ගාමිණී පෙරේරා ලේක් හවුස් ආයතනයට බඩ බැඳ ගෙන සේවය කළ, එය තම ජීවිතය යැයි ඇදහූ කෙනෙකි.
වසර පනස් දෙකක් එකම ආයතනයක
ඔහුගේ ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා දැමුවේ ආයතනය ඇතුළත ය. ඔහුගේ මුළු සේවා කාලය අවුරුදු පනස් දෙකකි. වසර පනස් දෙකක එකම ආයතනයක සේවය කිරිම සුළු පටු කාරණයක් නොවේ. මෙම කාලය ඇතුළත ලේක්හවුස් ආයතනය බඳු ආයතන පරිපාලනය වශයෙන් පමණක් නොව තාක්ෂණික වශයෙන් ද විවිධ පරිවර්තනවලට ලක් විය. ගාමිණී ඒ සියලු සැඩ සුළඟට හසුවී යාවත්කාලින වූයේ ය. විශ්‍රාම ගියද ඔහුට කිසිසේත් සිතින් ගාමිණී පෙරේරා ලේක් හවුස්යෙන් බැහැර වන්නට ඉඩ තිබුණේ නැත. ඔහු එයට පණටත් වඩා ආදරය කළේය. එහෙව් ගාමිණී පෙරේරා ගෙවුණු පෝය දවසේ ජීවිතයෙන් සමුගත්තේ ය.
ලේක්හවුස් ආයතනය
උරුමයෙන් ලද රැකියාව
මිය යන විට ඔහුට වයස අවුරුදු හැත්තැ පහකි, උපන්නේ 1950 වසරේ අගෝස්තු මාසයේ 17වන දා ය. තාත්තා අබේසේකර ආරච්චිගේ ඇල්බට් පෙරේරා ද ලේක්හවුස් ආයතනයේ සේවය කළේ ය. අම්මා මැගී පෙරේරා ය. ගාමිණී පවුලේ වැඩිමලා ය.ෂෙල්ටන් සොහොයුරා ය. වජිරා සොහායුරිය බාලයා ය. වැල්ලවත්තේ ඇරතියුසා විදුහලේ ඉගෙනුම ලද ගාමිණී 17 හැවිරිදි වියේ දී පාසල් අධ්‍යාපනය අතහැරියේ ය. ඒ, නිකම්ම නොවේ. සිංහල භාෂාවටත්, සාහිත්‍යටත්, බුද්ධාගමටත් සම්මාන සමග ය. ඔහුට රස්සාවක් කරන්නට අවශය විය. අන්තිමට තාත්තා ඔහු ලේක්හවුස් ආයතනයේම රස්සාවක් සොයා දුන්නේය. ඒ අකුරු අමුණන අංශයේ ය. ඒ කාලයේ ලේක්හවුස් ආයතයේ සේවකයින්ට තමන්ගේ දරුවකුට රස්සාවක් දීමේ පිළිවෙතක් එහි පාලකයෝ සකසා තිබිණ. ගාමිණී ට රස්සාව ලැබුණේ එහෙමය.
උරුමයට රස්සාව ලැබුණ ද ගාමිණී එයට පණමෙන් ආදරය කළේ ය; ගෞරව කළේ ය.
ඔහු 1968 වසරේ සැප්තැම්බර් මස තුන්වන දින ලේක් හවුස් ආයතනයේ සේවයට එන්නේ අකුරු ඇමණුම් අංශයේ ආධුනිකයකු ලෙස ය. මූලික වැටුප රුපියල් එකසිය අටකි. ඒ මුදලින් රුපියල් තුනකට ඉහළම ගණයේ හෙන්ට්ලි කමිසයක් ගත හැකි ය. සේවයට පැමිණීමට බස් ගාස්තුව ශත පහකට වැඩි වූයේ නැත. ඉතිරි මුදල් අම්මා අතට දීම ඔහුගේ සිරිත විය. එකල ගාමිණි අයියලා ජීවත්වූ නිවෙස තිබුණේ අද නාරාහේන්පිට කිරුළ පාරේ ආසිරි රෝහලට අල්ලපු ඉඩමේ ය.
