චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ ෆාදර් චිත්‍රපටය මේ වන විට ප්‍රේක්ෂක ආකර්ෂණය සහ කතා බහ ඉහළින්ම හිමිකර ගනිමින් සාර්ථකව තිරගත වේ.
එම සාර්ථකත්වයට මූලිකම හේතුව එහි නිර්මාණ කාර්යය සාමුහික දායකත්වයෙන් සිදුකර තිබීම බව අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය යළි යළිත් අවධාරණය කර ඇත. චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා විය පැහැදම් කර තිබෙන්නේ, තවත් ලෙසකින් කියන්නේ නම් ප්‍රාග්ධනය සපයා ඇත්තේ ශාන්ත ගීතදේව ය.
ශාන්ත ගීතදේව
මෙම කලා කෘතිය නිර්මාණය කිරීමට ඉහළ ම කැපවීමෙන් දායකත්වය ලබාදුන් සාමූහික බව පිළිබඳව වෙන වෙනම කතා කිරීමට මෙම සටහන යොමු නොවේ. ඒ වෙනුවට චිත්‍රපටය තුළින් කියවෙන එහෙත් සාතිෂය බහුතරයක් ප්‍රේක්ෂකයන්ගේ කතා බහට ලක් නොවෙන අත්‍යවශ්‍යම කේන්ද්‍රීය ප්‍රස්තුතය පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. මෙම සටහන ඒ වෙනුවෙනි.
FATHER නම් අයිස් බර්ගය
මෙම සටහනට “ගම්පහ ඔස්මන්ගේ කතාව නොවේ” යන සිරස්තලය යෙදීම පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය දැඩිව යොමු වන බව පැහැදිලි ය. චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ඔස්මන් නමින් වුවද ඒ ගම්පහ ඔස්මන් බව ප්‍රෙක්ෂකයින් හැමදෙනා ම හොඳින් දන්නා දෙයක් ය. සටහනට සිරස්තලය ඉහත ආකාරයට යොදන ලද්දේ ද ඒ නිසා ම ය. සමස්ත චිත්‍රපටය පුරාම දිග හැරෙන කතා පුවත “ගම්පහ ඔස්මන්” ගැන පමණක් කියවීමට පටුවී ඇති නිසාම මේ සිරස්තලය ඊට ප්‍රතිපක්ෂව දැමිණි.
ගම්පහ ඔස්මන්
චිත්‍රපටයෙන් කතා කරන්නේ ගම්පහ ඔස්මන්ගේ සත්‍ය ජීවිත කතාව නොවේ නම් වෙන මොකක්දැයි බොහෝ දෙනාට ප්‍රශ්නයක් පැන නගී. ඔව්, මේ කේන්ද්‍රීය චරිතය ගම්පහ ඔස්මන් ය. එසේ වුවත් ඒ ඔස්මන්ට වඩා ඉතා විශාල දෙයක් මේ තුළ ගැබ්වී පවතී. හරියට මුහුදේ තිබෙන අයිස් බර්ගයක් මෙන් ය. ඔස්මන් ගේ චරිතය පමණක් කෙරෙහි අවධානය යොමු කරන ප්‍රෙක්ෂකයින් හට නොපෙනෙන්නේ ඒ මහා විසල් කතාව ය. විසල් කතාව තේරුම් ගැනීමට නම් මූලික කරුණු කිහිපයකට ඛණ්ඩනය කර කියවා ගත යුතුය. සෑම නිර්මාණයක් ම මෙලෙස ඛණ්ඩනය කළ නොහැකි අතර ඛණ්ඩනය කර කියවා ගැනීමේ ගුණයක් සහිත නිර්මාණ ඒ ආකාරයෙන් කියවා නොගැනීම නිර්මාණයට කරන අකටයුත්තකි.
