V2025

පුවත්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් !

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් අ.පො.ස උසස් පෙළ සඳහා විෂය ධාරා අනුව පන්තිවලට ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාතංශය මේ බව සඳහන් කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මේ සඳහා චක්‍රලේඛන මගින් පාසල්වලට අවසර ලබා දී ඇති බවය.

ඒ අනුව තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව පවතින පාසලක් ලබා ගැනීමට එම ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් කටයුතු කළ හැකිය.

වෙල්ගම - පාඨලී අලුත් දේශපාලන දීගෙක !

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නායකත්වය දරණ 43 වන සේනාංකය එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කර ඇත.

ඒ සඳහා වන ගිවිසුමකට ද පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම මන්ත්‍රීවරුන් අද (16) අත්සන් තබා තිබේ.

එහිදී රණවක මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තම කණ්ඩායම් දෙක එක්ව පළාත් පාලන ආයතන කිහිපයකට තරඟ කරන බවත්, තවත් ආයතනවලට ස්වාධීනව අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

‘හෙලිකොප්ටරය’ ලකුණින් තරඟ කරන නිදහස් ජනතා සන්ධානයට ද සුබ පතන බව කී රණවක මන්ත්‍රීවරයා ඔවුන් සමඟ ද සාකච්ඡා කළ නමුත් යම් යම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවට පත්වීමට නොහැකිවීම නිසා වෙනම තරග කිරීමට තීරණය කළ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ද මෙහිදී පැවසුවේ නිදහස් ජනතා සන්ධානයේ සිටින්නේ තම සහෝදර මන්ත්‍රීවරුන් බවයි.

පළාත් පාලන මැතිවරණය කල්දාන්න අවස්ථා 3ක් !

ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඇත්තේ අවස්ථා තුනක් බව හිටපු මැතිවරණ කොමිසමේ සභාපති සහ මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අධිකරණය හරහා සිදුවන වාරණයක්, අධිකරණයේ පිළිගැනීම මත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගන්නා පනතක් සහ මැතිවරණ පනතේ ඇති බලතල අනුව මැතිවරණ කොමිසම විසින් ගන්නා ලද තීරණයක් අනුව ඡන්දය කල් දැමිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ හැර ඡන්දය කල් දැමීමට අන් කිසිදු ක්‍රමයක් නැති බවද මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියි.

එසේම පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපිය නිකම්ම කඩදාසියක් බවත් දේශප්‍රිය මහතා පැවසීය.

සිරිසේන පිටකොටුවේ බෝ ගහ යට ටිං හොලවන තැනට වැටෙයි !

පාස්කු නඩු තීන්දුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට නියම කළ වන්දි මුදල ගෙවීමට තරම් වත්කමක් නොමැති බැවින් කොළඹ කොටුවේ බෝ ගහ යට ටිං එකක් හොල්ල හෝල්ල ඉන්නද යනුවෙන් හිතවතුන්ගෙන් විමසූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .

එසේම අදාළ මුදල සිය හිතමිතුරන්ගේ උපකාරයෙන් එකතු කර ගෙවා දමන බවත් හිටපු ජනාධිපති පවසයි.

ඔහු ඒ අදහස් පළ කළේ අද (15) නිට්ටඹුව නගරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

"මේ නඩු තීන්දුව ගැන කතා කරනවිට පළමුවැනි දේ තමයි නීතියට ගරු කරන්න ඕනේ. අධිකරණයේ තීන්දු සඳහා හිස නමන කෙනෙක් මම. මේ සිද්ධිය වෙනකොට මම හිටියේ පිටරට සිංගප්පූරුවේ රෝහලේ. අනත්ත අප්‍රමාණ මම කිව්වා, මේ සිදුවීම පිළිබඳව ආරක්ෂ අංශවල නිලධාරීන්ට තොරතුරු ලැබුණාට ඒ කිසිදු නිලධාරීයෙක් මට මේ ගැන කිව්වේ නැහැ. මේ නඩු තීන්දුවේ පිටු 85 ඇතුළේ තිබෙනවා. මේ තොරුතුර නිලධාරීන්ට ලැබුණාට ජනාධිපිතිවරයා කිසිම ආකාරයකින් දැනුවත් වෙලා නැහැ කියලා. ඊළඟට ඔබට සිතයි මේ කෝටි 10 ගෙවන්න තීන්දු කළේ කියලා. මානව හිමිකම් කඩවීමක් පිළිබඳව.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තිබෙනවා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම් වැරැද්දක් කළහොත් ඒකට ජනාධිපතිවරයාද වගකිව යුත්තේය කියලා මේ නඩු තීන්දුවේ ලියලා තියෙනවා. පොලිස්පති පත්කරන්නේ ජනාධිපති, ආරක්ෂක ලේකම් පත්කරන්නේ ජනාධිපති. ඔත්තු සේවා අධ්‍යක්ෂ පත්කරන්නේ ජනාධිපති නෙමෙයි පොලිස්පතිතුමා. ඒ අයගෙන් ඉටුනොවුණ එකට මමත් වගකිව යුත්තෙක් කියලා තමයි මටත් කෝටි 10ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුවේ දීලා තියෙන්නේ.

