Image

"වහලෙක් වුව ද තමන්ට කියා වහලකු තබාගැනීමට කැමති ය" - හේගල්

"වහලෙක් වුව ද තමන්ට කියා වහලකු තබාගැනීමට කැමති ය" - හේගල්

නුතන ධනවාදය අපේ ජන-සමාජයට කරමින් ඉන්නේ කුමක්ද යන වග පිළිබඳව කිසිවකුට මේ යුගයේ දී අදහසක් නැත. එය මුළුමනින් ම පුද්ගලයින්ව සාමූහිකභාවයෙන් ඉවත්කර පුද්ගලික සෛල බවට වේගයෙන් පරිවර්තනය කරමින් සිටී.

ග්‍රාමීය ව අතීතයෙහි සාමූහිකව බිහිවූ විශාල දන්සැල් වෙනුවට දැන් අපිට දැකිය හැක්කේ පවුල් කිහිපයක් එකතුවී සංවිධානය කරන ක්ෂණික දන්සැල් ය. ඒවා අයිස්ක්‍රීම්වල සිට සීනි සම්බෝල සහ පාන් දක්වා කලාපයක විහිදෙයි. මීට දශක කිහිපයකට ඉහත පැවති මුළු රාත්‍රිය පුරා පැවති දන්සැල් වෙනුවට මේවා පැය කිහිපයක ක්ෂණික දන්සැල්‍ ය.

Dansal 1

 

ඉහළට එසවුණු පුද්ගලික අභිමතාර්ථ

සාමූහිකව සංවිධානය කෙරූ මෙවැනි කාර්‍යයන් පවා දැන්, දැන් කුඩා වෙමින් පුද්ගලික මට්ටමට පසුබැස තිබේ. එය සාමූහික පුන්‍යකර්මවල සිට සිය අනන්‍යතා සමාජය මත සලකුණු කිරීම් දක්වා ගමන් කර ඇත. පවුල් තුළ පවා තිබූ සංවිධිත රටාව බිඳ වැටී ඒ තුළ පවා හුදෙකලා මනුෂ්‍යයන් බිහිවීම ඇරඹී ඇත. තවදුරටත් කුටුම්භයන්හි තිබූ එකට එකතුවී තීරණ ගන්නා "ආදරය" වෙනුවට පුද්ගලික අභිමතාර්ථ ඉහළට එසැවී තිබේ.

 

මනුෂ්‍යත්වය වෙනුවට පසු-මනුෂ්‍යත්වය

towards a posthuman life

 

Mr.kottu වැන්නෙකු සිය සේවකයන්ට සලකන ආකාරය පිළිබඳව පුදුම වෙන ලාංකිකයන් ද සිටී. අපිටනම් මෙහි පුදුමයක් නැත. සියලු පරමාදර්ශ බිඳී ගිය ලෝකයක mr.kottu සේවය කරන්නේ සිය "ලාභය" උදෙසාම පමණි. ඔහුට හුදු මනුෂ්‍යත්වය පිළිබඳ හැගීමක් නැත. එසේම මෙහි සේවකයින් ද සිය ආයතනයට ආදරයෙන් එහි දියුණුවට වැඩ කළ පුද්ගලයින් යැයි සිතීම ද මරිමෝඩකමකි. පුද්ගලික ක්ෂේත්‍රය වෙත ද රාජ්‍ය සේවය මෙන්ම සාරය අහිමි මනුෂ්‍යයින් පැමිණ ඇත. මේ කිසිවකුට සිය ආයතන පිළිබඳව වගවීමක් නැත. නොදියුණු ධනවාදය mr.kottuව සිය වහලකු බවට හරවා ගන්නා නිමේෂයේ දී ම ඔහුටත් අවශ්‍ය වන්නේ වහලුන් ය. පාරිභෝගිකයින්ට පාට් දාන ආයතනවල සේවකයින් බිහිවෙන්නේ ඔවුන්ට ද වහලකු අවශ්‍ය නිසා ය. මනුෂ්‍යත්වය වෙනුවට පසු-මනුෂ්‍යත්වය හරහා අපි ගමන් කරමින් ඉන්නේ නව ව්‍යුහාත්මක වහල් ශිෂ්ටාචාරයක් කරා ය.

 

 

 

සංකේතීය නීතිය පිළිබඳ ව වගවීමක් නැත්තෝ

දේශපාලනය පිළිබඳ අපේ කියවීම එන්නේ දීප්ති හරහා වන විට ඒ තුළ ම භෞතික මෙවලම බවට "ආත්මය" පත්වෙයි. දීප්ති මනෝවිශ්ලේෂනය අපිට සහ සමාජයට හදුන්වා දෙන්නේ මේ වංකගිරිය තුළ අපි සිරවී සිටින මොහොතේ ය.

Deepthifi

දීප්ති කුමාර ගුණරත්න

එක් පසෙකින් ධනවාදය සිය ලාභය සඳහා මිනිස් ආත්මයේ ආශාව ප්‍රති-නිර්මාණය කරනා විට ප්‍රාග්ධනය සියලු ම ස්ථානවලට ගලාගොස් අවසාන නැවතුම ලෙස මනුෂ්‍ය ආත්මය තෝරාගෙන සිටී. මාර්ක් සකර්බර්ග් වැන්නකු සිය ලාභ රේට්ටුව වැඩි කරගන්නේ අපේම වූ ඕනෑම අශ්ලීල ආශාවක් විකිණීමට ඉඩ දීමෙනි. ඒ නිසාම දශක කිහිපයකට ඉහත දේශපාලන ලෝකය අතර ඉහළ මාලයේ තිබූ දේවල් ජහමනකරණය වී සාමාන්‍ය ජනයාට ඊට සහභාගි විය හැකි ප්ලැට්ෆෝම් එකක් ලැබී තිබේ.

