පුවත්

පාස්කු අවනඩුව ගෙන : කාදිනල් පාප් වහන්සේ හමුවෙයි !
වතිකානයේ සංචාරයක නිරත මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හෙට (27) ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිත බව වතිකාන ආරංචි මාර්ග පවසයි.
මෙම හමුව පැවැත්වෙන පෙරවරු 10.30ට වතිකානයේ සේන්ට් පීටර්ස් චතුරශ්‍රයට එක්රැස් වන ලෙස ඉතාලිය ඇතුළු යුරෝපයේ සියලු රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරාධනාවක්ද කරන ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු නොවීම සමබන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

රංජිත් බණ්ඩාර ලන්සාගෙන් කන පිරෙන්න අහගෙන !
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා හා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර අතර පසුගිය දිනෙක උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.
පසුගිය සදුදා පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මෙම ගැටුම සිදුව ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී ලන්සා මහතා ‘තමුසෙ මහ කෙළෙහිගුණයක් නැති මිනිහෙක්. මුල මතක නෑ…’ යනුවෙන් කියමින් අසැබි වචනයෙන් පවා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරට බැන වැදී ඇති බව දැනගන්නට ඇත.
(මව්රට )

ඩොලර් නැත්තේ ආණ්ඩුවේ වරදක් නිසා නොවෙයි - ජනාධිපති
රට පාලනයේ දී ජනතාවගේ නිදහස සහඅපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
එහෙත් ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකරන්නැයි ජනාධිපතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ අද (26) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරවුල් බිමක හිමිකම ජනතාවට උරුම කර දීම උදෙසා රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මකය. මේ වසරේ නිරවුල් ඔප්පු ලක්ෂයක් බෙදාදීමට සැලසුම් කර තිබේ.
පළමු අදියර යටතේ නිරවුල් කළ ඔප්පු 35,000ක් මහවැලි කලාප 10ක ගොවි ජනතාවට ප්‍රදානය කෙරේ. ලබන වසර අවසන් වීමට පෙර මහවැලි ප්‍රදේශවල වෙසෙන ගොවි ජනතාවගේ සියලුම ඉඩම් ඔප්පු බෙදා අවසන් කිරීමට සැලසුම් කර තිබේ. ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ලැබීමෙන් පවුලේ සාමාජිකයන්ට උරුමය පැවරීම, සුරැකුමක් ලෙස මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේ හැකියාව ඇතුළු අවස්ථා රැසක් හිමිකරුවන්ට උදාවේ.
රන්බිම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30දෙනෙකු සඳහා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් ඔප්පු ප්‍රදානය කෙරිණ.
විදේශ විනිමය නොමැති වීම වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති ප්‍රධානම ගැටලුවකි. කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක හා විදෙස් රැකියා වලින් ලැබෙන විනිමය අහිමි වීම ඊට මූලික හේතුවකි. පෙර රජයන් ගත් ණය පොළී සමග ගෙවීමට සිදුව තිබේ. මේ ගැටලු තමාගේ හෝ රජයේ වැරදි මත සිදුවූවක් නොවන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
පවතින අභියෝග සඳහා මුහුණ දීමට විපක්ෂයත්, ජනතාවත්, රජයත් එක්ව වැඩකළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කඩාකප්පල්කාරී වැඩ වර්ජන, බොරු ප්‍රචාර ගෙන යාම වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකින් අපේක්ෂා නොකරන බව පැවසීය.
වසර 20කට වඩා භුක්ති විඳි ඉඩමක නීත්‍යානුකූල හිමිකමක් නැතිව සිටි මහවැලි ජනතාව ඒ හිමිකම ලැබීමෙන් ලබන සතුට රජයටත් දැනෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරනු ලැබීය.
රසායනික පොහොර ගෙන්වීම සීමා කිරීමත් සමග විප්ලවවාදීන් යැයි කියාගන්නා පක්ෂ ගොවි ජනතාව පාරට බැස්සූ බවත් වගා කළ කුඹුරුවලට ගිනි තබමින් භෝග විනාශ කරමින් කළ උද්ඝෝෂණ ගොවියාට ආදරයෙන් කළ ඒවා නොව දේශපාලන වාසි ගැනීමට කළ ඒවා බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
හිමිකම් ඔප්පු ලබාදීමෙන් පමණක් මහවැලි ගොවි ජනතාවගේ සියලු ගැටලු විසඳෙන්නේ නැති බවත් ජාතික අවශ්‍යතාවය දෙස බලා සෑම බිම් අගලක්ම වගා කිරීමට කටයුතු කිරීමේ යුතුකම ද ගොවි ජනතාව සතු බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසීය.
මහවැලි කලාපයේ තුන්වැනි පරම්පරාව ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වගකීම වෙනුවෙන් රජය පෙනී සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
මහවැලි කලාපවල ගොවීන්ගේ ඉඩම් පමණක් නොව ජීවිත අහිමි වීමට ගිය යුගය වෙනස් කළේ රාජපක්ෂවරුන් බවත් වැව්, අමුණු සශ්‍රීක කරමින් මහවැලියට ජීවය දීමට කන්න දෙක පමණක් නොව තුන්වෙනි කන්නයක් සඳහා අතිරේක භෝග වගාවට පහසුකම් ද සැලසීමට රජය කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පැවසීය.
කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය

වැඩ කරන වේලාව වැඩිවෙයි : දවසක් අඩු කරන්න යයි
ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඉකුත් අඟහරුවාදා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති විශේෂ කැබිනට් රැස්වීමේ දී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් එම යෝජනාවලිය රජයට ඉදිරිපත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
සතියේ වැඩ කරන දින ගණන හතරට අඩුකර, පැය ගණන වැඩි කරන ලෙසට මහ බැංකුව යෝජනා කර තිබේ .
ඒ අනුව ආයතනවල කටයුතු උදේ හතයි තිහට ආරම්භ කර, පස්වරු පහයි තිහ දක්වා පවත්වාගෙන යන ලෙසට එමගින් යෝජනා කර තිබේ .
ආයතන තුළ සිට වැඩ කරන සේවකයන්ට උදේ 9.00 සිට හවස 3.00 දක්වා වැඩ කර,නිවෙස්වලට කලින් යාමේ අවස්ථාව සලසා දිය යුතු බවට ද මහ බැංකුව යෝජනා කර තිබේ .
පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කර, පොදු ප්‍රවාහනයට යොමු කරන ලෙසද මහ බැංකුව ඉල්ලා ඇත .
මේ අතර ,ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සහ ඉන්ධන පරිහරණය අරපිරිමැස්මෙන් කළ යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන යන ලෙසද මහ බැංකුව ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ සඳහන් වන බව වාර්තා වේ

යුක්‍රේන ජාතිකයින් 4000ක් ලංකාවේ
යුක්‍රේන සංචාරකයින් 4,000ක් පමණ මේ වන විට මෙරට රැඳී සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
ඔවුන් දින 30ක කාලයක් සඳහා මෙරටට පැමිණ ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එම සංචාරකයින්ගේ වීසා කාලය දින 30කින් අවසන් වීමට නියමිතය.
එහෙත් යුක්‍රේනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් තවදුරටත් මෙරට රැඳී සිටිමට කැමැත්ත දක්වන සංචාරකයින්ට වීසා කාලය දීර්ඝ කිරීමට කටයුතු සලසාදෙන ලෙස අදාළ සංචාරක නියෝජිතයින්ට උපදෙස් ලබාදී ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.
අදාළ වීසා කාලය අවසන්වීමෙන් පසු සිය රට බලා යාමට අවශ්‍ය සංචාරකයින්ට සෘජුව යුක්‍රේනයට ගුවන් ගමන් සිදුනොවන බැවින් වෙනත් රටවල් හරහා යළි සිය රටට යෑමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ද එම නියෝජිත ආයතන වෙත උපදෙස් ලබාදී ඇති බව සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

සිපෙට්කෝවත් IOC පාරේ යන්න සූදානමක් !
ලංකා ඉන්දීය සමාගම විසින් නැවත වතාවක් තම තෙල් මිල ඉහල දැමීම හමුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙන බව ආණ්ඩුව හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කර ඇත.
ඉන්දීය තෙල් සමාගම මිල ඉහළ දැමීමට සාපේක්ෂව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල වලින් ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාහක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍යාංශය උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.
මේ තත්ත්වය මත ඉදිරියේදී ඉන්ධන සැපයුම අභියෝගයක් වනු ඇතැයි අමාත්‍යංශය පවසන බවත් ඒවායේ සඳහන් ය.
එනිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් කිරීමෙන් වළකින ලෙස ද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අදාළ පුවත් අන්තර්ගතයෙ සඳහන් වෙයි.
මේ අතර තෙල් සංස්ථාවට ඉන්ධන අලෙවියෙන් ලබන පාඩුව අවම කර ගැනීම සඳහා ඉන්ධන මිල සැලකිය යුතු ගණනකින් වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් දා පැවති කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබිණ.
IOC මිල ඉහළට !
ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල සියළුම ඉන්ධන වර්ග මිල පසුගියදා හදිසියේ ඉහල දමනු ලැබිණ.
සුපරි ඩීසල් හා සුදු ඩීසල් ලීටරය රුපියල් 15කින් හා ඔක්ටේන් 95-92 පෙට්ට්‍රල් ලීටරයක් රැපියල් 20කින් එසේ මිල ඉහල දමා ඇත.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ එම සමාගමේ බෙදුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 සිට රුපියල් 204 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 124 සිට රුපියල් 139 දක්වාත් ඉහල යයි.