කෝටි 10ක වන්දියක් ගෙවන්න කොහෙත්ම ආර්ථිකයක් තියෙන කෙනෙක් නෙමෙයි මම. මම සහ මගේ හිතවතුන් තීරණය කරලා තිබෙන්නේ, අපි අපට හිතවත් අයගෙන් සල්ලි එකතු කරමු කියලා. එහෙම කියනකොට මම ඇහුවා එහෙමනම් කොළඹ කොටුවේ බෝ ගහ යට ටිං එකක් හොල්ල හෝල්ල ඉන්නද කියලා ? කිසිදු ආදායමක් නැහැ. මගේ වත්කම් ප්‍රකාශනය හැම අවුරුද්දේම මම පාර්ලිමේන්තුවට දීලා තියෙනවා. මම ජනාධිපතිවෙලා හිටපු අවුරුදු 5ත් හැම අවුරුද්දේම මම දීලා තියෙනවා මගේ වත්කම් ප්‍රකාශනය. ඉතින් මගේ වත්කම් ප්‍රකාශනය ඕනේ කෙනෙකුට බලන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ පණත යටතේ. ඕනේ නම් අරගෙන බලන්නත් පුළුවන් මට මොනවද තියෙන්නේ කියලා. ඒ නිසා මගේ මිත්‍රයෙක් තීරණය කරලා තියෙන ආකාරයට මම බලාපොරොත්තු වෙන්නේ මගේ හිතවතුන්ගෙන් මේ සඳහා අවශ්‍ය සහායෝගය ගන්නයි. මම පුද්ගලිකව කියනවා මට නම් මොන විදිහේ අභියෝග ආවත් මගේ දෙපා මුලට හෙණ හැහුවත් මට වැදෙන්නේ නැහැ. ඒ ඕනෑම අභියෝගයකට මම සිනාමුසු මුහුණෙන් මුහුණ දෙනවා."

ෆයිසර් ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වෙයි : දේශපාලන තීන්දුවක් ගන්නත් සූදානම් !

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය ඇතුළු පක්‍ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි .

එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වයෙන්ද ඔහු ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කර ඇති බවත් දැනගන්නට ඇත .

පක්ෂයේ ලදබොළඳ දේශපාලන තීන්දු තීරණ සහ ඒ හමුවේ ජේෂ්ඨයන් රැසක් පාක්ෂිකයින් සමග පක්ෂය හැරයාම ඇතුළු කරුණු රැසක් හේතුවෙන් හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා පසුගිය සමයේ බලවත් කළකිරීමකින් පසුවූ බවත් එම ආරංචි මාර්ග පවසයි .

එසේම ඉදිරියේදී ඔහු දේශපාලන තීන්දුවක් ගැනීමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි .

ආර්‍යාව හිරුණිකාට ලණුවක් දීලා : කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් !

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් නම් කිරීමට පක්ෂය ඒකමතිකව තීන්දු කරයි.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් පේමදාසගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (14) රැස්වූ අවස්ථාවේදී මෙම තීන්දුව ගෙන තිබේ.

එහි දී සමගි ජන බලවේගය කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස මුජුබර් රහුමාන් මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කළ අතර ඊට සියලු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.