සරසවිය කර්තෘ මණ්ඩලයේ පරිගණක අක්ෂර අංශයට
පුවත්පතක ප්‍රවෘත්ති හා විශේෂාංග නිතර කියවද්දී එහි ලේඛකයන් ද ඔබේ සහෘදයන් බවට පත්වනුයේ නිතැනිනි. එහෙත් එසේ ඇස නොගැසී පුවත්පත ගෙන එන්නට වෙහෙස වන මිනිසුන් බොහොමයකි. පත්තරේට ලිපි ලියූ විවිධ ලේඛකයන්ගේ විවිධ හැඩැති ලිපි එක විධියකට අකුරු බවට පත් කළ සුන්දර මිනිසුන් අතර ගාමිණී ද කෙනෙකි. ඔහු, මා සරසවිය පුවත්පතේ කර්තෘ ධුරය දරන කාලය මුළුල්ලේත් සරසවිය පුවත්පතේ ලිපි සියල්ල පරිගණක අක්ෂර බවට පරිවර්තනය කළේ ගාමිණී ය.
ගාමිණී සරසවිය කර්තෘ මණ්ඩලයේ පරිගණක අක්ෂර අංශයට එක්වුණේ මගේ පූර්වතමයා වූ ගාමිණී සමරසිංහ කර්තෘ ධුරය දරණ කාලයේ ය. එනම් 2007 වසරේ ය. සරසවිය පුවත්පතේ එම කාලය ඇතුළත සේවය කළ සියල්ලට නිකම්ම ගාමිණී නොව ගාමිණී අයියා ය. නිල වශයෙන් සරසවියට එක්වුණ ද ආයතනයේ වෙනත් පුවපතක ලිපියක් හදිසියේ අකුරු කර ගන්නට අවශ්‍ය වුවහොත් ගාමිණී එයට බෑ කියනු මා කිසිවිටෙකත් අසා නැත. 'ඒ මිනිස්සුත් ආයේ එළියට ගිහින් ටයිප් කරන්නයැ,' ඔහු එවිට පවසයි.
වේලාව නොවරදවා බැති පෙම් උපදවා
ගාමිණී රස්සාවට එන අවධියේ අද මෙන් හිතෙන හිතෙන විධියට අකුරු වෙනස් කළ හැකි යුගයක් නොවිණ. ඒ අවධියේ අද මෙන් පරිගණක නොතිබිණ. අකුරු ඇමුණුම සෙල්ලමක් නොවිණ. පොල් ගෙඩි සයිස් එකෙන් හෙඩිමක් දැමීමේ සිට සාමාන්‍ය ලිපියක් දක්වා විවිධ අකුරු හැඩතලවලින් පිටු සෑදීම සෙල්ලමක් නොවිණ. ආධුනිකයකු ලෙස සේවයට එන ගාමිණිට පැවරුණ මුල්ම රාජකාරිය රත් වුණු ඊයම් බරුවලින් අකුරු සහිත පුවරු ඔසවාගෙන ඒම ය. මේ අංශ බාරව සිටියේ ෆෝමන්ලා ය. ඔවුන් ඇමතුවේ බාස් උන්නැහේ යනුවෙනි. බාස් උන්නැහේලා සැර වැර ඇති පිරිසකි. මේ දුෂ්කර ක්‍රියාවේ දී එය සාමාන්‍ය දෙයකි.

