"ජනප්‍රිය වුනොත් මගේ - නොවුනොත් ඔබේ " ගීතයක අයිතිය සහ ඉරණම

"ජනප්‍රිය වුනොත් මගේ - නොවුනොත් ඔබේ " ගීතයක අයිතිය සහ ඉරණම

ගීතයක් යනු සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. එහි මූලික පදනම සකස් වනුයේ ගී තනුව (මෙලඩිය), සංගීත සංයෝජනය, පද රචනය සහ ගායනය යන අංගවලිනි. මීට අමතරව ගීතය වෙනුවෙන් පිරිවැය දරන නිෂ්පාදකවරයා ද මෙහි ලා ප්‍රමුඛ වේ.

ප්‍රමුඛ අවධානය

නිර්මාණ ක්‍රියාවලියේ දී සංගීත අධ්‍යක්ෂවරයාට පැවරෙන්නේ අතිශය භාරදූර කාර්යයකි. තනුව නිර්මාණය කිරීමේ සිට: උචිත වාද්‍ය භාණ්ඩ තේරීම, ගායකයා පුහුණු කිරීම සහ අවසාන නිමාව (Mixing & Mastering) දක්වා වූ සියලු තාක්ෂණික සහ කලාත්මක මෙහෙයවීම් සිදු කරනු ලබන්නේ ඔහු විසිනි. මේ සඳහා ඔහු විශාල කාලයක් සහ බුද්ධිමය ශ්‍රමයක් වැය කරයි. ඉහත තිදෙනාට ම ගීතය නිර්මාණයේ දී තමා ගේ බුද්ධිය මෙහෙයවීමට සිදුවේ. ගීතයක් බිහිකිරීමට වැඩිම කාලය වැය කරනුයේ සංගීත අධ්‍යක්ෂකවරයා ය.

ගායන ශිල්පියාගේ භූමිකාව පිළිබඳව වර්තමානයේ විවිධ මත ගැටුම් පවතී. සාර්ථක ගීතයක් බිහි වීමට නම් ගායකයාට සහජ හැකියාව මෙන්ම, තනුව සහ පදවැල් තේරුම් ගෙන එය මනසට උකහා ගෙන එයට ම හැඟීම් එකතුකර ගීතයට තමා ගේ කටහඬ එක් කිරීමට බුද්ධිමය හැකියාවක් අවශ්‍යයි. පොදු ජනමතය තුළ ගීතයක් බොහෝ විට හඳුනා ගන්නේ ගායකයා හෝ ගායිකාව ගේ නමිනි. නිදසුනක් ලෙස "වළා තීරයෙන් එහා" ගීතය ප්‍රේක්ෂකයින් හඳුන්වන්නේ TM ජයරත්න ගේ ගීතයක් ලෙසිනි.

නව ගී නිර්මාණයක් වෙනුවෙන් ගායකයාට තමා ගේ බුද්ධිය මෙහෙයවීම අවශ්‍ය නොවේ නම්, සහජ හැකියාව ඇති හෝ නැති ඕනෑ ම අයෙකුට ගායකයකු හෝ ගායිකාවක විය හැකි. ගායකයෙක් හෝ ගායිකාවක නොමැතිව ගීතයක් බිහි නොවේ. තමාගේ මුළු ජීවිත කාලය තුළම ගීතය ගායනා කරමින් ගීතය ජනගත කරනුයේ ද ගායකයා හෝ ගායිකාව විසිනි. නමුත් ඒ වෙනුවෙන් ඔහුට ලැබෙන ජනප්‍රසාදය සහ ප්‍රසංග වේදිකාවෙන් ලැබෙන ආදායම සාධාරණ වුවත්, එහි අනෙක් නිර්මාණකරුවන් දෙදෙනා අමතක කළ යුතු නැත.

Music Director ?

සංගීත අධ්‍යක්ෂවරයා සහ ගීපද රචකයා මෙහි දී බොහෝ විට මූල්‍යමය වශයෙන් අසාධාරණයට ලක් වේ. ගීතය නිර්මාණය කිරීමෙන් පසු එයින් දිගින් දිගටම ආදායම් ලැබෙන්නේ ගායකයාට පමණක් නම්, ඔවුන් "කර්තෘ භාගයක්" (Royalties) ලබාගැනීම සර්ව සාධාරණ ය. ලෝක සම්මත නීතියට අනුව බුද්ධිමය දේපළ අයිතිය හිමිකරුවන් වන සංගීත අධ්‍යක්ෂක සහ ගිපද රචකයාට ගීතයේ ප්‍රචාරණ කටයුතුවලින් (උදා: YouTube, Spotify) ප්‍රතිලාභ ලැබේ.

