V2025

පුවත්

අගමැති දිනේෂ්ට චීන අගමැති සුබ පතයි !

දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව චීන අග්‍රාමාත්‍ය ලී ක චිය්‍යන් සුබ පැතුම් පිරිනමයි.

හෙතෙම ඊයේ (26) එම සුබපැතුම් පණිවුඩය යොමු කර තිබේ. චීනය හා ශ්‍රී ලංකාව අතර ඇත්තේ ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයකි. දෙරට මිත්‍ර අසල්වැසි රටවල් වන අතර උපාය මාර්ගික සහයෝගිතා හවුල්කරුවන් ද වන බව ලී ක චිය්‍යන් මහතා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කරයි. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර ගතවූ 65 වසර තුළ දෙපාර්ශ්වය සැම විටම අන්‍යෝන්‍ය ලෙස ගරු කරමින් සාධාරණව සලකා දේශපාලන විශ්වාසය අඛණ්ඩව තහවුරු කර තිබේ.

අන්‍යෝන්‍ය ජයග්‍රහණ මත සහයෝගිතා පවත්වා අසීරුතාවන් හා අභියෝගයන්ට එක්ව මුහුණ දෙමින් දෙරටේ සබඳතාව විධිමත් හා ස්ථිරව වර්ධනය වී ඇති බව ද ලී ක චිය්‍යන් මහතා කියා සිටී. චීන -ශ්‍රී ලංකා මිත්‍ර සහයෝගිතාවට ස්ථිර ලෙස අනුබල දෙන චීනය, ශ්‍රී ලංකා ජනතාව වත්මන් මුහුණ දෙන තාවකාලීක අසීරුතාවන් පූර්ණව අවබෝධ කර ගනිමින් ශ්‍රී ලංකා ජනතාවට උපරීම සහාය හා අනුබල ලබා දීමට කැමැත්තෙන් සිටී.

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා සමඟ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ඒ ඒ ක්ෂේත්‍ර වල පවතින ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කර දෙරටට හා ජනතාවට ප්‍රතිලාභ ගෙන දීමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය.

දිනූෂි ධීරසිංහ

අරගලකරුවන් මර්ධනය කලයුතු හැටි සනත්ගේ හඳින්....

මිට ඉහත දී දකුණේ කැරලි මර්ධනය කළ ආකාරයටම වත්මන් අරගලයද මර්ධනය කළ යුතු බව පොහොට්ටු පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අවධරණය කර සිටියි.

 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරය අතහැර, රට ද හැරදමා යාමට සිදු වූයේ, නිසි ලෙස අරගලයට මුහුණ නොදීමේ ප්‍රතිපලයක් ලෙස බව ඔහු පවසයි.

''බංකොලොත් වෙච්ච පෙරටුගාමී පක්ෂය, 3% කඩා වැටිච්ච ජනතා විමුක්ති පෙරමුණ මේ කණ්ඩායම ගෑස් පෝලිමේ ඉන්න ඉන්ධන පෝලිමේ ඉන්න ජනතාව ඒකරාශි කරගෙන පටන් ගත්ත අරගලය මේ කැරැල්ලට හරියටම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුහුණ නොදුන්න එකේ ප්‍රතිපලයක් විදිහට එතුමාට සිද්ද වුණා ජනාධිපතිධුරය දාලා රට අතෑරලා යන්න''

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

 ඔහු වැඩි කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නයට නිසි ලෙස මුහුණ නොදුන්නා යන්න, සිය පෞද්ගලික මතය බවත් 71, 88 සහ 89 මෙන් අරගලය මර්දනය කළ යුතුව තිබූ බවත් ය.

මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද පැවසිය.

''ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයට හරියට මුහුණ දුන්නේ නෑ කියන එකයි පෞද්ගලික මගේ මතය. මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය නෙවෙයි මේක සනත් නිශාන්තගේ මතය. සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය 71 කැරැල්ලට මුහුණ දුන්නා නම්, 1988 1989 ජේ. ආර්. ජයවර්ධන මහත්මයාට ප්‍රේමදාස මහත්මයාට ඒ කැරැල්ලට මුහුණ දෙන්න පුළුවන් උනා නම් එදා ත්‍රස්තවාදීන්ව මර්ධනය කරගත්තානං අද මේ ත්‍රස්තවාදීන්ට බුදු ගුණ ගයලා හරියන්නෑ''

 ''නවගුණවැල කරේ දාගෙන හරියන් නෑ. මේ අයට සලකන්න ඕනේ විදිහක් තියෙනවා ඒ සලකන්න ඕන විදිහට සලකපු නැති එකේ ප්‍රතිපලයක් හැටියට මම හිතන්නේ''

 ඔහු ගෝඨාගෝගම අරගල භූමිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

''අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි ගිය වෙලාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මගෙත් එක්ක කිව්වා සමහර වෙනම කුටි තියෙනවා ගංජා ගහනකුටි, සමහර කුටි තියනවා අයිස් ගහන කුටි, සමහර කුටි තියෙනවා හෙරොයි ගහන කුටි. ඔබතමුන්නාන්සේලා දකින්න ඇතිනේ සමාජ ජාලාවල ගියා. පොලිසිය යන්න පොලිසිය යන්න මේක අපේ ගම. දැන් ඒ ගමේ නීතියක් නැද්ද? මේ රටේ ග්‍රාම සේවා වසම් දාහතරදාහස් විසිදෙකක් ලියාපදිංචි අංකයක් තියන තියන ග්‍රාම නිලධාරි වසමේ තියන නීතිය ගෝඨා ගම කියන ගමට නැද්ද?''

(News 1st)

ඉන්දියාව දුන් මානුෂීය ආධාර.......

ඉන්දීය ජනතාව විසින් මෙරට ජනතාවට පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාර තොගයේ අවසන් කොටස අද කොළඹ වරායට ළඟා විය.

එම ආධාර අතරට සහල් මෙට්‍රික් ටොන් 16,595 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 200 ක් සහ ඖෂධ ඇතුළු අනෙකුත් වෛද්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 38 ක් ඇතුළත් ය.

මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් එස්.ටී. කොඩිකාර ඇතුළු පිරිසක් එම පරිත්‍යාගය පිළිගෙන තිබේ.

ඉන්දියාවෙන් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 22 ක වටිනාකමින් යුත් සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් කිරිපිටි මෙට්‍රික් ටොන් 500 ක් සහ ඖෂධ ඇතුළු අනෙකුත් වෛද්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 102 ක් අදියර තුනක් යටතේ මෙරටට ලැබී ඇතැයි, වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

අමාත්‍යවරුන්ට නොපැවරූ රාජ්‍ය යාන්ත්‍රණ : ජනාධිපති යටතට !

යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පැවරීමක් සිදු කර නොමැති සියලු විෂයන්, කාර්යයන් , දෙපාර්තමේන්තු , රාජ්‍ය සංස්ථා හා ව්‍යස්ථාපිත ආයතන සියල්ලක්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට ගෙන ඇත .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

එහිදී ආවරණය නොවන විෂයන්, කාර්යයන් , දෙපාර්තමේන්තු , රාජ්‍ය සංස්ථා හා ව්‍යස්ථාපිත ආයතන සියල්ලක්ම ජනාධිපති යටතට පත්වන අතර අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පසුගිය 22 වැනිදා සිට බලාත්මක වන පරිදිය.

බුකියේ ද්වේශ සහගත වුණා කියලා : අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරලා !

සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේශ සහගත සහ වෛරී සහගත අදහස් ප්‍රචාරය කිරීමට සහය පල කළ සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .  

මෙලෙස   අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් වාර්තා වෙයි .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ සැකකරු  ෆේස් බුක් ඔස්සේ පල කර තිබූ ,ඊලඟ 09 වනදා රටපුරා කැරැල්ලක් මෙහෙය වන බවට, සදහන් පෝස්ටුවකට ද්වේශ සහගත සහ වෛර සහගත ලෙස ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවත් වාර්තා වෙයි .

අගමැති වෙන්න ඉල්ලූ සුසිල්ට සභානායක ධූරය !

අන්තර්කාලීන ආණ්ඩුවේ නව සභානායක ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අලුතෙන් පත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සභා නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූර පුරප්පාඩු වී ඇත .