සරසවිය ඉතිහාසයේ ඇති වැදගත්ම ඡායාරූපයක සඳහන් වනුයේ ආරම්භක කර්තෘ මීමන ප්‍රේමතිලක පුවත්තේ මුල්ම අත් පිටපත බාරදෙන්නේ කර්තේලිස් බාස් උන්නැහේට ය. ගාමිණි පෙරේරාට මුල්ම රැකියාව ලැබෙනුයේ ද කර්තේලිස් බාස් උන්නැහේ යටතේ ය. ගාමිණි අයියාගේ සිරිත නම් කිසිවිටෙකත් බැහැයි නොකීම ය. රස්සාව දුෂ්කර වුවත් එයට ළැදි වන්නට ඔහු තීරණය කළේය. ඔහුගේ දින චර්යාවේ පැවැති වැදගත් ම කාරණය නම් ආයතනයටත් කරන කාර්යයටත් ළැදිව සේවය කිරීම ය. ඔහු රාජකාරිය සැලකුවේ ගෙවන වැටුපට සරිලන්න නොව ආත්ම තෘප්තිය ලැබෙන්නක් හැටියට ය. බාස් උන්නැහේලාගේ බැනුම් මෙන් නොව ඊයම් පුවරුවක් ලෙස්සා ගියොත් එහි උණු ඊයම් මුහුණට වැටීම සෙල්ලමක් නොවිණ. එමෙන්ම කිසිවකු හෝ කිසිවක් කිසිවිටෙකත් පහසුවෙන් කියාදෙන්නේ ද නැත. එහෙත් ගාමිණි වේලාව නොවරදවා බැති පෙම් උපදවා ශිල්පය ඉගෙන ගත්තේ ය.
ඊයම් විෂ මකන එළ කිරි වීදුරු දෙක
කාලය නිම වන විට ඔහු හොඳින් පදම්ව සිටියේය. රාජකාරිය විනෝදයක් වූ කල එහි දුෂ්කරතාව අමතක වෙයි. කතුවරුන් සහ බාස්වරුන් අතර අරගල තිබුණ ද ඒ සියල්ලට සුහදව පිළියම් යෙදෙයි. අද මෙන් නොව සයිස් එකට ගැළපුණු හෙඩිමක් ලිපියක් මාරු කිරීම ලියන්නාට කොයි හැටි වෙතත් ලයින් ඔපරේටර් නම් වෘත්තිකයන්ට පහසු වැඩක් නොවිණ. වත්මන් ලේඛකයෝ තම ලිපිය තමා විසින් ම පරිගණක ගත කර ගනිති. එසේ නැත්නම් හඬ අනුව ස්වයං ටයිප් කිරිමට තරම් තාක්ෂණය දියුණු ය.
එහෙත් එකල පුවත්පත් කලාවේදින්ට අකුරු ඇමුණුම යනු වෙනත් අංශයක් විය. එබැවින් පුවත්පත් කලාවේ සිටි දැවැන්තයන් සමග වැඩ කරන්නට ද අවස්ථාව ගාමිණි අයියාට ලැබිණ. ලයින් ඔපරේටර් තත්ත්වයට පත්වන්නට වසර පහක්වත් ආධුනික කාලය සැපිරිය යුතු ය. ඔපරේටර් කෙනෙකුට වැටුපට අමතරව තමා ඇමුණූ අකුරුවල දිග අනුව ද මුදලක් ලැබෙයි. එය මැන්නේ අඟල් ගණනිනි. එයට අමතරව අතිකාල දීමනා ද එමට ය. ඔපරේටර්වරු විවේකයක් ලබන හැමවිට ම වැඩේට අත ගසා පුරුදු වන්නට ගාමිණි අයියා වග බලාගත්තේ ය. පළපුරුදු අකුරු අමුණන්නෝ එය ප්‍රතික්ෂප නොකළහ. හේතුව ආධුනිකයා අතින් වුව තම අඟල් ගණන වැඩිවන විට වැඩිපුර මුදලක් ලබා ගත හැකි හින්දා ය. එය ගාමිණිට මහත් පාඩමක් විය. ඊයම් සමග කරන මේ රාජකාරියට වැටුපට අමතරව දිනපතා කිරි වීදුරු දෙකක් ලැබෙයි. ඒ් ශරීර ගත වන ඊයම් විෂ මැකෙන්නටය.
