V2025

පුවත්

කොරෝනා මරණ සංඛ්‍යාව 13,972 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,972කි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (12) සිදුව ඇති බවය.

එම මරණ අතරට කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 18 දෙනෙකු අයත්ය.

තවද,  අද (13) දිනයේ නව කොරෝනා ආසාදිතයින් 716 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

21d78972 255507069 435617424791465 1971419419685579546 n

 

මත්පැන් මිලත් ඉහළට !

2022 වසර සඳහා වන අයවැය යෝජනාවන්ට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මද්‍යසාර සඳහා පනවා තිබූ බදු මුදල් ඉහළ දමා තිබේ. ඒ අනුව මත්පැන් වර්ග එක් ලීටරයක් සඳහා බදු මුදල් වැඩි වන ආකාරය පහත පරිදි වේ.

? මෙතෙක් දේශීය වශයෙන් විශේෂ අරක්කු සඳහා පනවා තිබූ රුපියල් 3,800ක එක් මද්‍යසාර ලීටරයක් සඳහා වූ බද්ද රුපියල් 380 කින් ඉහළට

? නව බද්ද රුපියල් 4,180 ක්.

? මොලෑසස්, තල්, පොල් හා පදම් කළ අරක්කු සඳහා තිබූ රු. 4,050ක බද්ද රුපියල් 410කින් ඉහළට

? නව බද්ද රුපියල් 4,460 ක්

? මෙරට නිපදවන විස්කි, බ්‍රැන්ඩි, ජිම්, රම් විදේශීය මත්පැන් මත අයකරන 4,150ක තිබූ බද්ද 420 කින් ඉහළට

? නව බද්ද රුපියල් 4,570 ක්

? 5%කට වඩා මධ්‍යසාර ප්‍රතිශතය අඩු බියර් වර්ග මත රුපියල් 3,200ක් වශයෙන් පනවා තිබූ බද්ද 3,300 දක්වා රුපියල් 100කින් ඉහළට

? 5%කට වඩා මධ්‍යසාර ප්‍රතිශතයකින් වැඩි බියර් මත රුපියල් 3,200ක්ව පැවති බද්ද රුපියල් 3,450 දක්වා රුපියල් 250 කින් ඉහළට

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, ලීටරයක් මත පනවා තිබූ බදු වැඩි කිරීම අනුව ඒ ඒ මත්පැන්වල අඩංගු වන මධ්‍යසාරවල ප්‍රතිශතය අනුව නිෂ්පාදකයින් විසින් සිල්ලර මිල හා තොග මිල තීරණය කිරීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය යුතු බවයි.

News 1st -

චීන පොහොර සමාගමේ එන්තරවාසිය නීතිපතිට !

මේ වනවිට ආන්දෝලනයක් ඇතිවී තිබෙන චීන කාබනික පොහොර සමාගම විසින්, ශාක නිරෝධායන සේවය වෙත එවා ඇති එන්තරවාසිය උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත අදාළ සමාගම විසින් පසුගියදා අමෙරිකානු ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබුණි.

එම එන්තරවාසිය පසුගිය 9 වනදා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත ලැබුණු අතර ඒ අනුව අදාළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමුකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ඉදිරියේ දී ලැබීමට නියමිතව තිබේ.

යුගදනවිය විකිණීමට එරෙහිව විමල්ලා රටවටේ යයි : තිස්සලා ආණ්ඩුවෙන් යයි ?

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ඉකුත් දා කොළඹින් ආරම්භ කළ “මහජන සභාව “රැස්වීම් මාලාව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .

මව්රට පුවත්පත වාර්තා කර ඇත්තේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ඉකුත් සතියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිවසේ රැස්වූ අවස්ථාවේදී ,මෙම තීරණය ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බවය.

සමසමාජ තිස්සලා ගල් ලෙන බිඳියි !

මේ අතර එම පුවත්පත තවත් වාර්තාවක සඳහන් කර ඇත්තේ ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීන්දුවක් ගෙන ඇති බවයි.

අදාළ පුවත පහත දැක්වෙයි.

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන තර්ජන හා ආණ්ඩුවේ මහජන විරෝධී ක්‍රියාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් පක්‍ෂ නායකයන් ඒ සඳහා කිසි ප්‍රතිචාරයක් දක්වා නැති බව පක්ෂ නායක තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

එම තත්ත්වය යටතේ ආණ්ඩු යටතේ සන්ධානගතව නොසිටිය යුතු බව තම අදහස බවද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන පක්ෂ දේශපාලන මණ්ඩලයට ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටියේය.

මොන නීති දැම්මත් 16 කොළඹ වටලනවා - සජබ

ආණ්ඩුව කුමන නීති ගෙනාවද කලින් යොදාගත් පරිදි අගහරුවාදා දින (16) කොළඹ වටලන බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න සහ එස්. එම්. මරික්කාර් යන මන්ත්‍රීවරු මේ බව අවධාරණය කර සිටියහ.

මේ එහිදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න දැක්වූ අදහස් ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා දැක්වූ අදහස්.

