අනතුරක් ප්‍රචණ්ඩකාරී විනෝදාස්වාදයක් බවට පත්කෙරෙන CCTV දර්ශන මාධ්‍ය භාවිතය

අනතුරක් ප්‍රචණ්ඩකාරී විනෝදාස්වාදයක් බවට පත්කෙරෙන CCTV දර්ශන මාධ්‍ය භාවිතය

CCTV දර්ශන මෙරට ප්‍රවෘත්ති වාර්තාකරණයේ බහුලව භාවිතා වන දෘශ්‍ය අංගයක් බවට පත්ව ඇත.

මාර්ග අනතුරු වල සිට මංකොල්ලකෑම් සහ මහජන ආරවුල් දක්වා, නිරීක්ෂණ ක්ලිප් රූපවාහිනියේ සහ සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වේ. CCTV මගින් සිදුවීම් පැහැදිලි කිරීමට සහ මහජන දැනුවත්භාවයට සහාය වීමට උපකාරී විය හැකි අතර, එහි භාවිතය වටා ඇති සදාචාරාත්මක සහ සමාජයමය ප්‍රශ්න පිළිබදව අවධානය යොමු කිරිම මෙහි අරමුණයි.

සංවෘත පරිපථ රූපවාහිනී (CCTV -Closed-Circuit Television) භාවිතයේ ප්‍රධාන අරමුණ ආරක්ෂාව සහ අධීක්ෂණය යි, නමුත් කාලයත් සමග ඒවා පුළුල් සමාජීය, නීතිමය සහ පරිපාලන අවශ්‍යතාවන් සඳහා ද යොදාගනු දක්නට ලැබේ.


සදාචාරාත්මක සහ සමාජ බලපෑම

මාධ්‍ය විශ්ලේශකයන්ගේ මතය වන්නේ CCTV දර්ශන, මාධ්‍ය මගින් විකාශනය සඳහා භාවිතා කරන්නේ නම් කළ යුත්තේ එය සැබෑ ලෙස ම මහජන යහපත සඳහා වූ අවශ්‍යතා සඳහා පමණක් බවයි. බරපතළ අපරාධවල සැකකරුවන් හඳුනා ගැනීම, විෂමාචාර හෙළිදරව් කිරීම හෝ පද්ධතිමය ආරක්ෂක අසාර්ථකත්ව ඉස්මතු කිරීම බඳු අවශ්‍යතා මෙහි දී දැක්විය හැකි ය. එය ද අධිකරණමය හෝ පොලිසියේ විමර්ශන සඳහා දායක වීමේ පදනම මත යි.



කෙසේ වෙතත් අපේ රටේ, විශේෂයෙන් ම රුපවාහිනි මාධ්‍ය මෙම දර්ශන විකාශනය කරන එදිනෙදා පුවත් විකාශ නිරික්ෂණය කිරිමේ දී පෙනී යන්නේ එවායේ ඇති සජිවි බව තුළින් සිය මාධ්‍ය වෙත ආකර්ෂණයක් ලබා ගැනීම සඳහා බවයි. විශේෂයෙන් මාර්ග අනතුරු සහ පුද්ගලික ඛේදවාචක වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා භාවිත කරන විට, එමගින් සිදුවන සදාචාරාත්මක සහ සමාජ බලපෑම පිළිබඳ කොතෙක් දුරට අවධානය යොමුකර ඇත්ද යන්න විමසිය යුතුව තිබේ.

 

