පුවත්

මෙරට හෙද හෙදියන්ට සිංගප්පුරුවේ රැකියා අවස්ථා !
මෙරට හෙද හෙදියන් සඳහා සිංගප්පූරු රජයේ රෝහල්වල රැකියා අවස්ථා හිමිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන අතර එහි පළමු කණ්ඩායමට අයත් 36 දෙනෙකු මැයි 17 වනදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බවත් සඳහන් වෙයි.
මෙරට පුහුණු හෙද හෙදියන්ට සිංගප්පූරු රජයේ රෝහල්වල රැකියා සඳහා යොමුවීමට මේ වනවිට අවස්ථාව හිමිවී ඇති අතර හෙද වෘත්තිය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ සේවා පළපුරුද්දක් ඇති වෘත්තිකයින්ට මෙන්ම රජයේ හෙද පාසල්වල පුහුණුව ලබා සේවා පළපුරුද්දක් සහිත හෙදියන්ට ද සිංගප්පූරු රජයේ රෝහල්වල හෙද වෘත්තිය සඳහා ප්‍රවේශවීමට අවස්ථාව හිමිව තිබේ.
ගාස්තුවකින් තොරව එම රැකියා සඳහා ප්‍රවේශවීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලැබෙන අතර අයදුම්කරුවන් සිංගප්පූරු රාජ්‍යයේ හෙද මණ්ඩලය විසින් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයෙන් සමත් විය යුතු බවත් සඳහන්ය.
ඉන් සුදුසුකම් ලබන හෙද වෘත්තිකයින්ට වසර දෙකක ගිවිසුම් ගත කාලයක් සඳහා මසකට රුපියල් ලක්ෂ තුනහමාර සහ ලක්ෂ 05 අතර ආසන්න වැටුප් ලැබීමට හැකි බව අදාළ බඳවා ගැනීම් සිදුකරන මෙරට රැකියා නියෝජිත ආයතනය පවසයි.
රැකියා ලාභීන් එරටට ඇතුළු වු පසු එක් වරක් පමණක් ගෙවන සිංගප්පූරු ඩොලර් 1000ක මුදලක් සහ නවාතැන් සඳහා දීමනාවක් හිමිවන බවද බඳවා ගැනීම් සිදුකරන ආයතනය පවසා සිටී.
සිංගප්පූරුවේ හෙද වෘත්තිය සඳහා ගාස්තුවකින් තොරව ප්‍රවේශවීමට අයදුම්කරුවන්ට අවස්ථාව හිමිවන අතර, ඒ සඳහා www.emeraldislemanpower.com යන වෙබ් අඩවියට පිවිසීම මගින් අයදුම් කළ හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

රාජ්‍ය සේවයට වැය කරන ට්‍රිලියන 1.4න් ප්‍රතිලාභයක් තියෙනවාද ? - හිටපු මුදල් ඇමති රවී
ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවක සේවිකාවන් නඩත්තු කිරීම සඳහා අවුරුද්දකට වැය කරන රුපියල් ට්‍රිලියන 1.4 ට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට-ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් ලැබෙනවා ද යන්න පිළිබඳව ජනතාව සිතිය යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කර සිටියි.
රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයට අභියෝග කර යළි ගොඩනැගීම වෙනුවෙන් සිදුවිය යුතුවම ප්‍රතිසංස්කරණ මෙන්ම එහි අරමුණ කුමක් වියයුතුද යන්න සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
"අද රාජ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ 17ක් සිටිනවා. රටේ බදු ගෙවන ජනතාවගේ මුළු ආදායමෙන් 76% ඉක්මවා යන්නේ මේ ලක්ෂ 17 නඩත්තු කිරීමටයි. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් ට්‍රිලියන 1.4ක්... මෙහි ප්‍රතිලාභ සැබෑ ලෙස ලැබෙනවා ද කියා ජනතාව සිතිය යුතුයි.
ඒ විතරක් නොවෙයි...ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් එයාර් සහ ජාල සම්පාදන මණ්ඩලය වැනි ආයතන ගෙවුණු අවුරුදු හතර ඇතුළත බිලියන 1350ක අලාභයක් ලබා තිබෙනවා. මේ සල්ලිවලින් ඔබටත් අපටත් ලාබයක් ලැබී නැහැ. මේ සල්ලි ටික ඉතුරු කළා නම් ගෙවල් ලක්ෂ 12ක් හදන්න තිබුණා. ඒ වගේම සෑම පුද්ගලයෙකුටම රුපියල් 178000ක් ඉතුරු කර ගැනීමට තිබුණා.
මුල්‍ය විනයක් නොමැතිව කටයුතු කර ඒ සල්ලි නාස්ති කරලා...මේ සියල්ල නොමිලයේ ලබා දීමේ ප්‍රතිවිපාකයි.
ආදායමට වඩා වියදම් කරලා බංකොලොත් නොවී රටක් ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද..? අපට අවශ්‍ය වන්නේ රටේ දූ දරුවන්ට අදට වඩා හොඳ හෙට දවසක් නිර්මාණය කර දීමටයි."

මුදල් ගැරූ විදුහල්පතිට සුපිරිම ස්ථාන මාරුවක් !
පාසලට සිසුන් අතුළත් කිරීමේදී රුපියල් ලක්ෂ 76ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇතැයි කියන කොළඹ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකු එම පාසලෙන් ඉවත් කර කොළඹ අධ්‍යාපන කලාපයේම අතිරේක අධ්‍යක්ෂවරයකු ලෙස අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.
එම විදුහල්පතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන අතරේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කළ බව ද පසුව ඔහු කොළඹ අධ්‍යාපන කලාපයට මුදාහැර ඇති බවද දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමය චෝදනා කර සිටින්නේ මෙම විදුහල්පතිවරයා සේවය කළ විදුහලත් කොළඹ අධ්‍යාපන කලාපයට අයත්ව තිබෙන හෙයින් ඔහු එම කලාපයට අනුයුක්ත කිරීම, පරීක්ෂණ යටගැසීමේ කුමන්ත්‍රණයක් බව පවසමිනි.

ආසියාවේ සමගියට බාධා වන කිසිවකට ලංකාවේ අනුබලයක් නෑ - ජනපති
ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් තිබෙන බවත් එම වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඉදිරි දශක දෙක තුළදී ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙන යාමට නම් නොබැඳි ප්‍රතිපත්තිය, පංචශීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගත යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ආසියාවේ ඉදිකළ ප්‍රථම සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (10) පස්වරුවේ පැවති උත්සවයට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
නොබැඳි ප්‍රතිපත්තිය, පංචසීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා හැකියි. එම පොදු කරුණු අදටත් වලංගු වෙනවා. මෙම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසියාවේ සමගිය සම්බන්ධයෙන් පෙන්වාදිය හැකි හොඳ උදාහරණයක් බව කිවයුතුයි.
මෙය අපට ලැබුණේ ත්‍යාගයක් ලෙසයි. ආසියාවේ පවතින සමගිය අප මෙලෙසින්ම ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් මම කියන්න කැමතියි. ලෝක බල අරගලයේ දී අසමගියට පත් කළ නොහැකි වී ඇත්තේ ඉන්දියානු සාගරයේ රටවල් පමණක් බවත් මෙහිදී සිහිපත් කළයුතුයි.
ලෝක බලවතුන් වීමේ අභිලාෂයෙන් ඇතැම් කණ්ඩායම් පැසිෆික් සාගරයේ රටවල් අතර සමගිය යටපත් කරමින් යුදමය තත්ත්වයකට ඇද දමා තිබෙනවා. එය ඉන්දියානු සාගරයට පැමිණීම වැළැක්වීමට අප එක්ව කටයුතු කළ යුතුයි. එමෙන්ම ආසියාවේ සමගිය බිඳ හෙලීමට කිසිදු අයුරකින් ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ද මම අවධාරණය කරනවා.
ශ්‍රී ලංකාවේ හමුදාව අප්‍රිකානු කලාපයේ සහ වෙනත් රටවල රාජකාරියේ යොදවා තිබෙනවා. එම රටවල ආරක්ෂාව තහවුරු කර ගැනීමට මෙන්ම මුහුදු මංකොල්ල කරුවන්ගෙන් එම රටවල් මුදවා ගැනීමට අපේ හමුදාව පුළුල් දායකත්වය සපයනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැංහොන්ග් Qi Zhenhong, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට , ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ , ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ සුනිල් දිසානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුංචි ජන්දයට දිනයක් නෑ : කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි !
පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මෙතෙක් දිනයක් නියම කර නැති බවත් මුදල් ලැබුණහොත් හෝ අධිකරණයෙන් නියෝගයක් ලැබුණහොත් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා වහාම දිනයක් නියම කරන බවත් මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද (11) දැනුම් දුන්නේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් තබන්නැයි ඉල්ලා විශ්‍රාමික කර්නල්වරයකු ගොනු කෙට ඇති පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙනන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරීස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම දැනුම්දීම සිදුකළේය.
පෙත්සම කැඳවනු ලැබු අවසස්ථාවේ ඉදිරිපත් වු කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සැප්තැම්බර් මස 04 වැනිදා සළකා බැලීමට දින නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ ඒ.එච්.එම් නවාස් යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.
විශ්‍රාමික යුද හමුදා කර්නල් WMR විජේසුන්දර ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතු`ථ පිරිසක්නමම් කොට ඇත. පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකාර මැතිවරණ කොමිසම වෙනවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරීස් කරුණු ඉදිරිපත් කරමින් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා දිනයක් නියම කර නැතැයි පැවසීය.
පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මුදල් ලැබුණහොත් හෝ අධිකරණයෙන් නියෝගයක් ලැබුණහොත් වහාම මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කරන බව ජනාධිපති නීතීඥ සාලිය පීරීස් වැඩිදුරටතත් දැනුම් දුන්නේය.