ඒ අනුව, එම ධූරයන් සඳහා නැවත පත්කිරීම් සිදු කළ යුතු වන අතර
නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ දිනේෂ් ගුණවර්ධන මීට පෙර සභා නායකවරයා ලෙස කටයුතු කළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේ අමාත්‍ය ප්‍රසන්න රණතුංගය.

මේ අතර හෙට (27) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙන අතර පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කර ගෙන යාම සඳහා සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූර සඳහා පත් කිරීම් සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වෙයි .

සුසිල් ඉල්ලුවේ අගමැති ධූරය !

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගියදා අග්‍රාමාත්‍ය ධූරය පුරප්පාඩු වූ අවස්ථාවේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත තමන් අග්‍රාමාත්‍ය ධූරය සඳහා නිර්දේශ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ඉල්ලා ඇති බවයි.

එහෙත් පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ ඊට විරුද්ධ වී ඇති බවත් ඒ අනුව අග්‍රාමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධන වෙත ලැබුණු බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

කෙසේ වුවත් ජ්‍යෙෂ්ඨත්වය සහ වෘතීයභාවය සැලකිල්ලට ගෙන සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සභානායක ලෙස පත්කිරීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්දේශ කර ඇති බවත් වාර්තා වෙයි .

බොහෝ දුරට ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ධූරයෙ වෙනසක් සිදුනොවනු ඇති බවත් ඊට අමාත්‍ය ප්‍රසන්න රණතුංග යළිත් පත්වීමට ඉඩ ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

ත්‍රීරෝද ඉන්ධන මාෆියාවට වැටක් !

සියලුම ත්‍රීරෝද රථ භාවිතා කරන්නන්ගේ ත්‍රීරෝද රථය අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි කළ යුතු බවට නියෝගයක් බලධාරීන් නිකුත්කර ඇත .

එසේම ඉන්ධන ලබාගන්නා පිරවුම්හලක් මේ මස 31 දිනට පෙර නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අවධාරණය කර ඇත .

ලබන අගෝස්තු මස 1 වැනිදා සිට ත්‍රීරෝද රථවලට ලියාපදිංචි ඉන්ධන පිරවුම්හලෙන් පමණක් ඉන්ධන ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි .

වාර්තා වන ආකාරයට පසුගිය සමයේ ත්‍රීරෝද රථ ආශ්‍රිතව අසීමිත ලෙස තෙල් ගනිමින් වැඩි මිලට විකිණීමේ මාෆියාවක් සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් එල්ලවිය.

බලධාරීන් පවසන්නේ මෙකී මාෆියාව පාලනය කිරීමට අදාළ තීන්දුව ගෙන ඇති බවය.

බණ්ඩාරනායක පිළිරුව අසලදී : 04 ක් අත්අඩංගුවට !

ගෝල්ෆේස් අරගල බිම වෙත අද ( 26) යළිත් ආරක්ෂක අංශ මැදිහත්වීමක් සිදුකර ඇත .

ඒ බණ්ඩාරනායක පිළිරුව අසල අට්ටාලයක සිටි සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගය.

වාර්තා වන ආකාරයට එම පිළිරුව අසළට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඔවුන් මේ වනවිට කොටුව පොලිස් ස්ථානය වෙත ගෙනවිත් තිබේ .

පොලිසිය පවසන්නේ ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ය.

අරගලයේ නිරත භික්ෂූන් වහන්සේලා වස්වාසය කරන අට්ටාලය එහි පිහිටුවා තිබී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි සිටි පුද්ගලයින් සිව්දෙනෙකු බවත් වාර්තාවේ.

ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයකට කිසිදු පාර්ශවයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ පසුගිය 20 වනදා තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

ඒ එම පිළිරුවට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින් කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

මේ අතර යළිත් වතාවක් අදාළ අධිකරණ නියෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පොලිස් නිලධාරීන් පිරිසක් ගෝල්ෆේස් අරගල බිම වෙත පැමිණි අතර එහිදී දෙපිරිස අතර උනුසුම් වචන හුවමාරුවක් සිදුවූ බව එහි සිටින අප වාර්තාකරුවන් පවසයි .

ත්‍රීමලේට අලුත් රක්ෂිතයක් නම් කෙරෙයි !