මණ්ඩලේ කචල් !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු මේ වන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අප්‍රසාදයට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

පසුගිය සමයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සම්බන්ධයෙන් අසාමාන්‍ය ආකාරයකට හැසිරුණේ කොළඹ මහ නගර සභාවේ හෝ මහරගම මහ නගර සභාවේ පුරපති අපේක්ෂකත්වය ලබාදෙන බවට සජබ ආර්‍යාව ලබාදුන් පොරොන්දුවක් මත බවත් එවැනි පසුබිමක ගනුලැබූ මේ තීන්දුව සම්බන්ධයෙන් ඇය දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

යාපනයේ ගිය ජනපති ආගමික නායකයන් බැහැදකියි !

යාපනය රදගුරු හිමි ප්‍රමුඛ ආගමික නායකයින් කිහිප දෙනෙකු ද බැහැ දැක ආශිර්වාද ලබා ගනී.

තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගිවීම සඳහා යාපනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (15) පෙරවරුවේ යාපනය ශ්‍රී නාග විහාරය වෙත ගොස් මහා සංඝරත්නය බැහැ දැක, ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

පුදබිම වෙත ගිය ජනාධිපතිවරයා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.

“බෞද්ධ හින්දු ආගමික සංසදය" වෙනුවෙන් එහි සභාපති ආචාර්ය එම්. මෝගන් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නල්ලෙයි ආදීන ආශ්‍රමාදිපති ගරු ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා හමු වී ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරව යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ද මීට එක්ව සිටියහ.

13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා - ජනාධිපති

සියලු ජනකොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියලුදෙනා එකට ජීවත්වන ‍රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පස්වරුවේ යාපනය දුර්ගා ශාලාවේ පැවති ජාතික තෛපොංගල් උත්සවය අමතමිනි.

නල්ලුර් ශිවම් කෝවිලේ පැවති තෛපොංගල් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු ජනාධිපතිවරයා ජාතික තෛ‍පොංගල් උත්සවයට එක් විය.

දෙමළ සංස්කෘතික පෙරහැරකින් උත්සව භූමිය වෙත කැඳවාගෙන එනු ලැබූ ජනාධිපතිවරයා හින්දු චාරිත්‍රාණුකූලව පිළිගැනිණි. විචිත්‍ර දමිළ සංස්කෘතිකාංග කිහිපයකින් ද උත්සවය වර්ණවත් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සියලු ජාතීන් එකට ජීවත්වන සහ ආර්ථික සමෘද්ධිය උදාකරගත් රටක් ගොඩනැඟීමට මීට වසර 75කට පෙර ඩී.එස් සේනානායක මැතිතුමා ඇති කළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව කරා යළි අප ගමන් කළ යුතු බවයි.

සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා පියවර පිළිබඳ ප්‍රකාශයක් පෙබරවාරි මාසයේ දී රටට ප්‍රකාශ කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා අදහස් විමසීමට පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේ දී කැඳවන බව කියා සිටියේය.

අතුරදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට සහනයක් ලබා දීම සඳහා සත්‍ය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

පළමුවෙන්ම සියලුදෙනාටම සුබ තෛපොංගල් මංගල්‍යයක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම තෛපොංගල් උත්සවය ජාතික උත්සවයක්. අප අතීතයේ දී කෘෂිකර්ම රාජ්‍යයක්ව පැවතුණා. වාර්ෂික අස්වැන්න ලබාගැනීමෙන් පසුව අපි දෙවිවරුන්ට පිං පමුණුවා, මේ චාරිත්‍ර ඉටු කළා.

අද මේ උත්සවයේ දී විචිත්‍රවත් ඉදිරිපත් කිරීමක් සිදු කළ රාමනාදන් සෞන්දර්ය පීඨයේ ශිෂ්‍යයින්ට මම මගේ ප්‍රශංසාව පළ කරනවා. එය උසස් මට්ටමේ නාට්‍යයක් කියලා මම කියන්න කැමතියි. නාදසලාම් තූර්ය වාදන කණ්ඩායමත් සාම්ප්‍රදායික දැනුම අනුව තම ඉදිරිපත් කිරීම් කළා. ඒ සියලුදෙනාටත් මම මගේ ස්තූතිය පිරිනමනවා.

මේ කණ්ඩායම් දෙකම ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් කළ හැකි මට්ටමේ සිටිනවා. ඒ පිළිබඳ ශ්‍රී ලාංකිකයින් ලෙස අපි ආඩම්බර විය යුතුයි. අද දහවල් අපි තීරණය කළා ගාල්ලේ පැවති කලා උළෙල වගේ එකක් යාපනයේදීත් පැවැත්වීමට. අපි අලුත් දෙමළ සංස්කෘතියක් බිහි කර තිබෙනවා. අපි එය ලෝකයට පෙන්විය යුතුයි.