ගිනිගත් නැව්වල වන්දි ගැන : ප්‍රසන්න - ගොඩහේවා ඇවිලෙති !
මෙරට සාගර තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් හා නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙක සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මීපා (MEPA) ආයතනය දැනුවත් නොකර නිව් ඩයමන්ඩ් නැව නිදහස්කිරීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවයි.
එබැවින් එම නැව නිදහස්කිරීම සම්බන්ධයෙන් එවකට අමාත්‍යංශය ගැසට්කර තිබූ අමාත්‍යවරයා වගකිවයුතු බවද අමාත්‍යවරයා කීය.
එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට අද (11) සහභාගී වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කතාව මෙසේය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු කථානායකතුමනි, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයක් ඉල්ලුවේ විරුද්ධ පක්ෂයෙන්. පළමු අවස්ථාවේ දී අපි එක් දින විවාදයකට අවස්ථාව ලබා දුන්නා. ඊට අමතරව අඟහරුවාදා පසුගිය 09 පැවැත් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී විපක්ෂය දින 02ක් මෙම විවාදය සඳහා ඉල්ලා සිටියා. අපි විපක්ෂයේ එම ඉල්ලීමටත් එකඟ වුණා.
මේ විවාදයට ආණ්ඩුවක් විදියට අපි කොයි මොහොතේවත් විරුද්ධ වුණේ නෑ. ගරු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා නීතීඥයෙක් වශයෙන් හා අධිකරණ ඇමතිවරයා වශයෙන් එතුමා එතුමාගේ අදහස පාර්ලිමේන්තුවේ දී රීති ප්‍රශ්නයක් මතු කරමින් ඉදිරිපත් කළා. එතුමා කියා සිටියේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ වන ඇතැම් කරුණු නඩුවට බලපාන්න පුළුවන් බවයි. නඩුවට බලපාන කරුණු කතා කරන්න එපා කියන එකයි එතුමා මතු කළේ.
මේ සම්බන්ධයෙන් විපක්ෂය නඩුවක් පවරන්න හදනවා. අපි ඒකට කැමතියි.නමුත් විපක්ෂයට ඕන කළා මේ විවාදයෙන් ආණ්ඩුව විවාදයෙන් පලා යන්න උත්සාහා දරනවා කියලා සමාජ මතයක් හදන්න. අපි විවාදයට විරුද්ධ නම් මුලින්ම අපි විරුද්ධ වෙනවා. අපට හංගන්න දෙයක් නෑ. මේ පිළිබඳව අපි තේරීම් කාරක සභාවක් යෝජනා කළේ මේ පිළිබඳ තොරතුරු හොයලා බලලා ජනතාව දැනුවත් කරන්නයි. වැරැද්දක් කරල තියෙනවනම් ඒ ගැන කතා කළ යුතුයි.
අධිකරණ ඇමතිතුමාට එම නීති තර්කය ගේන්න පසුබිම් වුණු හේතුවක් තිබුණා. ඒ තමයි ආංශික කාරක සභාවේ දී එම කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා කටයුතු කරපු ආකාරය. නැව් සමාගමේ නීතිඥයෝ හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් එකට වාඩි කරවලා නඩුවේ තොරතුරු පිළිබඳව හරස් ප්‍රශ්න අසා තිබෙනවා. ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් ලබා ගත්තා කියලා අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබෙනවා. මීට අමතරව විජිත හේරත් මහතාත් මෙවැනිම චෝදනාවක් කළා.
විජයදාස ඇමතිතුමා තමන්ට ලැබුණු තොරතුරු පිළිබඳව රහස් පොලිසියට පැමිණිලි කළා. හැබැයි අජිත් මාන්නප්පෙරුම මහතාවත්, විජිත හේරත් මහතාවත් මේ පිළිබඳව කිසිදු පැමිණිල්ලක් රහස් පොලිසියට ඉදිරිපත් කරලා නෑ. මම කියන්නේ තම තමන් ළඟ තියෙන තොරතුරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්න. රහස් පොලීසියට පැමිණිලි කරන්න. අපි ළඟ තියෙන තොරතුරුත් දෙන්නම්.
ඒ නිසා ජනතාව අහනවා මේ විවාදය කරන්නේ නඩුවේ තොරතුරු එළියට ගන්න ද කියලා. මේ අපි නෙවෙයි කියන්නේ. ජනතාව අහන ප්‍රශ්න. මම එහෙම හිතන්නෙ නැහැ. මේ ලැබෙන මුදල ඉතා විශාලයි. මේ වෙලාවේ මේ වන්දි මුදල අපිට ඉතා වැදගත්.
මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳව විපක්ෂ නායකතුමා ස්ථාවර නියෝග 27/2 යටතේ අවස්ථා 02ක දී ප්‍රශ්න කළා. ඒ 2022 නොවැම්බර් 30, 2023 අප්‍රේල් 25.ප්‍රශ්නවලට විෂයභාර ඇමතිවරයා විදියට අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිතුමා ඒ අවස්ථා දෙකේ දීම පිළිතුරු ලබා දුන්නා.
විපක්ෂ නායකතුමා ප්‍රශ්න කරනවා MEPA එක UDA යටතේ තිබීම විද්‍යාත්මක ද කියලා. ආයතන ගැසට් කරන්නේ ජනාධිපතිතුමා. මම අහන්න කැමතියි නිවාස අමාත්‍යාංශය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල තිබුණේ මොන විද්‍යාත්මක පදනමින් ද කියලා. යම් සංශෝධනයක් කරල මේක ගන්නවට අපි විරුද්ධ නැහැ. මම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක. මට තියෙන වැඩත් එක්ක මට මීපා ආයතනය බරපතළ වැඩියි.
ඒ අනුව මගේ අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් ඉන්නවා. ඒ අරුන්දික ප්‍රනාන්දු ඇමතිතුමා සහ තේනුක විදානගමගේ ඇමතිතුමා. මේ ඇමතිවරුන්ට මම විෂයන් බෙදලා ඒ වගකීම පවරලා තියෙන්නේ.
ඒ නිසා තමයි විපක්ෂ නායකතුමාගේ 27/2 ප්‍රශ්නවලට වගේම අයවැය විවාදවල දී, අදාල වැය ශීර්ෂවල දී ඒ අමාත්‍යවරු උත්තර දුන්නේ. විපක්ෂයේ නායකතුමා ඊයේ එතුමාගේ කතාවෙ දි කිව්වා මේක එක නැවක් නෙවෙයි. නැව් 02ක් කියලා. නැව් 02 සිද්ධි 02ක් වාර්තා වෙනවා. එකක් නිව් ඩයමනඩ් නැමති පැනමා ධජය යටතේ ලියාපදිංචි කර තිබූ නැගෙනහිර පළාතේ ගිනිගත් තෙල් නැව.
දෙවෙනි එක අපි මේ විවාද කරන සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි කර තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව. සමහරු මේ 02 පටලෝගෙන තියෙන්නේ.
ගරු කථානායකතුමනි, ගෝඨාභය ජනාධිපතිතුමා මේ විෂය මට පවරපුවාම මුලින්ම මම කළේ මේ නැව් 02 පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමිය ගෙන්වලා කරුණු විමසීම් කරන එක. මොකද ඒ වෙද්දිත් මේ නැව් 02 පිළිබඳව සමාජය තුළ විශාල කතාබහක් ඇතිවෙලා තිබුණා. එතනදි තමයි මම දැනගත්තේ නිව් ඩයමන්ඩ් නෞකාව කිසිදු ඇප මුදලක් නැතුව නිදහස් කර ඇති බව. එම නිසා මම ඒ පිළිබඳව සභාපතිතුමියගෙන් වාර්තා කැඳවා තිබෙනවා. නිව් ඩයමන්ඩ් නැව මොන පදනමකින් නිදහස් කළාද කියල අපිටත් බරපතළ සැකයක් තියෙනවා. ඒ ගැන මේ අමාත්‍යංශය ගැසට් වෙලා තිබුණු ඇමතිවරයා වගකිව යුතුයි.
( විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කෑ කෝ ගැසීම්)
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – එතුමා දැන් ඉන්නේ ඔය පැත්තේ. ඔබතුමන්ල හදන්නේ එතුමා රකින්නයි.
මෙම නිව් ඩයමන්ඩ් නෞකාව නිදහස් කිරීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මේ ගැනත් හොයලා බලන්න ඕන. මම යෝජනා කරනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ තේරීම් කාරක සභාවට සංශෝධනයක් විදියට නිව් ඩයමන්ඩ් නෞකාව පිළිබඳව සොයා බලන්න කියලා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට නඩු පැවරීම සම්බන්ධයෙන් ඇති ප්‍රමාදය පිළිබඳව එහි දී මට තොරතුරු අනාවරණය වුණා.
මුලින්ම මෙම අනතුර පිළිබඳව විමර්ශනය කරන විශේෂඥ කමිටුව මම හමුවුණා. දැනගන්න නොදන්න අයට මම මේ කියන්නේ. මේ විශේෂඥ කමිටුවට අඩුම තරමේ කැබිනට් අනුමැතිය ලැබිලා තිබුණේ නෑ. එම විශේෂඥ කමිටුවට කැබිනට් අනුමැතිය ගත්තේ මම. ඒකට නීතිමය බලයක් පවරන්න කටයුතු කළේ මම.
මම MEPA එකේ සභාපති ඇතුළු නිලධාරින්ට, විශේෂඥ කමිටුවට දුන්නු උපදෙස් තමයි නීත්‍යානුකූලව කටයුතු කරන්න. නීති නැත්තම් නීති හදන්න. මෙවැනි අනතුරක් නැවත සිදු නොවෙන්න හා සිදු වුණොත් කළ යුතු කඩිනම් පියවරයන් පිළිබඳව ප්‍රතිපත්ති රාමු හදන්න කියලා.
මීට අමතරව මේ නැව් අනතුරු 02 සම්බන්ධයෙන් අනතුර සිදු වූ කාලවල දී සමාජ මාධ්‍යවල විශාල තොරතුරු හුවමාරු වුණා. ඒ තොරතුරු හුවමාරු කරපු සමහර අය නාවුක ක්‍ෂෙත්‍රය පිළිබඳ අත්දැකීම් ඇති ප්‍රවීණයන්. ඒ අයගේ කණ්ඩායම් 02ක් මම අමාත්‍යාංශයට කැඳවලා ඔවුන්ගේ අදහස් විමසුවා. ඒ විතරක් නෙවෙයි ඇමතිවරයා විදියට MEPA ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයන් දෙදෙනෙක් පත්කිරීමේ හැකියාව මට තියෙනවා. එම තනතුරු දෙක සඳහා පළපුරුදු පුද්ගලයන් දෙදෙනෙක් මම නම් කළා.
එයින් එක්කෙනෙක් තනතුර ප්‍රතික්ෂේප කළා. එක්කෙනෙක් ඒ තනතුර භාර අරගෙන දැන් වැඩ කරගෙන යනවා. මීට කලින් හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් පිළිබඳව හොයලා බලන්න කියලා මම යෝජනා කරනවා.
ගරු කථානායකතුමනි, 2022.06.08 වෙනි දා MEPA එකේ නිලධාරින් සමඟ පෞද්ගලිකව මම නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මෙම නඩු කටයුත්ත පිළිබඳව සාකච්ඡා කළා. මම ඒ අවස්ථාව උදා කරගත්තේ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා සමඟ පුද්ගලිකව සාකච්ඡා කරලා. එතුමා ඒකට සාක්ෂි දරනවා.
නිව් ඩයමන්ඩ් නෞකාවට නඩු පැවරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා ගණනාවක් පවත්වලා ඒ නඩු පැවරීම්වලට අවශ්‍ය පියවර ගත්තා. මම මේ වෙද්දි මෙම නෞකා 02 සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා 04ක් ඉදිරිපත් කරලා අනුමත කරන් තිබෙනවා. මම ඒවා සභාගත කරනවා.
සමහර අය දැන් අහනවා MEPA එක කෙලින්ම නඩු දැම්මේ නැත්තේ ඇයි කියලා. මේ අනතුරේ MEPA එකේ වන්දිය හා හානිය සමස්ත වන්දියෙන් එක් කොටසක්. එහෙම නම් මෙම අනතුර නිසා හානි වූ හැම පාර්ශ්වයක්ම වෙන වෙනම නඩු දාන්න වෙනවා. සාගරය දූෂණය වීම නිසා – MEPA එකෙන්, කැස්බෑවන් වැනි ජීවින් නිසා – වනජීවි එකෙන්, ධීවරයන්ට වූ පාඩුව නිසා – ධීවර අමාත්‍යාංශයෙන්, වායු දූෂණය නිසා – පරිසර අමාත්‍යාංශයෙන්, සංචාරක ව්‍යාපාරයට බලපෑ නිසා – සංචාරක අමාත්‍යාංශයෙන්… මේ ආකාරයට විවිධ ආයතනවලින් විවිධ නඩු දාන්න සිද්ධ වෙනවා. එහෙම නොහැකි නිසා තමා එවකට අධිකරණ ඇමතිව සිටි අලි සබ්‍රි ඇමතිතුමාට මෙම සියලුම අංශ සම්බන්ධීකරණය කරලා අවශ්‍ය නීතිමය පියවර ගන්න සහාය වෙන්න කියලා වගකීම පැවරුවේ.
සජිත් විපක්ෂනායකතුමා දැන් චෝදනා කරනවා ජනාධිපති කාර්යසාධන බලකායක් පත් නොකළේ ඇයි කියලා. නම වෙනස් වුණාට අලී සබ්‍රි ඇමතිතුමාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වුණේ එවැනි කාර්යසාධක කටයුත්තක් තමයි. මුල් සාකච්ඡාවට එතුමාත් සහභාගි වුණා. චරිත හේරත් මන්ත්‍රීතුමා කියනවා ලේකම් කාර්යාලයක් පිහිටවන්න තිබ්බා කියලා. මේ කමිටුවෙන් සිදු වුණෙත් ඒ දේම තමයි.
මේ නඩුව ජාත්‍යන්තර අධිකරණයක පැවරිය යුතුයි කියලා සාකච්ඡා වුණේ අලි සබ්‍රි ඇමතිතුමගේ කාලයේ. නීතිය පිළිබඳ විශාරදයින්ගේ යෝජනාවල් සැලකිල්ලට ගෙන තමයි එවැනි සාකච්ඡාවක් පැවැත්වුණේ. අලි සබ්‍රි ඇමතිතුමාගේ හෝ විජයදාස රාජපක්ෂ මහතාගේ තනි මතයකට නොවේ මෙම නඩුව සිංගප්පූරු අධිකරණයේ විභාග වෙන්නේ. ඒ තීරණය ගත්තේ කැබිනට් මණ්ඩලයයි.
අධිකරණ ඇමතිතුමා පුන පුනා කිව්වා නඩුවට අගතියක් වෙන දේවල් සාකච්ඡා කරන්න එපා කියලා. එහෙම තියෙද්දි විපක්ෂ නායකතුමා ප්‍රශ්න කරනවා රටවල් 02කින් ප්‍රතික්‍ෂේප කරපු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ මුහුදු සීමාව ඇතුලට ගන්න අවසර දුන්නේ කවුද කියලා. මම අහන්න කැමතියි මේ ප්‍රකාශය නඩුවට අගතියක් නෙවෙයි ද කියලා. මෙවැනි ප්‍රකාශ බොහෝ මේ ගරු සභාවේ දී ඊයේ කියවුණා.
කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවතුනු හදිසි පක්ෂ නායක රැස්වීමේ දී එකඟ වුණේ නඩුව ගැන කතා නොකර සමුද්‍රීය පරිසර හානිය පිළිබඳ විවාදය පවත්වන්න. විපක්ෂ නායකවරයා එම සාකච්ඡාවේ දී පැහැදිලිව ප්‍රකාශ කළා මෙම විවාදය ඉල්ලන්න හේතුවත් පරිසරයට ඇති තර්ජනය පිළිබඳව සාකච්ඡා කරන්න කියලා. නමුත් අපේ ගරු මන්ත්‍රීවරුන් කතා කළේ මොනව ද?
ඒත් නාවුක අනතුරක් සිදු වුවහොත් අපගේ MEPA ආයතනයට මෙවැනි සමුද්‍රීය පරිසර හානි වාර්තා කිරීමේ ක්‍රමවේදයක් තිබිලා නෑ. නිව් ඩයමන්ඩ් නෞකා අනතුරෙන් පසු තමා එවැනි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙන්නේ.
ඒ විතරක් නෙවෙයි International Maritime Organization – IMO ආයතනයට අපි ඉල්ලීමක් කලා ප්ලාස්ටික් පැලට් හානිකර ද්‍රව්‍යයක් ලෙසට වර්ගීකරණය කරන්න කියලා.
අපේ යෝජනාව අනුව නෞකාවලින් ප්ලාස්ටික් පැලට් ප්‍රවාහනය කිරීමේ දී අදාල නෞකා සමාගම් විසින් පිළිපැදිය යුතු නිර්දේශ පිළිබඳ චක්‍රලේඛයක් සකස් වෙමින් පවතිනවා. බොහෝවිට එය 2024 දී මෙම මඟපෙන්වීම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එවැනි ජාත්‍යන්තර මඟපෙන්වීම එකක් සකස් වෙන්නේ අපේ රටේ යෝජනාවකට අනුවයි. මීට අමතරව MEPA පනත සංශෝධනය කිරීමට මේ වෙද්දි අපි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් යනවා.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම(ස.ජ.බ)- ඔබතුමා නැත්නම් නිව් ඩයමන්ඩ් නඩුව පැවරෙන්නෙත් නැහැ. ඒකට මම ස්තූතිවන්ත වෙනවා. කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් මම ඔබතුමාට ගරු කරනවා. මගේ පරිසර ආංශික කමිටුවට කැබිනට් ඇමතිවරයා වශයෙන් ඔබතුමත්, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මැතිතුමත් සහය ලබාදුන්නා. මේ නඩුවේ පැමිණිල්ලේ පිටපත්ක පාර්ලිමේන්තුවට ගන්න බැරිද.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – මම ඒ ගැන හොයල බලන්නම්.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා (ශ්‍රී.පො.පෙ) – ගරු ප්‍රසන්න ඇමතිතුමනි, මං අහගෙන හිටියා ඔබතුමාගේ කතාව. එම කතාවේ එක කාරණයක් ගැන පමණක් මට මතයක් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඔබතුමා කතා කළා නිව් ඩයමන් නැව ගැන. එම නැව නිදහස් කිරීම සම්බන්ධයෙන් ඒ වෙලාවේ විෂය භාර ඇමතිවරයා වග කියන්න ඕනි කියලා. අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා සභාගත කරලා හැන්සාඩ් ගත කරලා තියෙනවා එම නැව නිදහස් කළේ ඒ වෙලාවේ විදේශ ලේකම්වරයා ලෙස හිටපු ජයනාත් කොළඹගේ මහතා විසින් දුන්න නියෝගයක් අනුව කියලා. එම නියෝගය එතුමා කියෙව්වා. එහි ඉතාම පැහැදිලිව තිබෙනවා, විදේශ ලේකම්වරයා කියනවා මෙම නැව නිදහස් කරන්නේ ඉදිරියේදී මුහුද රළු වුනොත් එන්න පුළුවන් අනතුරුදායක තත්ත්වයක් තිබෙන නිසා ජනාධිපතිතුමාගේ ඩිරෙක්ෂන් එකක් අනුව මෙය නිදහස් කරන්න කියලා නාවික හමුදිපතිට නියෝග කරලා තිබෙනවා. මම මේක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙනුත් ඇහුවා, එතුමා එය තහවුරු කළා. මම කිසිම වෙලාවක නැව යවන්න කියලා කිවුවේ නැහැ. නැව යවලා තිබෙන්නේ නාවික හමුදාවට දීපු නියෝගයක් අනුව. එතුමත් ඒකට වගකීම ගන්නේ නැහැ. නියෝගය දීලා තියෙන්නේ විදේශ ලේකම්වරයා විසින්. ගරු ඇමතිතුමනි, ඇමතිවරයෙක් මේකට වගකීම ගන්න ඕනි නම් මම හිතන්නේ ඔබතුමා අහන්න ඕන ඔබතුමා ලග ඉන්න දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගෙන්. මොකද එතුමා තමයි එවකට විදේශ ඇමතිවරයා. විදේශ ලේකම්වරයා කටයුතු කරන්නේ විදේශ ඇමතිවරයාගේ උපදෙස් අනුවයි. විදේශ ඇමතිවරයාගේ උපදෙස් නැතුව විදේශ ලේකම්වරයා කටයුතු කළා නම් ඒ ගැන විමර්ශනයක් පවත්වන්න. මම වෙරළාරක්ෂක රාජ්‍ය ඇමති. මම පත්වෙලා සති 2 කින් තමයි මේක වෙන්නේ. ජනාධිපතිතුමා මේකට නාවික හමුදාව සමග සෘජුවම සම්බන්ධ වෙලා වැඩ කළා මිස, රාජ්‍ය ඇමතිවරයෙකුට බලයක් නැහැ විදේශ ලේකම්වරයාට උපදෙස් දෙන්න. මට කිසිම බලයක් තිබුනේ නැහැ. මම වරාය ඇමති නෙමෙයි. ඒකට කමිටියක් පත් කරනවා නම් අපි ඒකට සම්පූර්ණ සහය ලබා දෙනවා. චරිත ඝාතන කරන්න එපා.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමා කියපු සමහර කරුණු ගැන මම එකගයි. විදේශ අමාත්‍යංශයෙන් එවපු ලිපියක් මත මීපා ආයතනය නීතිපති දෙපාරතමේන්තුවට යොමු කළ ඊමේල් පණිවිඩ මම ළග තිබෙනවා. මීපා ආයතනයට ඒ වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා තිබ්බේ ඩිපොසිට් එකක් තියාගෙන එය සිදු කරන්න කියලා තමයි. එහෙම කියලා තියෙද්දි එම කාරණාව සම්බන්ධව නීතිපති දෙපාරතමේන්තුවෙන් කියලා තිබුණා නැව නිදහස් කරනවා නම් කරන්න පුළුවන් මීපා ආයතනයේ නියෝගයක් මත පමණයි කියලා. ඒ ආව ඊමේල් පණිවිඩය සෑම තැනකටම යවන්න එවකට හිටපු සභාපතිතුමිය කටයුතු කරලා තිබුණා. එහෙම තියෙද්දි මීපා ආයතනය දැනුවත් නොකර මේ නැව නිදහස් කරලා තියෙනවා කියලා තොරතුරු දැන ගත්තම සභාපතිතුමිය ඔබතුමාව දැනුවත් කරලා තියෙනවා. මම ගාව ඒවගේ වාර්තාවල් තිබෙනවා. ඔබතුමා කියලා තියෙනවා නිදහස් කරලා තියෙනවා නම් අපිට කරන්න දෙයක් නැහැ කියලා. මං ගාව රේකෝඩින් තියෙනවා. ඕනි නම් අහන්න දෙන්න පුළුවන්. ඔබතුමා කියන්න නැව නිදහස් කරනවා කියලා ඔබව දැනුවත් කළේ නැද්ද?
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා (ශ්‍රී.පො.පෙ) – ගරු ඇමතිතුමනි, මාව විතරක් නෙමෙයි ජනාධිපතිතුමාවත් දැනුවත් කරලා තිබෙනවා. එතුමාටත් පුළුවන් වුණාද නැව ආපහු ගේන්න. ඒ නිසා දැන් හරි කමිටුවක් දාලා වැරදි අයට දඩුවම් කරන්න.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග(ශ්‍රී.පො.පෙ) – මම කියපු දේ හරිනේ එතකොට. ඔබතුමා පිළිගන්නවනේ ඔබතුමා දැනුවත් වුණා කියලා.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා (ශ්‍රී.පො.පෙ) – නැව ගියා කියලා දැනුවත් වුණා. නැව ඇරියේ අපි නෙමෙයි. නැව ගියාට පස්සේ ජනාධිපතිතුමාට කරන්න බැරි දෙයක් මට කරන්න බැහැනේ.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග(ශ්‍රී.පො.පෙ) – නැව යන්න හදන කොට නිල නොලත් විදිහට තමයි සභාපතිතුමිය දැනුවත් වෙලා තිබ්බේ. ඒ ගැන ඔබතුමාට කියලා තිබ්බා. මම ඔබතුමාට චෝදනා කරන්නේ නැහැ. සමාවෙන්න.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා (ශ්‍රී.පො.පෙ) – මට විනාඩියක් අවසර දෙන්න. මගේ චරිතය තමයි ඝාතනය වෙන්නේ. ඇමතිතුමා ඔබතුමා පිළිගන්නවද නැව යවන්න නියෝගය දුන්නේ මම නෙවෙයි කියලා. අපි මේ ගැන සිලෙක් කමිටි එකක් දාලා හොයලා බලලා අවශ්‍ය අයට දඩුවම් දෙමු.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග – ඒක හරි මම කියන්නේත් ඒකම තමයි.
– ප්‍රදීප් අනුර කුමාර