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පලතිව් කලපුව අවට ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් මෙන්ම ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගීත්වයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි .

සාම්පලතිව් කලාපය අවට ප්‍රදේශය විශාල කඩොලාන ගහනයකින් ද සමන්විත ප්‍රදේශයකි.

පසුගිය වසර කිහිපයේ හෙක්ටයාර් 2043ක් වූ ත්‍රිකුණාමලයේ කඩොලාන පරිසර පද්ධතිය හෙක්ටයාර් 1491 දක්වා අඩු වී ඇති බව මෙම සාකච්ඡාවෙිදී අනාවරණය වූ බවත් වාර්තා වෙයි .

ඒ අනුව සාම්පලතිව් කලපුව අවට සල්ලි, ඉලුප්පයිකුළම්, වරෝධය නගර් හා උප්පුවේලි ග්‍රාම නිලධාරී වසම්වලට අයත් හෙක්ටයාර් 239.58ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් මෙන්ම ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට තීරණය කරනු ලැබීය. මීට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසන ලෙස අමාත්‍යවරයා ව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි .

ජනාධිපති මාධ්‍ය අංශය : ශානුක, ධනුෂ්ක, කෙෂාල් ට !

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස මාධ්‍යවේදී ශානුක කරුණාරත්න පත්කර ඇත.

මිට පෙර ශානුක කරුණාරත්න අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇති අතර 2019 දි ස්වාධීන රුපවාහිනි සේවය නියෝජ්‍ය සාමන්‍යධිකාරි තනතුරේද සේවය කර ඇත.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ධනුෂ්ක රාමනායක පත්කර ඇත.

පාඨලි චම්පික රණවක අමාත්‍ය ධුරයේ සිටිය දී ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක, යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හා ස්වාධින රුපවාහිනියේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කළේය.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇත්තේ කෙෂාල් ජයසිංහ ය.

 

ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී : සාගල රත්නායක !

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට හිටපු අමාත්‍ය සාගල රත්නායක පත් කරනු ලැබ තිබේ.

ඊට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ද සාගල රත්නායක පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉහත පත්කිරීම් සිදුකරනු ලැබ තිබෙි.

සාගල රත්නායක යහපාලන රජයේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු දිවුරුම් දෙයි : රනිල් සුබ පතයි !

ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස ද්‍රෞපදී මුර්මු අද (25) උදෑසන දිවුරුම් දුන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

හමුදා උත්තමාචාර මැද, මුර්මුගේ දිවුරුම්දීම සිදුව ඇත්තේ උදෑසන 10.15 ට, ඉන්දීය අගවිනිසුරු එන්.වී. රාමනා ඉදිරියේය.

ජනපති ධුරයෙන් සමුගන්නා රාම් නාත් කෝවින්ද්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි ඇතුළු බොහෝ දෙනෙක් එම අවස්ථාවට සහභාගී වූ බවත් වාර්තා වෙයි .

දිවුරුම් දීමෙන් පසු පළමු නිල ට්විටර් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිනිය ඉන්දියානුවන් සැවොම ආමන්ත්‍රණය කළේ ‘ජොහාර් නමෂ්කාර්‘ යනුවෙනි.

තම රාජකාරි නිසි ලෙස සම්පූර්ණ කිරීමට ඉන්දියානුවන් සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ජනපතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත .

64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ‘සන්තාල්’ ගෝත්‍රිත කාන්තාවකි. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මුර්මු දේශපාලන නායිකාවක බවට පත් වූයේ ‘සන්තාල්’ ​ගෝත්‍රය යෝජනය කරමිණි.

ඒ අනුව, ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වුණු පළමු ගෝත්‍රික කාන්තාව වන්නේ මුර්මුය.ප්‍රතිභා පටෙල් ගෙන් පසු, ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වුණු දෙවැනි කාන්තාව වන්නේ ද මුර්මුය.

