පුවත්

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දැඩි තීරණයක !
පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සමහර සේවිකාවන්ට ඇතැම් ප්‍රධානීන්ගෙන් සිදුව ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේදී යම් නිලධාරියකු හෝ පිරිසක් එවැනි වරදක් කර ඇති බව තහවුරු වුවහොත් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර පවසයි .
මේ සිද්ධිය සම්බන්ධයෙන් පත්කෙරුණු කමිටුව විමර්ශන කටයුතු අපක්ෂපාතීව කරගෙන යන බවද ඇය සඳහන් කර සිටියි.
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය පිළිබඳ 2023 ජූලි 30 සහ ඒ ආසන්න දිනවල මාධ්‍යවල පළ කරන ලද වාර්තා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ජේෂ්ඨ නිලධාරිනියන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවද ඇය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරියකුගේ වැඩ තහනම් කර ඇති අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට, අදාළ කමිටු සාමාජිකාවන් පෞද්ගලිකව හමුවී හෝ දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන් අදාළ කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ අවස්ථාව පවතින බව මහලේකම්වරිය සඳහන් කළාය.
එකී කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ සහකාර මහ ලේකම්වරයාටද තොරතුරු ඉදිරිපත් කළ හැකි බව අභ්‍යන්තර චක්‍රලේඛයකින් දන්වා ඇතැයි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

බලය බෙදීමට සජිත් එකඟයි !
ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමට තම පක්ෂය එකඟ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි .
බොහෝ දෙනෙක් කතා කරන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන එදා අදත් හෙට දවසේත් එකම ස්ථාවරය සිටින බවත්, ඒකීය රටක් තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත්, ඔහු සඳහන් කරයි .
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, ඔහුගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගර ශාලාවේ ඊයේ (15) පැවති භික්ෂු උපදේශක සභාව අමතමිනි.
රටක ඒකීය භාවය ස්වෛරීත්වය සුරක්ෂා වීමට ජාතික සමගිය ජාතික ඒකාග්‍රතාව ජාතික එකමුතුභාවය වැදගත් බවත්, සියලුම පුරවැසියන්ට එක හා සමාන සැලකිල්ලකට ලක් කර හැම ජන කොට්ඨාසයකටම ආත්ම අභිමානයේ ගෞරවයෙන් ස්වෝත්සාහයෙන් ස්වශක්තියෙන් ජීවත් විමේ අවස්ථාව උදා කර දෙන බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබා දී ඇති විශේෂිත ස්ථානය සුරකින බවත් අනෙකුත් ආගමික හා ජාතීන් කොට්ඨාස සුරක්ෂා වන විදිහට කටයුතු කරන බවත් ඔහු එහිදී පැවසීය.

සජිත් එකමුතුව ප්‍රතිකේෂ්ප කරයි !
වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් සමඟ කිසිදු ගිවිසුමක් හෝ එකමුතුභාවයක් ඇති කර නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී ය.
රජය 13 වැනි සංශෝධන ගැන සාකච්ඡා කළත් හරිහැටි භාෂා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අපොහොසත් වී ඇති බවත් මෙවැනි බොරු වංචාකාරී දේශපාලන සූදුවක නියැලෙන ආණ්ඩුවක් සමඟ එක්වීමට සූදානම් නොමැති බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කර ඇත .
එසේම තනතුරු තාන්නමාන්න වරදාන ප්‍රතික්ෂේප කර රට වෙනුවෙන් ධනාත්මක නිවැරදි තීන්දු තීරණ ගන්නා නිවැරදි තැන හිටගන්නා බවත් විපක්ෂ නායක පවසා ඇත .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ අදහස් දක්වමින් සිටින්නේ සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පැරණි අඩුපාඩු සකසා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සහ තම පක්ෂය එක්විය යුතු බවට මතයක් ප්‍රසිද්ධියේ සමාජ ගත කරමින් සිටින පසුබිමකය.
කෙසේ වුවත් බෙදී වෙන්ව සිටින එජාප සජබ බලවේගය එක්වීමේ අවශ්‍යතාවය පිළිබඳව සජබ අභ්‍යන්තරයේ මන්ත්‍රීවරුන් අතර සංවාදයක් ඇරඹි ඇති බව දේශපාලන ආරංචි මාර්ග ද සඳහන් කරයි.

තේ කර්මාන්තය නංවන ආකාරය ජනපති පහදයි !
තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ 129 වන වාර්ෂික මහා සම්මේලනය අමතමිනි.