මංගලගේ රැඩිකල් සෙන්ටර් වැඩ අරඹයි : මුලින්ම ශානි වෙනුවෙන් !
පාස්කු වින්දිතයන් නොසලකා සාක්ෂි විමර්ශකයන් සිරගතකිරීමේ දේශපාලනය පිටුදකිමු' යයි 'රැඩිකල් සෙන්ටර්' ව්‍යාපාරය ජනතාවට යෝජනා කරයි.
දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ආරම්භකළ 'රැඩිකල් සෙන්ටර්' ව්‍යාපාරය අද (25) මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම යෝජනාව රට හමුවේ තබා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීමේ සුදානමක් සම්බන්ධයෙන් පලවන පුවත් වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

පොලිස්පතිට කොවිඩ් !
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බව වාර්තා වෙයි.
ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් ව ප්‍රතිකාර ලබන බව පොලිස් මුලස්ථාන තොරතුරු අනාවරණය කරයි.
පොලිස් රෝහලේන් ඊයේ (24) කරන ලද PCR පරීක්ෂාවකදී පොලිස්පතිවරයාට කොවිඩ් ආසාදිත වී ඇති බව අනාවරණය වී තිබේ.
මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයාගේ පුත්‍රයාටද කොවිඩ් ආසාදිත වී ඇති බවට පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

ටෝච් කේස් එක : හරීන් ගේම ඉල්ලයි !
පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් යැයි සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.
ඒ අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.
තමන් පාර්ලිමේන්තුවට රැගෙන ආවේ තමාගේ බෑගය සහ කුඩා විදුලි පන්දමක් පමණකැයිද එහිදී ඔහු පැවසීය.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ සැකකටයුතු පාර්සලයක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන ලදැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී ඊයේ නැගූ චෝදනාවට පිළිතුරු දෙමිනි.
ඔහු මුලසුනේ අවසරය ඇතිව මෙම ප්‍රකාශය කළේය.
තමාගේ බෑගය භාණ්ඩ පරීක්ෂා කිරීමේ යන්ත්‍රය මගින් පරීක්ෂාවට ලක් කෙරුණු බවත් භයානක කිසිවක් තමා පාර්ලිමේන්තුවට රැගෙන නොපැමිණි බවත් මන්ත්‍රීවරයා කීවේය.
තමා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකළ බවද හෙතෙම සඳහන් කළේය.
තමා රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් දෙයක් ලබන සතියේ කිරීමට සූදානම් වන බව පැවසූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එම කටයුත්තට බාධා නොකරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වුවත් මේ සිදුවීම සම්බන්ධයෙන් කතානායක විසින් පොලිස්පති වෙත පැමිණිල්ලක් කරන බවත් අද අනාවරණය විය.

විදුලිය කප්පාදු කරන කාලය ටික ටික වැඩිවෙයි !
විදුලි කප්පාදුව සිදුකරන කාලය ක්‍රමයෙන් දීර්ඝ වන බවක් පෙන්නුම් කරයි.
ඒ අද (25) පැය 5කට වැඩි කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලය වෙත අවසර ලලබාදීම සමගය.
මේ අනුව කලාප කිහිපයකට පැය 5 යි මිනිත්තු 15 ක් විදුලිය විසන්ධි වීමට නියමිතය.
එහෙත් A, B සහ C කලාප සඳහා විදුලිය විසන්ධි කෙරෙන්නේ, පැය 4 යි මිනිත්තු 40 ක් බවත් වාර්තා වෙයි.
මේ අතර ප්‍රදේශ සඳහා විදුලිය කප්පාදු කරන කාලය පිළිබඳ, විදුලිබල මණ්ඩල ජංගම දුරකතන මෘදුකාංගයෙන් තොරතුරු ලබා ගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණයක් !
නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු යැයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවෙන් නිර්දේශ කිරීමට එම කාරක සභාවේ එකඟත්වය හිමිවූ බව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන පැවසීය.
සියලු ඡන්ද විමසීම්වලදී කොට්ඨාශ (කේවළ) ක්‍රමයට සියයට 60 ක් සහ අනුපාතික ක්‍රමයට සියයට 40ක් වශයෙන් ජනතා නියෝජිතයන් තෝරා ගන්නා ආකාරයේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් මූලධර්මයක් ලෙස පිළිගෙන වාර්තාව කෙටුම්පත් කිරීමටද විශේෂ කාරක සභාව එකඟ වූ බව ඔහු සඳහන් කළේය.
පළාත් පාලන ආයතනවල බහුතර ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා ජයග්‍රාහී පක්ෂයට හෝ කණ්ඩායමට අතිරේක මන්ත්‍රී ධුර 02ක් ලබා දීම සඳහාත් නිර්දේශ කිරීමටද ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවට පැමිණි බවද ඔහු කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225ට සීමා කිරීමටද එකඟ වූ බව, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.
පාර්ලිමේන්තු සහ පළාත් සභා සඳහා නව මැතිවරණ නීතී සම්පාදනයේදී කොට්ඨාශ (කේවළ) ක්‍රමයට සියයට 60 ක් සහ අනුපාත ක්‍රමයට සියයට 40 ක් වන පරිදි දිස්ත්‍රික්කය තුළ සීමා නිර්ණය කිරීම සඳහා නිර්දේශ කිරීමටද කාරක සභාව එකඟතාවය පළ කර ඇත.
සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය සියයට 25 ක් ලෙස පවත්වා ගැනීමට සහ තරුණ නියෝජනය අනිවාර්ය කිරීමටද නිර්දේශ කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය පළ වී ඇත.
මීට අමතරව දේශපාලන පක්ෂ පිළිගැනීම සහ අවලංගු කිරීමේ නව නීතී, දේශපාලන සන්ධානයන් ලියාපදිංචි කිරීමේ නව නීතී ගෙන ඒම සම්බන්ධයෙන්ද නිර්දේශ ඇතුළත් කිරීමට කාරක සභාවේ එකඟතාවය ලැබුණු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේය.
මෙම තීරණ ගෙන එම කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ රැස්වූ අවස්ථාවේදීය. මෙම විශේෂ කාරක සභාව මාර්තු මස මුල් සතියේ යළි රැස්වීමට නියමිත බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණධීර පැවසුවාය.
මෙම රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්දිරන්, රන්ජිත් මද්දුම බණ්ඩාර, අනුර දිසානායක , මනෝ ගනේෂන්, මධුර විතානගේ, රවුෆ් හකීම් යන අය සහභාගි වූහ.
මූලාශ්‍රය lankadeepa

