පුවත්

ජනාධිපති කඳුකරයට බැල්ම හෙළයි !
සියවස් දෙකක් තිස්සේ රටට විදෙස් විනිමය උපයා දෙමින් ශ්‍රමය වැගුරූ කඳුකර ද්‍රවිඩ ජනතාව තවදුරටත් වෙනම ජනකොටසක් ලෙස නොව ශ්‍රී ලාංකික පොදුජන සමාජයට එක් කිරීමේ අභියෝගය ජයගැනීම සඳහා වන වැඩපිළිවෙලක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙම අවධාරණය සිදුකර සිටියේ කඳුකර දෙමළ ජනතාව නියෝජනය කරන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද කුමාර්, එම්. රාමේශ්වරන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
කඳුකර ද්‍රවිඩ ජනතාවට අනන්‍යවූ ගැටළු මෙන්ම වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මතුව ඇති තත්වය පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකෙරිණ.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ වසර දෙසියයකට අධික කාලයක් තිස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කඳුකර ද්‍රවිඩ ජනතාව කටයුතු කළ අතර අදටත් ආර්ථිකය පවත්වාගෙන යාම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් එම ජනතාව සිදුකරන බවය.
83 සිදුවීම්වලින් පසුව පවා බෙදුම්වාදී ප්‍රවණතා හෝ අවිගත් ත්‍රස්ත කටයුතු සඳහා කිසිඳු අවස්ථාවක එම ජනතාව යොමු නොවූ බවත් ඒ වෙනුවට ඔවුන් ශ්‍රී ලංකා රජය සහ දකුණේ සමාජය පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී කඳුකර ද්‍රවිඩ ජනතාව වෙත ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාදීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමයේ ආරම්භ කළ වැඩසටහන අවසන් කිරීමට, ආරුමුගන් තොණ්ඩමන් අමාත්‍යවරයා සමඟ තමන් අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2003 ආණ්ඩු සමයේ හැකිවූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.
එසේම කඳුකර ද්‍රවිඩ ජනතාවට ඇති ප්‍රශ්න විසඳා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කිරීමේ අපේක්ෂාවෙන් යුතුව තමන් ඉදිරියේදී කඳුකර ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡාවක් කැඳවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තම අපේක්ෂාව තවදුරටත් එම ජනතාව කඳුකර ද්‍රවිඩ හෝ වතු ජනතාව ලෙස ජීවත්කරවීම වෙනුවට ශ්‍රී ලාංකික පොදුජන සමාජයට එක්කරලීම බවය. මේ වන විටත් වතුකරයේ සිට කොළඹ පැමිණි යම් ප්‍රමාණයක් පොදු සමාජයට ඇතුළත්ව සිටින නමුත් සමස්ථ ජනතාවම පොදුජන සමාජයට එක්කර ගැනීමේ අභියෝගය සාර්ථක කරගැනීමේදී එම ජනතාවගේ නියෝජිතයන්ට සුවිශේෂ කාර්ය භාරයක් සිදුකිරීමේ හැකියාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සීනිගම දෙවොලේ දෙවියන් පවා නොදුටු සැර ගැහිල්ලක් !
හික්කඩුව, සීනිගම මහා දෙවොල් දේවාලයේ පසුගිය වසර දෙක තුල රුපියල් කෝටි ගණනක මහා පරිමාණයේ මුදල් වංචා සිදුව තිබෙන බව 2021 හා 2022 විගණන වාර්තා වලින් හෙලිවන්නේ යැයි බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ ප්‍රකාශ කළේය.
කෝවිඩ් අරමුදලට 2019 වසරේ දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කල බවට සඳහන්ව ඇතත් එම මුදල් නිසි පරිදි ජනාධිපති අරමුදලට බැර නොවිම සම්බන්ධයෙන්ද විගණන වාර්තාවේ කරුණු සදහන් වන බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.
කෝවිඩ් අරමුදල වෙනුවෙන් බැරකරන බව සඳහන් කර 2020.04.17 වන දින අංක 522358 දරණ චෙක්පතින් රුපියල් ලක්ෂ 05ක මුදලක් ද 2020.06.28 දින අංක 522366 දරණ චෙක්පතින් තවත් ලක්ෂ 05ක මුදලක්ද ලබා ගෙන ඇතත් එවැනි මුදලක් ජනාධිපති අරමුදලට බැර කර නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ. දේව පූජාව සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් ලබා දෙන වියලි ආහාර ද්‍රව්‍ය, පූජා භාණ්ඩ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකර හිතවතුන්ට ලබා දීම සම්බන්ධයෙන්ද විගණන වාර්තාවේ කරුණු දක්වා ඇත.
දේවාල භූමියේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාගේ අනුමැති හා විධිමත් ඇස්තමේන්තු නොමැති බවද අදාල විගණන වාර්තාවල කරුණු දක්වා ඇත. එහි පළමු මහල සදහා රුපියල් ලක්ෂ 90 කට අධික මුදලක් වැයකර තිබෙන බවද එහි සදහන්ය. මෙය විහාර දේවාලගම් පනත උල්ලංඝනය කිරීමක් බවද පළමු මහලේ ඉදිකිරීම් සදහා මුලු පිරිවැය ඇස්තමේන්තුවෙන් කොපමණ වැඩ ප්‍රමාණයක් අවසන් කර ඇත්දැයි යන්න හා ඒ පිරිවැය ඉක්මවා වියදම් කර ඇත්ද යන්න දැන ගැනිම සඳහා කිසිම ගිණූම් වාර්තාවක් සීනිගම දේවාලයේ කාර්යමණ්ඩලය සතුව නැති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 18 වන වගන්තිය හා 1922 අංක 01 දරණ මහා භාරකාර පනතේ සදහන් නිරික්ෂණ කිසිවක් නොමැතිව එවැනි ඉදිකිරිමක් කිරීම නිති විරෝධි බවද විගණකාධිපතිවරයාගේ අදහස වී තිබේ. සිනිගම දෙවොල් දේවාල භූමියේ ඉදිකිරිම එම චක්‍රලේඛණ උල්ලංගනය කිරිමක් බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විමල් ආර් ගමගේ පෙන්වා දී තිබේ.