remote video monitoring hero 450x250

අනුගමනය කළ යුතු ආචාරත්මක ප්‍රවේශ

මෙහි ඇති ප්‍රධාන ගැටලුව පෞද්ගලිකත්වය සහ ගෞරවය යි. CCTV කැමරා මගින් පුද්ගලයින්ගේ අනුදැනුමකින් තොරව පටිගත කිරිම් සිදු වෙයි . රහසිගත රුගත කිරිම් භාවිතය සඳහා ද මාධ්‍යමය සීමා ඇත. විශේෂයෙන් රිය අනතුරු බඳු අවදානමට ලක්විය හැකි අවස්ථාවල දී මෙම රූප විකාශනය කිරීම තුළින් ඊට ගොදුරු වන්නන්ගේ පෞද්ගලිකත්ව අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි අතර දර්ශන මාධ්‍ය මගින් විකාශය වීමෙන් මානසික පීඩා ද ඇතිවිය හැකි ය. බොහෝ විට අනතුරක් සිදුවි අදාළ පාර්ශවවලට එම සිදුවීම පිළිබඳ නිල තහවුරු කිරීමක් ලැබීමට පෙර ඔවුන්ගේ පවුල් බොහෝ විට මාධ්‍ය හරහා සිය ආදරණීයයකු ගේ අනතුර දැකගැනීමෙන් ඇතිවිය හැකි කම්පනය මෙහි දී තේරුම් ගැනීම වැදගත්වේ.

තිරිසන් සතෙකු මෙන් මහමග මියගොස් සිටින හෝ තුවාල ලබාසිටින සිය සමීපතමයකුගේ දර්ශන කෙතරම් සන්වේදී දසුනක් වන්නෙද යන්න පැහැදිලි කළ යුතු නොවේ. එවැනි මරණය, තුවාල හෝ බාලවයස්කරුවන් සම්බන්ධ දර්ශන ප්‍රදර්ශනය කල යුතු නම් අනුගමනය කළ යුතු ආචාරත්මක ප්‍රවේශ මොනවාද යන්න පිළිබඳව සැලකිලලක් දක්වනවා ද යන ගැටලුව මෙහි දී පැනනගී.



පුද්ගලයින්ට ඇති කළ හැකි අපකීර්තිය

එමෙන්ම විමර්ශන අවසන් වීමට පෙර සීසීටීවී දර්ශන ප්‍රදර්ශනය මගින් මහජන මතය අසාධාරණ ලෙස හැඩගස්වා ගත හැකි අතර, එය “මාධ්‍ය මගින් නඩු විභාගයක්” සිදුකිරීමේ පසුබිමක නිර්මාණය කළ හැකිය. නිසි තොරතුරක් නොමැතිව, තනි කැමරා කෝණයකින් පටිගතවන සිදුවීම් වැරදි අර්ථ ගැන්වීම් නිරූපණය කළ හැකි ය. එවැනි දර්ශන පෙන්වීම නිසා පුද්ගලයින්ට අපකීර්තියක් ඇති කළ හැකි අතර හිරිහැර හෝ වෙනස්කම් කිරීමට හේතු විය හැකි බවයි මාධ්‍ය විශ්ලේශකයින් පවසන්නේ.

අපේ වැනි රටවල මෙවැනි සිදුවීම් අමු අමුවේ ප්‍රදර්ශනය කළ ද බටහිර මාධ්‍ය මාර්ග අනතුරු වාර්තා කිරීමේ දී හික්මීමකින් සහ සදාචාරාත්මක ආකාරයකින් වාර්තා කරනු දක්නට ලැබෙයි. සාමාන්‍ය අනතුරු නම් පෙන්වන්නේ ම නැත. පෙන්වීමට අවශ්‍ය වුවත් ඔවුන් ග්‍රැෆික් සීසීටීවී දර්ශන, තුවාල ලැබූ සිරුරු හෝ සන්වේදී දර්ශන පෙන්වන්නේ නැත.