සභාපතිතුමා ගේ මඟුල් ගෙදර
අවුරුදු පහක සේවයෙන් පසු ගාමිණී ආයතනයේ ස්ථිර සේවකයකු වන විට සිය කාර්යය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා සිටියේ ය. කොහොමටත් මේ අවධියේ සේවය ස්ථිර වනුයේ ද කාර්ය ශූර මිනිසකුට පමණකි. එවකට ලේක් හවුස් ආයතනය සභාපති ධුරය දැරුවේ රංජිත් විජයවර්ධන මහතා ය.

'ඒ මහත්තයාගේ වෙඩින් එකට ලේක් හවුස් එකේ සියලු සේවකයන්ට ආරාධනා කළා. කොටින්ම වැසිකිළි හෝදපු මනුස්සයාට පවා. හැබැයි කිසිම තෑග්ගක් ගෙන ඒම තහනම්. දවස් තුනකට වගේ මඟුල් ගෙදර තිබුණා.'
වතාවක් අතීතාවර්ජනයක දී ගාමිණී අයියා කියා සිටියේ ය.
කාලානුරූපව හැඩගැසීමේ සමත්කම
1973 වසරේ දී ආයතන පාලනාධිකාරය රජය සතු කර ගෙන තිබිණ. අලුත් තාක්ෂණයත් සමඟ හැඩ ගැසෙන්නට ගාමිණී සමත් විය. ලේක් හවුස් ආයතනය තාක්ෂණය අතින් නවිකරණය වන්නට පටන් ගත්තේ 1979 වසරේ පමණ ය. යුගයට ගැළපෙන පරිදි මුහණ දීමට අසමත් වුවහොත් ඕනෑම ඩයිනෝසෝරයෙක් වඳ වී යන බව ගාමිණි අයියා දැන සිටියේ ය. ගාමිණි ගේ දක්ෂකම වූයේ කාලානූරූපව හැඩ ගැසෙන්නට තිබුණු සමත්කම සහ ඕනෑකමය.
කාලය සමග තාක්ෂණය වෙනස්වන බවත් ඒ අනුව හැඩ ගැසෙන්නට බැරි නම් කවර ජගතෙක්ට වුව ඉඩක් නොලැබෙන බවත් ඔහු දැන සිටියේ ය. එමෙන්ම අතීතයේ දුෂ්කරතාව සතුටින් සිහිපත් කරන්නට ඉඩ දී වෘත්තියේ පහසු සරල ක්‍රමවලට අනුවර්තනය වීම අත්‍යවශ්‍ය බැව් ඔහු දැන සිටියේ ය.
නිවෙසට යන්නට පෙර හීනි අඩියක්...
ගාමිණී අයියා නිවාඩුවක් ගත්තේ ඉඳහිට ය. පාන්දරින් රැකියාවට එන ගාමිණී අයියා දන්නා කියන කාලයේ සිට පිළිපදින සිරිත් කිහිපයක් විය. සේවා ස්ථානයට ඇතුළුවන ඔහු ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මහතාගේ රූපයට වැඳ නමස්කාර කිරිම මුල්ම සිරිත යි. දෙවනුව වැඩ ආරම්භ කරන්නට පෙර බුදුන් වැඳ තම යන්ත්‍රයට ආචාර කිරීම ය. සවස කීයට හෝ වැඩ ඇරී යන විට ද තම ආයතනය දෙස බලා නමස්කාර කිරීම ඔහුගේ සිරිත ය. අනතුරුව එළියට යන ඔහු නිවෙසට යන්නට පෙර හීනි අඩියක් දමා ගන්නට ද අමතක නොකරයි. ඒ නියමිත ප්‍රමාණයකිනි. අඩු ද වැඩි ද නැති සම්මත ප්‍රමාණයකි. නිර්මාංශිකයකු බැවින් එහි රසමසවුළු සඳහා භාවිතයට ගැනෙන්නේ එයට ගැළපෙන දෙයකි.