මේ ආණ්ඩුව අද වැටී තිබෙන තත්වය යටතේ විපක්ෂය මර්දනය කිරීමට නොයෙක් විදියේ ඉදිරිපත් වෙන්න හදනවා එයට අපි ඉඩ තියන්නේ නැහැ අද පැත්තක තිබෙන සෞඛ්‍යය තමයි අරගෙන තියෙන්නේ මෙච්චර කල් නිදාගෙන හිටි ආණ්ඩුව මෙච්චර කල් කිසිම තහංචියක් විධිවිධාන දාන්නෙ නැති ආණ්ඩුව එකපාරටම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලියනවා පවතින තත්වය ගැන නිසි ක්‍රියාමාර්ග ගන්න කියලා මම හිතන්නේ මේක තමයි පලවෙනි වරට වසංගතයක් කාලෙක රජය ඉල්ලනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් සාමාන්‍යයෙන් කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අර රජයට නොයෙකුත් දේවල් කියනවා මේවා කළ යුතුයි කියලා දැන් ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ කියපු කතාව අනුව නොයෙකුත් නියෝග නිකුත් කරනවා මේවා හොඳ නෑ කියලා .මම අහනවා මේ ආණ්ඩුව පහුගිය කාලේ පම්පෝරි ගැහුවේ කොවීඩ් රැල්ල දැන් ඉවරයි ඉතාමත් හොඳ ත්තවයක තිබෙනවා ආණ්ඩුව එන්නත්කරනය හොඳට කරා ඒ නිසා දැන් කිසි බයක් වෙන්න දෙයක් නැහැ පරිස්සම් උනාම ඇති කියලා දැන් එකපාරටම වෙලාවේ කෝවිට රෝගීන් සංඛ්‍යාව දවසකට සුළු පිරිසක් වැඩි වෙනවා ඒ දිහා හොඳට බලන් හිටියා එසේ බලන් ඉඳලා සමගි ජන බලවේගය තීන්දු අරගෙන ප්‍රකාශයට පත් කරාම 16 වෙනිදා විරෝධතාවයට එනවා කියලා එකපාරටම අවදි වෙනවා අවදි වෙලා සෞඛ්‍ය මතක් වෙනවා එහිදී වෙන ක්‍රමයක් නැහැ නවත්තන්න ඒගොල්ලො දන්නවා ලංකාවේ තියෙන ඓතිහාසික විරෝධතාවයක් 16 වෙනිදා තිබෙන බව රජයට විරුද්ධව අද මිනිස්සු පාරට බහින්න බලාගෙන ඉන්නේ අපි වගකිව යුතුයි විපක්ෂයක් විදිහට මෙතෙක් කල් මේ ජනතාව පාරට දාන්න තීන්දු කරේ නැහැ. නමුත් අපි දන්නවා පහුගිය කාලේ ගොවීන් තමන්ට ජීවත්වීමේ අයිතිය ඉල්ලා ගොවීන් පාරට බැස්සා ගුරුවරුන් තමන්ට ජීවත් වෙන්නට තිබෙන අපහසුතාවය නිසා ගුරුවරු පාරට බැස්සා අනෙකුත් ජනතාව හැම තැනකම ජීවන වියදම අනුව පාරට බැස්සා එහිදීත් කෝවීඩ් තිබුණා මීටත් වැඩිය නරක කාලේ වලත් එළියට බැස්සා එතකොට අද මේ වෙනකොට රටම ඉල්ලනවා ප්‍රධාන විපක්ෂය තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න කියලා ඒක තමයි මහජනතාවගේ විලාපය කොළඹට ගෙනල්ලා මේ ආණ්ඩුවට ඇහෙන්න සලස්වන්නේ. එකපාරටම නාගරික කොමසාරිස්වරයා යටතේ වැඩ කරන වෛද්‍යවරයා අපිට දුන්නා අවසරපත අවලංගු කරනවා මේ වෛද්‍යවරයා ක්‍රියාකරන්නේ කෝවිඩ් එක වෙනුවෙන් නෙමෙයි ඔහු ක්‍රියාත්මක කරන්නේ කොහෙන් හරි උඩින් ආපු නියෝගයකට සහ දේශපාලන බලපෑමකට ‍වෛද්‍යවරයෙක් විදියට ඇයි බය වෙන්නේ තමන්ගේ වෛද්‍ය වෘත්තිය නැති කරන්න පුළුවන් වෛද්‍ය සභාවට විතරයි එසේනම් ඇයි බය වෙන්නේ වෛද්‍යවරුත් මේ විදිහට හැසිරෙනවා නම් මේක මහා ඛේදවාචකයක් අද ඒ අනුව නොයෙකුත් නියෝග එනවා එය 16 වෙනිදට බයවෙලා ආණ්ඩුව ඇවිත් ප්‍රපාතයට වැටිලා ඊයේ අයවැය ලේඛණයෙන් හොඳටම ප්‍රපාතයට වැටුණා මිනිස්සුගෙ තිබුන සියලු බලාපොරොත්තු විනාශ වෙලා ගියා බැසිල් රාජපක්ෂ ඇමතිවරයාටම තේරෙනවා මේ කරන ප්‍රකාශන බොහෝ දත්ත සංඛ්‍යා ලේඛන බොරු බවත් බොරු පොරොන්දු කියලා ඒ නිසා තමයි එතුමාට වුණත් තමන්ගේ ශරීර සෞඛ්‍යය පවා අනිත් පැත්තට යන්නේ ඒ ඇතිවන තිගැස්සීම් නිසා දැන් අයවැයත් අසාර්ථකයි දැන් තියෙන්නේ රජයට මර්දනය විතරයි වෙන කිසිම දෙයක් නැහැ එම නිසා දවසෙන් දවස හමුදා නිලධාරීන් හැම තැනකටම පත්කරනවා එසේ පත්කර හමුදා නිලධාරීන් කන්නෙත් අපි කන විදියට තමයි ඒ ගොල්ලන්ටත් ජීවන වියදම තේරෙනවා ඒය නොතේරුණත් මෙයාලගෙන් පවුලේ නෝනා මහත්තයා මතක් කරයි දරුවන් මතක් කරයි කියලා වැඩ කරන මිනිස්සු මතක් කරයි.