දේශගුණ විපර්යාසවලට මුහුණදීමට ලෝකයට දෙන සහය ගැන ජනපති කියයි !
ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මධ්‍යස්ථානයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටවල් රැසක් සහභාගී කරවා ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමිනි.
විශිෂ්ඨ සේවා ගුරු උපහාර හා විශිෂ්ඨ පාසල , විශිෂ්ඨ සේවාවක් සිදු කළ ප්‍රාදේශීය පරිසර නිලධාරීන් හා කාර්යාල ද මෙහිදී ඇගයීමට ලක් වූ අතර පරිසර නියමුවන් 129 දෙනකු සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය
පළමුවෙන්ම අද මෙම පදක්කම් ලැබූ පරිසර නියමුවන් සියලුදෙනාට මම ප්‍රශංසා කරනවා. මෙය කැපවීමෙන් කළයුතු කාර්යයක්. මේ ව්‍යාපාරය සමඟ සම්බන්ධවන ලෙස කිසිවෙකුට බල කර නැහැ. මධ්‍යම පරසර අධිකාරිය 1984 ආරම්භ කළ කාලයේ සිට මේ සඳහා සියලුදෙනා ස්වේච්ඡාවෙන් ඊට සහභාගි වුණා.
අප සියලුදෙනා මේ කැපකිරීම කරන්නේ අනාගත පරපුර වෙනුවෙන්. අද ලෝකයේ තිබෙන පරිසර ප්‍රශ්න පිළිබඳ මම අමුතුවෙන් සඳහන් කළයුතු නැහැ. අපට එදා තිබුණේ පරිසරය රැක ගැනීම පිළිබඳ ගැටලු. එහෙත් අද තිබෙන ප්‍රශ්නය දේශගුණික විපර්යාස නැවැත්වීම නොවෙයි, එය ප්‍රමාද කරගන්නේ කෙසේද යන්න පිළිබඳ කටයුතු කිරීමයි.
පසුගිය ශත වර්ෂ දෙක තුළදී ලෝකයේ විශාල විපර්යාසයක් සිදුව තිබුණා. 1815 බ්‍රිතාන්‍යයන් ලංකාවට පැමිණ උඩරට ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ මේ රටේ ජනගගහණය මිලියන 02යි කියලා තමයි බොහෝ අය කියන්නේ. සමහරු කියනවා මිලියන එක හමාරක්වත් හිටියේ නැහැ කියලා. 1931 අපට සර්වජන ඡන්ද බලය හිමි වූ අවස්ථාවේ එම සංඛ්‍යාව මිලියන 05යි. අපට නිදහස ලැබෙන විට එය මිලියන 07ක් බවට පත්ව තිබුණා. අද ජනගහණය මිලියන කීයද, එදා පැවති තත්ත්වය මෙන් තුන් ගුණයක් පමණ වෙනවා. නමුත් අපේ ඉඩම් ප්‍රමාණය වැඩි වී නැහැ. නමුත් වනාන්තර ප්‍රමාණය අඩු වී තිබෙනවා.
මම 1977 ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරද්දි අපි මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාම පොළොන්නරුව ප්‍රදේශයේ අක්කර ලක්ෂ එක හමාරක්, දෙකක් පමණ වෙන් කළා. අද ජනතාව එම ප්‍රදේශවල පදිංචිවී සිටිනවා. ඒ නිස අපි අද හාල් වලින් ස්වයංපෝෂිතයි. එදා ඒ අක්කර ලක්ෂ එක හමාර වෙන් කළේ නැත්නම් අද අපි හාල්වලින් ස්වයංපෝෂිත වන්නේ නැහැ.
ඉන්දියාව නිදහස ලැබූ කාලයේ ඉන්දියාවේ ජනගහණය මිලියන 400යි. දැන් ඉන්දියාව ලෝකයේ ජනකීර්ණම රට බවට පත්වෙමින් තිබෙනවා. ජනගහණය තුන් ගුණයකින්, හතර ගුණයකින් වැඩිවෙමින් පවතිනවා. එයයි වෙනස. මුළු ලෝකයේම එම ප්‍රශ්න තිබෙනවා.
එදා අපේ මුතුත් මිත්තන්ගේ කාලයේ විදුලි බලය තිබුණේ නෑ. ඒ වගේම අපට අවශ්‍ය භාණ්ඩ සීමා සහිත ප්‍රමාණයක් තිබුණේ. නිවාසවල වායු සමීකරණ යන්ත්‍ර තිබුණේ නැහැ. අද සෑම නිවසකම පරිභෝජන ද්‍රව්‍ය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම විවිධ ආහාර වර්ග මිලදී ගන්නවා. එදා කර්මාන්ත තිබුණේ නැහැ. අද මුළු ලෝකයම විශාල කාර්මීකරණයකට ලක්වෙලා. අපට ගුවන් ගමන් අවශ්‍යයි. එසේනම් කර්මාන්ත විප්ලවයෙන් පසුව ලෝකයේ විශාල විපර්යාසයක් සිදුව තිබෙනවා. ඒ අතරතුර විශාල යුද්ධ දෙකක් ඇති වුණා. පරමාණු බෝම්බ එල්ල වුණා. පරිසර විනාශය තවත් ඉහළ ගියා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද සම්පූර්ණයෙන්ම දේශගුණය වෙනස් වී තිබෙනවා.
ඒ වගේම වර්ෂ 2050 වන විට ලෝකයේ ජනගහණය තවත් ඉහළ යනවා. එවිට කොහොමද අපි මේ දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්නේ. ඒ නිසා අපි රටක් ලෙස අද පියවර රැසක් ගෙන තිබෙනවා. පරසරය සුරැකීමට අදාළව සම්පුර්ණයෙන් නව නීති මාලාවක් ගෙන ඒමට අපි අවධානය යොමු කර තිබෙනවා. මේ පරිසර නීති එදා ගෙන ආ අවස්ථාවේ ඒවා නවීන නිති වුවත් අද ඒවා නවීන නීති නොවෙයි. ඒ නිසා නව පරිසර නීතියක් අවශ්‍යයි. ඒ වගේම දේශගුණික විපර්යාස නීතියක් අවශ්‍යයි.
අපි දේශගුණික විපර්යාස කේන්ද්‍රයක් ඇති කිරීමට අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව සිංහරාජ අඩවිය, හෝර්ට්න් තැන්න, සිරිපාද අඩවිය, නක්ල්ස් ආරක්ෂා කිරීමට නව නීති ගෙන එනවා. නවසිලන්තයේ එම නීති සඳහා කියන්නේ living entities කියලා. ඒවා ජීව වස්තුන් ලෙසයි සලකන්නේ.
අපි මුතුරාජවෙල වගේම ස්වභාවික රක්ෂිත ආරක්ෂා කිරීමට නව නීති ගෙන එනවා. ඒ වගේම නව වනාන්තර ඇති කළයුතුව තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නීති ඇති කිරීමට අපි දැන් පියවර ගෙන තිබෙනවා.
අපි එතනින් නැවති නැහැ. අද දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කළ විට එය පාසල් සහ විශ්වවිද්‍යාල විෂය මාලාවලට ඇතුළත් කළ යුතුයි. ඒ සියල්ලටම වඩා ලෝකයේ පළමු ජාත්‍යන්තර පරිසර විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ තමයි දේශගුණික විපර්යාස පිළිබද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය. ඉන් පශ්චාත් උපාධිය ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට අපේක්ෂා කරනවා. ඒ වගේම පර්යේෂණ කටයුතු සඳහා ද අවස්ථාව සලසා දීමට බලාපොරොත්තු වෙනවා.
අද ලෝකයේ මේ පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කිරීමට මධ්‍යස්ථානයක් නැහැ. ඒ මධ්‍යස්ථානය ලංකාවේ ඇති කරමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට අපි පියවර ගන්නවා.
රටවල් ගණනාවක් සහභාගී කරගෙන ඒ කටයුත්ත සිදු කිරීමටත්, එම රටවල් සහ සංවිධානවලට එහි පාලක මණ්ඩල සාමාජිකත්වය ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. වසරකට 2000-3000ක් මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා අවශ්‍ය පුහුණුව ලබාගෙන ලෝකය සමඟ විශාල සම්බන්ධතාවක් ගොඩනඟා ගනු ඇතැයි අපි විශ්වාස කරනවා.
දේශගුණික විපර්යාසවලට මුහුණදිම සඳහා ලංකාව ලෙස අපට කළහැකි උපකාරය මොකක්ද කියා අපි සොයා බැලිය යුතුයි. ඒ සඳහා අපට ලබාදිය හැකි සහාය මෙම විශ්වවිද්‍යාලය බව මම විශ්වාස කරනවා. ඒ නිසා අපි මේ වන විට රාජ්‍යයන් ගණනාවක් සමග ඒ සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම මේ වසරේ ඩුබායි නගරයේ පැවත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී අපි මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරනවා.
පෙන්වීම සිදු කිරිමේ වගකීම ඔබට පැවරෙනවා.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේක්ම් එම්. එන් රණසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ, වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නීතිඥ ආර්. එම්. එස්. කේ රත්නායක යන මහත්වරුන්, පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීන්, ඔවුන්ගේ දෙමව්පියන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=3456#sigProId5cdf9d0c31