දිගු කලක් ඔහු ජීවත්ව සිටියේ නාරාහේන්පිට වුවත් ආසිරි රෝහලේ රථ ගාලට තම ඉඩම ලබා ගත් පසු ඔවුහු බොරලැස්ගමුවට ගියහ. ඒ කෙසේ වෙතත් ඇතැම් සවසක මා ආයතනයේ රථයකින් නිවසට යන විට වැඩ අවසන්ව සිටී නම් ගාමිණීඅයියා ද එහි කැඳවා ගෙන යෑම මගේ සිරිත විය. බොරලැස්ගමුව තිබෙනුයේ අතරමග ය. ඒහෙත් ඔහු තිඹිරගස්යායේ දී රථයෙන් බසින්නේය. ඒ ඔහුට සුපුරුදු රන්දෝලි අවන්හලට ගොඩ වැදී යන්නටය. අනතුරුව ඉතිරිය බස්රියෙන් යන්නේ ය.
දෙවන පෑතිස් රජ දවස ශිලා ලිපි කියවන්නා
අකුරු ඇමුණුමේ සිට පරිගණක අක්ෂර බවට පත්වූ පසු අංශයක්ව තිබුණු ලේක් හවුස් පරිගණක අක්ෂර අංශය පසුව වෙන් කොට එහි සාමාජිකයෝ ආයතනයේ පුවත්පත් සඳහා අනුයුක්ත කෙරිණ. ගාමිණී සරසවියට සින්න වූයේ එහෙම ය. අම්මාත් සමග නුගේගොඩ ක්වින්ලන් සිනමාහලේ අංගුලිමාල නරඹා සිනමා ලෝලියකු වූ ගාමිණි අයියාට සරසවිය තරම් සිත් ගත් ආයතනයේ තවත් තැනක් නොවිණ. සිනමා ලෝලියකු වූ බැවින් ඔහු ගේ රස මතක කථා බොහොමයක් ද විය. ඔහු සරසවියට එක් වන විට එහි කිසිදු කර්තෘ මාණ්ඩලිකයකු පරිගණක අක්ෂර සංයෝජනය දැන සිටියේ නැත. ලිපි කොපමණ ප්‍රමාණයක් ලැබුණ ද කිසිවිටෙකත් ගාමිණි අයියා බැහැයි කිව්වේ නැත. අමාරුම කාර්යය වූයේ සරසවිය එවකට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය කර්තෘ (වර්තමාන කර්තෘ) ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ සහ උප කර්තෘ චන්දන දයා සිරිවර්ධනගේ අකුරු කියවීම ය. ඒ අකුරු නොවරදා ටයිප් කරන්නට නම් ඔහු දෙවන පෑතිස් රජ දවස ශිලා ලිපි කියවන්නෙකු විය යුතුය. පුදුමය නම් ගාමිණි අයියාට ඒ හැකියාව තිබීමය.
ආචාර්ය නුවන් නයනජිත් කුමාර
ඔහුගේ රාජකාරිය පැය අටකට සීමා නොවිණි යැයි මම මෙයට පෙර ද ලිව්වෙමි. මගේ ලිපි බහුතරයක් මා විසින් ම පරිගණක අක්ෂර කර ගත්ත ද ඇතැම් ලිපියක් ගාමිණී අයියා අතින් සිදුවෙයි. බොහෝ විට ඉතා වැදගත් රාජකාරි රහස් ලිපියක් වගකීමෙන් යුතුව සකස් වන්නේ ද ඔහු අතිනි. ඒ බොහෝ විට මා අතින් සිදුවන අක්ෂර දෝෂ ඔහු අතින් කිසිවිටෙකත් සිදුනොවණ බැවිනි. ගාමිණී ඒ සඳහා තෝරා ගන්නේ කිසිවකුත් නැති රාත්‍රිය යි. අදාළ ලිපිය නිසි ලෙස සකසා කර්තෘවරයාගේ අතට පත්වෙයි. ලිපියෙහි අන්තර්ගතය දන්නේ ලිපිය ලබන අදාළ පාර්ශවයත් ලිපිය ලියූ කතුවරයාවූ මාත් ගාමිණී අයියාත් පමණකි.