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශය : රාජ්‍ය භාග බාගෙට ගෙවලා !
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට අය විය යුතු රාජ්‍යභාග පසුගිය වසර ගණනාව පුරාම නිසි පරිදි සම්ප්‍රේෂණය වී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී ඇත.
එය නිසි පරිදි සිදු කිරීමට ක්‍රියාමාර්ග ගතයුතු බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් එහිදී අවධාරණය කළ බවත් වාර්තා වෙයි.
සභාපතිවරයා මේ බව පැවසුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ එයට සම්බන්ධ ජී එස් එම් බී තාක්ෂණ සේවා (පුද්ගලික) සමාගම පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදීය.
ඒ අනුව 2016 සිට 2021 දක්වා කාලය තුළ කාර්යාංශය විසින් රාජ්‍යභාග නිසි පරිදි එක්රැස් කොට තිබුණද රාජ්‍ය භාණ්ඩාගාරයට යැවිය යුතු ප්‍රමාණය සම්ප්‍රේෂණය නොකොට කාර්යාංශයට අයත් ස්ථාවර ගිණුම්වල තැන්පත් කොට තිබීම පිළිබඳවද කමිටුවේදී සාකච්ඡා කෙරිණි.
ඒ අනුව එම කාලය තුළ කාර්යාංශය තුළ එකතු වූ රාජ්‍යභාග ප්‍රමාණය රුපියල් 16,591,075,088ක් වන අතර රාජ්‍ය භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කොට ඇත්තේ රුපියල් 8,520,235,812ක් පමණක් බව මෙහිදී හෙළිවිය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අනුමත කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව ඉක්මවා බඳවාගෙන ඇති ජී එස් එම් බී තාක්ෂණ සේවා (පුද්ගලික)සමාගමට අයත් සේවකයන් වෙත කාර්යාංශය මගින් වැටුප් ගෙවීම සම්බන්ධවද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරුණු අතර මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා කාර්යාංශයට සේවක අඩුපාඩුවක් පවතින්නේ නම් එය කළමනාකරණ සේවා දේපාර්තමේන්තුව වෙත දන්වා අදාළ අනුමැතිය සහිතව සපුරා ගන්නා ලෙසයි.

බැසිල්ගේ ඉන්දීය සංචාරය කල් යයි !
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය යළිත් වතාවක් කල් දමා ඇති බව වාර්තා වෙයි.
මාධ්‍ය වාර්තා කරන ආකාරයට අද (25) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබිණ. නමුත් හදිසියේම එම සංචාරය කල් දැමීමට පියවර ගෙන ඇත.
මෙම සංචාරයේදී ඉන්දියාව මගින් ලබා දීමට තිබූ ණය මුදල සම්බන්ධයෙන් ගිවිසුම් අස්සන් කිරීමටද නියමිතව තිබූ බවත් වාර්තා වෙයි.

දෙන්න සල්ලි නැතුව ඩීසල් නැවක් හරවාගෙන ගිහින් : රාජ්‍ය අමාත්‍ය දයාසිරිගෙන් අනාවරණයක් !
වරායේ රැඳී සිටි ඩීසල් නැවක් මුදල් නොමැතිකම හේතුවෙන් ආපසු හරවා ගෙන ගිය බවත්, තවමත් වරායේ තිබෙන පෙට්රල් නැවකට ඩොලර් ගෙවිය යුතුව ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
පසුගියදා පැවති ජන හමුවකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ලංකාව මුහුණදෙන දැවැන්තම අර්බුදයට අද මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරයි.
ඩීසල් සහ පෙට‍්‍රල් ඇත්තේ තවත් දින තුන හතරකට පමණක් බවද මහ මග යන වාහන කොයි වෙලේ කොතැන නතර වේ දැයි සිතාගත නොහැකි බවද ඔහු පැවසීය.
විදුලිය කප්පාදුවද දිගටම සිදුවනු ඇති බවත් අද වන විට රටම නවතින තැනකට තල්ලු වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