ද්‍රෞපදී මුර්මු 1947 ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු උපන් අයෙකු වන අතර, නිදහසින් පසු උපන් කෙනකුට ඉන්දීය ජනාධිපති ධුරයට පත් වුණු පළමු අවස්ථාවද මෙයයි. ඉන්දීය ජනාධිපති ධුරයට පත් ළාබාලතම පුද්ගලයා වන්නේ ද මුර්මු ය. ද්‍රෞපදී මුර්මු උපත ලබා ඇත්තේ 1958 ජූනි 20 වැනිදාය. ඒ අනුව යැයි ද පැවැසෙයි.

ඉන්දීය ජනාධිපතිවරයාගේ ධුර කාලගය වසර 5 කි. ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ මහජන ඡන්දයෙන් නොව පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි.

ජනාධිපති රනිල් සුබ පතයි !

මේ අතර අද දිවුරුම් දුන් ඉන්දීය ජනාධිපතිනියට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් එක්කර ඇත.

අදාළ සුබ පැතුම් ලිපිය පහත දැක්වෙයි .

IMG 20220725 WA0008

පුටින් රනිල්ට සුබ පතයි !

කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා ලාංකික රාජ්‍ය නායකයා ලෙස ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි මම විශ්වාසය තබමි" යනුවෙන් සඳහන් කරමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කර ඇත .

ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යුරී වැ⁣ටෙරි අද (25) උදේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලයට පැමිණ රුසියා ජනාධිපතිවරයාගේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .

ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගැන විශ්වාසය තබන බව ද රුසියා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙි.

"ඔබට සියලු සාර්ථකත්වය මෙන්ම නිදුක් නිරෝගී සෞභාග්‍ය ​​ප්‍රාර්ථනා කරමි"යනුවෙන් ද රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට එවූ ලිපියේ සඳහන් වේ.

අදාළ ලිපිය පහත දැක්වෙයි .

image 716c303569

සර්ව පාක්ෂික ආණ්ඩුව : සජිත් බෑ කියද්දී 08ක් යන්න සූදානම් !

ඉදිරි සති දෙක තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කෙරෙන බවට මාධ්‍ය ඔස්සේ පුවත් පැතිර ගියත් එවන් ආණ්ඩුවකට සම්බන්ධ වීමට සමගි ජන බලවේගයට කිසිදු අදහසක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි .

පුවත්වල සඳහන් ආකාරයෙන් ඇමති තනතුරු හා වරප්‍රසාද ලබාගනිමින් ජනතාව ඇන්දවීමේ රඟපෑමක් කිසිසේත්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන අතර එයින් රට ගොඩනැගීමට කිසිදු දායකත්වයක් නොලැබෙන බව විපක්ෂ නායකවරයා කියා සිටියි.

ඒ අනුව එවැනි බොරුවකට කිසිසේත්ම එකතු නොවන බව පැවසූ ඔහු, විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන අතරතුර රජයේ සාධනීය කටයුතුවලට පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබා දෙන බවත් සර්වපාක්ෂිකව රට ගොඩනැගීමේ ප්‍රයත්නය එය බවත් සඳහන් කර ඇත .

සජබ 8ක් ආණ්ඩුවට !

කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරි සති දෙක තුළ පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ වගකීම් දැරීමට සමගි ජනබලවේගය පක්ෂයේ 8කට ආසන්න මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බවයි.

ඔවුන් සමගි ජනබලවේගය පක්ෂයේ උදවිය බවත් ඒ හැර සමගි ජනබලවේගය සන්ධානය යටතේ තවත් සුළුපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද ආණ්ඩුවේ වගකීම් ගැනීමට සූදානමක් ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

අදාළ මන්ත්‍රීවරුන් ආණ්ඩුව වෙත සම්බන්ධ කරගැනීමේ සාකච්ඡා එජාප ප්‍රබලයන් කිහිපදෙනෙකු මැදිහත්ව සිදුකරමින් සිටින බවත් ආරංචි මාර්ග පවසයි .

අරගලය අස්සේ තඹ උස්සපු හොරු මාට්ටු !

කොළඹ ජනාධිපති මන්දිරයේ තිබී රන් ආලේපිත තඹ බෝල හතළිහක් සොරකම් කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

ඊට අනුව අරගලකරුවන් විසින් ජනාධිපති නිල නිවෙසට ඇතුලු වීමෙන් පසු හොරුන් විසින් මෙම භාණ්ඩ සොරකම් කර ඇත .