අංශ ප්‍රධානියා හට මනුස්සකම පිළිබඳ පාඩමක්
රාජකාරිය දේවකාරිය ලෙස කළ ද එයට කොහේ හෝ තැනක ඉඳ අකුල් හෙලන අපතයන් කොතැනවත් නැතුවා නොවේ. ගාමිණි අයියා ද එබන්දකට මුහුණ දුන්නේය. ඒ, ඔහු සරසවියට එක් වන්නට පෙර යුගයේ ය. කිසිම දිනෙක නිවාඩු නොගන්නා ගාමිණි අයියාට එක වසරක දී එම ප්‍රතිපත්තිය බිඳින්නට සිදුවිණ. හේතුව මහලු වියේ සිටි තම පියාත් මවත් දෙදෙනා ම එක්තැන්වීම සමග ය. ඔවුන් දෙදෙනා වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට අවිවාහක ගාමිණී අයියා ස්වෙච්ඡාවෙන් බාර ගත්තේ ය. ප්‍රතිඵලය වැඩිපුර නිවාඩු ගැනීම ය. එතුවක් කළ සේවය අමතක කළ අංශ ප්‍රධානියා ගාමිණීට ගෙදර යන්නට සැලැස්වූයේ ය. එහෙත් ගතවූයේ ටික දිනකි. එවකට සිටි සභාපති කේසර ලාල් ගුණසේකර මහතාට තම අභියාචනය යැවීමට ගාමිණිට හැකි විය. වහාම විධිමත් පරික්ෂණයක් පැවැත්විණ. විසි පස් වසරකටත් වඩා රාජකාරි කළ ඔහු කිසිකලෙකත් සේවය පැහැර හැරිය පුද්ගලයකු නොවන බවත් එම කාලය ඇතුළත වැඩි පුර කිසිදු නිවාඩුවක් නොගත්තකු බවත් සභාපතිවරයාට වැටහිණ.
මේ නිවාඩු වැඩිපුර ගෙන ඇත්තේ අතිශය මානුෂීය හේතුවකට ය. වහාම චෝදනා අවලංගුවිය. රාජකාරියේ දී අමනුස්කම පිළිබඳ අංශ ප්‍රධනියාට එල්ල වූ දැඩි දෝෂාරෝපණයත් සමග ගාමිණි යළි සේවයේ පිහිටුවනු ලැබිණ.
ගුණදාස කපුගේ ගේ ඥාතියෙකු ලෙස
සරසවියේ වාර්ෂික සවාරිය හෝ කර්තෘ මිතුරන් එක් වන තැන ගාමිණි අයියා ද එක්වන්නේ ය. මේ සොඳුරු වැඩිහිටියා තැනට ගැළපෙන රසවත් ම චරිතයකි. මඳක් දිගට වැවුණු කොණ්ඩය නිසා ඔහු ට කපුගේ අයියා යන අන්වර්ථ නාමයක් ද පලඳා තිබිණ. ඇතැම් තැනක දී මේ පෙනුම නිසා ඔහු නොදන්නා හිතවතෙකුට ගාමිණී අයියා විශාරද ගුණදාස කපුගේ ගේ ඥාතියෙකු ලෙස හඳුන්වාදී අහිංසක විනෝදයක් ගන්නට අපේ එවුන් අමතක කළේ ද නැත. සාමාන්‍යෙයන් වැඩිපුර කථා නොකරන ගාමිණී අයියා හිනාවකින් මේ විහිළුවට සම්මාදම් වෙයි.
කාලයාගේ ඇවෑමෙන් පනස් දෙවසරකට පසු ඔහු ඉසිඹු ලබන්නට තීරණය කළේ ය. ඒ හා සමාන කැපවීමෙන් යුතුව රාජකාරිය කරන මිනිසුනගේ අඩුව දැනෙන යුගයකි. එහෙත් ඒ ඉරණමට මුහුණ දිය යුතුය.
''ගාමිණී අයියා ගෙදර ගිහින් මොකද කරන්න හදන්නේ?''
රස්සාවට ඇබ්බැහි ව සිටි ඔහුගෙන් මම විචාළෙමි.