මේ උළෙලේ සංස්කෘතිකාංග අවසන් වුණේ සිංහිඳියාවෙන්. සංහිඳියාව මේ රටට අවශ්‍යයි. වසර 30 ක් පැවති යුද්ධය සහ කැරලි මෙන්ම, බෙදුම්වාදී, ජාතිවාදී, ආගම්වාදී සහ බංකොළොත් දේශපාලනයෙන් අපේ රට බෙදිලා තිබෙන්නේ. අපි සියලුදෙනා එක් රටක ජීවත් විය යුතු නිසා සහ ආර්ථිකය ගොඩනැංවිය යුතු නිසා මීට වසර 75කට පෙර ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතිකළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව කරා අපි නැවත ගමන් කළයුතුයි.

මම දුටුවා මේ තෛපොංගල් උත්සවය පැවැත්වෙන වේදිකාවේ ගින්න මත තබා ඇති මුට්ටියට වතුර දානවා, කිරි දානවා, හාල් දානවා, හකුරු දානවා පොංගල් එනවා. ඉතින් මේ උණුසුම් වෙලාවේ අපි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් එකම බදුනකට දාලා ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් අරගනිමු.

උතුරේ සහ දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්න පිළිබඳ අපි සාකච්ඡා කරමින් සිටිනවා. මම පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සියලුදෙනා කැඳවලා කිව්වේ අපි මේ රට එකට එක් කරන්න වැඩකරමු, සංහිඳියාව යළි ඇතිකරමු කියලා. මම පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරු සමඟත් සාකච්ඡා කළා. ඒ වගේම රට තුළ සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා පියවර පිළිබඳ පෙබරවාරි මාසයේදී රටට ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙනවා. එම තීරණය ගන්නා ලෙස මම පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා වගේම ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ලබන සතියේ පක්ෂ නායක හමුවක් කැඳවා තිබෙනවා.

මේ ප්‍රශ්න පැත්තකට දාලා, කල් දාලා පාපන්දු ගහල විසඳන්න බැහැ. විසඳුම රටටත්, පාර්ලිමේන්තුවටත් කිව යුතුයි. ඒකයි පළමුව පාර්ලිමේන්තුවේ අදහස් ලබා ගැනීම සිදු කරන්නේ. අපි ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කර තිබෙනවා. අතුරදන්වුවන්ගේ පවුල්වල ඥාතින්ට සහනයක් ලබා දෙන්න, සත්‍ය සොයා ගන්න, මොකක්ද වුණේ කියලා හොයා ගන්න අවශ්‍යයි. ඒ වගේම මේ පිළිබඳ සොයා බලන්න සත්‍ය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරනවා.

මීට සති 03කට පෙර මම හමුදාපතිවරයාගෙන් ඇහුවා සත්‍ය සහ සංහිඳියාව කොමිසම ඇති කරන්න යනවා මොකක්ද ඔබලගේ අදහස කියලා. ඒක හදන්න සර් එතකොට අපට තිබෙන චෝදනාවලටත් පිළිතුරු දෙන්න පුළුවන් කියලා කිව්වා හමුදාපතිවරයා කිව්වා. මේ පිළිබඳ කාගෙවත් විරුද්ධත්වයක් නැහැ.

ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අපි නව නීතියක් ගේනවා. සමහරු කියනවා මේ පනත උතුරට විරුද්ධව යොදවනවා කියලා. එහෙම නෙවයි, අපි මේක යොදවන්නේ රටේ ස්ථාවරභාවය ඇති කරන්න. මට පසුගිය වසරේ මේක දකුණට යෙදවීමට තිබුණා. ඒ වගේම අපි නව නීති ගේනවා.

ඊළඟට තිබෙන්නේ ඉඩම් ප්‍රශ්නය. වනජීවි දෙපාර්තමේන්තුව සම්බන්ධව ඇති වී තිබෙන ප්‍රශ්න අද අපි සාකච්ඡා කරනවා. ඒ වගේම යාපනයේ ඉඩම් නැවත ලබාදීම පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා.

