පුවත්

කෙහෙළිය ගෙන්නූ බාලා ඖෂධවල තිබුණේ මාරාන්තික බැක්ටීරියා සහ ලුණු වතුර විතරයි – නීතිපති උසාවියට දැනුම් දෙයි
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව අද (19) පස්වරුවේ නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ඒ අද එම නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු අවස්ථාවේදීය.
මෙහිදී, ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ සහිත වූ බැක්ටීරියා වතුර අන්තර්ගතව තිබූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතීතකරණ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකින් වාර්තා කර ඇති බව නීතිපති අධිකරණයට දැනුම් දුන්නේය.
එමෙන්ම,පිළිකා නාශක ඖෂධයක් ලෙස පළවන සැකකරු විසින් ලබා දුන් රිටොක්සිමැප් ද්‍රාවණය පරීක්ෂා කිරීමේදී පිළිකාවකට සටන් කළ හැකි කිසිදු ප්‍රෝටීනයක් එහි අන්තරගත නොමැති බවත් ලුණු පමණක් එහි අන්තරගත වන බවත් පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබේ.
පරීක්ෂා කිරීමට ලබා දුන් ද්‍රාවණවල අන්තර්ගතය සම්බන්ධයෙන් වූ විශ්ලේෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලුණු වතුර සහ බැක්ටීරියාවන්ගෙන් විෂ වුණ ද්‍රාවණයක් සැපයීමට රජය විසින් ලක්ෂ 1444ක් වැය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.
නඩුව නැවත ජූලි 16වැනිදා කැඳවන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය පළවන සැකකරු එම දිනය තෙක් රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස නියෝග කළේය.

ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කෙරේ
2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ, සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25වැනිදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරෙන බවයි.
මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (19) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවැති සාකච්ඡාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මේ බව පැවසීය.
දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වැනිදා වීදී සංචාරය කෙරේ.
කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 වනදා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බව දියවඩන නිලමේවරයා පැවසීය.
ඒ අනුව අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර ඇත.
මෙහිදී දියවඩන නිලමේ සහ සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන් සඳහන් කළේ, හීලෑ අලි ඇතුන් අවමවීම පෙරහැර පැවැත්වීමට විශාල වශයෙන් බලපාන ගැටලුවක් බවයි.

වන සතුන්ගෙන් සිදුවන භෝග හානි පාලනයට රජයේ අවධානය
වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට (කෘෂිකර්මාන්ත හා වැවිලි අංශය) සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්, රජයේ නිලධාරින්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර, එහි පළමු රැස්වීම අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
වන සතුන්ගෙන් සිදු වන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් ක්‍රියාකාරී සැලසුමක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණයි. ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම, ඊට අවශ්‍ය මානව, භෞතික හා මූල්‍ය සම්පත් ලබා දීම කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිතය.
මෙහිදී අවධාරණය කෙරුණේ වනජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදය බවය. එමෙන්ම වන ජීවීන්ට වනාන්තරය සඳහා වන අයිතිය පිළිගනිමින් විසඳුම් සකස් කළ යුතු බවය. විශේෂයෙන් ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දන්ගල්ල අදහස් දක්වමින්, රිලවුන් සම්බන්ධයෙන් වසර පහළොවකට අධික කාලයක් කරන ලද අධ්‍යයන මත පදනම්ව, මෙම ගැටලුවට විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ සාර්ථක විසඳුම් ලබා දිය හැකි බවත්, සත්ව ගහනය පාලනය කිරීමට විවිධ උපක්‍රම අනුගමනය කළ හැකි බවත් පෙන්වා දුන්නේය.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.සී. මාරසිංහ, මෙම ගැටලුව සඳහා බහුවිධ ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව පැවසීය. වන සත්ව සංගණනයෙන් සත්ව ගහනය පිළිබඳ මූලික තොරතුරු ලබා ගැනීමට හැකි වීම මෙහිදී වැදගත් වන බවත්, සමාජමය ආකල්පයන්ගෙන් ඔබ්බට ගොස් මෙම ගැටලුව විද්‍යාත්මකව විසඳිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
විද්වතුන්, පරිසරවේදීන්, වන සත්ව විශේෂඥයන්, නිලධාරීන් මෙන්ම වනජීවීන්ගෙන් පීඩාවට පත්ව සිටින මහජනතාව ආදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීම වැදගත් වන බවද මෙහිදී තීරණය විය.