අපි 16 වෙනිදට අපි ගත්ත තීන්දු අනුව කොළඹට එනවා එදා නවදිල්ලිය ගොවීන් ඇවිත් කෝවිඩ් වසංගතයේ දී නව දිල්ලිය වටලුවා වගේ අපි මුළු මහත් බහුතර ජනතාවක් එක්ක කොළඹම වටලනවා එය නවත්තන්නේ නැහැ එහි නොයෙකුත් නියෝග තියෙනවා හිර බත් කන්න එවැනි දේවල් එහෙම නැතුව හිර බත් කන්නේ නැතුව මේ දේශපාලන ගමන යන්න බැහැ මර්දනයට මුහුණ දෙන්න බැහැ එමනිසා අපි ලෑස්ති ඕනෑම දඬුවමකට මේ සඳහා අපේ නීතිඥවරුන් සූදානම් වෙලා තියෙනවා උසාවිවලට ගිහින් අසාධාරණයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.

මේ රටේ සියළුම දුක් විඳින ජනතාවට කියනවා තමන්ගේ දුක් ගැනවිල්ල කියන්න හැම තැනකම තියෙන පොදු ප්‍රවාහනයට එකතුවෙලා 16 වෙනිදා දවල් දෙක වෙනකොට හයිඩ්පාක් පිටිය අසලට පැමිණෙන්න හයිඩ්පාක් පිටිය තහනම් නම් කොළඹම හයිඩ් පාක් භූමියක් බවට පත් කරනවා ඒ නිසා ජනතාවට කියනවා අපිත් එක්ක එකතුවෙන්න ඔබලා වෙනුවෙන් අපි 16 වෙනිදා ඕනෑම දඬුවමකට යටත්ව නායකත්වය අපි ලබා දෙනවා.

රාජ්‍ය සේවය අපට බරක් -මුදල් අමාත්‍ය

රාජ්‍ය සේවකයින් සඳහා තව වර්ෂයක් යනතුරු රජයට තවදුරටත් මුදල් වැයකිරීමේ හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ 2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා අද (13) පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙසේද සඳහන් කළේය.

"මං හිතන්නේ තව දුරටත් අපි ලොසිංජර දෙන්න අවශ්‍ය නැහැ .අපි අවංකවම පිළිගන්න ඕන මේ රාජ්‍ය සේවය අපට බරක්.මොනම ආකාරයකින්වත් තවත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් මුදල් වැය කිරීමට හැකියාවක් නැහැ.වගකීමෙන් කියනවා නම් රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව පුළුල් කරන්නත් අපිට හැකියාවක් නැහැ .නමුත් වාර්ෂිකව විශ්‍රාම යන සංඛ්‍යාව අනුව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට අපි කටයුතු කරනවා"

යුගදනවිය පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි !

කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස් 40% ක් ඇමැරිකානු සමාගමකට පවරාදීමට සහ එම බලාගාරයට ද්‍රව වායු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ඇමරිකානු සමාගමකට පවරාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා , ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙකී කරුණු ජාතික වැදගත්කමක් සහිත ඒවා වන බැවින් පූර්ණ විනිසුරු මඬුල්ලක් පත්කිරීම යෝග්‍ය බව පෙන්වා දෙමින් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පර්සාගා ජමීර් විසින් ඊයේ (12) මෙම ඉල්ලීම සිදුකර ඇත.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා හා ඇල්ලේ ගුණවංශ හිමි, සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ හා ලංකා විදුලි සේවක සංගමයේ මහ ලේකම් රන්ජන් ජයලාල් පෙරේරා සහ පෙත්සම්කරුවන් ගොනුකර තිබූ පෙත්සම් තුනක් ඊයේ 12දා බුවනෙක අලූවිහාරේ, ඒ. එච්. එම්. ඞී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාරද සිල්වා කරුණු දක්වමින් මෙකී පෙත්සම් සළකා බැලීම සඳහා කෙටි දිනයක් කැඳවන ලෙසත් දීර්ඝ දිනයක් ඒ සඳහා නියම කරන්නේ නම් පෙත්සමට පාදකවූ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරි පියවර නොගන්නා බවට වගඋත්තරකාර අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාගේ එකඟතාවයක් ලබාගන්නා ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිිටියේය.