මෙරට ආර්ථිකය තුළ පුළුල් කාර්ය භාරයක් ඉටු කිරීමට තවමත් තේ කර්මාන්තයට ශක්තිය තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්ෂේත්‍රයේ ගැටලු හඳුනාගනිමින් නව්‍යකරණය සමඟ එහි පරිවර්තනයකට සූදානම් විය යුතු බවත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගනිමින් රට බන්කොලොත්භාවයෙන් මුදවා ගැනීමේ වැඩපිළිවෙළ අද අප ක්‍රියාත්මක කර තිබෙනවා.
නමුත් තවදුරටත් අප රටේ ආර්ථිකයෙහි වෙළෙඳ ශේෂයක් පවතින්නේ නම් අපට වසර 10කට වඩා මෙම ආර්ථික ස්ථායීතාවය පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපට විදේශ ණය ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අයවැය හිඟයක් ඇතිවන නිසා තවදුරටත් මුදල් මුද්‍රණය කිරීමට ද සිදු වෙයි.
අප නැවතත් මෙම පරණ ක්‍රමයටම යනවාද නැති නම් විධිමත් ආර්ථික ක්‍රමවේදයක් තුළින් නැගී සිටිනවාද යන්න තීරණය කළ යුතුයි. ඒ වගේම අප අලුතින් සිතා අලුත් ගමනක් යා යුතුයි.
යුද්ධය පැවති සමයේත් අප රටේ ආර්ථිකය ශක්තිමත්ව පැවතුණා. යුද්ධය පැවති වකවානුව තුළත් අප ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කිරීම ඊට උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි. කෙසේ නමුත් අද අපට හිමිකාරිත්වය සහ නියාමනය යන දෙයාකාරයෙන්ම රජය විසින් ආධිපත්‍ය දරන ආර්ථිකයක් පවත්වා ගැනීම අපහසුයි. නියාමනය ඉවත් කිරීම සහ පෞද්ගලීකරණය දැන් අපට ඇති විකල්පයයි.
තේ කර්මාන්තය රාජ්‍ය සහාය ඇතිව ගොඩනැඟුණු කර්මාන්තයක් නොවෙයි. මෙය පෞද්ගලික ප්‍රාග්ධනය යොදවා ඉන් අනතුරුව සාර්ථක වූවන්ගේ ව්‍යාපාරයක්. එහිදී ඇතැමුන් අසාර්ථක වුණා. නමුත් බොහෝ දෙනෙක් සාර්ථක වුණා. ඇතැමුන් වගාකරමින් සිටි ඉඩම් පවා මතභේදාත්මක ලෙස නැවත පවරාගැනීම් සිදුකර තිබුණා.
අප දැන් අනාගතය පිළිබඳ සිතිය යුතුයි. තවමත් මෙරට ආර්ථිකය තුළ පුළුල් කාර්ය භාරයක් ඉටු කිරීමට තේ කර්මාන්තයට ශක්තිය තිබෙනවා. ඉදිරි වසර 20- 30 පිළිබඳ අවධානය යොමු කරමින් ක්ෂේත්‍රය තුළ මතුව තිබෙන ගැටලු හඳුනාගත යුතුයි.
ගෝලීය දේශගුණික විපර්යාස සමග අපට ඉදිරියේ දී බරපතල ගැටලුවලට මුහුණදීමට සිදු වෙනවා. තේ කර්මාන්තය රැකගැනීමට නම් මෙම නිවර්තන දේශගුණික කලාපය දේශගුණික විපර්යාස වලින් ආරක්ෂා කරගත යුතුයි. ඒ පිළිබඳව යෝජනා අප ජාත්‍යන්තර සමුළුවලදී ඉදිරිපත් කර තිබෙනවා.
මෙම තත්ත්වය ලෝකයේ උතුරු අර්ධගෝලයේ සිදු වූ දැවැන්ත කාර්මීකරණයේ අහිතකර පළවිපාකයක් ලෙස ද හඳුන්වා දිය හැකියි. අප මේ පිළිබඳව කතා කළ යුතුයි. අපට දේශගුණික විපර්යාසවලට අනුගත වීමට සිදුව තිබෙනවා. ඒ වගේම ජලය පිළිබඳව තත්ත්වය ද ඉතා භයානක බව කිවයුතුයි.
පසුගිය දිනක මා කියවූ වාර්තාවක දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ භාවිතයට ගත හැකි ජලමූලාශ්‍ර වලට සිදුව ඇති හානිය පිළිබඳව කරුණු දක්වා තිබුණා. ජල මූලාශ්‍ර බොහෝමයක් මධ්‍යම කඳුකරයේ පවතින නිසා එය තේ කර්මාන්තයට ඍජුවම බලපානවා. අපි තව වසර 50කින් 60කින් අපේ වෙළඳපොල පවතින්නේ කොතැනද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයි.