කියවා ගත යුතු වැදගත් ම කොටස
FATHER චිත්‍රපටය අත්‍යයන්තයෙන් ම ඛණ්ඩනය කර කියවා ගත යුත්තක් ම ය. එනම්: චිත්‍රපටය නැරඹීම, එය අධ්‍යයනය කිරීම, ඒ අදාළ සමකාලීන ආර්ථික, දේශපාලනික සමාජ හා සංස්කෘතික පසුබිම තේරුම් ගැනීම, එහි ගැඹුර සහ පළල තේරුම් ගැනීම සහ චරිත හා සිදුවීමේ එසේ වූයේ ඇයි ද, යන්න කියවා ගැනීමේ ගෙදර වැඩ කොටසක් සහෘදයන් වෙත පැවරේ. චරිත හා සිදුවීම් එසේ වූයේ ඇයි? යන ප්‍රශ්න කිරීම් මෙහි දී අතිශයින් වැදගත්ය.
FATHER චිත්‍රපටය විකාශනය වන්නේ ඔස්මන් (ගම්පහ ඔස්මන්) පොලීසිය, දේශපාලනඥයා කේන්ද්‍ර ගත කර ගෙන ය. අවශ්‍ය නම් තවත් කේන්ද්‍රයක් ලෙස “ඥානේ අයියා” වෙනම ම ගැනීමට ද හැකිය. එහෙත් ඥානෙ අයියලා ගේ පැවැත්ම (බිහිවීම නොවේ) අත්‍යන්තයෙන් ම දේශපාලනඥයා සහ පොලීසිය මත පරපෝෂිත වී තිබෙන්නේ ය.

සිනමා කෘතිය දිග හැරෙන නිශ්චිත කාල රාමුවක් පවතී. ඒ 1970 දශකය අග්ගිස්ස සහ 1990 දශකය ආරම්භය දක්වා දශක එක හමාරක කාල රාමුවක් ය. එම කාලය තුළ ශ්‍රී ලංකාව නමැති මහ පොළොව මත මිනිස් ජීවිත පිළිබඳ කතාව ගලා ගියේ කවර ආකාරයෙන් ද යන්න හරියටම කියවා ගත යුතු ය.
වලව් හාමුලා ගේ මුර බල්ලන්
ඒ, 1977 මහ ඡන්දය පිළිබඳ උණුසම දෙගොඩ තලා උතුරා යමින් තිබූ ආසන්න පෙර සහ ආසන්න පසු කාලය යි. රැකියා විරහිත තරුණ පරපුරට විශාල වශයෙන් රට රැකියා, සිකියුරිටි, ගාමන්ට් දොරවල් විවෘතව නොතිබූ කාලයක් ය. (එහෙත් මුදල් ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විවෘත ආර්ථිකය පිළිබඳ පුරෝගාමී සාකච්ඡාවට මුල පුරා තිබූ බව ද අමතක නොකළ යුතුය.) ඔස්මන්ලාට පහසුවෙන් රස්සාවක් ලෙස තෝරා ගැනීමට තිබුණේ හමුදා සොල්දාදුවෙකු වීමයි. එහෙත් ඔහුට අභිමුඛවන “ඥානේ අයියලා” ඔවුන්ගේ අපේක්ෂා කුඩු පට්ටම් කර දමන්නන් වූහ. “ඥානෙ අයියලා” බිහිවූයේ අරක්කු රේන්ද ලබාගත් වලව් හාමුලා ගේ මුර බල්ලන් ලෙසය. අරක්කු රේන්ද පමණක් නොව, එවකට තිබූ කොන්ත්‍රාත් වැඩ පොළවල්, මිනිරන් පතල්, බඩු ප්‍රවාහනය කරත්ත ආදියෙහි ශ්‍රමය වැගිරූ මිනිසුන් සහ ගැහැනුන් බයකර පාගාගෙන කුලිය නොගෙවා සිටීමේ මුරබල්ලන් ලෙස ක්‍රියා කිරීමෙන් ඥානෙ අයියලා බිහිවිය.