එකී පෙත්සම් සළකා බැලීම සඳහා ලබන 26 වැනිදා යළි කැඳවීමට දින නියම කළ විනිසුරු මඬුල්ල පූර්ණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම අගවිනිසුරුවරයාගේ අවධානය සඳහා යොමු කරන බව ද පවසා ඇත.

පෙත්සම්වල සඳහන් සමහර වගඋත්තරකරුවන්ට මේ දක්වා නොතිසි ලැබී නොමැති බවද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී විනිසුරු මඩුල්ලට පෙන්වා දුන් අතර නොතිසි ලැබී නොමැති වගඋත්තරකරුවන්ගේ නම් මෝසමක් මගින් අධිකරණයට දැනුම් දෙන ලෙස ද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කර ඇත.

කාදිනල්තුමා හා ඇල්ලේ ගුණවංශ හිමියන් ප‍්‍රමුඛ පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ තිසත් අබේගුණවර්ධන හා ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා, ජිනේන්ද්‍ර සිල්වා, ගිහාන් ලියනගේ, තාරක නානායක්කාර, අමන්ද අබේසිංහ හා ලිහිණි විජේසිංහ ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

එම පෙත්සම් සම්බන්ධයෙන් සීමිත විරෝධතා ගොනුකිරීමට පියවර ගන්නා බව ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පර්සානා ජමීර් එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.

2022 අය වැය යෝජනා....

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය මෙය වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයේ දෙවන අයවැය වාර්තාව අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  අයවැය යෝජනාවලියද රැගෙන 12 වැනි දින පස්වරු 2ට පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය.

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ  ඉදිරිපත් කළ පළමු අයවැය වාර්තාව මෙය වේ.

ඒ අනුව, ගුරු - විදුහල්පති වැටුප් විෂමතා විසඳීම, දුම්වැටි හා සුරාබදු ඉහළ නැංවීම, රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම ඇතුළු යෝජනා මාලාවක් අද ඉදිරිපත් කෙරුණු අයවැය මගින් යෝජනා කර තිබේ.

එමෙන්ම අනතුරට ලක්වන මෝටර් රථ වාහනවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා කෙරෙන අතර එම ගාස්තුව රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කරගැනීමටත් අයවැයෙන් යෝජනා කර ඇත.

ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමටත් මෙවර අයවැය යෝජනා අතරට අයත් වේ.

රාජ්‍ය ආයතනවල දුරකථන වියදම සියයට 25කින් කපා හැරීමත් අයවැය යෝජනා අතරට ඇතුළත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුපක් ලැබීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන කාලය අඛණ්ඩව වසර 10ක් දක්වා දීර්ඝ කිරීමද මෙවර අයවැයේ සුවිශේෂී යෝජනාවකි.

අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ මාසික ඉන්ධන දීමනාව ලීටර 05කින් අඩුකිරීමටත් අයවැයෙන් යෝජනා කර තිබේ.

කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් අවශ්‍ය තාක්ෂණික ඥානය ලබාදී ඉලක්කගත වගාවන් වෙනුවෙන් විශේෂිත පොහොර මාදිලි සකස් කිරීමට අවශ්‍ය කරන ව්‍යාපෘති ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමටත් මෙවර අයවැයෙන් යෝජිතය.

ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීමට හා එම අධිකාරිය මගින් ත්‍රිරෝද රථ ගාස්තු හා සේවා ප්‍රමිතිකරණ තීන්දු ගැනීමට යෝජනාවක්ද මෙහි අන්තර්ගත වේ.

ගුවන් විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීම මින් ඉදිරියට විවෘත වෙන්දේසියක් හරහා පමණක් සිදුකිරීමට යෝජිත විය.

2021 අයවැය මගින් යෝජනා කළ දැනට කෙටුම්පත් කර ඇති විශේෂ භාණ්ඩ බද්ද 2022 ජනවාරි මස සිට එම පනතින ආවරණය වන භාණ්ඩ හා සේවා සඳහා ක්‍රියාත්මක කිරීමේ යෝජනාවද මෙහි අන්තර්ගතය.

එළඹෙන මුදල් වර්ෂයේ සිට රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ඇති කිරීම සඳහා කටයුතු ආරම්භ කිරීමට මුදල් අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළේය.