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පරණ යකඩ අලෙවිකරණ ස්ථානයකට මේවා අලෙවි කිරීමට තැත් කිරීමේ දී ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ද හෙළි වී ඇති බවත් පොලිසිය පවසයි .

ජනාධිපතිගෙන් විදෙස් රාජතාන්ත්‍රිකයන්ට සහතිකයක් !

සාමකාමී,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් රාජතාන්ත්‍රිකයන් හමුවේ අවධාරණය කර ඇත .
පසුගිය සිකුරාදා (27) පැවති කොළඹ දි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා මෙසේ සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇත .

නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි .

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 වැනි වගන්තිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් පාලනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය යන දෙකම රජය විසින් තහවුරු කරන බව ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත .

රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපළ වෙනත් අරමුණුවලට බාධා කිරීමට විරෝධතාකරුවන්ට අවසර ලබා නොදෙන බව ඇමරිකානු සිවිල් නිදහස සංගමය ලබා දුන් උපදෙස්වල සඳහන් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත .

දේපළවලට හෝ ජීවිතවලට හානියක් නොවන පරිදි නගරය තුළ අවිහිංසාවාදී විරෝධතාවලට ඉඩ සැලසීම සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කරන තිබේ .

විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය වැනි කොළඹ ඇතුළත පහසුකම් සියල්ල ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා ලබා දෙන බවත් ජනාධිපති පවසා ඇත .

GotaGoGama විරෝධතා අඩවිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට පිළිතුරු දෙමින්, වැරදි සමාජ මාධ්‍ය වාර්තාවලට අනුව එය ආරක්ෂක අංශ විසින් ඉවත් කර නොමැති බවත් රාජතාන්ත්‍රිකයන් හමුවේ ජනාධිපතිවරයා පැහැදිලි කරන ඇත .

තවද, පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සියලු දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළුව අනුගමනය කරන නීතිමය මාර්ග පිළිබඳවද නීතිපතිවරයා විසින් සහභාගිවන්නන් දැනුවත් කරනු ලැබූ බවත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත .

ජනාධිපති කාර්යාලය මාස 03 කට පසුව විවෘත කරන්න තීන්දුවක් !

ගෝල්ෆේස් අරගල බිම හේතුවෙන් මාස 03කට අධික කාලයක් වසා දැමුණු ජනාධිපති ලේකම් කාර්යාලය හෙට (25) සිට යළි සාමාන්‍ය පරිදි කටයුතු කරන බව වාර්තා වෙයි .

වැඩ ආරම්භ කිරමට පෙර අරගලකරුවන් සහ ඒ වෙස්ගත් කඩාකප්පල්කාකාරීන් විසින් කඩා බිද දමා තිබුණු ජනෙල් දොරවල් මෙන්ම කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට සිදු කර ඇති බවත් සඳහන් වෙයි.

එසේම අද (24) ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ හමුදාපති විසින් නිරීක්ෂණ චාරිකාවක් සිදුකළ බවත් ඔවුන්ගේ නිර්දේශය මත මෙසේ සුපුරුදු රාජකාරි ඇරඹීමට තීන්දු කර ඇති බවත් දැනගන්නට ඇත .

අර්බුද අස්සේ කොවිඩ්වලින් පරිස්සම් වෙන්න : 4 වෙනි මාත්‍රාව ගන්න !

කොව්ඩ්-19 මර්දන එන්නතේ 4 වන මාත්‍රාව ලබාගැනීම සඳහා පහසුකම් සලසා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි .

විශේෂයෙන් හෘදරෝග, දියවැඩියාව වැනි බෝනොවන රෝගවලින් පෙළෙන්නන් සහ වැඩිහිටියන් 4 වන මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන ලෙසත් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

4 වන මාත්‍රාව රටපුරා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරි කාර්යාලවල ශීත කාමර තුල ගබඩා කර තිබෙන බවද එම ස්ථානවලට ගොස් විමසීම් කර 4 වන මාත්‍රාව ලබා ගත හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉදිරියේදී මතුවිය හැකි මතු විය හැකි අවදානම මගහරවා ගැනීම සඳහා 4 වන මාත්‍රාව අවශ්‍ය බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Page 310 of 475