ගෝනවල සුනිල්
සංඥා නාම තුළ ගැබ්වූ“ඥානේ අයියලා ගේ” රුධිරය
එදා සිටි මෙන්න මේ “ඥානෙ අයියලා දශක පහක් තුළ: ගෝනවල සුනිල්, සොත්ති උපාලි, බැද්දගානේ සංජීව, ජූලම්පිටිය අමරේ” දක්වා එක් ධාරවකින් විකාශනය වූ අතර එහි ම තවත් ධාරාවකින් පොලීසිය මෙහෙයවීම, කොළ කොටි, කළු බළල්ලු, මාපිල්ලු යනාදි ඝාතන කණ්ඩායම් දක්වා අඛණ්ඩව දියත් කර, කප්පම් සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම දක්වා දිග හැරිණි. එහිම තවත් අඛණ්ඩයක් පාස්කු ප්‍රහාරය දක්වා ද බූවල්ලකු බවට පත් විය. ඥානේ අයියලා ගේ භාවිතයේ දී පමණක් නොව මතවාදී තලයේ දී සිංහලේ, මහ සොහොන් බලකාය, බොදු බලසේනා, වඳ කොත්තු, වඳ බ්‍රෙෂියර්, පැලෝපීය නාල මිරිකීම හරහා කැලණි ගඟෙන් නාගයෙක් මතු වීම දක්වා ද ක්‍රියාත්මක වූ බව අමතක නොකළ යුතුය. උත්තරීතර පාර්ලිමේන්තුවද ඔවුන්ගේ ක්ෂේම භූමියක් බවට පත්කරනු ලැබීය. “මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුග, ප්‍රසන්න රණවීර යන සංඥා නාම තුළ ගැබ්වී තිබෙන්නේ “ඥානේ අයියලා ගේ” ලේ ය; ජාන ය.
ස්වර්ණ ජයන්ති සැමරුම “වීර වික්‍රමාන්විත” ක්‍රියා දාම
මේ ඥානේ අයියලා ගේ පැවැත්ම මයිකල් විජේසේකර මන්ත්‍රීතුමා සහ ධම්මික ඕ.අයි.සී. මහත්තයලා ගේ රැකවරණය සහ මෙහෙයවීම මත තීරණය විය. ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද අයිතිය ලැබී ස්වර්ණ ජයන්තිය සම්පූර්ණ වූ 1981 දී සංවර්ධන සභා ඡන්ද කොල්ලය දියත් කිරීමෙන් සැමරීය. යාපනය පුස්තකාලය ගිනි තබා හළු කිරීමට ඥානේ අයියලා මෙහෙයවීම, විපක්ෂ නායකව සිටි අප්පා පිල්ලෛ අමිර්තලිංගම් හේතු රහිතව යාපනයේ දී අත්අඩංගුවට ගෙන පනාගොඩ හමුදා කඳවුරට රැගෙන විත් රඳවා තබාගෙන පසුව නිදහස් කිරීම දක්වා එම ස්වර්ණ ජයන්ති සැමරුම “වීර වික්‍රමාන්විත” ක්‍රියා දාම රැසකින් යුක්ත වීය.

1977 මහා මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ලබාදුන් “ධර්මිෂ්ඨ සමාජයක් බිහි කිරීම” ප්‍රායෝගිකත්වයට නැගීමේ තුන්වන පියවර මේ ලෙස තැබීය. පළමු පියවර පශ්චාත් මැතිවරණ පළිගැනීම් තුළින් ජීවිත බිලි ගැනීම් සහ ලේ වැගිරීම්ය . දෙවැන්න 1977 අගෝස්තු මාසයේ දී දෙමළ ජනතාවට එරෙහිව දියත් කළ ‘ජාති ආලය’ ලේ පිපාසය හා ජීවිත බිලි ගැනීම් ය.