යුද්ධය පැවති කාලයේ දී මේ ප්‍රදේශ ආරක්ෂා කරගන්න ඕන නිසා යුද හමුදාව අක්කර 30,000ක් පමණ තමන්ගේ යටතේ පවත්වාගෙන ගියා.
අද ආරක්ෂක හමුදාව යටතේ ඉතිරිවෙලා තිබෙන්නේ අක්කර 3,000යි. එයිනුත් තව කොටසක් භාරදීමට හමුදාව කැමැත්ත පළ කර තිබෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කරනවා.

අපේ රදගුරුතුමා ප්‍රකාශ කළ පරිදි අපි එම කතෝලික සහ හින්දු දේවස්ථාන හදලා දෙන්න පියවර ගන්නවා. අවුරුදු සිය ගණනක සිට පැවැත්වු පූජා තිබෙනවා, අලුතින් ආරම්භ කළ ඒවා තිබෙනවා. අපි ඒ සියල්ල ඉදිරියට පවත්වාගෙන යා යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. උතුරේ පමණක් නොවෙයි දකුණේ මහ ඇමතිවරුන් පවා එය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා අපි ඒ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඊළග වස‍ර දෙකේ දී අපි මේ වැඩ කොටස ක්‍රමානුකූලව කරගෙන යමු.

අද දිළිදුකම, බඩගින්න, විරුකියාව සිංහල අයටවත්, දෙමළ අයටවත් සීමා වෙලා නැහැ, අපි සියලුදෙනා දුක් විඳිනවා. අපි සියලුදෙනා එක්වෙලා මේ අභියෝග ජය ගත යුතුයි.

උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විතරක් නෙවේ. තවත් ප්‍රශ්න තිබෙනවා සාකච්ඡා කරන්න.

මේ රැස්වීමෙන් අනතුරුව මම කඳුකරයේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුනුත්, පාර්ලිමේන්තු පක්ෂ නායක‍යින් කැඳවා එම සාකච්ඡාවල දෙවන වටය ආරම්භ කරනවා.

කඳුකරයේ දෙමළ ජනතාව අපේ සමාජයට සම්පූර්ණයෙන් අන්තර්ගත කරලා ඔවුන්ටත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව භුක්තිවිදින අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දෙනවා. රටට විදේශ විනිමය උපයන මේ විශාල කණ්ඩායම කොන් කරන්න බැහැ. අනිත් අය සමඟ එක් කළ යුතුයි.

මුස්ලිම් මන්ත්‍රීවරු සහ පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මුස්ලිම් ජනතාවට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඒ අයත් ගෙන්වා ඒ ප්‍රශ්න සාකච්ඡා කර විසඳුම් ලබා දිය යුතුයි. දෙමළ, මුස්ලිම් අයට පමණක් නොවෙයි සිංහල අයටත් ප්‍රශ්න තිබෙනවා. කොන් වුණ ගම්මාන තිබෙනවා. සමහර තැන්වල කුල භේදය බලපා තිබෙනවා. දුප්පත් ජන කොටස් කොන් වී තිබෙනවා. තමන‍්ගේ ආරක්ෂාව ගැන ක්‍රිස්ත්‍රියානි ජනතාව බියෙන් පසුවෙනවා. ඒවා ගැන කතා කරන්න සමාජ සාධාරණ කොමිසමක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මේවා ගැන කතා කරලා ශ්‍රී ලාංකීය අනන්‍යතාව තවදුරටත් තහවුරු කරමු කියලා මම සියලුදෙනාට කියනවා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, කුලසිංහම් තිලීපන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරීහු ‍උත්සවයට එක්ව සිටියහ.

IMG 20230115 WA0004

IMG 20230115 WA0005

 

මැතිවරණ කරන්නේ කොහොමද : පොලිසියටත් මුදල් ප්‍රශ්නයක් !

යෝජිත පළාත් පාලන මැතිවරණය මැතිවරණ රාජකාරි වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි .

පොලිස්පති සීඩී වික්‍රමරත්න විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත්තේ පසුගිය මහ මැතිවරණයේදී පොලිස් නිලධාරීන් රාජකාරි විවිධ වීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල් තවමත් ගෙවා නැති බවයි.

ඒ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයට පොලිස් නිලධාරීන්ට රාජකාරි කටයුතු යෙදවීමේ ගැටලුවක් ඇති බවද පොලිස්පති වරයා දැනුම් දී ඇත.