නව අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි
නව අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දී තිබේ.
නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මේ අතර මහාධිකරණ විනිසුරු, දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ යන නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

සබරගමු සරසවි සිසුවා මියගියේ නවකවදය නිසා බව හෙළිවෙයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවදය හේතුවෙන් බවට මේ වනතෙක් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම මේ වසරේ ගතවූ මාස 6 තුළ නවකවධ සිද්ධි 30කට අධික සංඛ්‍යාවක් නවකවධ පැමිණිලි විමර්ශන අංශයට වාර්තා වී ඇති බවද සදහන් වේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි චරිත් දිල්ශාන් නම් සිසුවා පසුගිය අප්‍රේල් මස 29 වනදා ලිපියක් ලියා සියදිවි නසාගෙන තිබු අතර අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවද පැමිණිලි විමර්ශන අංශය මගින් ආරම්භ කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අදාළ සිදුවීම පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඇතුළු පාර්ශ්ව රැසකින් ප්‍රකාශද සටහන් කරගනු ලැබූ අතර ඒ අනුව මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවදය බවයි.
එමෙන්ම අදාළ සිසුවා විශාදය රෝගයෙන් පෙළී නොමැති බවත් අනාවරණය වී ඇති බව වාර්තා වේ.
තවද සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ සිටින ඇතැම් උසස් නිලධාරීන් විශ්වවිද්‍යාලය තුළ ඇති නවකවද සිදුවීම් පිටතට අනාවරණය වීම වළක්වාලීමට කටයුතු කරන බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.
වසරේ මේ දක්වා කාලය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශයට එවැනි සිද්ධි පිළිබඳව පැමිණිලි 30කට අධික සංඛ්‍යාවක් වාර්තාවී තිබූ අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් සබරගමුවෙන් බවත් එම සංඛ්‍යාව 10කට අධික බවත් පැවසේ.
එමෙන්ම නැගෙනහිර හා ඔලුවිල් විශ්වවිද්‍යාලවලින්ද නවකවද සිද්ධි පිළිබඳව පැමිණිලි ලැබී ඇති අතර ඒවා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව විමර්ශන නිලධාරීන් පවසයි.
කෙසේ නමුත් අදාළ සිද්ධිවලට චෝදනා ලත් සිසුන් වැරදිකරුවන් වුවහොත් වසර 20ක සිරදඬුවමකට ලක්වීමටද සිදුවන අතර නවකවද සිද්ධි පිළිබඳව පැමිණිලි ඇත්නම් 1997 දුරථකන අංකයට දැනුම්දෙන ලෙස පොලීසිය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

ඇප කොන්දේසි සැපිරූ කෙහෙළිය, බිරිඳ හා දියණියකට ඇප
ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඒ අනුව ඔවුන් අද දින ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට අධිකරණය නියම කර ඇත.

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකව එළඹෙන 26වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට නියෝග කර ඇත.
ඒ, ඔහුව අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායකව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ සේවය ඇගයේ
අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
එසේම, පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින්, රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට එතුමා ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය කෘතඥතාවද පිරිනැමීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන්, අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.
පුද්ගලයන්ගේ සැබෑ වටිනාකම් වෙනුවට, වෙනත් දේ වටිනාකම් බවට පත්ව ඇති මෙම යුගයේදී රටත්, සමාජයත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පුද්ගල වටිනාකම් පිළිබඳ නව හර පද්ධතියක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අධිපරිභෝජනවාදී, දූෂණයෙන් අගතියට පත් රාජ්‍ය සේවයක් වෙනුවට මනුෂ්‍යත්වයෙන් සහ අනෙකා කෙරහි සංවේදී වෙමින් වගකීම් ඉටුකරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවද පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ විශිෂ්ට සේවාව අගයමින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ජ‘පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඇතුළු තුන්දෙනෙකු රිමාන්ඩ්
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඇතුළු තුන්දෙනෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ඔවුන් අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක්,එම රෝහලේ කළමණාකාර සහකාරවරයෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අද (17) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ය.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය උපකරණ වාර්ෂික ඇස්තමෙන්තුවට ඇතුළත් නොකර ,රෝහලේ කාර්ය්‍ය මණ්ඩලය හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ භාහිර ආයතන මගින් එම උපකරණ ලබාගැනීම සඳහා උපදෙස් ලබාදීම යටතේ යි.
එමෙන්ම රෝගි පාර්ශවයට පාඩුවක් හා තමාට හෝ භාහිර පාර්ශවයකට අයුතු සහගත ලාභයක් ලබාගැනීමට එම අයිතම රෝහලේ සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම සම්බන්ධව දූෂණය නම් වරද සිදුකිරීම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන තිබේ.