සොත්ති උපාලි
චිත්‍රපටයේ කතා නොකරන පිරිස
චිත්‍රපටයේ ඔස්මන්ට අභිමුඛ වූ “ඥානේ අයියලා” ගැම්මට ඇල්ලුවේ මෙලෙසය. එදා පොදු ජන සමාජයට ඥානේ අයියලා දශම ගණනක් වුව ද මහා පිල්ලියක් විය. තමන් ගේ පාඩුවේ රස්සාවක් කරගෙන කාගෙන්වත් පදයක් නොඅසා ජීවත් වීමට අපේක්ෂා කළ ඔස්මන් අයියලා අති විශාල ම බහුතරයක් වී සිටියහ. ඔස්මන් අයියලා, ඥානේ අයියලා පිළිබඳ හරියටම දේශපාලනිකව කියා ගත් චිත්‍රපටයේ කතා නොකරන පිරිසක් ද එදා සිටියහ. ඒ පිරිස වඩාත් දියුණු සාමූහික සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ජීවිතයක් පිළිබඳ සිහින දුටු පිරිසක් ය; කොටින්ම වමේ ව්‍යාපාරයේ පිරිසක් ය; එහි නව ජන්මයක් ලබා සිටී. ජනතා විමුක්ති පෙරමුණ විශේෂිත ය. ඒ වන විටත් එම පක්ෂය1977 මහා මැතිවරණයේ ආසන හතරක් වෙනුවෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කර, ඉතාම සුළු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන තිබිණි.
මෙම සටහනට ජ.වි.පෙ. අදාළත්වය
දර් චිත්‍රපටය ගැන තැබෙන මෙම සටහනට ජනතා විමුක්ති පෙරමුණ අහසින් පාත්කර ගත්තා නොවේ. 1977 මහ මැතිවරණයෙන් පසුව 1981 සංවර්ධන සභා මැතිවරණයට ඉදිරිපත් වූ එම පක්ෂයේ මන්ත්‍රී ධුර 13ක් අත්කර ගත්තේ ය. මයිකල් විජේසේකරලා ගේ ලොක්කා ඥානේ අයියලා යොදවා එම ඡන්දය කොල්ල කෑම යාපනයට පමණක් සීමා වූ වක් නොවේ. දකුණුට ද එසේම අදාළ ය. 1982 ජනාධිපතිවරණය, එම වසරේ දී ම පැවැත්වූ ජනමත විචාරණ ඡන්ද මංකොල්ලය, 1983 වසර මුල දී පැවැත්වූ මහර අතුරු මැතිවරණය ඇතුළු ආසන ගණනාවක අතුරු මැතිවරණ සියල්ල ම අඩු වැඩි වශයෙන් ලේ වැගිරීමේ සහ ජීවිත බිලි ගැනීමේ රාජ්‍ය ත්‍රස්තවාදය පැතිර වූ භීෂණය අරක්ගත් ඒවා ම විය. ජනාධිපතිවරණය සහ විශේෂයෙන් ජනමත විචාරණ ඡන්ද මංකොල්ලයට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කර තිබූ ඡන්ද පෙත්සම් සම්බන්ධ සමස්ත මතිවරණ ක්‍රියාවලිය තුළ ජ.වි.පෙ. සක්‍රීය ප්‍රමුඛතම බලවේගයක්ව තිබුණේ ය. මයිකල් විජේසේකර මන්ත්‍රීතුමා, ඥානේ අයියා සහ ඕ.අයි.සී. ධම්මික අභිමුඛ වූයේ ඔස්මන් අයියාට පමණක් නොවේ. ඊට වඩා වැඩි විශාල බර තැබීමකින් ජ.වි.පෙ.ට ඔවුන් අභිමුඛ විය. ඒ නිසයි FATHER චිත්‍රපටයේ ගෑවී හෝ නොමැති ජ.වි.පෙ. මෙම සටහනට අදාළ වන්නේ.