මහමැතිවරණය රාජකාරි වෙනුවෙන් පොලිසියට හිමි මුදල් මේ දක්වා ලැබී නොමැති නිසා පොලිස් දෙපාර්තමේන්තුව මුල්‍යමය ගැටළුවකට මැදිව සිටින පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමට දන්වා දන්වා ඇති අතර ඔහු ඉල්ලා ඇත්තේ පළාත් පාලන මැතිවරණ රාජකාරි ආරම්භ කිරිමට ප්‍රථම පසුගිය මහ මැතිවරණයේදී ගෙවිය යුතු හිග මුදල් ප්‍රතිපුර්ණය කරන ලෙසයි.

මෙය බිම් මට්ටමේ මැතිවරණයක් බැවින් විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇති වූවොත් ඒ සඳහා විශේෂ කාර්ය බලකාය කැදිවීමට සිදු වනු ඇති බවත් ඉන්ද පාලනය කරගත නොහැකි වුවහොත් හමුදාව පවා කැඳවිය යුතු බවත් පොලිස්පත්වරයා පෙන්වා දී තිබේ.

ඊට අමතරව මැතිවරණයේදී පොලිසියට පැවරෙන නීති විරෝධී දැන්වීම් කටවුට් බැනර් ඉවත් කිරීමේ රාජකාරිය කුලී කම්කරැවන් මගින් සිදුකරන බවත් ඔවුන් සඳහා ගෙවීම් පොලිසියෙන් පළමුව සිදුකර පසුව මැතිවරණ කොමිසමෙන් ලබාගන්නා බවත් පවසා ඇත

ලංකාව ගොඩදාන්න IMF ඇතුළු ආයතන වල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍යයි !

ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් පවතින රටවල ආර්ථිකය යථාවත් කිරීමට කටයුතු කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ “Voice of the Global South Summit G 20 සමුළුවට” මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එක්වෙමින් සමුළුව අමතමිනි.

රටේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග පැහැදිලි කරමින් කරුණු දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ සාකච්ඡා කරමින් පවතින IMF ඇප ලබා දීමේ ක්‍රියාවලියෙහි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවයි.

රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණවත් නොවීම නිසා මූලික ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය ඇතුළු ගැටලු රැසකට හේතු වී ඇති ආකාරය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැහැඳිලි කරන ලදී.

“කෙසේ වෙතත්, ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ කඩිනමින් ගිවිසුම්වලට එළඹීමට ප්‍රමාද වීම නිසා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් ලබා දීම ද ප්‍රමාද වී ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වෙමින් පවතින අතර එවැනි තාක්ෂණික ගැටළු සහ ප්‍රතිඵල ප්‍රමාදයන් නිසා රටේ ජන ජීවිතයට විශාල හානියක් ඇති වේ. එබැවින් අන්‍යෝන්‍ය අවබෝධය තුළින් මෙම ක්‍රියාවලියේ අවසන් පියවර ඉක්මනින් සිදු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “ආර්ථික අර්බුදයේ බලපෑමෙන් දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කෙරේ. විනිවිදභාවය සහ ආර්ථික ශක්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කෙරේ. මේ හරහා විනිමය අනුපාතික නම්‍යශීලිත්වය වැඩි වනු ඇත. ජාත්‍යන්තර සංචිත සහ නම්‍යශීලී උද්ධමන ඉලක්ක සහ වැඩි විනිමය අනුපාත නම්‍යශීලීභාවයට සහාය වන ආයතනික රාමුව ශක්තිමත් කිරීම සිදු වේ.” යනුවෙනි.

– මාධ්‍ය ඒකකය

උසස් පෙළ විභාගය කාලය තුළ විදුලි කප්පාදුවක් නෑ !

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළදී විදුලි කප්පාදුවක් සිදු නොකරන්නේ යයි අදාළ බලධාරීන් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම කාලය තුළ විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි ඇති බවත් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විදුලි කප්පාදු අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව කියයි.

අපොස උසස් පෙළ විභාගය (2022) මෙම මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

රාජ්‍ය ව්‍යවසාය 55ක් මාස 04 තුළ කෝටි 86000ක පාඩුවක් ලබලා !

උපාය මාර්ගික වශයෙන් වැදගත් ආයතන ලෙස හඳුනා ගැනුණු ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ( ව්‍යවසායන්) 55ක් පසුගිය වසරේ මුල් මාස හතරේදී පමණක් රුපියල් කෝටි 86,000ක පාඩුවක් ලබා ඇතැයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි .

