Image

නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 23 දක්වා යළි රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 23 දක්වා යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේ දී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) නියෝග කළේ ය.

ඇප ලබා දීම සම්බන්ධයෙන් නියෝග එදිනට ලබා දෙන බව ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා මෙලෙස මෙලෙස නියෝග කළේ සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ය.

එයාර් බස් සමාගමේ නිලධාරීන් සාක්ෂි දීලා

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර පවසා සිටියේ මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හතරවෙනි සැකකරු ලෙස නම් කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පවසා සිටියේ මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බැවින් අදාළ චෝදනා වැඩි ප්‍රමාදයකින් තොරව ගොනු කිරීමට කටයුතු කරන බවයි. තව ද එයාර් බස් සමාගමේ නිලධාරීන් ලංකාවට අවස්ථා කිහිපයක දී පැමිණ ප්‍රකාශ ලබා දී ඇති බව ද පැවසී ය.

විමර්ශනයට අදාළව කළ වෝහාරික විගණන වර්තාවන්ට අනුව එයාර් බස් සමාගම ඇතුලේ තිබු email මගින් මෙම හතරවෙනි සැකකරු මෙම සිද්ධියට අදාළ බව අනාවරණය වන බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට පැවසී ය.

යුරෝ එක්ලක්ෂ හැට දාහස් හරසියක් ශමීන්ද රාජපක්ෂ ගේ ගිණුමට

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට මෙලෙස කරුණු දැක්වූවා.

"ස්වාමීනි… මෙම විමර්ශනය ආරම්භ කරන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන්. මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වනවා. එම සිද්ධියට ම අදාළව අංශය අල්ලස් කොමිසම එක කොටසකුත් අපරාධ පරීක්ෂණ අංශය එක කොටසකුත් විමර්ශන සිදු කරනු ලබනවා. හැබැයි මේ කරන්නේ හවුල් විමර්ශනයක් ලෙස. මෙම සිද්ධියට අදාළ සියලු උද්ධෘත නීතිපතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා. විමර්ශනයට අදාළව වර්චුවල් ලීගල් හරහා ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, සිංගප්පූරුව සහ ඇමරිකන් එක්සත් ජනපදයෙන් පුළුල් විමර්ශනයක් කළා. මේ යන්නේ එහි අවසන් අදියර. ප්‍රංශයේ එයාර් බස් සමාගම ලංකාවේ එයාර් ලයින් සමාගම සමග ගිවිසුමක් ඇති කර ගත්තා. බඳ පුළුල් ගුවන් යානා 16 ක් ලබා ගැනීමට. එයින් 2ක් ලංකාවට ලැබී තිබෙන අවස්ථාවක එයාර් බස් සමාගමට අමතර තවත් සමාගම් දෙකකින් යුරෝ 1.454 ක මුදලක් ලබා ගෙන. එම මුදල US ඩොලර් මිලියන 2ක්. බිස්සෝලුෂන් නමැති සමාගමේ තනි අයිතිය හිමි වුණේ ප්‍රියංකා නියෝමාලිහටයි. ඇය ලංකා ගුවන් සමාගමේ හිටපු CEO වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳයි. කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියාවේ කෝමන් වේල්ත් ගිණුම්වලට යුරෝ ලක්‍ෂ 4ක් සහ ඇ.ඩෝ. ලක්ෂ 2ක් වෙනත් ගිණුමට යවා තිබෙනවා. ප්‍රියංකා නියෝමාලිගේ බිස්සොලුෂන් සිංගප්පූරු සමාගමේන් යුරෝ එක්ලක්ෂ හැට දාහස් හරසියක මුදලක් එවකට හිටපු ඇමති චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද රාජපක්ෂගේ ගිණුමට යවලා. ඔහුගේ සමාගමකට මිලියන 13ක් චෙක්පත් මගින් සහ මිලියන 6 ක් මුදලින් ලබා දුන් ආකාරය ගැන ද සිද්ධියට අදාලව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

නාමල් ගේ ඊමේල් හොඳ ම සාක්ෂියක්

"මෙම සිද්ධියට අදාල සාක්ෂිකරුවෙක් වන නිමල් පෙරේරා නමැත්තා 127 වගන්තිට අනුව ප්‍රකාශය ලබා දුන් පසු බලපෑම් ඇති බැවින් ඕස්ට්‍රේලියාවට ගොස් තිබෙන බව දිවුරුම් ප්‍රකාශයක් මගින් දැන්වු බවයි. ඔහු ඕස්ට්‍රේලියාවෙවත් සිටීමට නොහැකි බවයි දක්වා තිබෙන්නේ. තවද ස්වාමීනි එයාර් බස් සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකාවට ඇවිත් අවස්ථා කිහිපයක දී ප්‍රකාශ ලබා දීලා තිබෙනවා. තවද කරන ලද වෝහාරික විගණනවල අදාළ සාක්ෂි ලේඛන අනුව එයාර් බස් සමාගමේ ඇතුලේ තිබූ ඊමේල් මගින් මෙම සිද්ධියේ සැකකරුවකු වන නාමල් රාජපක්ෂ ක්‍රියා කළ ඇති ආකාරය අනාවරණය වී තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෙම සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා 18දක්වා. අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම සිදුවීමටම අදාළව ."

ප්‍රියංකා නියෝමාලී සහ ශමින්ද රාජපක්ෂ සිංගප්පූරුවේ සහ ඇමරිකාවේ

තවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පවසා සිටියේ මෙම සිද්ධියට අදාළව දෙවන සැකකරු වන ප්‍රියංකා නියෝමාලී සහ තුන්වන සැකකරුවන ශමින්ද රාජපක්ෂ සිංගප්පූරුවේ සහ ඇමරිකාවේ සිටින බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට තවමත් නොහැකි වී ඇති බවත් ය. නමුත් ප්‍රංශය සිංගප්පූරු ඕස්ට්‍රේලියාව මෙම විමර්ශනයට සහාය දක්වන බව ද සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියා. තව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට නීතිපති උපදෙස් ලැබී ඇති බැවින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩි ප්‍රමාදයකින් තොරව චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේ. සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා පවසා සිටියේ නිදොස්ව සිටින තම සේවා දායකයා සැකකරුවෙකු කර අද අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

රජයට ඕන වෙන විදිහට රිමාන්ඩ් කරන්න බැහැ

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙලෙස පවසා සිටියා.

" ස්වාමීනි මගේ සේවා දායකයාට ඇප ලබා දිය හැකියි. ඔහුට ඕස්ට්‍රේලියාවේ ගිහින් සැඟව සිටින්න බෑ . මොකද ඔහු දේශපාලනය කරන්නේ ලංකාවේ. ඒ හින්දා මෙම නඩුවේ අනිත් සැකකරුවන් වගේ තත්ත්වයට දාන්න බැහැ. තව ද රජයට ඕන වෙන විදිහට රිමාන්ඩ් කරන්න බැහැ. ඇප පනතේ වගන්ති මූලධර්ම තියෙනවා. ඒ අනුව කටයුතු කරන්නඕන. රැස්වීමක් තියෙනවා කියලනේ මේ රිමාන්ඩ් කරේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්. තවද නිමල් පෙරේරා කියන කෙනා ගිණුමට සල්ලි දාගෙන ගිහිල්ලා. ඒකට අපි වැරදි නෑ නඩුවක් තියෙන එක අපට ලොකු කාරණයක්වෙයි. ඒ නිසා මගේ සේවා දායකයාට ඇප ලබාදෙන්න."

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ සිද්ධියට අදාළව ඇප නියෝගය ලබන 23 සලකා බලන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න