පාක්ෂික ග්‍රාමීය මැරයින් පොලීසියට
“කෙළිය නේද තරුණ කැළ” යනුවෙන් තග දාන ඕ.අයි.සී. මහත්තයා ගැන ඔබට මතක ය. ප්‍රදේශයේ පවත්වන සංගීත රාත්‍රියේ නීතිය සහ සාමය පවත්වාගෙන යෑම පිළිබඳව තීන්දු තීරණ ගන්නේ “ඥානේ අයියා” ය. සංවිධායකයින් ඒ බව පොලීසියේ ඕ.අයි.සී. මහතාට පැවසූ අවස්ථාවේ එම ඕ.අයි.සී. මහත්තයා ඥානෙ අයියා ගැන තක්සේරුවකට පැමිණියේ ය. සංගීත රාත්‍රියේ දී ඇති කර ගත් ගුටි කෙළිය අන්තිමේ නතර වන්නේ මේ ඕ.අයි.සී. මහත්තයා ළඟ ය. ඔස්මන් අයියා, ඥානේ අයියා ඇතුළු සියලු දෙනා පොලීසියට කුදලා ගෙන විත් කිසිදු වෙනසක් නැතිව, කවුරුත් පෙළ ගස්වා තබන්නේ මේ ඕ.අයි.සී. මහත්තයා ය. එවැනි නීතිය කාටත් අකුරට ම ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරින් ගේ යුගය අවසන් කිරීමට ජේ.ආර්. ජයවනර්ධන ආණ්ඩුව මූලික පියවර ගෙන තිබුණේ 1977 අවසානයේ දී ම ය. ඒ “සහායක පොලිස් බලකාය” නමින් තම පාක්ෂික ග්‍රාමීය මැරයින් පොලීසියට බඳවා ගැනීමෙන් ය. එවැනි පොලීසියක් තිබීම ඥානේ අයියලාටත් මයිකල් විජේසේකර මන්ත්‍රිලා සහ අනෙකුත් මැති ඇමතිවරු සියලු දෙනාට ඉවසුම් නොදෙන්නක් ය.
ඕ.අයි.සී. මහත්තයා
බෑනා, වැයික්කියේ පොලිස් ලොක්කා
මේ නිසා රාජකාරිය පක්ෂ පාට භේදයකින් තොරව ක්‍රියාත්මක කරන ඕ.අයි.සී. ලා පොලීසි තුළින් පන්නා දැමී ය. ගඩාපිලා, උඩුගම්පොලලා, ධම්මිකලා පොලීසිවල මුල් පුටුවලට පමණක් නොව ඉහළ ම නිලධාරීන් දක්වා පත්කරනු ලැබීය. මයිකල් විජේසේකර යනු ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක වී සිටිය දී තම බෑනාව තම වැයික්කියේ පොලිස් ලොක්කා කර ගැනීමේ බලයක් තිබුණු පුද්ගලයෙකි. මෙන්න මෙවැනි පොලිස් ලොක්කන් ගේ පැවැත්ම ඕ.අයි.සී. ධම්මිකට වෙඩි තබා මරා දැමීමෙන් අවසන් නොවී ය. එසේම එවැන්නන් ගේ ක්‍රියාකාරිත්වය වවුල් කැලේ මිනීවල වසා දැමීමෙන් අවසන් නොවී ය. වාස් ගුණවර්ධනලා තුළින් තවත් ආකාරවලින් ක්‍රියා කෙරිණි. බන්ධනාගාර තුළට ගොස් රැඳවියන්ගේ නම් කතා කරමින් ඝාතනය කිරීම දක්වා තවත් පැත්තකින් ක්‍රියාන්විත දියත් කෙරිණි. එයිනුත් නොනැවතී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරවීම දක්වා ද ක්‍රියාත්මක විය.
