Image

සංඝාධිකරණයෙන් කළ හැකි දේ සහ නොහැකි දේ

සංඝාධිකරණයෙන් කළ හැකි දේ සහ නොහැකි දේ

"සසුන පිරිහුණහොත් රාජ්‍ය පිරිහේ" යනුවෙන් මීට පෙර ලියූ ලිපියෙහි මම සටහනේ සඳහන් කළෙමි. මේ ලිපිය ද එයට ම අදාළ ය.

ශාසන පරිහාණිය වැළැක්වීමට රජයක් විසින් ගත හැකි එක් ක්‍රියාමාර්ගයක් වන්නේ විධිමත් සංඝාධිකරණයක් පිහිටුවීම සඳහා පහසුකම් සහ නීතිමය ප්‍රතිපාදන සැකසීම ය. මේ අවශ්‍යතාව දැන් යළිත් කරළියට පැමිණ ඇත.

සංඝාධිකරණය යනු සුරතුරක් ද...?

සංඝාධිකරණයක් කී පමණින් බොහෝ දෙනා කලබල වී ඇත. සමහරුන් අසන්නේ මේ සැරසෙන්නේ "බෞද්ධ ෂාරියා නීතියක්'' හඳුන්වා දෙන්න දැයි යන්න ය. තවත් සමහරු කියන්නේ මේ සැරසෙන්නේ "නරින්ට කුකුල්ලු බාරදීමක්" හෝ "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" මාදීලියේ වැඩකට බව ය. තවත් අය අධි සුබවාදී වී ශාසනයේ සියලු ප්‍රශ්න නිරාකරණය කරගත හැකි සුරතුරක් ලෙස සංඝාධිකරණය දකිති.

මෙසේ විෂම අදහස් මතුවීමට හේතුව සංඝාධිකරණයකින් ඇත්ත වශයෙන්ම කළ හැක්කේ කුමක්ද නොකළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයක් නොතිබීමත්, සංඝාධිකරණය පිළිබඳ මෙතෙක් මතුවී තිබෙන ශාසනික හා නෛතික කතිකාවේ අන්තර්ගතය විමසා නොබැලීමත් හේතුවෙනි.

සංඝාධිකරණ පිහිටුවීම මගින් පොදු අධිකරණ විමර්ශන අහෝසි වෙනවා ද...?

සංඝාධිකරණය පිහිටුවිය යුත්තේ විනය පිටකයට අනුකූලවය. ඒ අනුව විනය වරදක් සිදුකරන භික්ෂුවකට සංඝාධිරණයකින් දිය හැකි උපරිම දඬුවම වන්නේ සංඝ සමුහයෙන් නෙරපා දැමීම හෙවත් එම වරද කර තිබෙන භික්ෂුව සමග මින් මනත කිසිදු සම්බන්ධකමක් නැතැයි භික්ෂු සංඝයා විසින් ප්‍රකාශ කරනු ලැබීම ය. ඒ හැරෙන්නට මරණ දඬුවම, සිරදඬුවම්, දඩගැසීම්, දේපළ සන්තකය අහිමි කිරීම් පමණක් නොව චීවරයක් දැරීමේ අයිතිය අහිමි කිරීමට පවා සංඝාධිකරණයකට නොහැකි ය.

අවිහිංසා දහමක් වූ බුදු සමය දණ්ඩනය ප්‍රතිකේෂප කරන අතර ඕනෑම පාපී පුද්ගලයකුට වුව පුනරුත්ථාපනය වී නිර්වාණ මාර්ගයට යළි අවතීර්ණ වීමේ ඉඩකඩ ලබා දේ. දැනට නිරයේ පැසවමින් සිටින දෙවිදත්තෙර පවා සසර මතු දවසක නිවන් දකිනු ඇතැයි කියන්නේ මේ තර්කයට අනුවය.

රටේ අපරාධ නීතිය ඇතුළු පොදු නීතිය උල්ලංඝනය කරන භික්ෂුවකට සංඝාධිකරණයක පෙනී සිිට දණ්ඩන මුක්තියක් ලබාදීම සංඝාධිකරණයේ අරමුණ නොවේ. එවැනි වරදකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුත්තේ රටේ දැනටමත් පිහිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ මගිනි. සංඝාධිකරණ පිහිටුවීම මගින් මෙකී අධිකරණ විමර්ශන අහෝසි වන්නේ නැත.

එසේනම් සංඝාධිකරණයක් පිහිටුවීමේ අරමුණ කුමක් ද...? ශාසන විනය පරිහාණිය වැළැක්වීමට ශාසනය මට්ටමෙන් ගත හැකි උපරිම පියවර ගැනීම ය. එය අපට පෙනෙනු ඇත්තේ ඉතා අවම පියවරක් වශයෙනි. එහෙත් මේ අවම පියවරවත් විධිමත්ව නොගෙන තිබීම අපේ රටේ ශාසනයේ තිබෙන අඩුපාඩුවකි.

Karu Paranawithana

 

 

 

 

Karu Paranawithana

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න