යුරෝපයේ ඉන්න ලාංකිකයින් ඉරිදා වතිකානුවට එන්න : පාප් වහන්සේ කැඳවීමක් !
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශුද්ධොත්තම පාප්වහන්සේ දැනුවත් කිරීම සදහා ඉතාලියේ මෙන්ම යුරෝපයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ජනතාවට ලබන ඉරිදා (27) දින වතිකානුවට රැස් වන ලෙසට දැනුම් දීමක් කොට ඇත.
ඉරිදා දින පෙරවරු 10.30ට පේදුරු පාවුළු බැසිලිකා පරිශ්‍රයට පැමිණෙන ලෙසත්, එදින අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාප් වහන්සේ හමුවීමට සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත.
මෙදින බොහෝ දුරට පාප් වහන්සේ විසින් ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් නිකුත් කරනු ඇති බව කතෝලික පල්ලියට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය සොයන ජනතාවක් ලෙස යුරෝපයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ජනතාව කාදිනල් හිමිපාණන් හට ශක්තියක් වෙමින් මෙම අවස්තාවට එක්වන ලෙස සංවිධාකයින් මෙහිදී ඉල්ලීමක් කොට තිබේ.
- මව්රට

ප්‍රේමලාල්ගේ (චොකා) පෙත්සමේ තීන්දුවට දින නියම වෙයි !
රත්නපුර මහාධිකරණය විසින් තමන්ට එරෙහිව නියමකරනු ලැබූ මරණීය දණ්ඩනයෙන් තමන් නිදෙස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනකු ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම් විභාගයේ තීන්දුව ලබන මාර්තු මස 31 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (24) දැනුම් දුන්නේය.
මෙම අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිම ආරම්භ වූයේ ඉකුත් 2021 වසරේ නොවැම්බර් මස 08 වැනිදාය.
වර්ෂ 2015 දී පැවැති ජනාධිපතිවරණය සමයේ කහවත්ත ප්‍රදේශයේ පැවැති එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට පහරදී පුද්ලයකු මරා දමා තවත් දෙදෙනකු තුවාල කිරීම සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ඇතුළු තිදෙනකුට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා නගනු ලැබ තිබිණී.
එම නඩුවේ විභාගයෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත්කළ රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් අදාළ චෝදනාවලට වරදකරුවන් කකරමින් මරණීය දණ්ඩලය නියම කරනු ලැබුවේ ඉකත් 2020 ජුලි මස 31 වැනිදාය.
රත්නපුර මහධිකරණ විනිසුරුවරයා තමන්ට මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නිතියට පටහැනි බැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණී.
ඒ අනුව එම පෙත්සම් සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ලබ මාර්තු මස 31 වැනිදාට ලබාදීමට තීරණය කළේය.
- lankadeepa