ජේ.ආර්. ජයවර්ධන ගේ බලය පරාජය වන තීරණාත්මක කඩඉම
අනෙක් පැත්තෙන් මයිකල් විජේසේකර මන්ත්‍රීලා ගේ භූමිකාව පාස්කු දා ප්‍රහාරයේ දඩයම කරේ තියාගෙන යෑම දක්වා ඉහළම තත්ත්වයකට ගෙන ආ බව අමතක නොකළ යුතු ය. මයිකල් විජේසේකරලා ගේ පරිණාමයේ කඩඉම් වූයේ 1981 සංවර්ධන සභා ඡන්ද කොල්ලය සහ 1983 කළු ජූලිය මූලික කර ගනිමින්ය. එය කිසිවෙකුටත් හිතා ගත නොහැකි පාස්කු දින ප්‍රහාරය දක්වා අත්වැල් බැඳ ගැනීමක් යටි බිම් තලයේ දියත් වූ බව මේ වන විට තහවුරු වී තිබේ. 1977 මහ මැතිවරණය, 1981 සංවර්ධන සභා ඡන්දය, 1982 ජනාධිපතිවරණය, එම වසරේම ලාම්පු කළගෙඩි ඡන්ද කොල්ලය සහ 1983 මුල දී පැවැත්වූ අතුරු මැතිවරණය යන මැතිවරණ පෙරමුණේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේ අතු ඉති විහිදී ගිය සියලුම අංශවල පුළුල් ක්‍රියාකාරිත්වයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කර තිබුණි. විශේෂයෙන්ම ජනමත විචාරණ ඡන්ද කොල්ලයට එරෙහිව ජ.වි.පෙ. ඉදිරිපත් කර තිබූ ඡන්ද පෙත්සම ජේ.ආර්. ජයවර්ධන ගේ බලය පරාජය වන තීරණාත්මක කඩඉමක් බවට ඒ වන විට කරුණු තහවුරු වී තිබුණි. 1983 කළු ජූලිය පිට දමා ජ.වි.පෙ. තහනම් කරන්නේ මේ නිසා ය. ඊට සමාන්තරව 1987 - 1990 දක්වා සන්නද්ධ ප්‍රතිචාර දැක්වීම්වලට ජ.වි.පෙ. ඇද දැමූයේ ඒකාධිපති වියරුව විසින් ය.
කමලවර්ණ ජයකොඩි දිනන තුරු ඡන්ද නැවත නැවත ගණන් කිරීම
තවත් පැත්තකින් හඹාගොස් මර්දනය කිරීම දියත් කර තිබුණේ ජ.වි.පෙ. පමණක් ඉලක්කය කරගෙන නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද එසේ ම ය. වවුල් කැලේ ටයර් සෑයේ නොදැවී නූලෙන් ජීවිතය බේරා ගත් රතු ගාමිණී තුළින් ප්‍රබල ලෙස සංකේතවත් කෙරෙන්නේ ශ්‍රී ලංකාකාරයින් මුහුණ දී සිටි ඒ බිහිසුණු තත්ත්වය පිළිබඳව ය. අවි බලය යොදවා මේ පිරිස මර්දනය කිරීමට පෙර 1980 ඔක්තෝබර් මාසයේ දී සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමිකර ඇය මන්ත්‍රි ධුරයෙන් නෙරපා හැර සිටි බව ද අමතක නොකළ යුතු ය. 1983 ජනවාරියේ පැවැත්වූ ආසන කිහිපයක අතුරු මැතිවරණ අතරින් මහර කෙරෙහි මෙරට පමණක් නොව විදේශීය නිරීක්ෂකයින් ගේ පවා විශේෂ අවධානය යොමු වී තිබූ බව නිසැක ය; ඒ, එම ආසනයට විජය කුමාරතුංග ඉදිරිපත් වී සිටීම නිසා ය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරපත් කර තිබූ ආචාර්ය කමලවර්ණ ජයකොඩි දිනන තුරු ඡන්ද නැවත නැවත ගණන් කරන ලෙස ජේ. ආර්. ජයවර්ධන ගේ ඍජු නියෝග ලබාදී තිබිණි. රතු ගාමිණීලා දක්වා දිග හැරෙන්නේ මේ මර්දනයේ රුදුරු හස්තය යි.
මර්දනයේ අවි වෙනත් ඉලක්ක කරා...
