තරුණ නැගිටීම පොදුජන අරගලයක් වෙලා : රනිල්ගේ සහයත් හිමිවෙයි !

තරුණ නැගිටීම පොදුජන අරගලයක් වෙලා : රනිල්ගේ සහයත් හිමිවෙයි !

පවතින දේශපාලන ආර්ථික ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් තරුණ කණ්ඩායම් ආරම්භ කළ නිර්පාක්ෂික සාමකාමී අරගලය මේ වන විට පොදුජන සහභාගීත්වයක් සහිත ජනතා අරගලයක් බවට පත්වෙමින් ඇත.

 ඒ බව ඊයේ (09) සහ අද (10) ජනාධිපති ලේකම් කාර්‍යාල සහ ගෝල්ෆේස් පිටිය ආශ්‍රිත අරගල බිම නිරීක්ෂණයට ගිය අප වාර්තාකරුවන් තහවුරු කරයි.

ඔවුන් පවසන්නේ මීට පෙර කිසිදිනෙක විරෝධතාවයක, උද්ඝෝෂණයක හෝ වර්ජනයක නොසිටි ඉහළ මධ්‍යම පාන්තිකයන්ගේ සිට ආර්ථිකයේ අඩුම ආදායම් ලබන පිරිස් මේ වන විට අරගලය වෙනුවෙන් විවිධ ආකාරයට සහය දක්වමින් සෘජු මැදිහත්වීමක් කරන බවය.

එය තමන් කිසි දිනෙක අත්දැක නැති සිදුවීමක් බවත් ඔවුන් පවසයි.

ඒ අනුව අප්‍රේල් 09 සහ 10 යන දෙදිනට සීමාවී සංවිධානයවූ අරගලය දිග්ගැස්සෙන ස්වභාවයක් පෙන්නුම් කරන බවත් , අප වාර්තාකරුවන් පවසයි.

අරගලයට සහය දෙන්න - රනිල් එකඟයි !

මේ අතර වාර්තා වන්නේ තරුණ කොටස් ආරම්භ කර මේ වන විට සියලු සමාජ කොටස් එක්සත්වූ පොදු අරගලයක් බවට පත්ව ඇති තත්ත්වය හමුවේ ඊට සහය දක්වන්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා ඇති බවයි.

 හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ බව පවසා ඇත්තේ, තරුණ තරුණියන් පිරිසක් අද (10) ඔහු හමුවී වත්මන් අරගලය සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් අනතුරුවය.

හිටපු අගමැතිවරයා මිට ඉහතදී කියා සිටියේ, සත්‍යග්‍රහ පවත්වමින් සාමකාමී විරෝධතා පමණක් සිදුකරන ලෙසයි. ඒ අනුව, කොළඹදී හා මාතරදී එවැනි සත්‍යග්‍රහ පැවැත්විණ.

කෙසේවුවද මේවනවිට රටපුරා ඇරඹි ඇති තරුණ අරගලයට සක්‍රියව එක්විය යුතු බවට එම පක්ෂයේ තරුණ කණ්ඩායම් වලින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත මේවනවිට දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබේ.

ඒ අනුව පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සමග එක්ව සාමකාමී අයුරින් තරුණ අරගලයට සහය දක්වන ලෙසත්, ඒ සඳහා පක්ෂයේ සහය ලබාගන්නා ලෙසත් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන්ට දැනුම් දී ඇත.

 ලිබරල් සහ වාමාංශික, අනන්‍යතා කණ්ඩායම් ඇතුළත් පොදු අරගලයක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අප්‍රේල් 03 මිරිහානේ සිදුවූ ස්වයං සිද්ධ අරගලය මේ වන විට ලිබරල් සහ වාමාංශික , සංස්කෘතික සහ අනන්‍යතා කණ්ඩායම් වලින් පෝෂණය වෙමින් ලාංකික දේශපාලන කරළියේ නැවුම් අත්දැකීමක් එක්කර ඇති බවයි.

එය මීට පෙර කිසිදු අවස්ථාවක ලංකා ඉතිහාසයේ සිදුව නැති දෙයක් බවත් මීට පෙර ලංකා රාජ්‍ය සහ ආණ්ඩු අභියෝගයට ලක්කළ ජවිපෙ නැගිටීම් 2 ක් සහ උතුරේ දමිළ අරගලයට වෙනස් පුළුල් දේශපාලන මැදිහත්වීමක් බවත් විචාරක මතය වී තිබේ.

ඔවුන්ගේ ප්‍රමුඛ සටන් පාඨය #GoHomeGota බවත් එබැවින් ආණ්ඩුව අරගලය දමනය කිරීමට නොහැකිව බරපතළ අර්බුදයකට මුහුණදී ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න