වසවිෂවලින් තොර වල්නාශක පරිහරණ ක්‍රම හා වල්පැලහරණය සඳහා විකල්ප දිරිගැන්වීම වෙනුවෙන් හෙක්ටයාර 02කට උපරිමයකට යටත්ව හෙක්ටයාරයකට රුපියල් 5,000 බැගින් ආධාර මුදලක් ලබාදීමට ද යෝජනා වී විය.

"ගම සමග පිළිසඳර" වැඩසටහන යටතේ සෑම ගමකම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 3ක් වෙන් කිරීමට යෝජිතය.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සිය කොට්ඨාසය සංවර්ධනය සඳහා ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන තවත් රුපියල් මිලියන 5කින් වැඩි කරන අතර ඒ අනුව 2022 වර්ෂය සඳහා සෑම මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 15 බැගින් හිමිවනු ඇති.

කුඩා සුපිරි වෙළඳසල් ජාලයක් (HOME SHOP) ග්‍රාම සේවා වසම් මට්ටමින් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 15,000ක පමණ ප්‍රතිපාදනයක් මෙවර අයවැයෙන් වෙන් කෙරේ.

ග්‍රාම සේවා වසම් මට්ටමින් දිළිඳු පවුල් සඳහා සහන මල්ලක් ලබාදීමට රු.මි. 15,000ක් වෙන් කර තිබේ.

ජාතික පාසල් 1,000ක් ඇති කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වෙන් කළ මුදලට අමතරව තවත් රු.මි. 5300ක මූල්‍ය ප්‍රතිපාදනයක් අයවැය යෝජනාවක් ලෙස ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ.

සෞඛ්‍ය සේවා පවත්වාගෙන යන ආයතන සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ මුදලට අමතරව තවත් රු.මි. 5,000ක් වෙන් කිරීමටත් යෝජිතය.

පොලිස් සේවාවන්ට අවශ්‍ය පහසුකම් සංවර්ධනය සහ පොලිස් නිලධාරීන් බඳවාගැනීම වෙනුවෙන් වෙන් කළ මුදලට අමතරව තවත් රු.මි. 500ක් වෙන්කිරීමත් අයවැය යෝජනා අතරට ඇතුළත් වේ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව රු.මි. 500ක්ද අයවැයෙන් යෝජිත විය.

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට වෙන් කළ මුදලට අමතරව තවත් රු.මි. 30,000ක් වෙන් කිරීමටත් මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

2015 - 2019 අතර කාලය තුළ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමත් අයවැය යෝජනාවලියට ඇතුළත් විය.

විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 500ක්ද වෙන් කෙරේ.

2020 - 2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2,000කට වඩා බදු ආදායමක් සහිත පුද්ගලයින් හෝ සමාගම් මත එක වරක් පමණක් අය කෙරෙන සියයට 25ක අධිභාර බද්දක් අය කිරීමට යෝජනා කර ඇත.

බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය එකතු කිරීම මත අය කරන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබේ.

කොවිඩ් වසංගතයෙන් බලපෑමට ලක්වූ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් සියයට 2.5ක අනුපාතය යටතේ වසරකට රුපියල් මිලියන 120ක් ඉක්මවන පිරිවැටුම මත සමාජ සංරක්ෂණ දායක මුදලක් 2022 වසරේ අප්‍රේල් 01 වනදා සිට අය කිරීමට යෝජනා වී තිබුණි.

දුම්වැටි මත අය කරන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකෙරෙන අතර ඒ අනුව එක දුම්වැටියක මිල රුපියල් 5කින් වැඩි කෙරෙනු ඇති.

එමෙන්ම සුරාබදු වැඩි කිරීමටත් අයවැයෙන් යෝජිතය.

ආදායම බිලියන 2284 යි වියදම බිලියන 3912 යි අයවැය පරතරය බිලියන 1628 යි

2022 මුදල් වර්ෂය සඳහා ප්‍රදාන ද ඇතුළු ඇස්තමේන්තුගත සමස්ත රාජ්‍ය ආදායම වන්නේ රුපියල් බිලියන 2284කි.

රජයේ සමස්ත වියදම් ලෙස රුපියල් බිලියන 3,912ක් දක්වා තිබේ.

ඒ අනුව මෙවර අයවැය පරතරය දැක්වෙන්නේ රුපියල් බිලියන 1,628ක් ලෙසය.

අදින් ආරම්භ වන අයවැය දෙවනවර කියවීම හෙට (13) සිට ලබන 22 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත් වේ.

දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 22 වැනි සඳුදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාව හෙවත් අයවැය තෙවනවර කියවීම නොවැම්බර් 23වනදා සිට ආරම්භ වීමට නියමිත අතර එම විවාදය දින 16ක කාලයක් පැවැත් වේ.

අනතුරුව තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා සිදුකිරීමට නියමිතය.

කොරෝනා මරණ සංඛ්‍යාව 13,950 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,950කි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (11) සිදුව ඇති බවය.

එම මරණ අතරට කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය.

image f2390499e4

 

සැබෑ දේශප්‍රේමියෙකුගේ තෙමස් පූර්ණ අනුස්මරණය​ නොවැ 23-36 දක්වා !

