දේශපාලන ක්ෂේත්‍රයේ වඩාත් ම විනෝදජනක දර්ශනය වන්නේ, වේදිකාව මත නිර්ධන පන්තියේ විප්ලවය ගැන දොඩවන "නවකයින්", පාර්ලිමේන්තු පියස්ස යටට පැමිණි විගස තමන් සතු නොවන ධනේශ්වර වරප්‍රසාද (Privileges) සෙවීමට යාමයි.
නවතම සිදුවීම වන්නේ, බාලවයස්කාර දැරියකගේ ලිංගික අපරාධ නඩුවකට අදාළව, 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් පාර්ලිමේන්තු කාරක සභාවකට කැඳවා නීති විරෝධී ලෙස ප්‍රශ්න කිරීමේ සිදුවීම, බීබීසී (BBC) මාධ්‍යය විසින් වාර්තා කිරීමත් සමග ජාතික ජන බලවේගයේ (NPP) ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර දැඩි ලෙස කැළඹීමට පත්වීමයි.
ඇය සිය පෞද්ගලික Facebook ගිණුමේ මෙසේ සටහන් කර ඇත.
"මෙම ලිපිය සම්බන්ධයෙන් මා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට බලාපොරොත්තු වෙමි. සංසදය සහ මන්ත්‍රීවරියන් ඉලක්ක කර ගනිමින් ද්වේෂසහගත තොරතුරු මත පදනම්ව, පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාව පිළිබඳව මෙම මාධ්‍යවේදියා විසින් සාවද්‍ය ආඛ්‍යානයක් නිර්මාණය කර ඇත..."
නීති වෘත්තියේ නිරත මන්ත්‍රීවරියකගෙන් මීට වඩා ව්‍යවස්ථාපිත සාක්ෂරතාවයක් (Constitutional Literacy) අප බලාපොරොත්තු වූ නමුත්, "වැටුප් නොලබා, පිනට වැඩ කරන" මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට නොඑවිය යුතු බවට පොදු ජනයා එදා කට කැඩෙනකම් තර්ක කළේ ඇයිද යන්න දැන් වඩාත් පැහැදිලි ය.
මන්ත්‍රීවරියගේ අවධානය පිණිස කරුණු දෙකක් සිහිපත් කළ යුතුය:
1. වරප්‍රසාද පනතේ සීමාවන් නොදැනීම (Legal Ignorance):
1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනත ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඇයට අවබෝධයක් නොමැති බව පෙනේ. "පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය" (Women Parliamentarians' Caucus) යනු කිසිසේත්ම ව්‍යවස්ථාපිත වරප්‍රසාද හිමි කාරක සභාවක් (Statutory Committee) නොවේ. එය හුදෙක් එකම අරමුණක් වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරියන් ගේ ස්වේච්ඡා එකතුවක් පමණි. තමන් සාමාජිකත්වය දරන ව්‍යුහයේ නීතිමය ස්වභාවය පවා නොදැන වරප්‍රසාද ඉල්ලීම හාස්‍ය ජනක ය.
2. වගවීම සහ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීම:
ස්වාධීන ආයතනයක ව්‍යවස්ථාපිත රාජකාරිය ඉටුකළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණය තුළට කැඳවා, තමන්ට අවශ්‍ය පරිදි පමණක් ප්‍රකාශ ලබා දෙන ලෙස නියෝග කිරීමට (Gagging the officials) කිසිදු මන්ත්‍රීවරයෙකුට/ මන්ත්‍රීවරියකට නීතිමය බලයක් නොමැත.
තමන් සිදුකළ එම නුසුදුසු ක්‍රියාව මාධ්‍යය මගින් අනාවරණය කළ විට, තමන් වැරදි බව පිළිගනු වෙනුවට මාධ්‍ය නිදහසට (Media Freedom) එරෙහිව වරප්‍රසාද පලිහක් ලෙස භාවිතා කිරීමට යෑම කිසිසේත්ම විදග්ධ දේශපාලන සංස්කෘතියක් නොවේ. තමන් නොදන්නා වරප්‍රසාද ගැන කතා නොකර, තමන් දන්නා සීමාව තුළ කටයුතු කිරීමට ඇය වහාම පුරුදු විය යුතු ය.
සමහරවිට මන්ත්‍රීවරිය මෙම සටහනට එරෙහිවත් වරප්‍රසාද කමිටුවට යෑමට ඉඩ ඇත. එසේ වුවහොත්, ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ වරප්‍රසාද යනු කුමක්ද යන්න පිළිබඳව ඇයට හොඳ පාඩමක් කියා දීමට පුරවැසියන් ලෙස අප සූදානම්ය . හැබැයි ඉතින්, ඔයාලා වගේ "පිනට හෝ නොමිලයේ" සේවා සැපයීම අපේ සිරිත නොවන නිසා, ඒ වටිනා පාඩම වෙනුවෙන් යම් වෘත්තීය ගාස්තුවක් (Professional Fee) අය කිරීමට අපට සිදුවන බවද කාරුණිකව මතක් කරමු!

Isuru Mahesh Panditha
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
