ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය විසින්, 2025 දෙසැම්බර් 12 වැනි සිකුරාදා දින, ඉතාලියේ රෝමයේදී, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම, විධිමත් ලෙස, අලුත් කරන ලදී.
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍යා රොද්‍රිගෝ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ අතර, ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් මාරියා ත්‍රිපෝදි ඉතාලි රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබීය.
2021 වසරේදී මෙම ගිවිසුම කල් ඉකුත් වීමෙන් අනතුරුව එය අලුත් කිරීම සඳහා දෙරටේ මෝටර් රථ ප්‍රවාහන / ගමනාගමන බලධාරීන් අතර සාකච්ඡා ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම මෙම අත්සන් කිරීමේ ක්‍රියාවලිය මඟින් සංකේතවත් වේ. රියදුරු බලපත්‍ර පිළිබඳ ගිවිසුම මගින්, දෙරටෙහි ස්ථිර පදිංචිය ලබා ඇති පුද්ගලයන්ගේ රියදුරු බලපත්‍ර වලංගුභාවයට පත් කර ගැනීමට පහසුකම් සපයයි.
මෙම ගිවිසුම ප්‍රථම වරට ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර 2011දී අත්සන් කරන ලද අතර එය 2021දී කල් ඉකුත් වීමට පෙර නැවතත් 2016 දී අලුත් කර ඇත.
මෙම ගිවිසුම යටතේ, වසර හයක කාලයක් සඳහා අදාළ රටවල පදිංචිව සිටින දෙරටේ ජාතිකයින්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය වීමෙන් තොරව තම ජාතික රියදුරු බලපත්‍රය අනෙක් රටෙහිදී භාවිතා කිරීමට පහසුකම් සැලසෙයි. මෙය, ඉතාලියේ පදිංචිව සිටින සහ සේවයේ නියුතු අති විශාල ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් බෙහෙවින් අගය කර ඇති අතර, ඵලදායී විදේශගත ප්‍රජාවක් ලෙස ඉතාලිය තුල ඔවුන්ගේ දායකත්වයට පහසුකම් සලසමින්, රැකියා අපේක්ෂාවන් සහ අනාගත රැකියා අවස්ථා වැඩිදියුණු කිරීමට උපකාරී වී තිබේ.
මෙම ගිවිසුම වසර පහක කාලයක් සඳහා වලංගු වේ. දෙරටේ රජයන් විසින් අපරානුමත කිරීමෙන් අනතුරුව, ගිවිසුම දින 60ක කාල සීමාවක් තුළදී බලාත්මක වනු ඇත. ගිවිසුම බලාත්මක වීමෙන් අනතුරුව දෙපාර්ශ්වයම ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරනු ඇත.