එයට අමතරව වසර 13 ක කාලයක් දේවාලය සතු රුපියල් කෝටියක ස්ථිර තැන්පත් ගිණුමේ මුදල් ලබාගෙන තිබුණනත් එම මුදල් වියදම් කරන ලද ක්‍රමවේදයක් දේවාලය සතු කාර්යාලයේ කිසිදු ආකාරයකින් සදහන් නොවන බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් බෞද්ධ හා ආගමික කටයුතු පිළිබද අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණගෙන් කල විමසීමේ දී මෙසේ කීය.
සීනිගම දේවාලයේ අකටයුතු සම්බන්ධව ඒ ප්‍රදේශයෙන් ලැබුණු පැමිණිලි මත අපි පරික්ෂණයක් සිදු කලා. දේවාලය සම්බන්ධයෙන් සිදුකල විගණන පරික්ෂණය අනුව එහි වත්මන් භාරකරු අත්තනෝමතිකව මුදල් පරිහරණය කිරිම හා විවිධ ඉදිකිරිම් කටයුතු කර තිබෙන බවද තහවුරු වුණා. ප්‍රසම්පාදන වැය ශීර්ෂ කිසිවක් නොමැතිව මුදල් වියදම් කිරීම නිති විරෝධි කටයුත්තක් බව අපි පෙන්වා දුන්නා. මම මේ වෙලාවේ ඉන්නෙ වෙනත් කටයුත්තක. 2022 ලිපි ගොනුව බලල වැඩි විස්තර කියන්නම්. ඒ සම්බන්ධව සියලු වාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් තුමාවෙත යොමු කර ඊට අදාල පියවර ගන්නා ලෙස අපි දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වැඩබල කොමසාරිස් කේ සිරිවර්ධන මෙසේ කීය.
ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විගණන වාර්තාවල සඳහන්ව තිබෙනවා. අදාල කාරණා සම්බන්ධව මේ වන විටත් අදාල බලධාරින් දැනුවත් කිරිමට අප කටයුතු කර තිබෙනවා. වත්මන් භාරකරුට මින් ඉදිරියට එවැනි කටයුතු නොකරන ලෙසත් විගණන පරික්ෂණ කාල සීමාවේදීම අපි තරයේ අවවාද කර තිබෙනවා යනුවෙන්ද සදහන් කළේය.
- Mawrata

අපොස සාපෙ 10 ට ?
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියේදී පැවැත්වීම පිළිබඳ අධ්‍යනය කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි .
සාමාන්‍ය පෙළ ආරම්භක අවදියේදී 10 ශ්‍රේණියේදී පවත්වනු ලැබුවත් පසු කාලයේදී එම විභාගය 11 වැනි ශ්‍රේණිය දක්වා වසරකින් ඉදිරියට ගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 10 ශ්‍රේණියේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.
ඉතා කෙටි කලක් තුළ අධික වේගයකින් දැනුම දෙගුණ වන දැනුම් සමාජයක අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදුකර අධ්‍යාපනයේ නව පරිවර්තනීය වෙනසක් ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු යායුතු අනාගත දිශානතිය තෝරාගැනීමේ ස්වාධීනත්වය දරු පරපුරට උරුම කරදීමේ පදනම සකස් කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පේරාදෙණි ආචාරින් 122ක් රට පැනලා පොලු තියලා !
විදේශීය විශ්වවිද්‍යාල වෙත ගොස් ගිවිසුම් කඩ කර රාජකාරියට වාර්තා කිරීම පැහැර හැරි බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122 දෙනකු සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) විමර්ශනයක් අරඹා ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසන්නේ 2010 වසරට පසුව මේ ආකාරයට ගිවිසුම් කඩ කළ වැඩිම ආචාර්යවරුන් පිරිසක් අයත් වන්නේ පේරාදෙණිය සරසවියට බව ය.
මේ අතර ගිවිසුම් කඩ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැට තුන් දෙනෙකුගෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් අය නොකර ගැනීම සම්බන්ධයෙන්ද එම කමිටුවේ විශේෂ අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග වෙතින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විමසීමේදී ඔහු පවසා ඇත්තේ මෙවැනි අඩුපාඩු සිදුනොවන ලෙස ගිවිසුම ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවය.

රටේ අනාගතය ගැන ජනපතිගෙන් සහතිකයක් !
පසුගිය සමය තුළ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන බවත්, නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළයුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට නොගියහොත් තවත් වසර 10ක් යන තැන රට නැවත ආර්ථික අභියෝගයකට ලක්වීම නොවැළැක්විය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150වන සංවත්සර උත්සවයට අද (13) පෙරවරුවේ එක් වෙමිනි.
සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව ද, රටෙහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායකගෙන් පසුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් ස්ථාපිත කර තිබූ සමරු ඵලකය නිරාවරණය කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. එසේම ජනාධිපතිවරයා සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබාගත් විද්‍යාලයේ සිසුන් වෙත සහතික පත්‍ර පිළිගැන්වීම ද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය ආරම්භ කර වසර 150ක් ගතව තිබෙනවා. මෙම පාසල ආරම්භ කරන විට මේ රටේ තිබුණේ වැවිලි ආර්ථිකයක්. කෝපි වගාව විශාල ලෙස ව්‍යාප්ත වී තිබුණා. නමුත් වසර කිහිපයක් ගත වන විට කෝපි වගාව සම්පූර්ණයෙන් විනාශ වී ගිය අතර ආර්ථිකය කඩා වැටි ආණ්ඩුවට ආදායමක් නැතිව ගියා. අනතුරුව වසර 15-20ක පමණ කාලයකින් තේ වගාව ආරම්භ කරන තුරු රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වුණා. නව වැවිලි බෝග ලෙස තේ වගාවත්, රබර් වගාවත් ආරම්භ කිරීමෙන් පසු නැවතත් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත් වුණා.
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය අද 150 වන සංවත්සරය සමරන අවස්ථාව වන විටත් රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. පසුගිය වසරේ පිපිරී ගිය එම ආර්ථික අර්බුදය නිසා ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් රටට විශාල බලපෑමක් එල්ල වුණා.
මෙම අර්බුදයෙන් අපට ගොඩඒමට හැකිවනු ඇතැයි එදා කිසිවෙක් විශ්වාස කළේ නැහැ. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව එම වගකීම භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම එයට හොද උදාහරණයක්. සාමාන්‍යයෙන් වෙනත් අවස්ථාවල අගමැතිකම භාර ගන්න පෝලිමේ එනවා. නමුත් ඒ අවස්ථාවේ කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ.
එවැනි පසුබිමක මම ජනාධිපති ධූරයේ වගකීම භාරගෙන, අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කර ගනිමින් රටේ ආර්ථික අර්බුදයට කෙටිකාලීන හා දිගු කාලීන විසඳුම් සෙවීම ආරම්භ කළා.
අප ගනු ලැබූ තීන්දු තිරණ නිසා රටේ පෝලිම් යුගය අවසන් කිරීමට හැකි වුණා. එසේම පසුගිය වසරේ සැප්තැම්බර් මෙන්ම මෙම වසරේ ජනවාරි හා අප්‍රේල් යන මාසවල ආණ්ඩුවක් ලෙස ගනු ලැබූ තීන්දුවල ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳිමින් සිටිනවා.
මෙම වසර අවසන් වන විට ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගනිමින් රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බව අප විශ්වාස කරනවා. නමුත් එය සිදු කිරීමට නම් අප රාජ්‍ය වියදම් පාලනය කළ යුතුයි. ඒ වගේම නිෂ්පාදන ආර්ථියක් බවට පරිවර්තනය වීමටද අවශ්‍යයි. ඒ සඳහා වන වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. අප ගනු ලබන පියවර නිසා “බංකොළොත්” යන ලේබලය ඉවත් කරගන්නට හැකියාව ලැබී ඇති නමුත්, කඩිනමින් ඊළග පියවර නොගතහොත් තවත් වසර 10ක් යන තැන නැවත බංකොළොත් භාවයට පත් වෙනවා. එසේ නම් නව ක්‍රමයක් ඔස්සේ ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ව්‍යාපාරයක් පවත්වාගෙන යන අන්දමේ මූල්‍ය විනයක් එහිදී තිබිය යුතුයි.
ඒ වගේම සෑම රාජ්‍ය ආයතනයකින්ම උපරිම ප්‍රායෝජන ලබා ගත යුතුයි. මේ වන විටත් අමාත්‍යාංශවල අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රජයට අයත් ඉඩම්, ගොඩනැඟිලි හා වාහන පිළිබඳ වාර්තාවක් සකස් කිරීම අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. මේ වසර අවසන් වන විට එම තොරතුරු ලබා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනා මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. නමුත් අවාසනාවකට අධිකරණයට ගොස් එය නතර කිරීමට ඇතැමුන් උත්සාහ කළා. එහිදී මූලිකව මතු කළ ගැටලුවක් තමයි සේවක අර්ථ සාධක අරමුදලෙහි ප්‍රශ්නය. නමුත් මේ වන විට එහි සියලු සාමාජිකයන්ට 9% ක පොළියක් ලබා දෙන බවට නීති කෙටුම්පතක් ඉදිරිපත් කර එම කටයුතු සිදු කරගෙන යනවා. ඒ නිසා මෙම වැඩපිළිවෙළ නතර කිරීමට කිසිඳු හේතුවක් නැහැ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය අනුව මූල්‍ය බලතල පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන කිසිවෙකුට නොවෙයි. ඒ වගේම මීට අදාළව ගොනු කළ සියලු පෙත්සම් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අවසන් කර ගැනීමෙන් පසු අප නිසි ලෙස ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතුයි. අද බොහෝ දෙනෙක් මේ රට හැර ගොස් තිබෙනවා. එලෙස රටින් පිටව ගිය විශේෂඥයන්, වෘත්තීවේදින්ගේ සංඛ්‍යාව දෙස බලන විට අපට පහසුවෙන් එම හිඩැස පුරවා ගත නොහැකියි. කෙසේ හෝ සියලුදෙනාට ජීවත්විය හැකි හොඳ ආර්ථික පසුබිමක් රට තුළ ගොඩනැගීමට අප දැන් කැපවී සිටින බව කිව යුතුයි.