2050දී ලෝක ජනගහන වර්ධනය පිළිබඳව පුරෝකතන දෙස අවධානය යොමු කිරීමේ දී ඉන්දියාවේ ජනගහණය තවත් මිලියන 400කින් පමණ ඉහළ යනු ඇතැයි උපකල්පනය කර තිබෙනවා. කෙන්යාව, මලාවි සහ මැදපෙරදිග යන රටවල ජනගහනයත් ඉහළ යමින් තිබෙනවා. ඒ හා සමගාමීව එම රටවල ඒකපුද්ගල ආදායම ද ඉහළ යනවා.
නමුත් ශ්‍රී ලංකාවේ ජනගහනය ඉහළ යන්නේ නෑ. ඒනිසා අපේ නිෂ්පාදනය වර්ධනය කරගන්නෙ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. චීනය ජනගහනය ක්‍රමිකව පාලනය කර ගනිමින් පවතිනවා. එනිසා අප චීනය සමඟ කටයුතු කළ යුතුයි.
ඉදිරියේ දී චීනයේ තේ වැඩි වශයෙන් වෙළඳපොලට පැමිණෙන නිසා එයින් ඔබට හොඳ අවස්ථාවන් නිර්මාණය වනු ඇතියි. ඒ වගේම ඉන්දියාවද තේ වෙළෙඳපොළට පැමිණෙනවා. එනිසා අප ඉන්දියාව සහ චීනය සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. අපිට තනිව ගමනක් නැහැ. ඔවුන්ගේ වෙළඳපොල රටාවන් හොඳින් ඔබ අධ්‍යයනය කළ යුතුයි. ලෝකයේ නැගෙනහිර හා බටහිර රටවල් තේ මිලදීගෙන කිරි හෝ බිස්කට් සමඟ සකස් කරගෙන පානය කරනවා. ඒ සඳහා පමණක් තේ නිෂ්පානය කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. අද Green tea ලෝකය තුළ ප්‍රචලිත පානයක් බවට පත්ව තිබෙනවා. අප තේ ආශ්‍රිත නව සොයාගැනීම් හා නිෂ්පාදන පිළිබඳ සිතා බැලිය යුතුයි.
මම කුඩා කාලයේ අපේ නිවසේ ඉතා විශාල මුළුතැන්ගෙයක් තිබුණා. නමුත් දැන් නිවාසවල දකින්න තිබෙන්නේ ඉතා කුඩා මුළුතැන්ගෙයක්. තවත් වසර 20කින් 30කින් පමණ ඉදිවන නිවාස වල මුළුතැන්ගෙයක් නැතිව ආහාර නිෂ්පාදනය කරන යන්ත්‍ර එකක් හෝ දෙකක් දක්නට ලැබේවි. මේවා අපට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන අභියෝග බව සිහියේ තබා ගත යුතුයි.
අප එම අභියෝග හඳුනාගෙන ඊට ගැළපෙන විකල්ප සමඟ ඉදිරියට යා යුතුයි. ස්වීඩ්න් ජාතික ආර්ථික විශේෂඥයෙකු වූ Gunnar Myrdal විසින් 1960 දශකයේ ලියන ලද Asian Drama කෘතියෙහි ශ්‍රී ලංකාවද විශ්ලේෂණයට ලක් කරමින් ඔහු සඳහන් කර තිබුණේ “බ්‍රිතාන්‍යයන් සිය කළමනාකරණය සහ මූල්‍ය අත්දැකීම් කාර්මික විප්ලවය මගින් ලබාගෙන ඒවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට රැගෙන විත් ඉන්පසු එය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දුන් බවය. ඒ නිසා අපට නූතන වැවිලි කළමනාකරණ පද්ධතියක් ලැබී තිබෙන බව එහි සඳහන් වෙනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන් සමඟ සන්සන්දනය කිරීමේදී නව කළමනාකරණ ක්‍රමවේදයන් පිළිබඳව සිතීමට දැන් කාලය එළැඹ තිබෙනවා. එය සියලුම නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතුයි.
එහිදී කෘත්‍රිම බුද්ධිය, ජෛවතාක්ෂණවේදය වැනි විෂයන්ද උපයෝගී කර ගත හැකි දැයි විමසා බැලිය යතුයි. එය පෞද්ගලික අංශය වන ඔබගෙන් නිර්මාණය විය යුතුයි. මොකද අවසන් අධිකාරිය පවතින්නේ ඔබගේ වෙළෙඳපොළ තුළයි.