සැබෑ දේශප්‍රේමියකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර සිය දිවි සැරියෙන් සමුගෙන තෙමසක් පූර්ණය වන, එළඹෙන නොවැම්බර් මස 23- 26 සිව් දින පුරා ආගමික වතාවත් හා උපහාරාත්මක අනුස්මරණ වැඩසටහන් සිදු කිරීමට 'සමරවීර පදනම' විසින් කටයුතු යොදා ඇත.

ඒ අනුව,

තෙමස් පූර්ණ ධර්ම දේශනය : නොවැ. 23

තෙමස් පූර්ණ ධර්ම දේශනය ගෞරවනීය පූජ්‍ය පණ්ඩිත ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විසින් සිදුකරනු ලැබේ. රාත්‍රී 07 සිට රාත්‍රී 8.00 දක්වා සිදුකෙරෙන එම ධර්ම දේශනාව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවී විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

සපිරිකර සංඝගත දක්ෂිණාව : නොවැ. 24

භෂ්මාවශේෂ මහජන ගෞරවය සඳහා : නොවැ. 25 කොළඹදී

දිවංගත මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ 2021 නොවැම්බර් මස 25 පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, අංක 483 දරන ‘’රෙස්පෙක්ට්’’ ජයරත්න ප්‍රභූ මල්ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ඇත.

මාතර ජනතාවගේ උපහාරය : නොවැ. 26 මාතර දී

මාතර දිස්ත්‍රීක්කයට සුවිශාල සේවාවක් ඉටුකල මංගල සමරවීර මහතාට මාතර ජනතාවගේ උත්තමාචාරය පුදකිරීමට ද සංවිධායක කමිටුව විසින් අවස්ථාවක් ලබාදී ඇත. ඒ අනුව එතුමාගේ භෂ්මාවශේෂ මහජන ගෞරවය සඳහා 2021 නොවැම්බර් මස 26 පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා මාතර නූපේ පැරණි ඕලන්ද වෙළඳ පොළ ගොඩනැගිලි පරිශ්‍රයේ තැන්පත් කරනු ඇත.

අනතුරුව පස්වරු 4.00 ට එම භෂ්මාවශේෂ මාතර අනගාරික ධර්මපාල මාවත හා හක්මණ පාර ඔස්සේ මාතර පොදු සුසාන භූමිය දක්වා රැගෙන ගොස් තැන්පත් කරනු ඇත.

2021 නොවැම්බර් මස 25 සහ 26 යන දෙදින තුළ පුද්ගලිකව පැමිණ ගෞරව දැක්වීමට පැමිණෙන සියලු දෙනා කොවිඩ් ආරක්ෂණ නීති රීති අනුගමනය කරන මෙන් 'සමරවීර පදනමේ' සභාපතිනි ජයන්ති සමරවීර ගුණවර්ධන කාරුණික ඉල්ලීමක් කර සිටියි.

Mathaka Mangala Final 01

මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා : මෛත්‍රීගෙන් අභියෝගයක් !

නිවාස තුනක් එක් කර සෑදූ නිවෙසක තමන් සිටින බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කරන ලද ප්‍රකාශය ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක , හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මේ අදහස් දක්වා සිටියේ මහින්දානන්ද අළුත්ගමගේ ඇමැතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වමින් ය.

තමාට මේ වන විට සිටින නිවස ලැබුණේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගෙන් බවත්, තමා පාවිච්චි කළ නිවෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන් බවත් ඔහු එහිදී පැවසීය.

තමන් විස්කි බිබි කළ බව කියන සාකච්ඡාවක් ගැනද අලුත්ගමගේ අමාත්‍යවරයා පවසා ඇතැයිද කියු හිටපු ජනාධිපති තමන් මත්පැන් සිගරට් බොන අයකු නොවන බවත් පැවසීය.

කොරෝනා මරණ සංඛ්‍යාව 13,927 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර , ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,927කි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (10) සිදුව ඇති බවය.

එම මරණ අතරට කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය.

 

කොවිඩ් – 19 සදහා අති විශේෂ ගැසට් නිවේදනයක්

කොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක් , ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධි විධාන ප්‍රකාරවයි.

ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නිසි බලධාරියා විසින් නිශ්චය කරනු ලබන යම් කාලසීමාවක් සඳහා එම නියෝග බලපැවැත්වෙනු ඇති.

ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඒකරාශීවීම, ක්‍රියාකාරකම් , අවස්ථාව හෝ ඒ හා සමාන රැස්වීම පැවැත්වෙන ස්ථානය සහ එහි වටපිටාව , ව්‍යුහය හෝ වටමායිම මෙන්ම ඊට සහභාගීවීමට අවසර දෙන උපරිම තැනැත්නන් සංඛ්‍යාව හෝ අවසර ලබාදිය හැකි ධාරිතාව සම්බන්ධයෙන් නව නියෝග නිකුත් කර ඇති බවයි.