''මම හොද රේඩියෝ එකකුයි. හොඳ ෆෝන් එකකුයි ගන්නවා.''
''ඒ මොකටද?''
''රේඩියෝ එක බණ අහන්න. ෆෝන් එකක් ගත්තාම දැන් හොද පිච්චර් ගෙදරට වෙලා බලතෑකි.''
ඔහු, නොකියා ම යන්න ගොසිනි...
විශ්‍රාම ගිය ද, අප නිතර හමුනොවුණ ද නිතර දුක සැප විමසා බැලිණ. පසු කලෙක වෙනත් පුවත්පතක ආයතනයකට ම'විසින් ඔහු යොමු කළ ද ලේක්හවුස් ආයතනයේ පැවති වාතාවරණය හුරු වූ ඔහු එයට සමුදුන්නේ ය. ලේක්හවුස් ආයතනයේ ඔහු විශ්‍රාම ගත් දවසේ අපේ චන්දන දයා සිරිවර්ධන විසින් කළ සංවිධානය නිසා එවකට සභාපති දයාරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ම ඔහුගේ සේවය අගය කරනු වස් එහි පැමැණියේ ය. විශ්‍රාම ගිය පසු කාගේ හෝ මරණයක් ගැන දැන ගත් විගස එයට සහභාගි වන්නට ගාමිණී අමතක කළේ නැත. කාගේ හෝ මරණයක් තිබුණේ නම් එය දන්වන්නැයි ඔහු උදක්ම ඉල්ලා සිටියේ ය. ඒ කිහිපයකටම ඔහු මා සමග සහභාගි විය.
සරසවිය පුවත්පතේ සේවය කළ දැන් විශ්‍රාමික ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන ගේ මව මෙයට සති කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූවා ය. මා ඒ බව ගාමිණීට පැවසුවෙමි. ඔහු මා සමඟ එහි යන්නට ආවේ ය. මාත් ගාමිණීත් සරසවියේ ම සේවය කළ චන්ද්‍රිසිරි ඉඹුලාන ලියනාරච්චිත් එයට සහභාගිවීමු. යන අතරමග කතාබහේ දී ඔහු විස්සෝපව සිටියේ පසුගියදා, මගින් වන්දි ගෙවන ලෙස අධිකරණය ලේක්හවුස් ආයතනයට නියෝග කොට තිබුණු තීන්දුව ගැන ය. එය ඔහුට මහත් කම්පාවක් ව තිබිණ. වසර ගණනාවකට පසුත් තම සේවය කළ ආයතනය පිළිබඳ ඔහුට තිබුණු ආදරය කිසිසේත් මට ආගන්තුක හැඟිමක් නොවින. ආපසු පැමිණ මහරගම නගරයේ දී අප වෙන්වන විට ගාමිණී අයියා තොරතර දුන්නාට පින්ද දුන්නේ ය. අනේ එහෙම මරණයක් කියන්න. මම නොවැරදී ම එනවා. සුමුගනිමින් ඔහු පැවසුවේය.
සති දෙකක් ගෙවුණු තැන සරසවිය හිටපු කතුවරියක වූ දීප්ති ෆොන්සේකාට මරණයක් ආරංචි වී මගෙන් විමසුවා ය. මම ගාමිණී ගේ දුරකතනය ට කතා කළ ද ප්‍රතිචාර නොවිණ. ගාමිණීගේ ඥාති පුත්‍රයෙක් වූ ලේඛක සුජීව තේවහෙට්ටිගේට කතා කළ මම දීප්ති පැවසූ ආරංචියේ ඇත්ත නැත්ත සැක හැර දැන ගතිමි. දන්නා අයගේ මරණයක් ගැන කියන්නට යැයි පැවසූ ගාමිණී පෙරේරා ට ඒ ප්‍රවෘත්තිය කියන්නට මට නොහැකි විය.
ඒ, ඔහු නොකියා ම ගොස් ඇති බැවින් ය.

(Aruna Gunarathna)