PCR 43 සේනාංකයෙ වැඩපිළිවෙළ හැන්සාඩ් කරයි !
වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩනැගීම සඳහා වන කරුණු 5 කින් යුත් 43 සේනාංකයේ "ගොඩ එමු, ගොඩ නගමු" වැඩපිළිවෙල හැන්සාඩ් ගත කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, 43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක ඊයේ (පෙබරවාරි 23) පාර්ලිමේන්තුවේ දී එම ප්‍රකාශනය සභාගත කරන ලදී.
එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා;
"අද දිනයේ පැය 4 1/2 ක විදුලි කප්පාදුවක් සිද්ධ වෙනවා. ඊයේ පැය 3 ක විදුලිය කප්පාදුවක් වුණා. මේ ප්‍රශ්නය මොකක්ද කියන එක ගැන සමාජය දැනුවත් කිරීම මං හිතන්නේ මගේ වගකීමක් මේ ආයතන පාලනය කළ කෙනෙක් හැටියට. මෙතන තියෙන්නේ බලාගාර නැතිවීම නිසා ඇතිවුන ධාරිතා ගැටලුවක් ද එහෙමත් නැත්නම් මෙතන තියෙන්නෙ ඉන්ධන නොමැති වීම නිසා තියෙන ගැටලුවක්ද?
අද ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථාවර ධාරිතාව මොකක්ද? ප්‍රධාන ජල විදුලි බලාගාරවල තියෙනවා මෙගාවොට් 1383 ක්. තාප විදුලි වලට අයිති ඒවා තියෙනවා 1554 ක්. පුත්තලම ගල් අඟුරු බලාගාරයත් එක්ක. තාප විදුලි පුද්ගලික අංශයේ තියෙනවා 614 ක්. මේ සියල්ලම එකතු කළාට පස්සේ මෙගාවොට් 2261ක්. ඒ වගේම ස්ථාවර විදුලිය තියෙනවා මෙගාවොට් 3551 ක්. ඒ වගේම පුනර්ජනනීය විදුලිය, කුඩා ජල විදුලිය තියෙනවා මෙගා වොට් 449 ක්. සුළං බලය තියෙනවා 248 ක්. වහල මත තියෙන රූප්ටොප් සෝලාවල තියෙනවා මෙගා වොට් 480ක්. පද්ධති සූර්ය බලය තියෙනවා මෙගා වොට් 100ක්. ජීව පද්ධති තියෙනවා මෙගා වොට් 60 ක්. එකතුව මෙගාවොට් 1337 යි. සියල්ලේම එකතුව 4888 යි. මේ තමයි තත්ත්වය.
ධාරිතා ප්‍රශ්නයක් තියෙනවා නම් රටේ ඉල්ලුම මෙන්න මේ ප්‍රමාණය ඉක්මවා යන්න ඕනේ. අද දිනයේ ලංකා විදුලිබල මණ්ඩලයේ දත්ත පද්ධතියට අනුව අද දහවල් 11.30 ට උපරිමය තියෙන්නේ මෙගා වොට් 2250 යි. හවස 4.00 ට උපරිමය තියෙන්නේ 2370 යි. රාත්‍රී උපරිමය හවස 6.30 සිට 9.30 දක්වා මෙගා වොට් 2700 යි. එහෙම නම් 4888 ක් අතේ තියාගෙන 2700 ක් සපයන්න බැරිකමක් නෑ. ඒ නිසා මේ බලාගාර හැදුවේ නෑ. බලාගාර නෑ කියන ධාරිතා ප්‍රශ්නයක් මෙතන නැති බව බොහොම පැහැදිලියි. මෙතන තියෙන්නේ ඉන්ධන ප්‍රශ්නයක්.
කොටින්ම කිව්වොත් අද ඉන්ධන නොමැති වීම නිසා කැලණිතිස්ස බලාගාරයේ ජීටී 7 යන්ත්‍රය, ඒ වගේම එහි තියෙන කුඩා ජී. ටී. බලාගාර ඒ වගේම මතුගම තුල්හිරිය, කොලොන්නාවේ තියෙන සෆ්ලිමෙන්ට්‍රි පවර්. ඒ වගේම වැදගත්ම එක තමයි වෙස්කෝස් බලාගාරය අද වැහිලා තියෙනවා. මේ නිසා අති විශාල හිඟයක් ඇතිවෙලා තියෙනවා. අද දින විදුලි තත්වය ගත්තහම. තාප විදුලිය ධාරිතාව 2160 ක් තිබුනට, අද සපයන්න පුළුවන් වෙලා තියෙන්නේ, මෙගාවොට් 1023 ක් පමණයි. මේකයි ඇත්ත. ඒක වෙලා තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි, තෙල් ලබාදීලා නැති නිසා.
ඒ අනුව, මෙගාවොට් 1145 ක හිඟයක් ඇතිවෙලා තියෙන්නේ බලාගාර තනපු නැති නිසා නෙමෙයි. බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයන්න අපොහොසත් වීම නිසා. ඒ නිසා, අද ඇත්තටම ඉන්ධන තත්ත්වය ගැනත් මම කියන්න ඕනේ මේ අවස්ථාවේදී. හැමෝම මේ ඩීසල් ගැන කතා කරනවා. දැවි තෙල් වලින් අවශ්‍යතාවය 1036 යි. අද තියෙන්නේ 933 යි. නත්‍ය අවශ්‍යතාවය 950 යි. ඒක සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒක පිරිපහදුවෙන් ලැබෙන්නේ. ඩීසල් අවශ්‍යතාව ඝන මීටර් 2640 ක්. තියෙන්නේ 650 යි. ඩීසල් 990 ක හිඟයක් අද මේ සියල්ල එකතු කළාම තිබෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී ඉතාම බරපතල අනතුරු ඇඟවීමක් කරන්න ඕනේ. මේ ජනවාරි පළවෙනිදා ජල පද්ධතියේ විශාල ජල පද්ධතියේ අපේ ධාරිතාව තිබුණා 88% ක. පසුගිය වසරේ ලංකා ඉතිහාසයේ වැඩිම ජල අස්වැන්න අපිට ලැබුණා. ඒ නිසා අපි ලබන මැයි මාසේ දාහතර වෙනිදා වෙනකම් නිරිත දිග මෝසම් සුළඟ එනකන් මේ ජලය ඉතාම පරිස්සමෙන් පරිහරණය කළ යුතුව තිබුණා.
නමුත් මොකක්ද අද තත්ත්වය? අද මේ වෙනකොට ජනවාරි පළවෙනිදා තිබිච්ච 88% ක ධාරිතාව 41% ට වැටිලා තියෙනවා. ඊයේ ගහලා තියෙනවා
ගිගාවොට් 10.9ක්. මේ ආකාරයට ම මේ ජල විදුලිය ඇද්දොත් අපි ලබන මාර්තු අගදී, අප්‍රේල්වල මුලදී, යල කන්නයට ජලය නිකුත් කරන්න තියෙනවා. පානීය ජලය නිකුත් කරන්න තියෙනවා. මේක ඉතාම බරපතළ අර්බුදයකට අපිව ගෙනෙනවා. මොකද? අපේ රටේ විදුලි පද්ධතියට, ජල විදුලිය කියන්නේ හුදු දෙයක් නෙවෙයි. විදුලි පද්ධතිය පාලනය කරන්නේ, ජල විදුලි බලාගාර වලින් ප්‍රධාන වශයෙන්ම කොත්මලේ බලාගාරයෙනුත්, වික්ටෝරියා බලාගාරයෙනුත්. එතකොට මේ බලාගාර දෙක මේ විදිහට ජලය පාවිච්චි කරලා, ඇද වැටුණොත්, මුළු විදුලිබල පද්ධතියම ඩීසල් තිබුණත් නැතත් කඩා වැටෙනවා. ඒ නිසා අද තියෙන පැය හතර, පැය දහ අට වෙන්න පුළුවන්. පැය විසි හතර වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ පිළිබඳ බලගතු අවධානයක් අවශ්‍යයි ඒවා පාලනය කරන අයට. ඒ වගේම අපේ තෙල් අවශ්‍යතාව ගත්තොත් අද බලන්න ඩීසල් අවශ්‍යයි ප්‍රවාහනයට මෙට්‍රික් ටොන් 5500 ක්. විදුලිබල මණ්ඩලය සම්පූර්ණයෙන්ම තෙල්, දැවිතෙල්, ඩීසල් ඔක්කොම ගත්තම මෙට්‍රික් ටොන් 4000 ක් අවශ්‍යයි. පෙට්‍රල් 3500 ක් අවශ්‍යයි.