writer

ජනප්‍රිය ගායකයින් දළ වශයෙන් රුපියල් 50,000 පමණ සිට ලක්ශ 12ක් පමණ වන තෙක් මුදලක් ප්‍රසංගයක් වෙනුවෙන් අය කළ ද, සංගීත අධ්‍යක්ෂවරයාට සාධාරණ මුදලක් හිමි වේ ද  අනෙක්පසින් ප්‍රවීණ ගායකයා හෝ ගායිකාව වියපත් වූ පසු, ඔහුට හෝ ඇයට කිසිදු ආදායමක් නොලැබේ නම්, ගායකයා හෝ ගායිකාව ප්‍රතිලාභයක් අපේක්ෂා කිරීමේ දොසක් වේද? ගායකයාට හෝ ගායිකාවට නිරතුරුවම වැඩ තිබේද සහ නියමිත මුදල ම ලැබේද...?

ගී පද රචකයා හෝ රචකාව?

බොහෝවිට අවම ආදායමක් ලැබෙනුයේ ගීපද රචකයා හො රචිකාවට ය. ජනප්‍රිය ගීත සිය ගණන් ලියූ බොහෝ ගීපද රචකයින්ට මූල්‍යමය වශයෙන් සැලකිය යුතු ප්‍රතිලාභයක් නොලැබුණි. මීට විසඳුමක් ලෙස බොහෝ ගීපද රචක රචිකාවන් වෙනත් රැකියාවක් කරන අතර ගී පද ලිවීම කරයි. උදා: සිංහල ගුරුවරයින්

ගායකයා හෝ ගායිකාව?

ගායකයාගෙන් හෝ ගායිකාව ගෙන් පලක් නෑ, ඔවුන් වෙනස් කළ හැකියි, ගායකයා හෝ ගායිකාව කුලීකරුවෙක් වැනිය යනුවෙන් ගායකයාව හෝ ගායිකාව සැහැල්ලුවට ලක් කිරීම ඛේදජනක ය.

මෙම අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව මුල් කරගනිමින් මෙරට සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කළ, තරුණ පරපුරට අතහිත දුන් ජනප්‍රිය ප්‍රවීණ සහ විශිෂ්ට ගායකයෙකු වන ටී. එම්. ජයරත්න බඳු කලාකරුවන් හෑල්ලුවට ලක් කරමින් පළ වන සමාජ මාධ්‍ය සටහන් කිසිසේත්ම අනුමත නොකරමි. ඔහු ඉදිරිපත් කළේ ගායකයාට ඇතිවිය හැකි ගැටලු යි. ඕනෑම මතවාදී ගැටුමක් විද්වත් ලෙස සාකච්ඡා කළ යුතු අතර, පුද්ගල අපහාසය හෝ අවමානය බුද්ධිමත් මිනිසුන් ගේ ලක්ෂණයක් නොවේ.

musc

ගීතයක අයිතිය රසික/ ප්‍රේක්ෂක ප්‍රජාව ගේ ඇසින්

ප්‍රේක්ෂක දෘෂ්ටිකෝණයෙන් ගීතයක අයිතිය තිදෙනාට ම ය. ගීතය බිහිවීමෙන් පසු ගායකයා ප්‍රසංග මගින් මුදල් උපයන නිසා, රචකයාට සහ සංගීත අධ්‍යක්ෂවරයාට "කර්තෘ භාගය" හරහා සාධාරණයක් ඉටු විය යුතු ය. එමෙන්ම ගායන ශිල්පියකු හෝ ශිල්පිනියක වියපත් වූ විට හෝ ආදායම් මාර්ග අවහිර වූ විට ඔහු හෝ ඇය වෙනුවෙන් ද කිසියම් සුබසාධන යාන්ත්‍රණයක් පැවතීම අවශ්‍ය ය.

ජනප්‍රිය මුත් මූල්‍යමය ශක්තිය අඩු, තමාගේ ම පෞද්ගලික වාහනයක් - නිවෙසක් හෝ නොමැති, එදිනෙදා ජීවතය පවත්වාගෙන යෑමට හෝ ප්‍රමාණවත් මුදලක් නැති කොපමණ ප්‍රවීණ ගායක ගායිකාවන් පිරිසක් අද මේ රට තුළ අසරණව සිටිනවා ද යන්න ඔබ දන්නවාද...?

එකල ගීතයක් නිර්මාණය වූ ආකාරය, අයිතිය සහ ගැටලු පිළිබඳව ප්‍රවීණ සංගීතවේදී අර්නස්ට් සොයිසා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් ලියැවෙන මීළඟ ලිපියෙන් නැවත හමුවෙමු.

 

sanji

 

සංජී වීරසිංහ

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න