Mark Zuckerberg

දැන් උසාවිවල ඇසෙන නඩුවලින් මනුෂ්‍යයන්ට පලක් නැත. ඊට අදාළ තීන්දු තමන්ගේ කැමැත්තට අනුව දිය හැකි වේදිකාවක් ලැබී තිබේ. සංඛේතීය නීතිය වෙනුවට අපේම ආශාව අපිට දැන් වගාකළ හැකි ය. තරිදු උඩුවරගෙදර ගේ සිට සන්නස්ගල දක්වා "පියවරුන්" සිය ආශාව දරුවන් මත වපුරමින් සිටිති. ඔවුන්ට සංකේතීය නීතිය පිළිබඳව වගවීමක් නැත.

 

නරුමවාදය හාස්‍යයක් ලෙස අපේ ජීවිත තුළම ශේෂ වීම

සිදුවෙමින් යන වර්ධන ඔස්සේ පීඩිතයින්ට සමාන ආර්ථික අවස්ථා ලැබී නොමැති වුව ද ප්‍රකාශවීමට ඇති බාධා ඉවත් කර ඇත. සැබෑ මර්ධනය ඇත්තේ අදහස් පැත්තේ නොව ආර්ථිකය පැත්තේ ය. අතිශයින්ම දුප්පත් පීඩිතයකුට වුව ද සිය අදහස ප්‍රකාශ කිරීමට මේ යුගයේ දී හැකිය. ඊට ඇත්තේ බාධා කිරීමක් නොව වෛරල් ගුණයකි. mr.kottu ගෙන් ගුටි කෑ පීඩිතයාට සිය අදහස ප්‍රකාශ කර ජනප්‍රිය තරුවක් ලෙස තාවකාලික සතුටක් විඳිය හැකි ය. නමුත් ඔහුට අහිමිව යන්නේ ආර්ථික සමානතාවයි; නැතහොත් වෙනත් ස්ථානයක නැවත සේවය කිරීමට ඇති අවස්ථාවයි.

ධනවාදය, මුල් කාර්තුවේ දී ශ්‍රමිකයන් ගේ අදහස් ද විකිණීමට හැකි බව දැන සිටියේ නැත. අදහස් ද විකිණිය හැකි බව සොයා ගැනීම ධනවාදය තුළ විප්ලවීය මොහොතකි. ලංකාවේ බොහෝ දෙනකු දීප්ති ගේ අදහස් විකුණන අයුරු දැන් අපිට හුරුපුරුදු ය. ඒවා දෙස සිනහවෙමින් බලා සිටිනවා හැර මේ යුගයේදී කම්පා වී පලක් නැත. අදහසකට පියවරු මේ යුගයේදී නැත. එය විකිණිය හැකි බැවින් පීතෘගෙන් ඒවා නිදහස්‍ ය. ලාල් කාන්ත හෝ සන්නස්ගල දෘෂ්ටිවාදය යයි කියන විටම මට සිනහ යයි. නරුමවාදය හාස්‍යයක් ලෙස අපේ ජීවිත තුළම ශේෂ වෙයි.

 

තමා සමීපයේ ම බිහිවන සතුරා

අලුත් ලෝකයක් පිළිබඳව සිහිනය අපි තුළ ඇත්තේ අපි පවුල්වාදීන් නිසා ම ය. ඔබ වඩා මේ ක්‍රමයට බිය විය යුත්තේ ඔබ පවුල්වාදියෙක් නම් පමණි. ඔබ ඔබේ බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට හෝ දරුවන්ට ආදරේ නොකරන කෙනකු නම් ඔබ මේ ක්‍රමය තුළ සුරක්ෂිත ය. ඔබ බිය විය යුත්තේ පවුල තුළ ම පුපුරා යන බෝම්බවලට විනා බාහිර සමාජයට නොවේ.

නව-දේශපාලන සිතීමක් අවශ්‍ය වෙන්නේ පාලම්, බෝක්කු, රේල් පාරවල් හෝ හයිවේ සෑදීමට නොවේ. මනුෂ්‍ය සබඳතා නව ආකාරයකින් ව්‍යුහගත කිරීමකට එය අවශ්‍ය වේ. දේශපාලනය රැඳී ඇත්තේ මනුෂ්‍ය සබඳතා කලාපයේය. ගිං-ගගේ පාවෙන මලසිරුරක් හෝ කාර් රථයක දමා ගිය මලසිරුරක් හෝ අපිට කියන්නේ මේ දේශපාලනය තුළ මනුෂ්‍යත්වය අවසන් බවයි. එය නැවත ගොඩනැගිය යුතු බවයි.

waruna1වරුණ රාජපක්ෂ

වරුණ රාජපක්ෂට නොතේරෙන්නේ අනෙකා යනු තම අසල්වැසියා හෝ සිය සහයකයා බවයි. ජ.වි.පෙ.තම අනෙකා ලෙස තෝරාගැනීම අයිති වෙන්නේ ආත්මීය ප්‍රතිවිරෝධතා බාහිරට ප්‍රක්ෂේපණය කිරීම හරහා ගොඩනගා ගන්නා මනංකල්පිත සතුරකුට ය. වරුණට ගල්ගැසිය හැක්කේ ශුද්ධවන්තයෙකු නම් පමණි. සතුරා බිහිවන්නේ තමා සමීපයේමය. එය තමාගේම ප්‍රතිවිරෝධතා නිසා සතුරා අතට පත්විය හැකි ආයුධයකි. බාහිර ට දමා පිළිකුල් කරන "අනෙකා "යනු තමා ම බව වටහා ගැනීමට තව දුර නැත.

 

Samabima Party

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න