ණය සීමාව කෝටි ලක්ෂයකින් ඉහළට !
භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් ගන්නා අරමුදල් (ණය ) ප්‍රමාණය කෝටි ලක්ෂයකින් වැඩි කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට හෙට (12) ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
මෙම යෝජනාවට මේ වන විට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇත.
භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ලබා ගැනීම මෙතෙක් පැවතියේ රුපියල් කෝටි ලක්ෂ පහක ( බිලියන 5000) සීමාවේය.
නව යෝජනාව සමඟ එම සීමාව රුපියල් කෝටි හය ලක්ෂය දක්වා (බිලියන 6000) වැඩි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මාධ්‍ය වෙත පවසා ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේද මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේද අනුමැතිය ඊයේ (11) පළවූ බවද ඔහු පවසා තිබේ.
භාණ්ඩාගාර බැඳුම්කරවලින් අරමුදල් සපයා ගැනීමට වඩා මේ ආකාරයට කෙටිකාලීන ක්‍රමයට ණය මුදල් ගැනීමෙන් පොලී සඳහා ගෙවීමට සිදුවන මුදල අඩු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මහජන තැන්පතු ගැන මහ බැංකු අධිපතිගෙන් සහතිකයක් !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන සමග ඉදිරියට යාමේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී මහජනතාවගේ තැන්පතු වල ආරක්ෂාව සම්බන්ධයෙනුත් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධවත් මහ බැංකුව සහතික වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින්ය.
මහ බැංකුවේ ප්‍රධාන අරමුණු වන්නේ බැංකු පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේදී බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගන්නා බව සහතික කරන බවත් මහජන තැන්පතුවල ආරක්ෂාවක් තහවුරු කරන බවත් ඔහු එහිදී පවසා ඇත.

