Image

වෘත්තීය ප්‍රවෘත්ති සංස්කාරකවරුන් විසින් වළක්වනු ලැබිය යුතු දෑ

වෘත්තීය ප්‍රවෘත්ති සංස්කාරකවරුන් විසින් වළක්වනු ලැබිය යුතු දෑ

මේ සතියේ රූපවාහිනී ආයතන දෙකක ප්‍රවෘත්ති ප්‍රචාර නරඹන විට දැක ගන්නට ලැබුණු අකටයුතු දෙකක් සාකච්ඡාවට ලක් කිරීම වැදගත් ය. ඒ විචාරාත්මක ව ජනමාධ්‍ය පරිහරණය කිරීමට අපට ඇති හැකියාව හෙවත් මාධ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කර ගැනීමටත් තම වැරදි නිවැරදි කර ගැනීමට අදාළ ආයතන යොමු කර ගැනීමටත් ය.

 

AI ප්‍රතිරූප සහ යථා රූප අතර ඇති සමාන බව අතිශයින් රැවටිලි සහගත ය

WJ I AI

ඉන් පළමුවැන්න රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රචාරය වූ ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙනි. ප්‍රවෘත්තිය දේශපාලනඥයෙකු වන සරණ ගුණවර්ධන දූෂණ චෝදනාවලට වැරදිකරුවකු වී සිරගත කිරීම සම්බන්ධයෙනි. ප්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමෙන් පසු නොකිව් කතාව යනුවෙන් ඒඅයි (AI) හෙවත් කෘත්‍රිම බුද්ධිය උපයෝගි කර ගෙන ප්‍රතිනිර්මාණය කරන ලද දර්ශන ද ඇතුළත් විශේෂාංගයක් ඉදිරිපත් කළේ ය. එහෙත් එය ඉදිරිපත් කරන විට අදාළ දර්ශන ඒඅයි (AI) මගින් නැවත ප්‍රතිනිර්මාණය කළ දර්ශන බවට නරඹන්නන්ට කිසිදු දැනුම් දීමකින් නොකළ බැවින් ඒවා සැබෑ දර්ශන ලෙස බොහෝ ග්‍රාහකයින්ට හැඟී යෑම බලාපොරොත්තු විය යුත්තකි. ප්‍රවෘත්ති ප්‍රකාශයක් අතරතුර දී සත්‍ය ඒවා නොව එවැනි ප්‍රතිනිර්මාණය කරන දර්ශන යොදා ගන්නේ නම් ඒ බව එකී දර්ශන මත යෙදූ උප සිරසි මගින් නරඹන්නන්ට දැනුම් දිය යුතු ය. එසේම එවැනි ප්‍රතිනිර්මාණ මගින් කතාව අතිශයෝක්තියෙන් පවසන ආකාරයේ රූප රාමු ඉදිරිපත් නොකළ යුතු ය. AI ප්‍රතිරූප සහ යථා රූප අතර ඇති සමානබව අතිශයින් රැවටිලි සහගත නිසා එම දර්ශන AI භාවිතයෙන් ප්‍රතිනිර්මාණය කරන දර්ශනයක් බව අසන්නන්ට දැනුම් නො දීම වරදකි. එම ආචාරධර්මය ‘සාමාන්‍යයෙන් අවශ්‍ය වන තාක්ෂණික වැඩිදියුණු කිරීමක් ඉක්මවමින් අචල හෝ චලන චිත්‍ර වෙනස් කිරීම ජනමාධ්‍යවේදියකු කිසිසේත් ම නොකළ යුතුය ( journalists should never alter a still or moving image beyond normal image enhancement requirements) යනුවෙන් රොයිටර් පුවත් සේවය ප්‍රවෘත්ති පිළිබඳ හඳුන්වා දුන් ආචාර ධර්මයේ ම දිගුවකි.

 

අතිශයින් වැදගත් වන ප්‍රවෘත්ති ප්‍රකාශයේ අපක්ෂපාතීත්වය

දෙවන ප්‍රවෘත්තිය පුද්ගලික රූපවාහිනී ආයතනයක ප්‍රචාරය වූ ප්‍රවෘත්ති ප්‍රකාශයක පාස්කු බෝම්බ සිද්ධියේ සැකකරුවකු වන සලේ අමානුෂික වද හිංසනවලට ගොදුරු වන බවට දේශපාලනඥයෙකු කරන චෝදනාවක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙනි.

කිසියම් පුද්ගලයකු විසින් චෝදනා මුඛයෙන් කරන ප්‍රකාශයක් ප්‍රවෘත්තිවලට ඇතුළත් කරන්නේ නම් එම චෝදනාව සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනය ඒ සම්බන්ධයෙන් පවසන්නේ කුමක් දැයි සඳහන් කිරීම ප්‍රවෘත්ති ප්‍රකාශයේ අපක්ෂපාතීත්වයට අතිශයින් වැදගත් ය. අනෙක් අතට ග්‍රාහකයින් බලාපොරොත්තුවන අන්දමට සිද්ධිය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට තමන්ගේ ම වන අපක්ෂපාතී වාර්තාකරණයක් නො කරන්නේ නම් මෙවැනි අවස්තාවල දී චෝදක චූදිත දෙපැත්තේ ම කරුණු සිය ග්‍රාහකයන්ට දැනුම් දීම ජනමාධ්‍යයෙහි වගකීමකි. මෙකී චෝදනාව සම්බන්ධයෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ නම් පවා සඳහන් වූ බැවින් ඔවුන්ට හෝ ඔවුන් නියෝජනය කරන ආයතනවලට ඒ සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ කුමක් ද යන්න ග්‍රාහකයන්ට දැන ගැනීමට ඉඩ සලසා නො දීමෙන් මෙකී මාධ්‍ය ආයතනය සිය වෘත්තිය වගකීම පැහැර හැරියේ ය. මේ වැරදි වෘත්තීය ප්‍රවෘත්ති සංස්කාරකවරුන් විසින් වළක්වනු ලැබිය යුතු ඒවා ය.

 

468823027 10161121671331699 8778555952168289445 n

සටහන - විජයානන්ද ජයවීර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න