යම් තැනැත්තෙකු විසින් එම නියෝග උල්ලංඝණය කරමින් යම් ඒකරාශීවීමක්, ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් හෝ ඒ හා සමාන රැස්වීමක් සඳහා අවසර ලබාදීම හෝ ඊට සහභාගීවීම නොකළ යුතු බව ද නව නියෝගවල සඳහන්වේ.

a1408f1d 1 768x1011

අලුත් සන්ධානයක් හදන්න : ශ්‍රීලනිප ප්‍රසිද්ධියේ වැඩ !

ආණ්ඩුව සමග මේ වන විට ප්‍රසිද්ධියේ විවේචන සිදුකර ගනිමින් ගැටුම් ඇතිකරගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය එහි තවත් පියවරක් පෙරට තබා ඇත.

ඒ අද (11) සිදුකළ සාකච්ඡාවක් හරහා ය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම් 30කගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක්, එක්සත් ජනතා නිදහස් සන්ධානය අද කොළඹදී සිදුකර ඇත.

මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී බව නෙත් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එහි සඳහන් ආකාරයට පොදු සන්ධානයක් ගොඩනැගීම සදහා වන මූලික සාකච්ඡාව මෙහිදී සිදුවෙයි.

අදාළ පුවතේ වැඩිදුරටත් සඳහන් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කර ගනිමින් පුළුල් සන්ධානයක් ගොඩනැගීම එම සාකච්ඡාවේ අරමුණ බවයි . එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීම සදහා සියලු පාර්ශව එකතු කර ගැනීමට අපේක්‍ෂා කරන බව එහි මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළ බවත් අදාළ පුවත සඳහන් කරයි.

ගම්මන්පිලගෙන් පෙරටුගාමී යෝජනා පෙළක් !

ඉදිරි මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් 50%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමය යෝජනා කර ඇත.

පිවිතුරු හෙළ උරුමය පක්ෂය මෙසේ යෝජනා කර ඇත්තේ මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන පාර්ලිමේන්තු කාරක සභාවටය.

එමෙන්ම අපේක්ෂක ලැයිස්තුවෙන් 25%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් අමාත්‍ය උදය ගම්මන්පිල යෝජනා කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර, එහිදී අදහස් දක්වමින් ගම්මන්පිල අමාත්‍යවරයා පවසා ඇත්තේ, ප්‍රචාරණයේ දී පෝස්ටර් තහනම ඉදිරියේ දී ද පවත්වා ගෙන යා යුතු බවය.

එමෙන්ම මැතිවරණයේ දී අපේක්ෂකයින් වියදම් කරන මුදල් ප්‍රමාණය පිළිබඳ සීමාවක් ඇති කළ යුතු බවත්, මැතිවරණයෙන් පසු මාස තුනක් ඇතුළත වියදම් කළ මුදල් ප්‍රමාණය ප්‍රසිද්ධියට පත්කර මුදල් පරිත්‍යාගවල ප්‍රභවය සඳහන් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

ජනාධිපතිවරයා පත්වීමේ වාර ගනන පිළිබඳව ද මැතිවරණ කොට්ඨාසය සීමා නිර්ණය කිරීමේ දී අවධානය යොමුකළ යුතු බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පැවසූ බවත් වාර්තා වෙයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ 20 සංශෝධනයට අත ඉස්සූ පිවිතුරු හෙළ උරුමය පක්ෂය මේ කර ඇති යෝජනා වැදගත් බවයි.

ඒවා ධනාත්මක ලෙස බාර ගතයුතු බවත් වත්මන් ආණ්ඩුව ලබා ඇති ජනතා අප්‍රසාදය හමුවේ සිය පැවැත්ම වෙනස් වටයකින් තහවුරු කර ගැනීමට ගන්නා උත්සාහයක් ලෙසත් ඔවුන් මෙය හඳුන්වයි.

සුදුසුකම් මගෙන් නෙවෙයි ජනාධිපතිගෙන් අහන්න : කොළඹ කුලපති හිමියෝ පවසති !

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දැරීම සඳහා තමන් වහන්සේට සුදුසු කමක් නැතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළ සේක.

ඒ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනට එක්වූ උන්වහන්සේගෙන් මාධ්‍යවේදියා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී උන්වහන්සේ මෙසේ සඳහන් කර සිටියහ.

‘ඇත්ත වශයෙන්ම ඒකට සුදුසුමක් නෑ. සුදුසුකමක් තියෙන නිසා නේද ජනාධිපති තුමා ඒකට පත් කරන්න ඇත්තේ. සුදුසුකමක් නැත්තං දෙයිද. ඒක එතුමාගෙන් අහන්න ඕනි මගෙන් නෙවෙයි’

කෙසේ වුවත් මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගම් සහ මහා ශිෂ්‍ය සංගමය අදාළ පත්කිරීම අවලංගු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඉල්ලා ඇත.

එමෙන්ම ආණ්ඩු හිතවාදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ත් ඊට විරෝධය පලකරනවා මාධ්‍ය හමුවකදී අසන්නට ලැබිණ.