ජ.වි.පෙ. 1977 මහ මැතිවරණය ඉදිරිපත් වූ ඡන්ද පෙරමුණ 1983 ජූලි මස පක්ෂය තහනම් කිරීමෙන් අවසන් නොවී ය. 1988 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම දක්වා එම අරගලය ගෙන ගියේ රුදුරු මර්දනය මැද ය. එම මර්දනයේ අවසානය 1990 දශකය මුල වන විට සනිටුහන් වී තිබිණි. වවුල් කැලේ ටයර් සෑය දැල්වී දොළොස් දෙනකු පුච්චා මරා දමන්නේ ඒ අතර ය. ඕ.අයි.සී. ධම්මිකගේ මෙහෙය වීමෙන් ඝාතනය කළ මිනිස් ජීවිත සංඛ්‍යාව12ක් පමණක් නොවේ. එය 263ක් බව හෙළිවී තිබේ. නීතියේ යුක්තිය, සමාජ සාධාරණත්වය, මිනිස්කම, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය මුළුමනින් ම මර්දනය කිරීමේ තවත් අදියරක් 1990න් පසුව ආරම්භ කර තිබිණි. තේරුම් ගැනීම පහසුවන සේ ආසන්න නිදර්ශනයකින් කියන්නේ නම්, 2009 මැයි මස යුද්ධය අවසන් කළ පසු සුදු වෑන් ඝාතක කණ්ඩායම්, කප්පම් ගැනීමේ කණ්ඩායම් මෙන්ම බොදු බළසේනා යනාදි කණ්ඩායම් දිගේලි කළ ආකාරය යි. තවත් ලෙසකින් කියන්නේ නම් 1987 - 1990 දක්වා ජ.වි.පෙ. සමූල ඝාතනය කිරීම නතර නොවූ බව ය. වෙනත් ඉලක්ක වෙත මර්දනයේ අවි එසවී තිබිණි.
ඕ.අයි.සී. ධම්මික සහ මන්ත්‍රී මයිකල් විජේසේකර ඝාතනය
FATHER චිත්‍රපටයේ කතා නායක ඔස්මන් නැති නම්, ගම්පහ ඔස්මන්ගේ ක්‍රියාකාරිත්වය කප්පම් ගැනීමට එරෙහිව සටන් කිරීම, වාසු නමැති පාතාලයා ගෙන් තම දියණියන් ගේ ජීවිත බේරා ගැනීමට නොහැකිව මව් පියන් අසරණ වී සිටියහ. ඒ අයට පිහිට වූයේ ඔස්මන් අයියා ය. එවැනි ප්‍රතික්‍රියාවලින් ඔස්මන් ගේ ක්‍රියාකාරිත්වය වෙනත් අදියරකට කැඳවූයේ නීතියේ යුවතිය පලවා හැර තිබූ නිසා ය. ජ.වි.පෙ. සන්නද්ධ කැරැල්ල මර්දනය කිරීමෙන් පසු ඔස්මන් අයියාට අවනීතියට එරෙහි හුදෙකලා සටනක් දියත් කිරීමට බල කෙරී තිබිණි. ඒ ඔස්මන්ගේ මල්ලී ද වවුල් කැලේ සෑයේ දවා හළු කිරීම නිසා පමණක්ම නොවේ. මිනිස් ජීවිතවලට පාඩුවේ ජීවත් වීමේ අවස්ථාව පෙනෙන තෙක් මානයේ නොවූ පසුබිමක ය. ජපානයේ රස්සාවක් කර ගෙන සිටි ඔස්මන් ව්‍යාජ ගමන් බලපත්‍රයක් සාදා ගෙන ලංකාවට එන්නේ ඉලක්කයක් ඇතිවය. ඒ ඉලක්කය 1991 නොවරම්බර් 25 වැනි දින අධිකරණ ශාලාව තුළදී සපුරා ගන්නේ ඕ.අයි.සී. ධම්මික සහ මන්ත්‍රී මයිකල් විජේසේකර ඝාතනය කිරීම යි.