හණමිටි ඉඩම් අණ පනත් සංශෝධනයට : ජනපතිගෙන් නියෝගයක් !
කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
තවමත් රට තුළ ක්‍රියාත්මක වන්නේ යටත්විජිත සමයේ ගෙනෙන ලද ඉඩම් ප්‍රතිපත්ති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉඩම් පරිහරණය සම්බන්ධව විවිධ අවස්ථාවලදී ගෙන එන ලද අණ පනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට නොගැලපෙන බව ද කියා සිටියේය.
සංවර්ධන කටයුතු සඳහා ඉඩම් ලබා දීමේදී දැනට පවතින බාධාවන් ඉවත් කර, නව ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ඉඩම් කොමිෂන් සභාවක් හරහා පළාත් සභා යටතේ පවතින ඉඩම්වල ගැටලු නිරාකරණය කර ගන්නා ලෙසත්, ග්‍රාමසේවා වසම් මට්ටමින් පවතින ඉඩම්වල හිමිකරුවන්ගේ විස්තර සහ එම ඉඩම් වලින් දැනට ප්‍රයෝජනයට ගෙන ඇති ඉඩම් ප්‍රමාණය සහ ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩම් ප්‍රමාණය හඳුනා ගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාවක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් නිලධාරින්ට උපදෙස් දෙන ලදී.
රජයේ අවශ්‍යතාවයන් සඳහා පවරාගෙන ඇති නමුත් මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩම් නැවත ජනතාව අතර බෙදාදීමට පියවර ගන්නා ලෙසත්, ඉදිරියේ දී රජයේ කාර්යයන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී අදාළ ඉඩම්වල වෙළෙඳපොළ වටිනාකම ගෙවා අත්පත් කර ගැනීම් සිදු කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යයන්වල පවතින ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, රජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක , සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.බී.පී.හේරත්, වන සම්පත් හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙන්ම දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා සහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක් වූහ.