දැන් මේවා සපයන්න බැරුව තියෙන්නේ ඇයි? මේවා සපයන්න බැරි වෙලා තියෙන්නේ ඩොලර් නැති නිසා. අද මේ රටට ඉස්සර තෙල් ගෙනාවේ අපි අධි මිල, එහෙම නැත්නම් ප්‍රිමියම් එක ඩොලර් 2 යි බැරලයට. අද ඩොලර් 8යි. ඒ වගේම පේමන්ට් එක අද 10%ක් වැඩි කරලා තියෙනවා. ඊයේ නැවට ඩොලර් මිලියන 36 ක් හොයාගන්න බැරුව රටේ මිනිස්සුන්ට දීපු වේදනාව අපි දැක්කා. අද රටේ තත්ත්වය ඒකයි. සල්ලි ඕන තරම් තියෙනවා. ඩොලර් ඕන තරම් තියෙනවා. මාර්ග සිතියම් ආවා හය මාසේ, තුන් මාසේ. අද පේනවා අර්බුදයේ වැටිලා තියෙන තත්ත්වය. ඒක නිසා අපි කියනවා මේ ඇත්ත තත්ත්වයට අපි යමු. අද සිද්ධ වෙලා තියෙන්නේ වෙන මොනවත් නෙමෙයි. ඩොලර් නැති නිසා ජනතාවගේ පරිභෝජනය කප්පාදු කරලා අද ණය ගෙවන තත්වෙකටයි පත්වෙලා තියෙන්නේ. ජනතාවට කිරිපිටි නැතුව, ජනතාවට ඖෂධ නැතුව, ජනතාවට තෙල් නැතුව, ජනතාවට ගෑස් නැතුව, ජනතාවට විදුලිය නැතුව, ණය වාරික ගෙවීමට තමයි, අද සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ඊයේ පෙරේදා මහ බැංකු අධිපතිතුමා, බැංකුවලට නියෝගයක් දුන්නා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනෙකුත් ආයතන වලට ඩොලර් නිකුත් කරන්න එපා කියලා. ඇයි? ඇයි එතුමාට මේක ගිය මාසේ තේරුනේ නැත්තේ? ගිය මාසේ තත්වය, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන සෘණ 1.9 යි.සමස්ත බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය සෘණ 4.9 යි. මුළු බැංකු පද්ධතියම අද හූරන් කාලා තියෙනවා. බැංකු පද්ධතියේ සියලුම තැන්පතු වලින් 52% ක් මේ ආණ්ඩුව අරගෙන තියෙනවා තමන්ගේ සංවර්ධන කටයුතු සහ අනෙකුත් වියදම් සඳහා. මුළු බැංකු පද්ධතියම අද තියෙන්නේ, විශේෂයෙන්ම ලංකා බැංකුව හා මහජන බැංකුව. ඇද වැටීමේ මොහොතට කිට්ටු වෙලා සමහරු හිතනවා මේ රටේ තියෙන්නේ ඩොලර් හිඟයක් විතරයි කියලා. නෑ රුපියල් හිඟයක් තියෙනවා. මහ බැංකුවේ රුපියල් හිඟය ගිය සතියේදී රුපියල් බිලියන 617 යි. මං මේක නැවත අවධාරණය කරනවා.
එදා තායිලන්තයේ මූල්‍ය අර්බුදය ඇතිවුණු වෙලාවේ ඔය මහ බැංකු අධිපතිතුමා දවස් දෙකකට කළින් කිව්වා වගේ තවත් නං ඩොලර් නෑ. ඩීසල් වලට ගෙවන්න කිව්වා වගේ එතුමාට කියන්න සිද්ධ වෙනවා. තවත් නං රුපියල් නෑ. ආණ්ඩුවට දෙන්න කියලා. මෙන්න මෙදාට තමයි රට සම්පූර්ණයෙන්ම බිඳවැටෙන බංකොලොත්භාවයේ ඉමට වැටෙන තත්ත්වයේ තියෙන්නේ. ඒ නිසා අද අපි තීරණයක් ගන්න ඕන. ණය අරගෙන ණය ගෙවනවා. සමහරු අහනවා යහපාලනය මොකද කළේ? ඔව්. ණය ගත්තා. ණය ගෙව්වා. හැබැයි ජනතාවගේ පරිභෝජනය කප්පාදු කළේ නැහැ. ඒ වගේම අපි මතක තියාගන්න ඕන මොනවද අපේ ප්‍රමුඛතා? අපේ ප්‍රමුඛතා අධිවේගී මාර්ග හදන එකද? අපේ ප්‍රමුඛතා පාරවල් ලක්ෂය කාපට් කරන එකද? හොඳයි ඒ වැඩ. හැබැයි අපේ ප්‍රමුඛතා අපි අඳුනගන්න ඕනේ. රටට කිරිපිටි ගේන්න ඩොලර් නැත්නම්, රටට ඖෂධ 120ක් ගේන්න ඩොලර් නැත්නම්, රටට තෙල් ටික ආහාර ටික ගේන්න ඩොලර් නැත්නම් ඒ ඩොලර්වලින් අඳුරේ ඉඳගෙන බයිසිකලේ යන ගමන් ඇස්පෝල්ට් ගේන්න, සිමෙන්ති ගේන්න, යකඩ ගේන්න, වානේ ගේන්න. ඒ විතරක් නෙවෙයි අපි අඳුනන අර රෝඩ් ෆර්නිචර් කියලා හඳුන්වන දේවල් ගේන්න. ප්‍රකෝටි ගණන් ධනය, සෑම අධිවේගී මාර්ගයකට යන වියදම් වලින් 35%-40% ඩොලර්. ඒවා ලංකාවේ කොන්ත්‍රාත් විදේශීය කොන්ත්‍රාත්කරුවන්ට දුන්නත් එකයි. ඒ නිසා අපි ප්‍රමුඛතාවය අඳුනගන්න ඕනෙ, අපිට කරුණාවක් තියෙන්න ඕනේ, සහකම්පනයක් තියෙන්න ඕනේ. අපි කිරිපිටි දෙනවද? අධිවේගී පාරවල් හදනවද? අපි කපනවද? එහෙම නැත්නම් අධිවේගී පාරවල් හදනවද? අපි තෙල් නැතුව මිනිස්සු පෝලිමේ තියෙනවද? පාරවල් ලක්ෂ කාපට් කරනවද? අපි ගොවියාට පොහොර ටික නැති කරනවද? ගමේ වැඩ ලක්ෂේ කරනවාද? අද ධනය නැහැ මේ සෙල්ලම කරන්න. ඒ නිසා අපට ඕන තරම් ධනය තියෙනවා කියන, මේවායින් අපි වෙන්වෙලා අපි මේ බර ජනතාවයි ණය හිමියෝයි අතරේ බෙදාගන්නා ක්‍රමවේදයකට මැදිහත් වීමක් අවශ්යයි. මා මේ අවස්ථාවේදී හැන්සාඩ් ගත කිරීම සඳහා මේ අවස්ථාවේදී සභාගත කරනවා.
අපි මේ වෙනුවෙන් 43 සේනාංකයෙන් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල කරුණු පහක්, කොළ එළි පහක් මේ රට ගොඩනගන්න. මේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒ ගැන කතා කරන්න. රට බංකොලොත් වුනොත් අපේ ජීවිත කාලය තුළ මේක ගොඩනගා ගැනීමට හැකියාවක් නොලැබෙන නිසා පාර්ලිමේන්තුව දැන් මේ ක්‍රියාවලියට මැදිහත් විය යුතුයි.