ප්‍රබල සංකේතීය දේශපාලන සිදුවීම් සහ චරිත විනිවිද දැකීම
ගම්පහ ඔස්මන් ගේ චරිතය සිනමාවට ගැනෙන්නේ මෙන්න මේ ද්විත්ව ඝාතනය සිදු කළ නිසා ය. එම ඝාතන පිටුපස තිබෙන්නේ ඒ වන විට දශක එක හමාරකට ආසන්න කාලයක් තුළ මෙරට අස්සක් මුල්ලක් නෑර දියත් කර තිබූ පාදඩ දේශපාලනය රජ කරවීමේ ධවල භීෂණය පිළිබඳ කතාව ය; මිනිස් ජීවිතවල අගය අහිමි කිරීම පිළිබඳ කතාව ය; නිදහස් නිවහල් ධර්මිෂ්ඨ සමාජයක් රට පුරා ඇවිල වූ ටයර් සෑයවල් මතින් බිහි කිරීමේ ඛේදනීය දේශපාලන උත්ප්‍රාසය පිළිබඳ කතාවය. මෙම සිනමා කෘතියෙන් නිශ්චිතවම සටහන් කරන 1976 - 1992 කාලය අප කියවා ගත යුත්තේ සිනමා කෘතිය තුළින් ලබා දෙන ප්‍රබල සංකේතීය දේශපාලන සිදුවීම් සහ චරිත විනිවිද දැකීමෙනි. චමින්ද ජයසූරිය සිනමා කෘතිය ගොඩනැගීමේ ආකෘතිය තුළින් ද මෙම පසුබිම කියවා ගැනීමට නිහඬව යෝජනා කර ඇත. කෘතිය ආරම්භ වන්නේ ගම්පහ ඔස්මන්ව ඝාතනය කිරීමට 2017 දී දරන ලද ප්‍රයත්නය අසාර්ථක වීමේ දර්ශනයෙනි. එය අවසන් වන්නේ ඔස්මන් 1992 දී සිදු කළ ද්විත්ව ඝාතනය පිළිබඳ පුළුල් සංවාදයකට ප්‍රේක්ෂකයා කැඳවීමෙනි. සත්‍ය වශයෙන් ම ගත හොත් සිනමා කෘතිය තුළ ඔස්මන්ගේ චරිතය කියැවෙන්නේ මේ ආරම්භක අවස්ථාව සහ අවසාන අවස්ථාව තුළින් පමණි.
චමින්ද ජයසූරිය
දශක එක හමාරක දේශපාලනික සමාජ සංස්කෘතික පාදඩකරණය
එම ආරම්භය සහ අවසානය අතර දශක පහකට ආසන්න කාල පරාසය විවෘත මනසකින් කියවා ගන්නා ලෙස ප්‍රේක්ෂකයාට ඇරයුම් කිරීම බඳු අවකාශයක් සලසා තිබේ. දශක එක හමාරක මෙරට දේශපාලනික සමාජ සංස්කෘතික පාදඩකරණය පිළිබඳව මෙන්ම නීතිය බිය වද්දා පලවා හරින ලද සමස්ත ක්‍රියාවලිය සඳහා අඩිතාලම දැමූ ආකාරය ඉතා අපූරුවට නිරූපණය කර ඇත. තවත් ලෙසකින් කියන්නේ නම්, මේ රටේ දශක පහකට ආසන්න ම්ලේච්ඡත්වය කිරුළු දැරීමට දශක එක හමාරක තුළ දී අඩිතාලම දැමීම පිළිබඳ කතාව ඔස්මන් පසුබිමේ පවතී.
එදා 1977 සිට දශක පහකට ආසන්න කාලයක් පුරා මේ බිමේ රජ කරවූ පාදඩ අදේශපාලන සංස්කෘතිය, ම්ලේච්ඡ දේශපාලන සංස්කෘතිය වසරකින් නිමා කළ නොහැකි වීමේ වේදනාවෙන් පොදු සමාජය ම අද වන විට පෙළේ. FATHER චිත්‍රපටය ගම්පහ ඔස්මන් අයියා ගේ කතාව නොවෙන්නේ මෙන්න මේ දශක පහක කාලය නිරාවරණය කර පෙන්වීම නිසා ය. මේ උපත සිදුවූ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව සිනමාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමට දායක වූ සැමටම ආචාරය පිරිනැමේ !
ලලිත් ප්‍රියදර්ශන දයාරත්න