ආණ්ඩුවට ලැබෙන ආදායම, වියදම් පියවීමට ප්‍රමාණවත් නොවීම සහ ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩිවීම අද මේ රට මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස පෙන්වා දිය හැකියි. හැමදාම මේ සඳහා ණය ගැනීමට අපට හැකියාවක් නැහැ. ණය ප්‍රශ්ස්තකරණයෙන් පසු නැවත මෙම ප්‍රශ්නය මතු වෙනවා. අප එය වළක්වාගත යුතුයි. ඒ සඳහා අප දළ දේශීය නිෂ්පාදනය සීග්‍ර ලෙස ඉහළ නංවාගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය වැඩිකළ විට රටට ලැබෙන ආදායම ඉහළ යනවා. අනෙක් පසින් අප අපනයනය ද වැඩි කර ගත යුතුයි. මෙම වැඩපිළිවෙළ ඉදිරි වසර 10දී අප ක්‍රියාත්මක කළයුතුව තිබෙනවා.
අද ආණ්ඩු පක්ෂයේ වුණත්, විපක්ෂයේ වුණත් සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨවලින් වැඩක් නැහැ. රට මුහුණදී තිබෙන අභියෝගය මනා ලෙස විග්‍රහ කරමින් ඒ සඳහා ඇති විසඳුම් සමග අප ඉදිරියට යා යුතුයි. එම විසදුම් පිළිගන්නේ නැති නම් ප්‍රශ්න විසඳිය හැකි විකල්ප ඉදිරිපත් කළ යුතුයි.
මෙරට ආර්ථිකය දියුණු කිරීමට නම් විදේශ විනිමය ලෙස වසරකට ඩොලර් බිලියනයක් අවම වශයෙන් අවශ්‍ය වෙනවා. පළමුව කළයුතුව තිබෙන්නේ දැනට තිබෙන ක්ෂේත්‍රවලින් විදේශ විනිමය ඉහළ නංවා ගැනීමයි.
අපට ප්‍රධාන වශයෙන් තිබෙන්නේ විදේශ රැකියාවලින් ලැබෙන ආදායමයි.
දෙවනුව අපනයන ආදායම. ඇගළුම් කර්මාන්තය ගත් විට විශේෂයෙන් යුරෝපය, ඇමරිකාව වැනි රටවල ආර්ථිකය මේ වන විට යම් පසුබෑමක් පෙන්නුම් කරනවා. ඒ නිසා මෙම වසරේ අපට එම අංශවලින් විශාල මුදලක් බලාපොරොත්තු වෙන්න බැහැ. එසේ නම් අප සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. ඒ නිසා මෙම වසරේ සහ එළැඹෙන වසරේ රටේ සංචාරක ව්‍යාපාරයේ විශාල දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.
එසේම අපට ලැබෙන අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නංවා ගත යුතුයි. අප ආයෝජකයන් ගෙන්වා ගත යුතුයි වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ද සලසා දිය යුතුයි. ඒ සඳහා වරාය නගරය වැනි අලුත් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දැනුම සමඟ ඉදිරි වසර 10දී අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එම වේගය අනුව තමයි අප සාර්ථක ද අසාර්ථක ද යන්න තීරණය වන්නේ.
ඒ වගේම රජයේ සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ගණනාවක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලවලට ඇතුලත්වන සිසුන්ට සහන ණය ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක්, වෛද්‍යවරුන් 7500ක් වැනි පිරිසක් වසරකට මෙරට විශ්වවිද්‍යාල තුළින් බිහි විය යුතුයි. ඒ වගේම තොරතුරු තාක්ෂණ විෂයට ද විශාල ඉල්ලුමක් තිබෙනවා. මෙම අවශ්‍යතා අඛණ්ඩව සපයාගත යුතුයි.
අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනඟා දීමටයි. ඒ නිසා පසුගිය වසරේ සිදු වූ දේ නැවත කිසිදා මේ රටේ සිදු නොවන ලෙස ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා.
ඒ සඳහා රජය නව පියවර ගණනාවක් ගෙන තිබෙන බව කිවයුතුයි. ආයෝජන මණ්ඩලය සහ අපනයන මණ්ඩලය යන ආයතන වෙතින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නැහැ. ඒ වෙනුවෙන් ආර්ථික කොමිසමක් පත් කර අදාළ බලතල කේන්ද්‍රගත කිරීමට කටයුතු කරනවා. එවිට ආයෝජන සඳහා එක් එක් අමාත්‍යාංශවලට ගොස් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ආයෝජකයන් හට එක ස්ථානයකින් සියලු කටයුතු සපුරාගත හැකියි.
මීට පෙර 1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කර මහකොළඹ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළේ ද ඒ ආකාරයටයි. ඒ වගේම ආයෝජන සදහා අවශ්‍ය යටිතල පසුකම් සපයා දීමට වෙනම මණ්ඩලයක් ඇති කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.
වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ද, ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම මාතලේ දිස්ත්‍රික්කය ද සංචාරක කර්මාන්තය වෙනුවෙන් විශාල ලෙස දායක කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.