කාලගුණයෙන් රතු නිවේදනයක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙයි.
එය අද (11) පෙ.ව 11ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙයි.
මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණ අංශ දැනුවත් කර තිබෙයි.
'මොඛා' සුළි කුණාටුව උදෑසන 5.30 වනවිට 11.2N සහ 88.1E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය අද මධ්‍යම රාත්‍රියේ දී පමණ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝදුරට ඉඩ ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ලෝක බැංකුව සමග සාකච්ඡා !
ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) සහභාගී වී සිටින අතරතුර දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ලෝක බැංකුවේ ගෝලීය අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙයිමි සද්‍රා (Jaime Saavedra) මුණ ගැසුණේය.
එම හමුවේදී ගෝලීය වශයෙන් අනෙකුත් රටවල නව ආධ්‍යාපනික ප්‍රවේශයන් මෙන්ම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ වත් නුදුරු අනාගතය තුළ සපුරාගත යුතු ගෝලීය ආධ්‍යාපනික ඉලක්ක ජයගැනීම උදෙසා මෙරට අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම් හා සිදු විය යුතු සංකල්පීය වෙනස්කම් පිළිබඳ වත් කරුණු සාකච්ඡා වී ඇත.
මෙහි දී මෙරට අධ්‍යාපන ධාරිතාව පුළුල් කිරීම උදෙසා පවතින සීමාවන් හා අභියෝග පිළිබඳ ව සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් කරුණු දැක්වීය.
මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය

තවත් බාලිකාවියක් උඩින් පනියි : මේ පාර මහනුවර !
මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක 10 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක් එම විදුහලේ ගොඩනැගිල්ලක පළමු මහලෙන් පහළට පැනීම හේතුවෙන් තුවාල ලැබ මහනුවර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි .
එම ශිෂ්‍යාව ඊයේ ( 9) පෙ.ව 11.30ට පමණ පාසල් පන්ති කාමරයෙන් පිටතට පැමිණ අඩි 15ක පමණ උසක සිට බිමට පැන තිබෙන බව පොලිසිය පවසයි.
පාසලේ ශිෂ්‍ය නායිකාවක ද වන එම සිසුවිය කටුගස්තොට, කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි බව පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණය වී තිබේ.
එම සිසුවිය මේ වන විට මහනුවර රෝහලේදී සී.ටී. ස්කෑන් පරීක්‍ෂාවකට ලක් කර ඇති බවත් දැනගන්නට ඇත .
අඩි 15ක පමණ උසක සිට පහළට ඇද වැටීම නිසා සිසුවියගේ හිසට හෝ අභ්‍යන්තර අවයවවලට හානි සිදුව ඇත් ද යන්න සෙවීම සඳහා අදාළ සී.ටී. ස්කෑන් පරීක්‍ෂාව සිදු කළ බව ත් එහි වාර්තාව ලැබුණු පසු ඉදිරි ප්‍රතිකාර ආරම්භ කරන බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්.සී. රාජපක්‍ෂගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

පොලිස් කොමිසමේ සාමාජිකයන් අනුමතයි !
ජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
වාර්තා වන ආකාරයට ඊයේ (09) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වු අතර එහිදි නව සාමාජිකයින් සඳහා අනුමැතිය හිමිව ඇත.
නව සාමාජිකයින් 07 දෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති අතර එම නම් ජනාධිපතිවරයාගේ නිර්දේශය සඳහා ඊයේ දිනයේ දීම යොමුකර ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මේ වන විට ජාතික ප්‍රසම්පාදන, මුදල්, විගණන, අධිකරණ හා රාජ්‍ය සේවා යන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට පියවර ගෙන තිබේ.
නමුත් මැතිවරණ, අල්ලස් හෝ දුෂණ සහ සීමා නිර්ණය යන කොමිෂන් සභා සඳහා මෙතෙක් නව සාමාජිකයින් පත් කර නොමැත.
කෙසේ වුවත් මීට පෙර කතානායකවරයා පවසා තිබුනේ මෙම සතිය තුළ දි සියලු කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

යූරියා අපෙතේ ගියාදැයි පරීක්ෂණයක් !
වී වගාව සඳහා යොදන යූරියා පොහොරවලින් සියයට 65ක් පමණ අපතේ යන බවට පළවන ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද(10) නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වන අතර ඒ ඒ කෘෂිකාර්මික බෝග ප්‍රවර්ධනය පිළිබඳව පැවති සාකච්ඡාවකදීය.
යුරෝපා සංගමයට අයත් රටවල් මෙන්ම චීනය, ඉන්දියාව වැනි රටවල වී වගාව සඳහා යූරියා පොහොර භාවිත කරන ආකාරය පිළිබඳව පදනම් කරගෙන සිය විමර්ශන සිදුකරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත.
දැනට රට තුළ යූරියා පොහොර ප්‍රමිතිය සළකා බැලීමේදී බයියුරේට් ප්‍රතිශතය සියයට 01 ට වඩා අඩු යූරියා පොහොර පමණක් වී වගාව සඳහා නිර්දේශ කෙරෙන අතර ඇමරිකාව, චීනය වැනි වෙනත් රටවල එම අගය සියයට 1 යි දශම 5 ට වැඩි අගයක් ගනී.
එම නිසා යූරියා පොහොරවලින් සියයට සියයක ඵලදායිතාවක් ලබාගත හැකි පරිදි නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

දේශීය ආදායම් පණත බලාත්මකයි !
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව 2023 මැයි 08 දින “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (10) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
එම පනත් කෙටුම්පත පසුගිය අප්‍රෙල් 28 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒ අනුව, කථානායකවරයාගේ සහතිකය සටහන් කිරීමත් සමග “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පත 2023 අංක 04 දරන “දේශීය ආදායම් (සංශෝධන)” පනත වශයෙන් බලාත්මක වේ.

IMF කණ්ඩායමක් ලංකාවට !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් හෙට (11) සිට මැයි මස 23 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඔවුන් ලංකාවට පැමිණෙන්නේ මේ වසර තුළ සිදුකිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙසය.
එම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් ද එක්වන බව මූල්‍ය අරමුදල නිවේදනය කර ඇත.