ස්වාධීන රූපවාහිනී සේවය සිදුකළ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වෙයි.

ඇමතිනී සීතා මේ බලන්න : වෘත්තීය පුහුණු අධිකාරියේ දැවැන්ත කඩා වැටීමක් !

රාජ්‍ය අමාත්‍ය සීතා අරබෙපොල විසින් පත් කරන ලද සභාපති එරංග බස්නායක යටතේ 2021 දෙවන වාරයට ශිෂ්‍ය බඳවා ගැනීම් ඉලක්කයෙන් 10% ක් වත් ලගා කර ගැනීමට අපොහොසත් වී ඇති බව වෘත්තීය පුහුණු අධිකාරිය සුරැකීමේ එකමුතුව චෝදනා කරයි.

එම පාර්ශ්වය සඳහන් කරන ආකාරයට මේ තත්වය උදා වී තිබෙන්නේ, හිටපු සභාපති දමිත වික්‍රමසිංහ කොවිඩ් තත්වය මධ්‍යයේ වුවද 2020 සහ 2021 වාරයන් වල 93% කට වඩා බදවා ගැනීම් සාර්ථකව සිදුකර යහපත් මට්ටමේ තිබූ පසුබිමකය.

මතුව ඇති තත්ත්වය ආයතයක් විනාශ මුඛයට ඇද දැමීමක් ලෙස ඔවුන් පවසයි.

එසේම වත්මන් සභාපති එරංග බස්නායක, දක්ශ නිලධාරීන් සියල්ලගෙන් හිටපු සභාපතිගේ මිනිස්සු යැයි පවසමින්, ඇමතිවරියගේද ආශිර්වාද ඇතුව ගෙන ගිය ක්‍රියාකලාපය මේ තත්ත්වය ඇතිවීමට මූලිකව බලපෑ බවත් ඔවුන් පවසයි.

වැඩිදුරටත් දැනගන්නට ඇති ආකාරයට ශිෂ්‍ය බදවා ගැනිම් අංශයේ අධ්‍යක්ශක සමන් කුලසූරිය ඇතුලු ඉහල නිලධාරීන් සියල්ලම පාහේ ආයතනයටම සමුදී ඇත.

එමෙන්ම දක්ශ ලෙස දිස්ත්‍රික්ක මෙහෙයවූ නිලධාරීන් සථාන මාරු ලබදී යාන්ත්‍රනය විනාශ කරගෙන ඇත.

එමෙන්ම දක්ශ තොරතුරු තාක්ශණ උපදේශකවරුන් සියල්ලම පාහේ ආයතනය හැර ගොසින්ය.

මේ සියල්ලම මෙසේ සිදුවී ඇත්තේ අන්ත දූෂිත අල්ලස් කොමිසමේ විභාගයන්ට යටත්ව සේවයෙන් ඉවත් කර සිටි අධ්‍යක්ෂක ජෙනරාල් චූලංගනී පෙරේරා සේවයේ නැවත පිහිටුවා වගේම ඉතිහාසගත දූශිත නිලධාරියකු වන පාලන අධ්‍යක්ෂක ඩබ්ලිව්. රණවීරගේ කීම මත බවත් ඔවුන් චෝදනා කරයි.

මෙම රණවීර නම් දූෂිත නිලධාරියා 60 ඉක්මවූ පසුවද කැබිනට් පත්‍රිකාවක් මගින් සේවා දිගුවක් ලබා දීමට ඇමතිවරිය කටයුතු කරමින් ඇති බවත් පැවසේ.

තවදුරටත් වාර්තා වන ආකාරයට , 2021 වසරට 35,000 ක මධ්‍යස්ථාන ගත පුහුණුලාබීන් හා 35,000 ක මාර්ගගත පුහුණු ලාබීන් බදවා ගැනීමට හිටපු සභාපතිවරයා කටයුතු සූදානම් කර ඔහු අවසන් වරට සිටි 2021 පලමු වාරයේදීම සිසුන් 17,000 කට වඩා මධ්‍යස්ථාන ගත පුහුණුවටත් තවත් 10,000ක් මාර්ගගත පුහුණුවටත් බදවාගෙන තිබුනි.

නමුත් මෙවර 18,000 ඉලක්කයෙන් බදවාගෙන ඇත්තේ 1980 කි. එය 10% ක අගයෙකි.

1994 දී වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් දැයට දයාද කල ශ්‍රී ලංකාවේ දැවන්තම වෘත්තීය පුහුණු ආයතනයට කණ කොකා හැඩීම රටේම අභාග්‍යක් බවත් වෘත්තීය පුහුණු අධිකාරිය සුරැකීමේ එකමුතුව පවසයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුවත් කිරීමට කටයුතු කරමින් ඇති බවත් වාර්තා වෙයි.

seetha arambepola 1000px

 

කොරෝනා මරණ සංඛ්‍යාව 13,908 දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,908 දක්වා ඉහළ ගොස් ඇත.

වයස අවුරුදු 60 ට වැඩි 14 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර දෙදෙනකු මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 08 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Page 403 of 462