තවද කෘෂිකර්මාන්තය නවිකරණය සඳහා කෘෂි නවීකරණ වැඩසටහනක් ඊළග මාස දෙක තුළදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. වී වගාවේ හෝ අනෙකුත් බෝග වගාවන් තුළ දැනට සිදු කෙරෙන නිෂ්පාදන ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිෂ්පාදන ඉහළ නංවාගත යුතුයි.
ඒ වගේම රටට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා තාක්ෂණ ප්‍රවර්ධන සභාවක් ඇති කිරීමටත්, රටට ඩිජිටල්කරණය ගෙන ඒමට ඩිජිටල් පරිවර්තන කොමිසම ඇති කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. රටේ සියලු ක්ෂේත්‍රයන්හි විශාල නවීකරණයක් එමගින් අපේක්ෂා කරන අතර, 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ඇති කිරීම අපේ අරමුණ බව කිවයුතුයි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු එම්.පී.බී. දෙහිදෙණිය, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, NSBM හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරුන් ද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේවාවසම් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වැඩිදියුණු කිරීමට ජනපතිගෙන් උපදෙස්
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රතිඅපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කර ඇත.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත මතු ව ඇති ගැටලු පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වූ බදු ප්‍රතිපත්ති පිළිබඳ නිර්දේශ 'පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව' විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට බලපාන බදු මෙන්ම අපනයන හා ප්‍රතිඅපනයන ක්‍රියාවලිය පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇති අතර, මේ වන විට ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳ අදාළ පාර්ශ්වයන් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීම ද සිදුවී ඇත.

මහින්ද ශූරතාවය පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම දිනලා !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තරගාවලිය අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී පවත්වා ඇත.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ය.
මෙම අවස්ථාව සඳහා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන ඇතුළු පිරිසක් සහභාගිව ඇත.
රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරග දෙකක් ලෙස මෙය පැවති අතර තරග දෙකෙහිම ජයග්‍රහණයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම දිනා ගැනීමට සමත්වු බවත් වාර්තා වෙයි.

හම්බන්තොට නිර්වින්දන ඩොකා නොකියාම පැනලා !
හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදෙස් ගතව ඇති බව හම්බන්තොට මහ රෝහලේ ආරංචි මාර්ග පවසයි .
වාර්තා වන ආකාරයට දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් නිර්වින්දන වෛද්‍යවරයා රෝහලෙන් පිටව ගොස් තිබෙන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (12) වනදා උදෑසන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දුරකථන කෙටි පණිවිඩ මගින් තමන් එංගලන්තයට ගිය බව දැනුම් දි ඇත.
රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් හා සඳුදා දිනයේ සිට විවිධ සැත්කම් කිරිමට පොරොත්තු ලේඛන සකස් කර ඇති අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සැත්කම් කිරිමට අනිවාර්යෙන්ම නිර් වින්දක විශේෂඥ වෛද්‍යවරයා සිටිය යුතු බවත් නැත්නම් එම කටයුතු සියල්ල අඩපණ වන බවය.
ඒ අනුව මේ වන විට නිර්වින්දන වෛද්‍යවරයකු නොමැති බැවින් රෝහල් කාර්‍ය මණ්ඩලය බරපතළ දුෂ්කරතාවකට පත්ව ඇති අතර රෝගී ජීවිතද යම් අවධානමකට ලක්ව ඇති බවත් සඳහන් වෙයි.

IMF සැප්තැම්බර් සමාලෝචනයට දින දෙයි : ඊට පස්සේ මොකද වෙන්නේ ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරනු ලබන පළමු සමාලෝචනය සැප්තැම්බර් මස 11 වනදා ආරම්භ කර දින 8ක් තිස්සේ එනම් සැප්තැම්බර් 19 වනදා දක්වා සිදුකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
එම කටයුත්ත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, මුදල් අමාත්‍යවරයා සම්බන්ධවී සිදුකරන්නක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .
ඔහු පවසන ආකාරයට මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීමට හැකියාව ලැබෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පවසයි .
"IMF සමග සමාලෝචනයක් තිබෙනවා.. ප්‍රථම වතාවට සැප්තැම්බර් මාසයේදී. 11 පටන් අරගෙන 19 දක්වා දින 08ක්.
"අපි සාර්ථකව මේ වැඩසටහනට මුහුණදීලා තියෙනවා. IMF වැඩසටහනත් සමග අපිට පූර්ව එකඟතා 09ක් තිබුණා. කලින් සිදුකළ යුතු. ඒ සියල්ල ක්‍රියාත්මක කළා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න රජය කැපවුණා කියන කාරණය IMF දකිනවා."
"අපි මේ මූලික එකඟතා ඇති කරගත්තේ ඩොලර් බිලියන 2.9කට. 2027 වනතුරු වාරික 08කදී මේක ලැබෙන විදියට. දැන් අපි පළමු වාරිකය ගත්තා. දෙවන වාරිකය ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක්. මම විශ්වාස කරනවා සැප්තැම්බර් මාසයේ සමාලෝචනයෙන් පසු අපිට ඒක ලබාගන්න පුළුවන් කියලා."

සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 82 කි.
අනුල ද සිල්වා මහත්මියගේ දේහය හෙට (13) හා (14) අනිද්දා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු අනිද්දා සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.
1941 ජනවාරි 27 වනදා අම්බලන්ගොඩ, පොල්වත්ත ගම්මානයේ උපත ලද අනුල ද සිල්වා සිය පළමු නවකතාව වන 'උන්මන්තකයෝ' ප්‍රකාශයට පත් කළේ 1964 වර්ෂයේය.