සියවසකට වඩා පරණ නීතියක් වෙනස් වෙන ලකුණු !
සමරිසි අයිතීන් සාපරාධි අපරාධයක් ලෙසට දණ්ඩ නීති සංග්‍රහයේ ඇති වගන්ති කටු ගා දැමීමට යෝජනා කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල බවට මෙරට ඉහලම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට දන්වා තිබේ.
365 සහ 365අ වගන්ති
ශ්‍රි ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 365 සහ 365අ වගන්තිවලට අනුව "ස්වභාවධර්මයට එරෙහි ලිංගික සංසර්ගය" සාපරාධී වරදක් වන අතර ඒවා "තදබල අශෝභන ක්‍රියා" ලෙස හඳුන්වනු ලබයි.
මෙම අපරාධයකට වරදකරු වන පුද්ගලයකු දැනට වසර දහයක් දක්වා සිරදඬුවමකට යටත් කළ හැකි ය.
වසර 135 ක් පැරණි වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා කටයුතු කර තිබුණි.
විරෝධතා පෙත්සම්
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශ්‍රාමික යුධ හමුදා බ්‍රිගේඩියර්වරයෙකු වන ඒ අතුල එච් ද සිල්වා, දේශපාලන විශ්ලේෂිකාවක වන ෂෙනාලී ඩී. වඩුගේ සහ සමාජ ක්‍රියාකාරිණියක වන ජෙහාන් හමීඩ් යන අයවලුන් විසින් එම පෙත්සම ගොනු කළේය.
අදාළ පනත් කෙටුම්පත තුළින් සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය නොවන වරදක් වශයෙන් අර්ථකථනය කිරීමට උත්සාහ කර ඇති බවත් ඒ තුළින් එම ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බවත් පෙත්සම්කරුවන් කියා තිබුණි.
එය දණ්ඩ නිති සංග්‍රහය පිළිබඳව ව්‍යවස්ථාදායකයේ අපේක්ෂාවන්ට පටහැනි බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන බරපතල ලෙස උල්ලංඝණය වන බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.
බෞද්ධ, හින්දු, කිතුණු හා ඉස්ලාම් ආගමික විශ්වාසයන් අනුව පවා සමලිංගික කටයුතු අනුමත කිරීමක් සිදුකර නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන එම ආගමික විශ්වාසයන්ට පටහැනි බව මෙන්ම අදාළ පනත් කෙටුම්පතින් අපේක්ෂා කරන කරුණු මෙරට සංස්කෘතික හා ජාතික අනන්‍යතාවයන්ට ද පටහැනි බව පෙත්සම්කරුවෝ කියා සිටියහ.
එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන හෙයින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට පක්ෂව අතුරු පෙත්සම් ඉදිරිපත් කළ ක්‍රියාකාරීන් අතරින් පිරිසක්
පනත් කෙටුම්පතට පක්ෂ පාර්ශවකරුවන්
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට පක්ෂව කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිනි මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, හිටපු මානව හිමිකම් කොමසාරිස් රමණි මුත්තෙට්ටුවේගම, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි නටාෂා බාලේන්ද්‍ර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ දරුවන් සඳහා වූ හිටපු උපලේකම් රධිකා කුමාරස්වාමි, ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිණි වෛද්‍ය තුෂාරා වික්‍රමනායක, ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ (FPA) අධිවාචන අධ්‍යක්ෂ, සේව් ද චිල්රන් (Save the Children) සංවිධානයේ හිටපු ළමා ආරක්ෂක උපදේශක මෙන්ම දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ජාතික හවුල්කාරිත්වයේ (National Partnership to End Violence Against Children) සම්බන්ධීකාරක සොනාලි පීරිස්, ගිනිකොනදිග ආසියාවේ එච්අයිවී සේවා වැඩසටහන් නිලධාරී ජේක් ඌර්ලොෆ්, අයිප්‍රොබෝනෝ (I Probono) සංවිධානයේ සමානාත්මතා අධ්‍යක්ෂ නීතීඥ අරිත වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ජාලයේ (NTN) විධායක අධ්‍යක්ෂිකා භූමි හරේන්ද්‍රන් සහ සමරිසි (LGBT) මානව හිමිකම් සංවිධානයක් වන ඊක්වල් ග්‍රවුන්ඩ් (Equal Ground) ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට අතුරු පෙත්සම් ඉදිරිපත් කරනු ලැබීය.
පෙත්සම් පාර්ශවයෙන් සහ ප්‍රති පාර්ශවයෙන් දැක්වු කරුණු සලකා බැලු අග විනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට තීන්දු කරමින් ඒ බව තමන් වෙත දන්වා ඇතැයි ඒ අනුව මැයි 09 වන අඟහරුවාදා කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.
"ළමයි මහන කරන්න, හමුදාවට පුතා දෙන්න බය වෙයි"
“මට මතකයි එක වෙලාවක මම භූමි ගේ අත තදින් අල්ලගෙන හිටියා. ඒ කේන්තියට, ඒ අවේගයට” යැයි පනත් කෙටුම්පතට පක්ෂව අතුරු පෙත්සමක් ඉදිරිපත් කළ ඉක්විටි ශ්‍රී ලංකා සංවිධානයේ අධ්‍යක්ෂ තුෂාර මනෝජ් පෙත්සම් විභාගය තුළ අධිකරණ ශාලාවේ දී තමන් මුහුණ දුන් අත්දැකිම් බිබිසි සිංහල සේවයට විස්තර කරමින් කියා සිටියේය.
“එක වෙලාවක පෙත්සම් පාර්ශවයෙන් කිව්වා මේ පනත සම්මත කලොතින් පොඩි දරුවෝ පන්සල්වලට මහන කරන්න දෙන එකක් නෑ කියලා. ඒ කියන්නේ එයා ව්‍යාංගයෙන් කියනවා පන්සල් ඇතුලේ මෙහෙම දේවල් වෙනවා කියලා. නැතිනම් වෙන කිසිම තර්කයක් නැනේ මේක නීතිගත කළොත් පන්සලවලට ළමයි බාර දෙන එකක් නෑ කියලා කියන්න. ඒ වගේ දේවල් කියනකොට බෞද්ධයෙක් විදියට ඒක ගොඩක් දැනුණා.”
මෙම පනත සම්මත වුවහොත් ළමා අපචාර වැඩි විය හැකි බවට පෙත්සම්කාර පාර්ශවයෙන් ඉදිරිපත් කරන ලද කරුණු බොහෝ සේ තමන්ව කම්පාවට පත් කළ බව තුෂාර මනෝජ් කියා සිටියේය.
“හමුදා නිතිය යටතේත් සමරිසි ක්‍රියාකාරකම් වැරදි කියලා කිව්වා. එතකොට මේ පනත සම්මත වුණොත් අම්මා කෙනෙක් තමන්ගේ පුතා හමුදාවට දෙන්නත් බය වෙයි කියලා කිව්වා. ආයෙත් එයා කියන්න උත්සාහ කළා පන්සලේ කතාව කිව්වා වගේම හමුදාව ඇතුලෙත් මේක වෙනවා කියලා. ඔය වගේ ගොඩක් කරුණු තිබුණා පෙත්සම් පාර්ශවයෙන් ඉදිරිපත් කළේ HIV වැඩි වේවි, ළමා අපචාර වැඩි වෙයි, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි වගේ දේවල්.” යැයි ඉක්විටි ශ්‍රී ලංකා සංවිධානයේ අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.
"පාර්ලිමේන්තුවේ දී පක්ෂ, විපක්ෂ සහාය දෙන්න"
“දැන් අපිට වෙලා තියෙන දේවල් දිහා බලපුවාම මේ වෙලාවේ මෙවැනි පනත් ගෙන ඒම තුළිනුත් අපි දේශපාලන පොර පිටියක පාපන්දුවක් බවට පත් වෙලාද කියන සැකය අපිට ඇති වෙනවා. ඒ සැකය ඇති වීමට සාධාරණ හේතු ඕන තරම් තියෙනවා.” ශ්‍රේෂ්ඨාධිකරණයට අතුරු පෙත්සමක් ඉදිරිපත් කරන ලද නීතිඥ ආචාර්ය විසාකේස චන්ද්‍රෙස්කරම් බිබිසි සිංහල සේවය වෙත කියා සිටියේය.
එම සැකයෙන් මිදීමට නම් කළ හැක්කේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එන ලද පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද පාර්ලිමේන්තුව තුළ දී ඊට සිය සහාය ලබා දීම පමණක් බව ආචාර්ය විසාකේස පවසයි.
“මේක පෞද්ගලික මන්ත්‍රීවරයෙක් ගෙන එන පනතක්. මේ වගේ අවස්ථාවක දී අපි අපේක්ෂා කරන්නේ මේ රටේ ආර්ථිකයට හා සමාජයට දායකත්වයක් ලබා දෙන පුරවැසියන් හැටියට සමකාමී සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන් බලාපොරොත්තු වෙන්නේ මන්ත්‍රීවරයා ගෙන එන පනතට ආණ්ඩුව සහාය දැක්විය යුතුයි කියන එක, නමුත් එහෙම වෙනවා කියලා පේන්නේ නෑ. මේක තනි මන්ත්‍රීවරයෙක් පිටට දාලා අනිත් අය සේරම අත හෝදගන්න බලාගෙන ඉන්නවා.”
ඉතිහාසයේ දී පවා සමාජය තුළ යම් ගැටලුකාරි අවස්ථා ඇති වු විට මෙවැනි පනත් හඳුන්වා දීමට උත්සාහ කළ බව සිහිපත් කරන ලද අචාර්ය විසාකේස චන්ද්‍රෙස්කරම් එය සමරිසි ප්‍රජාවේ අයිතීන් තහවුරු කිරිම වෙනුවෙන් කළ දෙයක් නොවන බව ද දැඩිව අවධාරණය කළේය.
"සියවසකටත් වඩා පරණ නීතිය වෙනස් වනතුරු බලා සිටිනවා"
සියවසකටත් වඩා පැරණි නීතිය සංශෝධනයවනු ඇතැයි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට පක්ෂව තවත් අතුරු පෙත්සමක් ඉදිරිපත් කළ භූමි හරේන්ද්‍රන් පවසන්නීය.
"ශ්‍රේෂ්ඨාධ්කරණයෙන් ලැබුන තීන්දුව ජයක් විදියට තමයි මම දකින්නේ. ඒවගේම මම විශ්වාස කරනවා මේක පාර්ලිමේන්තුවෙනුත් ජය ගනී කියලා. අපි බලාගෙන ඉන්නවා අවුරුදු සිය ගානක් පරණ මේ පිඩාකාරි නීතිය දැන්වත් වෙනස් වෙයි කියලා. මේක තවත් මිනිස්සු කොට්ඨාශයක අයිතියක්." යැයි ඇය බිබිසි සිංහල සේවය වෙත කියා සිටියාය.
පාර්ලිමේන්තුව තුළ විවාද කිරිමෙන් අනතුරුව සමරිසි අයිතිය නිර් අපරාධිකරණය වන නීතිය සම්මත වනු තුරු බලා සිටින බව සමාජ ක්‍රියාකාරිණියක වන භූමි හරේන්ද්‍රන් වැඩි දුරටත් පැවසීය.
බීබීසී
Page 193 of 464