1749536255 CCTV L e1749539672271

නාටකීය ස්වභාවයට ඉඩනොතැබිය යුතු යි


වින්දිතයින්ගේ අනන්‍යතාවන් ආරක්ෂා කර ඇති අතර, ඕනෑම නමක් නිකුත් කිරීමට පෙර පවුල්වලට දැනුම් දෙනු ඇත. මාධ්‍ය නිල පොලිස් තහවුරු කිරීම සඳහා ඉඩ ලබාදුන්නත් විමර්ශන අවසන් වන තෙක් කිසිවකුට දොස් පැවරීමෙන් වැළකී සිටියි. පරීක්ෂණ අවසන් වීමට පෙර ඔවුන් රියදුරන්ට අනුමාන කිරීම හෝ දොස් පැවරීම සිදු නොකරයි. (බීමත්ව රිය පැද්වීම, නින්දයාම බඳු ප්‍රකාශ) සංවේදී දර්ශන වෙනුවට, සිදු වූ දේ පැහැදිලි කිරීම සඳහා ඔවුන් සිතියම්, සජීවිකරණ සහ විශේෂඥ විශ්ලේෂණ පහැදිලිකිරිම් භාවිතා කරයි. අවධානය යොමු වන්නේ සිදුවීමේ නාටකීය ස්වභාවයට නොව ඊට හේතු, ආරක්ෂක පාඩම් සහ වැළැක්වීම කෙරෙහි ය. සැබෑ අනතුරේ CCTV දර්ශන කිසිවිටෙකත් විකාශනය කරන්නේ නැත. සුළු දෛනික අනතුරු බොහෝ විට කිසිසේත් නොපෙන්වයි. කෙටියෙන් කිවහොත්, බටහිර වාර්තාකරණය පෞද්ගලිකත්වය, ගෞරවය, නිරවද්‍යතාවය සහ මහජන උනන්දුව ප්‍රමුඛත්වය දෙන අතර, මිනිසුන් කම්පාවට පත්කරන කතන්දර කීමෙන් වැළකී සිටියි.

නාට්‍යමය සිදුවීම් ඉදිරිපත් කිරිම් තුළින් ප්‍රේක්ෂක කුතුහලය වැඩිකර ගැනීම

බලපෑම් සහගත අන්තුරක් සිදුවූ විට බටහිර වාර්තාකරණයට සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ: මාර්ග තත්ත්ව, කාලගුණ ගැටලු, වේගවත් බව, යටිතල පහසුකම් ගැටලු, අනාගත අනතුරු වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ විශේෂඥ විශ්ලේෂණ ය. නමුත් ඒවා විසඳුම් සඳහා පෙලඹ වීම් මිස, සංවේදී ආවේගාත්මක වාර්තා නොවේ. විශේෂයෙන් ම ඔවුන් වින්දිතයින් ලෙස හෝ ඔවුන්ගේ දුක් අදෝනා වේදනා පෙන්වන්නේ නැත. සෑමවිට ම එම පවුල්වල ගෞරවය ආරක්ෂා කරන අතර අඬන දුක් වන දෙමාපියන්, සමීපතපයන් සමග වේදනාත්මක සම්මුඛ සාකච්ඡා සිදු කරන්නේ ද නැත.

අනතුරු, අපරාධ හෝ නාටකීය සිදුවීම් වාර්තා කිරීමට පොලඹ වන හේතු කීපයක් මාධ්‍ය විමර්ශකයන් විසින් පෙන්වා දෙනු ලබනවා. ප්‍රෙක්ෂක අවධානය යොමු කර ගැනීමෙන් තම නාලිකාවල රේටින් හෝ ක්ලික් කිරීම් වැඩිකර ගැනීම සඳහා ඇති මාධ්‍ය තරගය, නාට්‍යමය සිදුවීම් ඉදිරිපත්කිරිම් තුළින් ප්‍රේක්ෂක කුතුහලය වැඩිකර ගැනීම. ඒ ඒ මාධ්‍ය ආයතනවල පවත්වාගන යන ඔවුන්ගේ ම භාවිත සහ ඒ සඳහා ප්‍රවෘත්ති අංශ තුළ ඇති බල පෑම සහ කැමැත්ත. බොහෝවිට මෙම දර්ශන සපයනු ලබන්නේ පොලිසියේ හෝ අදාළ නිලධාරින් ය . එම දර්ශන්වල ඇති අධිකරණමය වටිනාකම් නොසලකා මාධ්‍ය වෙත නිකුත් කිරිම නිසා ද මාධ්‍ය ඒවා බියෙන් සැකෙන් තොරව භාවිතකෙරේ.



අනතුරක් ප්‍රචණ්ඩකාරී විනෝදාස්වාදයක් ලෙස...


