළිතුරු දෙමින්ම සජිත් වේදිකාවට ගොඩවිය.
එහිදී සජිත් දෙස බලා සිට හිරුණිකා කීවේ.., සර් දැන් දවසෙන් දවස ලස්සන වෙනවා කියා ය.
ඊට සිනහවකින් සංග්‍රහ කළ සජිත්, “මගේ හිත පිරිසිදුයිනේ, ඒ නිසා මම හැමදාම ලස්සනයිනේ,” කියා සිනා මුසු මුහුණින් ඊට පිළිතුරු දී තිබුණි.
මම | බංගලා හන්දියේ ලියුම්කරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