ඉනික්බිති සිය ලේඛනය තුළ ඇය නවකතා, පරිවර්තන සහ ළමා පොත් ඇතුළු පොත් 125කට අධික ප්‍රමාණයක් රචනා කළාය.
අනුල ද සිල්වා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා ද ඇගේ දායකත්වය ලබා දුන් අතර, අවස්ථා කිහිපයක දී ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නියක ලෙස ද කටයුතු කළාය.
අහස් මාලිගා, උන්මත්තකයෝ, මංජේශ්වරී, මහා මුහුද මමයි වැනි ජනප්‍රිය නවකතා ඇතුළු පොත් 100කට අධික ප්‍රමාණයක් සහ දෙවියංගේ අඩවිය (Not without my Daughter), තුන්වෙනි බිරිඳ (Third Wife), පිලිකා වාට්ටුව (Cancer Word) වැනි ජනප්‍රිය පරිවර්තන. තිබ්බත දියනිය, (Daughter of Tibbatha), තිත්ත කෝපි ඇය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
අඩසිය වසකට අධික සිය ලේඛන දිවිය යුතු කාන්තාවන් වෙනුවෙන් සිය නිර්මාණ කෞෂල්‍යයෙන් අසීමිත මෙහෙවරක් ඉටු කළ සාහිත්‍යවේදිනියක් ලෙස ඇය ජනප්‍රසාදිතයි.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසකින් ද, අනුල ද සිල්වා මහත්මිය පිදුම් ලැබුවේ සිය සාහිත්‍ය මෙහෙයවර ජාතික වශයෙන් ඇගයිමට ලක්වෙමිනි.

කෙහෙලියට එරෙහි විශ්වාස භංග යෝජනාව ගැන තීන්දුවක් !
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සැප්තැම්බර් මස පළමු පාර්ලිමේන්තු සතියේ පැවැත්වීමට තීරණය වී තිබේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී ඊයේ පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සැප්තැම්බර් මස 05 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ දින 03ක් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා ලබාදීමට තීරණය වූ බවය.
කෙසේ වුවත් පසුගිය සතියේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක විසින් අදාළ විශ්වාස භංග යෝජනාව කඩිනමින් විවාදයට ගැනීමට දින නියම කරගන්න උත්සාහ කළත් විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබ නියෝජිතයන් ඒ සඳහා පසුබට වූ බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර තිබිණ .

EPF පෙත්සම විභාගයට නොගෙන විසිවෙයි !
සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ගෙවනු ලබන පොලිය 09% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කර ඇත .
අදාළ තීන්දුව ව්ජිිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදී තිබේ.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයකු මෙන්ම ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රමුඛ නායකයකු වන චතුරංග අබේසිංහ විසිනි.
ඊයේ (10) මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ එහි මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් කියා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඉකුත් ජුනි මස 28 වනදා අමාත්‍ය මණ්ඩලය මඟින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම යෝජනාවලට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ද අනුමැතිය හිමි වී ඇති බවය.
ඒ අනුව අදාළ යෝජනා විධිමත්ව ව්‍යවස්ථාදායකය හමුවේ අනුමත වී ඇති බැවින් ඒ පිළිබඳ අධිකරණය හමුවේ කරුණු සලකා බැලීමට හැකියාවක් නොමැති බවය.
සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස කරුණු දක්වා ඇත.
එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ අදහස් විමසීමකින් තොරව එම කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.
සේවක අර්ථසාධක අරමුදල විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල සිදුකර තිබෙන ආයෝජන සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය 12% සිට 09% දක්වා අඩු කිරීමට එකඟ නොවන්නේ නම් 30%ක බද්දක් පැනවීමට සිදුවන බවට රජය විසින් කර තිබෙන ප්‍රකාශය අතිශය සාහසික බව ද ජනාධිපති නීතිඥවරයා ඊයේ චෝදනා කර තිබිණි.
ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් අධිකරණය හමුවේ සඳහන් කර ඇත .
කෙසේ වුවත් අද (11) දෙවන දිනටත් පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදුකළ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලීම අවසන්වීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කරන බවය.

බලශක්ති ක්ෂේත්‍රය නියාමනය සඳහා නව ස්වාධීන ආයතනයක් !
මෙරට බලශක්ති ක්ෂේත්‍රය නියාමන කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක් ලබන වසරේදී ස්ථාපනය කරන බවත් එමගින් සමස්ත බලශක්ති ක්ෂේත්‍රයම ආවරණය වන නියාමන ක්‍රියාවලියක් බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ නව රෙගුලාසි, රජයේ ප්‍රතිපත්ති තීරණ සහ අනෙකුත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා සාකච්ඡා කිරීමට, මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන් සමග විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවේදීය.
ලිහිසි තෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර තුනකට වරක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බවත් සියලුම ආනයනික ලිහිසි තෙල් වර්ග වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම් ගතව ඇති අතර 1200 කට ආසන්න වන පිරවුම් හල්වල විකිණිමට පහසුකම් සලසන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ එමගින් පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ඒවා මිලට ගැනිමේ අවස්ථාව ලැබන බවය.