මෙය එම ආයතන ඊට කලින් වසරේදී (2021) වර්ෂය පුරා ලැබූ අලාභයටත් වඩා වැඩි අගයක් බවද ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ මුල් මාස හතරේදී වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. එම සංස්ථාව ලැබූ පාඩුව රුපියල් කෝටි 62,800ක් බව සඳහන් කරන මහාචාර්යවරයා ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් කෝටි විසි හතර දහස් අට සියයක පාඩුවක් ලබා ඇතැයිද සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය එම කාලසීමාවේදී ලැබූ පාඩුව රුපියල් කෝටි 4700 ක් බව වසන්ත අතුකෝරළ මහතා කීවේය.

මේ අතර එම ආයතන 55 පසුගිය 2021 වර්ෂයේදී රජය ඇපයට තබා රුපියල් කෝටි එක්ලක්ෂ පනස් දහස් හය සියයක ණය ලබාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ එම වාර්තාවල දැක්වෙන බව හෙතෙම පැවසුවේය.

ඒ කාලසීමාවේදී රුපියලේ අගය සියයට 58 කින් කඩා වැටී තිබූ හෙයින් මෙම ආයතන පාඩු ලැබීම ඉහළ යෑමට එයද ප්‍රධාන හේතුවක්වූ බව පවසන මහාචාර්යවරයා රාජ්‍යය සතු ව්‍යවසායයන් 527ක් රටපුරා ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළේය.

ආයතන 527 න් 290ක් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක් වන බවත් අනෙක් ආයතන තමන්ගේ වාර්ෂික වාර්තා පවා ඉදිරිපත් කර නොතිබූ බවත් අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසීය.

- lankadeepa

චීන කොමිනිස්ට් පක්ෂයේ දූත පිරිසක් දිවයිනට

චීන කොමිනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තුමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ  ඇතුළු චීන ඉහළ පෙළේ දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට පැමිණියහ.

මෙම චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ඉහළ පෙළේ නියෝජිත පිරිස ජනවාරි 14 සිට 18 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

මෙම නියෝජිත පිරිස හෙට හොරණ පන්නිල ගම්මානයේ අඩු ආදායම් ලාභි පවුල් සඳහා අමෙරිකානු ඩොලර් 60,000ක් වටිනා පාසල් අවශ්‍යතා සහ ආහාර ඇසුරුම් පරිත්‍යාග කිරීමට නියමිතය.

මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ඩොලර් බිලියන 2.9ක ජාමූඅ පැකේජය ලබා ගැනීමට මෙම සංචාරයන් ඉතා වැදගත් බව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කරයි.

චීනය, ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් තුන්දෙනා වන අතර ආර්ථික අර්බුධයෙන් ගොඩඒම සඳහා ඔවුන්ගේ සහයෝගීතාව ඉතා වැදගත් බවද අදාළ වාර්තාවල සඳහන් ය.

සංචාරකයන්ට නව කොවිඩ් නීති මාලාවක්

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිබඳ නව කොවිඩ් රෙගුලාසි හඳුන්වා දීමට සංචාරක අමාත්‍යංශය කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් කොවිඩ් මර්දන එන්නත ලබා ගත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු වේ.

කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙර ලබා ගත් පී.සී.ආර් වාර්තාවක් ඉදිරිපත් කර යුතු බවද එම රෙගුලාසි වල සඳහන් වේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම රටවල සංචාරකයන් සඳහා මෙම රෙගුලාසි අදාල වන බවත් කොවිඩ් රෝගය පිළිබඳ ඇතිවන ප්‍රවණතා පිළිබඳ ශ්‍රී ලංකාව සැලකිල්ලෙන් සිටින බවත් සංචාරක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

 

බදු ඉලක්ක ගැන දේශීය අදායම් ලොක්කා කියයි !

බදු ලෙස රුපියල් කෝටි 86000 ක මුදලක් පසුගිය වසරේදී එකතු කරන ලද බවත් මේ වසරේදී අය කිරීමට අපේක්ෂිත බදු මුදල රුපියල් කෝටි එක් ලක්ෂ හැට හය දහස් හත් සියයක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ඩී.ආර් එච් හපුආරච්චි පවසයි.