මෙවැනි මාධ්‍ය භාවිත හේතුවෙන් සිදු වන සමාජ බලපෑම කුමක්ද? මාධ්‍ය විශ්ලේශකයන් පවසන්නේ මෙවැනි වාර්තා නිරන්තයෙන් දැකීම තුළින් මහජනතාව තුළ අනවශ්‍ය බියක් සහ කාංසාවක් ඇති කරනවා මෙන් ම මාර්ගයක ගමන් කිරීම ඇත්තට වඩා භයානක බව මිනිසුන් විශ්වාස කිරීමට අරඹයි, ආතතිය සහ මහජන භීතිය වැඩි කරයි, ඛේදවාචක යනු සාමාන්‍ය දෙයක් බවට (ලංකාවේ යුද වර්තාකරණය සහ මරණය සාමාන්‍ය දෙයක් බවට පත් කළා සේ) පත්කරයි. නිරන්තරයෙන් නිරාවරණය වීම නිසා මහජනතාව මිනිස් දුක් වේදනා මායිම් නොකරන තැනට පත්කෙරේ. මින්සුන් ගේ සංවේදනය හීන කරයි. ප්‍රචණඩත්වයට පෙලඹීමට ඇති බිය නැතිවෙයි. අනතුරක් ප්‍රචණ්ඩකාරී විනෝදාස්වාදයක් බවට පත්වේ. සැබෑ විසඳුම්වලින් අවධානය වෙනතකට යොමු කරයි. දුර්වල මාර්ග නිර්මාණය, දුර්වල නීති ක්‍රියාත්මක කිරීම සහ අනාරක්ෂිත රිය පැදවීමේ සංස්කෘතිය බඳු පද්ධතිමය ගැටලු වෙනුවට මාධ්‍ය “දුක විකුණා ගැනීමේ වටිනාකම” කෙරෙහි අවධානය යොමු කරයි.


සීසීටීවී දර්ශන අවශ්‍ය වන්නේ ඇයි...?

කළ යුත්තේ කුමක්ද? සදාචාරාත්මක වාර්තාකරණයක් ඉල්ලා සිටීමයි. ඒ සදහා මාධ්‍ය ආයතන පැහැදිලිව ම සීසීටීවී දර්ශන අවශ්‍ය වන්නේ මන්දැයි සාධාරණීකරණය කළ යුතු අතර එම අවශ්‍යතාවය මහජනතාවට සිදුවන සමාජයට සිදුවන් හානියට වඩා වැදගත් බව තහවුරු කලයුතුය .

තුර්කියේ TRT World Research Centre පර්‍යේශකයන් පවසන්නේ ප්‍රවෘත්ති මාධ්‍යවල ප්‍රකාශනය මහජනතාවට ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වැදගත් සාධකයක් බව අමතක නොකළ යුතු බව යි. ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය කරන ප්‍රකාශන භාවිතා කිරීම අනිවාර්යයෙන් ම සමාජය ප්‍රචණ්ඩත්වයට සංවේදී නොවන බවට පත් කරනු ඇති අතර මෙම පුද්ගලීකරණය ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ අසාර්ථකත්වයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවයි.


re
මේ අනුව මෙරට විශේශයෙන් ම රුපවාහිනි මාධ්‍ය සිය විශ්වසනීයත්වය පවත්වා ගැනීම සඳහා, සීසීටීවී දර්ශන භාවිතයේ දී පරිසම් වියයුතු අතර, ගෞරවනීයත්වය සහ පෞද්ගලිකත්වය, නිරවද්‍යතාව සහ මානව ගරුත්වය පිළිබඳ නැවතත් සලකා බැලීම වැදගත්වේ.


TMG Chandrasekara(සටහන - ටී.එම්.ජී. චන්ද්‍රසේකර)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(Media Activist, Communication Specialist, Media Trainer, Guest Lecturer)

Former Director News , Director Training and Research at Sri Lanka Rupavahini Corporation

Former Specialist / strategic Communications at Information and Communication Technology Agency of Sri Lanka (ICTA)

Former Media consultant at Sri Lanka CERT

උපුටා ගැනීම - Tmg Chandrasekara ෆේස්බුක් පිටුවෙන්..




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න