විදුලි කප්පාදුවට එරෙහිව සජබ ටෝච් ගහයි !
මේ වන විට සිදුවන විදුලි කප්පාදුවට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (24) පාර්ලිමේන්තු සභා ගැබ තුළ විරෝධතාවක නිරත විය.
ඒ විදුලි පන්දම් දල්වමිනි.
‘අඳුරෙන් එළියට’ යනුවෙන් සදහන් කළ ස්ටිකරයක් පැළද විදුලි කප්පාදුවට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තුළ සිදු කළ මේ විරෝධය හේතුවෙන් අද පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබීමට කථානායකවරයා ක්‍රියා කළේය.
විවිධ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ටෝච් එළි දල්වමින් ඔවුන් මෙම විරෝධයේ නිරත විය.
මෙහිදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සභා ගර්භයට දන්වා සිටියේ විදුලිය විසන්ධි වූ විට වැසිකිලියේ භාවිතා කිරීමට හැකිවන පරිදි විදුලි පන්දම අද දිනයේ කටයුතු සඳහා රැගෙන ආ බවයි.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කථානායකවරයාට දන්වා සිටියේ එවැනි උපකරණ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් සභා ගර්භය තුළට ගෙනඒමට ඉඩ නොදෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අතර උණුසුම් බහින් බස්වීමක් ද ඇති විය.
Page 365 of 464