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ සහ දියණිය අද(18) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේයි.
2024 මාර්තු 14 වැනි දින අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද හිටපු අමාත්‍යවරුන්ගේ වත්කම් බැරකම් විගණනය කර ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළ ව මෙම අත් අඩංගුවට ගැනීම සිදුව තිබෙයි.

සාර්ථක පුරවැසියෙක් කියන්නෙ හොඳ රැකියාවක් කිරීම පමණක් නෙවෙයි - අගමැතිනිය
සාර්ථක පුරවැසියෙක් යනු හොඳ රැකියාවක් කිරීම ම නොව අනෙකාගේ අපහසුතා පිළිබඳ, කාන්තාවන්ගේ කාරණා පිළිබඳ සංවේදී වන පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට අවබෝධයක් ඇති අයෙකු වීම යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ නව යෞවනයේ සනීපාරක්ෂාව පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති වැඩසටහනක දී ය.
එම වැඩසටහනේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...
ගැහැනු දරුවන් යම් අපහසුතාවකට පත් වෙනවා නම් පිරිමි පාර්ශවය ඒ පිළිබඳ සංවේදී විය යුතුයි
සනීපාරක්ෂාව අධ්‍යාපනයට සෘජුවම සම්බන්ධයි කියලා අපි විශ්වාස කරනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මොකක්ද අධ්‍යාපනය, සනීපාරක්ෂාව සමග තියෙන සම්බන්ධය කියලා. සනීපාරක්ෂාව සියලු දෙනාගේම අයිතියක්, සියලුදෙනාට ම අවශ්‍ය දෙයක් සහ දත්ත අනුව පෙන්නුම් කරනවා සනීපාරක්ෂක පහසුකම් හරියට පාසලක් තුළ නොතිබීම නිසා විශේෂයෙන් අඩු පහසුකම් තියෙන පාසල්වල ගැහැනු දරුවන්ට මාසෙකට සැරයක්වත් අධ්‍යාපනය අතපසු වෙනවා.
ඒ වගේම තමයි සමාජය තුළ ඔවුන්ට නිදහසේ අවශ්‍ය පරිදි ගැවසෙන්න තියෙන අයිතිය සීමා වෙනවා. ඒ සනීපාරක්ෂක පහසුකම් හරියට නැතිවීම හේතුවෙන්. ශිෂ්‍යාවන් වන ඔබ විතරක් නෙවෙයි අපි සියලු දෙනාත් මේ අත්දැකීම ඕන තරම් විඳලා තියෙනවා. පාසල තුළ විතරක් නෙවෙයි. පොදු පහසුකම් අවම වීම තුළින් කාන්තාවන් මේ අපහසුතාවට පොදු සමාජයේ දි මුහුණ දෙනවා. සනීපාරක්ෂාව කියන එක අතිශයින්ම වැදගත්.
ඔබ අහන්න පුළුවන් පිරිමි අපිට මොකක්ද මෙතන දැනගන්න තියෙන දේ කියලා. මේක ගැහැනු ප්‍රශ්නයක් නේ ඒගොල්ලොම විසඳ ගත්තම ඉවරයි කියලා. නමුත් ඔබටත් සනීපාරක්ෂක ගැටලු තිබෙනවා. ඒ වගේම ගැහැනු දරුවන් යම් අපහසුතාවකට පත් වෙනවා නම් ඒ පිළිබඳ සංවේදී වෙන්න පිරිමි පාර්ශවයට අවබෝධයක් සහකම්පනයක් තිබිය යුතුයි.
සනීපාරක්ෂාව මූලික අයිතිවාසිකමක්
සාර්ථක පුරවැසියෙක් කියන්නේ හොඳ රැකියාවක් කරන එකම නෙමෙයි. සමාජයේ කිසියම් කෙනෙක් අපහසුතාවයෙන් ඉන්නවා නම් ඒ පිළිබඳ සංවේදීවෙන්න පුළුවන් වෙන්න ඕන. කාන්තාවන්ගේ සංවේදී කාරණාවල දි සහකම්පනයක් ඇති වෙන්න ඕන. ඒ වගේම පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වෙන්න අවබෝධයක් ඔබට තියනවා නම් තමයි ඔබ සාර්ථක. මෙතනින් ආරම්භ කරලා පාසල් මට්ටමින් සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම් අපි සිදු කරනවා. අධ්‍යාපනය කියන එක විශාල මාතෘකාවක්, මේ සමාජයට, මේ ප්‍රජාවට වැදගත් වන, නායකත්වය දෙන්න පුළුවන්, සමාජය තුළ සියලු ම දෙනා සුවපත් කරන්න පුළුවන් ඊළඟ පරපුරක් බිහිකිරීමයි අධ්‍යාපනයෙන් සිදු වෙන්න ඕන.
එකිනෙකා පිළිබඳ ගරුත්වය, එකිනෙකාට සලකන ආකාරය ඇතුළු සියල්ල අධ්‍යාපනය තුළ තිබිය යුතුයි. ඒ නිසා සනීපාරක්ෂාව කියන එක සෞඛ්‍යයට පමණක් සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සනීප ආරක්ෂාව කියන්නේ ඔසප් චක්‍රය පිළිබඳව කතා කරන එකම විතරක් නෙමෙයි. සනීපාරක්ෂාවට අවශ්‍ය පහසුකම් පාසල් තුළත්, පොදු සමාජයක් තුළත් තිබීම මූලික අයිතිවාසිකමක් ලෙස රජය සලකනවා. සනීපාරක්ෂාව හංගන්න ඕන දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් සමාජය මීට වඩා එකිනෙකාට ගරුත්වය තියෙන සමාජ සාධාරණත්වය හා සමානාත්මතාවය තියන, එකිනෙකාව ආරක්ෂා කරන, එකිනෙකාව රැකබලා ගන්න, මනුෂ්‍යත්වයට මුල් තැන දෙන සමාජයක් බවට පත් කළ යුතු යි.''
මෙහි දී නව යොවුන්වියේ සනීපාරක්ෂාව පිළිබඳ විශේෂ දේශනය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අසාන්ති ප්‍රනාන්දු බලපිටිය විසින් සිදු කරනු ලැබුවා ය.
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිලධාරීන් පාසල් සිසුන් ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
(සටහන - ජයසිරි අලවත්ත)

වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක්
ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබාදීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, ආයතනික රැකවරණය හා භාරකරුවන් සන්තකයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000/- ක දීමනාවක් ලබාදීම සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා වන අයවැය මඟින් වෙන් කරනු ලැබ තිබෙන බව සඳහන් වේ.
එහිදී මෙම වැඩසටහන තිරසරව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ පසු විපරම් කටයුතු සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ අනෙකුත් අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රුපියල් 5,000/- ජීවන වියදම් දීමනාවෙන්, රුපියල් 3,000/-ක් භාරකාරීත්වය යටතේ සැලසිය යුතු අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් සුබසාධන වියදම් වෙනුවෙන් දරුවා රැඳී සිටින සංවර්ධන මධ්‍යස්ථානයට හෝ භාරකාරිත්වය දරන්නාට ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ලබාදීම සිදු කෙරේ.
තවද, ඉතිරි රුපියල් 2,000/-ක මුදල දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දරුවාගේ නමින් වූ ඉතිරි කිරීමේ ගිණුමක මාසිකව තැන්පත් කිරීම සිදුකිරීමට ද නියමිතයි.

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතර කෙරේ
ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධමය වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පෙන්වා දුනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්,
"විදේශ රැකියා සඳහා ඊශ්‍රායලයට යන එක තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ. මේ පවතින තත්ත්වය එක්ක ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ අපිට යම්කිසි තීරණයක් ගන්න පුළුවන් වේවී. විශේෂයෙන් ඊශ්‍රායල්වලත් ඉරාන්වලත් ඉන්න අපගේ ජනතාවට අපි කියන්න කැමතී තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යන්න. අවශ්‍ය දුරකථ අංක අපි ලබාදීලා තියෙනවා. ගැටලුකාරී තත්ත්වයක් තියෙනවානම් අපි එක්ක ඒ සම්බන්ධය හදාගන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. අපේ ප්‍රමුඛත්වය අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව."