මේ අනුව ගිය වසරට සාපේක්ෂව රුපියල් කෝටි අනු දෙදහස් දෙසීයක බදු මුදල් ප්‍රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

මේ වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින් බවත් එම බදු මුදල රුපියල් කෝටි 60,300 ක් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රැපියල් කෝටි 55,300 ක ආදායමක් අපේක්ෂා කරන බවද ඒ නිලධාරීහු පෙන්වා දුන්හ.

නිධන් සහ ගංජා නිසා අත්අඩංගුවට ගත්ත SSP රිමාන්ඩ් !

නිධන් කැණිමේ සිද්ධියකට හා ගංජා කිලෝග්‍රෑම් 23ක් සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගත්, මොණරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුනිල් ශාන්ත සිසිල කුමාර ඇතුලු සැකකරැවන් සයදෙනා ගෙන් පස් දෙනෙකු සහ ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට මොණරාගල මහේස්ත්‍රාත් සචිනි අමරවික්‍රම අද (13) නියෝග කලාය.

මහේස්ත්‍රාත්වරිය විසින් මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමග මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ, බිබිල දියකොබල, ගුරැමඩ ලිපිනයේ පදිංචි, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියදුරැ ලෙස කටයුතු කල බොන්සෙල් බොතේජුගේ සසිදු මධුෂාන්, ඔක්කමිපිටිය පහළගම ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දුලංජන සේනක, මොරටුව එගොඋයන සාගර මාවතේ පදිංචි වීරසිංහගේ උපේක්ෂ ලක්ෂාන් ද සිල්වා,බුද්දම වැල්ලේපොළවත්ත ලිපිනයේ පදිංචි තිස්ස වලංගු මුදියන්සේලාගේ නිලන්ත සංජිව පුෂ්පකුමාර සහ මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ගංජා සැපයිමෙි චෝදනාවට, අපරාධ පරික්ෂණ දෙපාර් තමේන්තු නිළධාරින් විසින් පෙරේදා (12)සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල, ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය ධර්මදාස යන පිරිසය.

හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක් ගන්න : අධිකරණ නියෝගයක් !

අරගලය අවස්ථාවේ 2022 වසරේ ජුලි 09 වැනිදා ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් මිලියන 17.5 සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ අපරාධ කොට්ඨාසයට අද(13)නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙතෙක් එම මුදල්වලට අදාළව ප්‍රකාශ ලබාගෙන නැති බවට නීතිඥවරුන් කළ දැනුම්දීමකට අනුවයි.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ මෛත්‍රී ගුණරත්න මේ බව සදහන් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ විමර්ශන සිදු කිරීමට අධිකරණ නියෝග අවශ්‍ය නැති බවයි.

ප්‍රකාශ ගැනීමට අත්අඩංගුවට ගැනීමේ නියෝග ලබාදීමට අවශ්‍ය නැති බවද මහේස්ත්‍රාත්වරයා පැවසීය.

අදාළ මුදල් තොගය අරගලකරුවන් විසින් එදිනම පොලිසිය වෙත භාරදුන් අතර පොලිසිය ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නේය.

ටිරාන්ගේ මහජන පක්ෂයත් පුංචි ජන්දයට !

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට එක්සත් මහජන පක්ෂය (UPP) ද මේවනවිට තීරණය කර තිබේ.

එක්සත් මහජන පක්ෂයේ මහ ලේකම්වරයා වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වන අතර එම පක්ෂයේ ඡන්ද ලාංඡනය වන්නේ ජංගම දුරකථන යි.

උතුරු නැගෙනහිර ද ඇතුළුව දිවයින ම ආවරණ වන පරිදි පළාත් පාලන ආයතන ගණනාවක් සඳහා තම පක්ෂය මෙවර ඉදිරිපත්වන බව එම පක්ෂයේ මාධ්‍ය සම්බන්ධිකාරක චමින්ද ගුණසිංහ පැවසිය.

ජනප්‍රිය දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක් මේවනවිටත් තම පක්ෂයෙන් මෙම මැතිවරණයට ඉදිරිපත්වීමට කැමැත්ත පළකර ඇතැයි කියා සිටි චමින්ද ගුණසිංහ වැඩි දුර‍ටත් පැවසුයේ, අපේක්ෂකයන්ගේ අයදුම්පත් භාර ගැනීම සහ සම්මුඛ පරීක්ෂණ කටයුතු මේවනවිට අරඹා ඇති බවයි.

Page 232 of 465