එසේම වෙළඳපොළ ඒකාධිකාරයක් ඇති නොවන පරිදි, ගුණාත්මක නිෂ්පාදන සියල්ල වෙනුවෙන් යහපත් තරගකාරී වෙලදපොලක් නිර්මාණය කිරීම අවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

යෞවන ක්‍රීඩා උළෙල සහ තුරුණු ශක්ති යළිත් !
ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමඟ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙමින් යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කටයුතු කඩිනම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙන බව තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පැවසිය.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය වැඩිදියුණු කරමින් එම ක්‍රීඩා විශ්වවිද්‍යාලය පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත්, පාසල් සහ ප්‍රාදේශීය මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතාවන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එසේම ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ දී දේශපාලන මැදිහත්වීමක් සිදුවන බවට මෙතෙක් නැගුණ චෝදනාව අවසන් කරමින් ජාතික ක්‍රීඩා සභාව පිහිටුවීමට රජය පියවර ගෙන තිබෙන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා නව ජාතික ක්‍රීඩා සභාව අත්දැකීම් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් මෙන්ම පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත බවත් මෙරට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැඟීමට එය ඉවහල් වනු ඇති බවත් සඳහන් කළේය.
මේ අතර “ජාතික යෞවන ක්‍රීඩා උළෙල” සහ “තුරුණු ශක්ති වැඩසටහන” නැවත පැවැත්වීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මෙසේද පැවසීය .
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙරට තරුණ තරුණියන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කරමින් ඔවුන් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ තරුණ පරපුර කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබා ඇති නායකයෙක්. එතුමා 1979 ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරමින් මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් ඉටු කළ කාර්ය භාරය ද මෙහිදී සිහිපත් කළ යුතුයි.
ජාතික තරුණ සේවා සභාව සහ යොවුන් සේනාංකය අප අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතන දෙකක් වෙනවා. ජාතික තරුණ සේවා සභාව යටතේ මේ රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම තරුණ සේවා නිලධාරියෙකු පත් කර තරුණ තරුණියන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
යොවුන් සේනාංකය තුළින් මේ රටේ වයස අවුරුදු 18 – 29 අතර පාසල් හැර ගිය තරුණ තරුණියන්ගේ නිපුණතා සංවර්ධනය කරමින් හැකියාවන්ගෙන් පරිපූර්ණ තරුණ පරපුරක් ගොඩනැඟීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබෙනවා. කොරියන් භාෂාව, ජපන් භාෂාව ඇතුළු විවිධ භාෂා දැනුම ද ඔවුන්ට ලබා දීම සිදු කරනවා. හෝටල් ක්ෂේත්‍රයේ පුහුණු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මකයි.
එසේම ක්‍රිඩා ක්ෂේත්‍රය තුළ මධ්‍යම රජය සහ පළාත් සභා අතර කටයුතු වඩාත් සුහදව කළමනාකරණය කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය නිරතුරුවම කැපවී සිටිනවා.
එසේම ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රිඩිකාවන් තෝරා ගැනීමේ දී දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් විවිධ ප්‍රශ්න පැණනැගුන අවස්ථාවන් පසුගිය කාලයේ දක්නට ලැබුණා. එම නිසා ජාතික ක්‍රීඩා සභාව පත් කිරීමට ගත් පියවර ඉතා වැදගත් එකක් බව කිව යුතුයි.
මෙරට ක්‍රීඩාව පිළිබඳව අවබෝධයක් ඇති ක්‍රීඩාවේ නිරත වූ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන අර්ජුන රණතුංග, සුසන්තිකා ජයසිංහ වැනි ප්‍රවිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ජාතික ක්‍රීඩා සභාව සමන්විත වෙනවා. ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමේ දී නිසි පරිසාධන මට්ටම් ඔස්සේ අදාළ තෝරා ගැනීම් සිදු කිරීමට එමගින් අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා මෙම කටයුතුවලදී දේශපාලන මැදිහත්වීමක් සිදුවන බවට අද කිසිවෙකුට චෝදනා කරන්න බැහැ.
මත්ද්‍රව්‍ය භාවිතය අද ජාත්‍යන්තර තරගවලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එල්ලවන ප්‍රධාන චෝදනාවක් වී තිබෙනවා. එම නිසා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රීඩා අමාත්‍යාංශය තුළ පුළුල්ව ක්‍රියාත්මක කර තිබෙනවා
මේ රටේ ඇති ක්‍රීඩා සම්මේලන 72න් 66ක්ම වඩාත් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අද ක්‍රියාත්මක කර තිබෙනවා. මේ රටේ ක්‍රියාත්මක සෑම ක්‍රීඩා සම්මේලනයකටම විරුද්ධ තවත් කණ්ඩායමක් බලය ලබා ගැනීම සඳහා උත්සාහයන්හි නිරතවීම නිරතුරුව දකින්නට ලැබෙන දෙයක්. පාපන්දු සම්මේලනය, දැල්පන්දු සම්මේලය මෙන්ම හොකී සම්මේලනය තුළද මෙම තත්ත්වය දකින්න ලැබෙනවා.
විශේෂයෙන් ලිපිලේඛනවලට පමණක් සීමා වූ සම්මේලන පවත්වාගෙන යාම සිදුවන අතර එක් පිරිසක් සැමදා පාලන බලය ලබා ගැනීමට පුරුදු වී සිටිනවා. ක්‍රීඩා කළ හැකි කණ්ඩායමටවලට අවස්ථාව ලබාදී මේ රටේ ක්‍රීඩාව නැංවීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස මම එවැනි කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.