ජනපති, IMF හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් ඇතුළු දූත පිරිස හමු විය.
ශ්‍රී ලංකාවට මෑත කාලීන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මඟ පෙන්වමින් දැක්වූ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය කෘතඥතාව පළ කළේය.
මෑතකදී එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු පිළිබඳව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 25% ක් පමණ, එක්සත් ජනපදයට අපනයනය කරන බැවින්, එසේ තීරු බදු ඉහළ නැංවීම තුළින් ඇති විය හැකි බලපෑම පිළිබඳවද සඳහන් කළේය. ගෝලීය වශයෙන් පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝග සහ එයින් ඇති විය හැකි අහිතකර ප්‍රතිඵලද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.කෙසේ වුවත්, මෙම අවදානම් ඵලදායී ලෙස කළමනාකරණයටත්, ඒවායේ බලපෑම අවම කිරීමටත් සුදුසු පියවර ගනිමින් සිටින බව ජනපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසට සහතික විය.
ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ පවත්වන වෙළෙඳ සබඳතාව, විශේෂයෙන්ම මෙරට අපනයනවලින් 23%කට යුරෝපා සංගමයේ වෙළඳපොළවලට ප්‍රවේශය ලබා දෙන GSP+ වෙළෙඳ සහනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කිරීමෙන් ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ආ හැකි බව පැවසීය. වත්මන් පාලනය ජනතාව කේන්ද්‍ර කරගත්තක් බවත්, මහජන අභිලාෂයන් සමඟ සමපාත වෙමින් රට ඉදිරියට ගෙන යාමට රජය කැප වී සිටින බවත් ජනපතිවරයා යළි අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේදී තමාව උණුසුම් ලෙස පිළිගැනීම පිළිබඳ ගෝපිනාත් මහත්මිය මෙහිදී ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ අතර, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන දෙකෙහිදීම රජයට ලැබුණු සවිමත් ජනවරම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජයට ශක්තියක් වන බව සඳහන් කළාය.
දැඩි අර්බුදකාරී තත්ත්වයක සිට රටේ ආර්ථික ප්‍රගතිය පිළිබිඹු කරමින් ලබා ඇති ආර්ථික වර්ධනයත්, ඉතා ඉහළ උද්ධමන අගයක සිට පහළ අගයක් දක්වා උද්ධමන අගය අඩු වීමත් පිළිබඳව සඳහන් කළ ඇය පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය ඇගයීමට ලක් කළාය.
එසේම, රජ්‍ය පාලන ප්‍රතිසංස්කරණවලදී රජය ලබා ඇති ප්‍රගතිය අගය කළ ඇය මෙම උත්සාහයන් තිරසාර බවට පත් කිරීමේ සහ පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ක්‍රියාවලියේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවට මෙහිදී ගෝපිනාත් මහත්මිය සහතික වූවාය.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන,
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත් වූවා ය.
නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් වෙනුවට විවෘත ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සභිකයින් 60 දෙනෙකුගෙන් සමන්විත ලේඛනයක්ද සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබීය.
කෙසේවෙතත්, අද (ජූනි 16) කොළඹ මහ නගර සභාවේ පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් ලබා ගනමින් ව්‍රයි කැලී බල්තසාර් නගරාධිපති ධූරයට පත් විය.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඇයට එරෙහිව රහස් ඡන්දයට ඉදිරිපත් වූ රිසා මොහොමඩ් සාරුක්ට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 54ක් පමණි.
කොළඹ මහ නගර සභාවට තරග කළ කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් හිමි කර ගැනීම නොහැකි වීම හේතුවෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් අද (ජූනි 16) පැවති මංගල සභා වාරයේදී ඉදිරිපත් වූ නාම යෝජනා අතරින් වැඩි ඡන්ද ගණනක් ලබා ගෙන කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය බවට පත් වීමට ඇයට හැකි විය.
ව්‍රායි කැලී බල්තසාර්: ඉතිහාසය වෙනස් කරමින් කොළඹ නගර සභාවට තේරී පත් වූ දෙවන පුරපතිනියයි.
1985 වසරේ අප්‍රේල් මස 10 වන දා උපන් ව්‍රායි කැලී බල්තසාර් කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබේ.
උසස් පෙළ අවසන් කිරීමෙන් අනතරුව ඇය විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් මෝස්තර නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධියක් ලබා ගෙන ඇත.
එමෙන් ම ඇය කාන්තාව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ, පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරිනියක ද වේ.
ඇය තවදුරටත් එම විෂය යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රාපති උපාධියක් ද හදාරමින් සිටී.
මෙතෙක් පැවති පුරපති සටන අවසන් කරමින් ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක් වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය යි.
නගරාධිපති ධූරය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තිඹිරිගස්යාය කොට්ථාසය ජය ගත් ව්‍රායි කැලී බල්තසාර්ගේ නම යෝජනා වූ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් රිසා සාරුක්ගේ යෝජනා විය.
මෙතෙක් වැඩි ම කාලයක් කොළඹ මහ නගර සභාවේ බලය හෙඹ වූ එක්සත් ජාතික පක්ෂයට එහි පාලන බලය ගිලිහී යාම ද මෙවර සිදුවූ තවත් සුවිශේෂි සිදුවීමකි.

