මුතු රාජා ආයෙත් එන්නේ නෑ !

මුතු රාජා ආයෙත් එන්නේ නෑ !

මුතුරාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර ඒ මෙරට ස්වාමීන් වහන්සේ නමක් හස්තියා යළි ලබාදෙන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්ය.

එහිදී තායිලන්ත පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මුතුරාජා නැතහොත් සක් සුරින් තායි රජුගේ භාරයට ගැනීම හේතුවෙන් ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට පවා නොහැකි බවය.

තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමිව වසර විසිදෙකක් මෙරට රැඳී සිටි මුතුරාජා හස්තියා පසුගිය 02 වැනිදා තායිලන්තයට රැගෙන යාමට එරට රජය පියවර ගත් අතර ඒ අසනීප තත්ත්වයෙන් පසුවූ හස්තියාට වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහාය.

එලෙස රැගෙන ගිය මුතුරාජා හස්තියා එරට ලම්පන් ප්‍රාන්තයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ මේ වන විට නිරෝධායනයට ලක් කර තිබේ.

තායිලන්ත මාධ්‍ය වාර්තා පවසන්නේ ප්‍රතිකාර ලබමින් පසුවන මුතුරාජා ප්‍රකෘතිමත් වෙමින් සිටින බවය.

මුතුරාජාගේ ඇසක සුද මතුවී ඇති අතර ඉදිරිපස වම් පාදය නැවීමට නොහැකි බවත් එරටදී සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

ඊට අමතරව පිටකොන්දේ ආසාදිත තුවාල සහිත බවත්, පතුල්වල සහ නියපොතුවල ආබාධ පවතින බවත් හඳුනාගෙන ඇතැයි එරට වාර්තා සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් මුතුරාජා ශ්‍රී ලංකාවෙන් ගෙන යාමට පැමිණි පශු වෛද්‍ය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම වෛද්‍යවරයා මුහුණු පොතේ සටහනක් තබමින් අද සඳහන් කර තිබුණේ මුතුරාජා මෙරටින් රැගෙන යන අවස්ථාව වන විට මුතුරාජාගේ සැරව ගෙඩි 90% ක් පමණ සුව අතට පත්කර තිබූ බවය.

එමෙන්ම යටිපතුල්වල හෝ වලිගයේ කිසිදු තුවාලයක් නොතිබූ බවද එහි සඳහන් කර තිබේ.

ඔහු ඒ වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරීන්ට ස්තූතිය පළකර තිබුණි.

මේ අතර තායිලන්තය මෙරටට පරිත්‍යාග කළ තවත් හස්තීන් දෙදෙනකු සම්බන්ධයෙන්ද එරට රජයේ අවධානය යොමුව තිබේ.

එම හස්තීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පශු වෛද්‍යවරු ඇතුළු කණ්ඩායමක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙරටට එවීමට නියමිත බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න