මේ අතර ක්‍රීඩා පනත සංශෝධනය පිළිබඳවත් මේ වන විට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

කෘෂි නවීකරණය සඳහා කාර්ය සාධක බලකායක් !
කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳා ගැනීම වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර පෞද්ගලික අංශය ද නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ "කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම" පිළිබඳ (10) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.
කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම, එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ද මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා අවශ්‍ය නම් පාර්ලිමේන්තු කමිටුවක් පත්කර ගැනීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.
කෘෂිකර්මාන්තය යනු මෙරට ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය එක් අමාත්‍යාංශයකට හෝ ආයතනය කිහිපයකට පමණක් සීමා නොවන බවත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද නිසි සම්බන්ධීකරණයකින් යුතුව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කළයුතු බවත් සඳහන් කළේය.
එමෙන්ම පැරණි ක්‍රමවේදවලින් බැහැරව වඩා සාර්ථක ප්‍රතිලාභ අත්කරගත හැකි අන්දමින් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙතෙක් සිදු වූයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන නිකරුනේ වැය වීම පමණක් බවත් ඉන් රටට නිසි ප්‍රතිලාභයක් හිමිව නොමැති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරි කෘෂි සැලසුම් ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාව ද පැහැදිළි කළේය.
වී සහ අනෙකුත් බෝගවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් කෘෂි සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමට උපදෙස් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් නවයෙහි පවතින සම්පත් ඒ සඳහා භාවිතයට ගැනීමටත්, එම සැලසුම් ක්‍රියාවට නැංවිමේ දී අදාළ අමාත්‍යාංශ, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල විශේෂඥ දැනුම ලබා ගන්නා ලෙසත් උපදෙස් දුන්නේය.
ඒ ඒ කන්නවලට ගැළපෙන වී වර්ග වගා කිරීම, අදාළ බෝග සඳහා විශේෂඥතාව ඇති ආයතනවලින් දැනුම ලබා ගැනීම, ගුණාත්මක බීජ වර්ග සපයා ගැනීම වැනි කටයුතු පිළිබඳ අවධානය යොමු කළයුතු බවත් රටපුරා පවතින ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සුළු පරිමාණ ගොවීන්ට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම ලබාදීමේ වැඩසටහනක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුනනේය.
එසේම නවීන කෘෂි උපකරණ නිෂ්පාදනය කරන තායිලන්තය වැනි රටවල සහාය ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද නිලධාරින්ට දැනුම් දුන්නේය.
කෘෂි සංවර්ධන වැඩසටහන සඳහා පුද්ගලික අංශයේ ව්‍යවසායකයන් සම්බන්ධ කර ගැනීමෙන් වඩා ඉහළ ප්‍රතිලාභ සැලසෙනවා මෙන්ම එමගින් තිරසාර කෘෂිකර්මාන්තයක් රට තුළ ගොඩනැගීය හැකි බවද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ඉලක්ක සපුරාගත හැකි අන්දමින් මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත්, විධිමත් ජල කළමනාකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කමත් පැහැදිළි කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මෙහිදී අදහස් දක්වමින් එක් එක් ප්‍රදේශයන්ට ආවේණික බෝග වගාවන් ග්‍රාමිය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ නව තාක්ෂණය පිළිබඳ ගොවිජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවට එක් වූ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන් විසින් මෙහිදී සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබිණි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන අය ඇතුළු රේඛීය අමාත්‍යාංශ රැසක ලේකම්වරු සහ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධිකාරියෙකු වන මධුශංක කොළඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධියක් ද, ඕස්ට්‍රේලියාවේ කර්ටින් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පරිගණක පද්ධති හා ජාලකරණය පිළිබද උපාධියක් මෙන් ම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය ද හිමි කර ගෙන ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර ගණනාවක අත්දැකීම් සහිත නිලධාරියෙකු වන ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ, නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිිමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන කිහිපයක ම ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු දරා ඇත.

සරත් ෆොන්සේකා ඇතුළු 11කට අධිකරණ ආඥාවක්
මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් හෝ විරෝධතා පාගමනකින් මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් පිරිසකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් අද(11) නිකුත් කර තිබේ.
ඒ අනුව අද(11) දහවල් 12.00 සිට හෙට(12) දහවල් 12.00 දක්වා මෙම නියෝගය බල පැවැත්වේ.
එම නියෝගයේ සඳහන් වන්නේ, කොළඹ ඩීන්ස් මාවත, කුලරත්න මාවත, ටී.බී ජයා මාවත සහ ටෙක්නිකල් හන්දිය යන ප්‍රදේශවලට ඇතුළුවීමෙන් වළකින ලෙසටය.
එම නියෝගය නිකුත් කර ඇත්තේ පූජ්‍ය පාගොඩ විජිතවංශ හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකුට ය.

මහ බැංකුව රුපියල් කෝටි 20000ක් මුදාහැරලා !
බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සතු තැන්පතුවලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 4 සිට සියයට 2 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය 8 වනදා රැස්වූ අවස්ථාවේය.
ඒ අනුව එළඹෙන 16 වැනිදායින් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්චේදයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
මෙම තීරණය හේතුවෙන් රුපියල් බිලියන 200 ක් පමණ මුදලක් දේශීය මුදල් වෙළඳපොළ වෙත මුදා හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
එමගින් බලපත්‍රලාභී බැංකුවල අරමුදල් පිරිවැය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමට බැංකුවලට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.
Page 165 of 464