දයා ගමගේට අයත් කෝටි ගණනක දේපළ වෙන්දේසි වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ ට අයත් බව කියන ආයතන තුනක් ජූලි 2 දා උදෑසන 10 ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ.
කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරමින් මෙලෙස දැනුම් දී ඇත.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු දස කෝටි හතළිස් දෙලක්ෂ විසිනව දහස් තුන්සිය හතළිස් දෙකක (104,229,342) මුදලක් අයකර ගැනීමේ අරමුණෙන් මෙලෙස ප්‍රසිද්ධ වෙන්දේසි කිරීමකට තීන්දු කර තිබේ.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අය විය යුතු දසකෝටි අසූතුන් ලක්ෂ නවදහස් තුන්සිය හතළිස් දෙකක (108,309,342) මුදලින් රුපියල් හතළිස් ලක්ෂ අසූදාහක (4,080,000) පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති නිසා ඉතිරිය අය කරගැනීමේ අරමුණින් 2022 නොවැම්බර් 10 ලබා දුන් නඩු තීන්දුව අනුව මෙලෙස වෙන්දේසි කරන බව දැනුම් දී තිබේ.
දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව ඇතැයි එම ප්‍රසිද්ධ දැන්වීමේ පළ කර තිබේ.
( deshaya.lk | ගයාන් ගාල්ලගේ)

පෞද්ගලික සරසවි උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය ගැන සමාලෝචනයක් සිදු කරනවා – අගමැති
පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේදී, ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසයි.
ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමින් සමාලෝචන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.
අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) වන දින ගුරු-විදුහල්පති සමිති සන්ධානයේ නියෝජිතයන් සමඟ ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවක් අමතමිනි.
මෑතකාලින ලබා දුන් අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරු පත්වීම් නව රජය බලයට පත් වීමට පෙර අනුමත වූ පත්වීම් බවත්, එම පත්වීම් ලබා දී ඇත්තේ ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව බවත් අගමැතිනිය සඳහන් කළාය.
එසේ වුව ද එලෙස ලබා දුන් පත්වීම් පිළිබඳව ද, රජයේ අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාලවල සහ අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනවේදි උපාධියේ ගුණාත්මකභාවයද නැවත සමාලෝචනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමින් කටයුතු ආරම්භ කර ඇති බව අගමැතිනිය පැවසුවාය.
මෙම සමාලෝචන ක්‍රියාවලියට අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාමාර්ග ගන්නා බවයි ද ගුරු – විදුහල්පති නියෝජිතයන් හමුවේ අගමැතිනි සඳහන් පැවසීය.
එම සාකච්ඡාව සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් අමල් එදිරිසූරිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

ඉරාන ජනපතිගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්
මධ්‍යම ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ඉරානය නවතම මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
ඉරාන ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
එමෙන්ම ඉරාන ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලයේ හයිෆා තෙල් පිරිපහදුව ආසන්නයේ දැවැන්ත ගින්නක් හට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන් අත්හිටුවීමක් සිදු නොකළ හොත් ඉතා දරුණු ප්‍රතිචාරයන්ට ඊශ්‍රායලයට මුහුණදීමට සිදුවන බවට ඉරාන ජනාධිපතිවරයා අනතුරු අඟවයි.
කෙසේ වුව ද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඊශ්‍රායලය නිවේදනය කරයි.
ඊශ්‍රායලය ඊයේ එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ටෙහෙරානයේ ෂහ්රාන් ඛනිජ තෙල් ගබඩාවට හානි සිදුවූ බව ඉරාන ඛනිජ තෙල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
Page 3 of 474