ලිප්ටන් මහතා ලංකාවට පැමිණියේ නැත්නම් අද මේ මුකුත් නැහැ. ඒ නිසා එම ක්‍රමවේදය වැඩිදියුණු කරමින් නව නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන එන මංපෙත් කඩිනමින් සොයා බැලිය යුතුයි. අප ඔබට එහිදී පූර්ණ සහාය ලබා දෙනවා. තේ කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අපට කළ හැක්කේ එයයි. ඒ සමඟ මතුවන ගැටලු විසඳීමට ද අප කටයුතු කරනවා.
ශ්‍රී ලංකා තේ නොකිලිටි (pure) තේ ලෙස ජාත්‍යන්තරයට ගෙන යන ඉලක්කය සාර්ථක කර ගැනීම සඳහා අප හොඳම විසඳුම් සමඟ ඉදිරියට යමු කියා මම ඔබට ආරාධනා කරනවා.
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජනක ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ වරාය නගර සභාපති ජනාධිපති උපදේශක දිනේෂ් වීරක්කොඩි, කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ සභාපති සංජය හේරත්, උප සභාපති ලුෂන්ත ද සිල්වා හිටපු සභාපතිවරුන් වන ජනක කරුණාරත්න සහ ඇන්ස්ලම් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නියඟය වගාවන් වැනසුවේ මෙහෙමයි !
මේවනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තක්සේරු කටයුතු ආරම්භ කර ඇති අතර ඊට අනුව ඊයේ දිනය වන විට වී වගාවට වැඩිම හානි සිදුව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටය.
එම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 19,388 කට හානි සිදුව ඇති අතර ඉන් අගතියට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 22,357කි.
දිවයිනම ආවරණය වන පරිදි මෙම තක්සේරු සිදු කරන අතර ඒ සඳහා යොදවා ඇති කණ්ඩායම් ගණන 25කි.
වැඩිම වගා හානියක් සිදුව ඇති දෙවන කලාපය බවට උඩවලව පත්ව ඇති අතර එහි කුඹුරු අක්කර 10,125 කට හානි සිදුව ඇති අතර අගතියට පත්ව ඇති ගොවීන් ගණන 4050 කි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ තක්සේරු කිරීම්වලට අනුව වැඩිම හානි සිදුව ඇති වී වගා බිම් කලාපය වන්නේ මහවයි.
මහව කලාපයේ අක්කර 8,008 කට නියඟයෙන් හානි සිදුව ඇති අතර පුත්තලමේ අක්කර 818 කටත්, රත්නපුරයේ අක්කර 636 කටත්, මාතර අක්කර 629 කටත්, හම්බන්තොට අක්කර 541කටත්, මඩකලපුවේ අක්කර 528 කටත්, නුවරඑළියේ අක්කර 491 කටත් හානි සිදුවී ඇතැයි තක්සේරු වාර්තාවේ සඳහන්ව තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ ඊයේ දිනය වන විට මෙලෙස දිවයිනපුරා අක්කර 37,101 ක වී වගා කළ ගොවීන් 32,967 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි හඳුනාගෙන ඇති බවය.
මෙහි අවසන් වාර්තාව සකස් කිරිම සඳහා මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ආහාර වර්ග 09ක මිල පහළට
ලංකා සතොස ආහාර වර්ග 9ක මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ.
හෙට (අගෝ. 17) සිට නව මිල ගණන් බලාත්මක බව ලංකා සතොස පැවසීය.
ඒ අනුව, LSL කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 29කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 970ක් දක්වා පහළ යනු ඇත.
එමෙන් ම, සෝයා මීට් (තොග) කිලෝ 1ක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 625කි.
හාල්මැස්සන් (තායි) කිලෝ එකක මිල රුපියල් 15කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 1160ක් දක්වා පහළ යනු ඇත.
බාස්මතී සහල් කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 675කි.
තව ද දුඹුරු සීනි කිලෝ එකක මිල රුපියල් 350ක් දක්වා පහළ දමා තිබේ.
සෙසු ආහාර වර්ගවල මිල ගණන් පහතින් දැක්වේ.

ඉන්දු ලංකා සබඳතාව මිත්‍රත්වයට එහා ගිය සහෝදර බැඳීමක් - සාගල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පසුගිය ඉන්දීය නිල සංචාරය සමඟ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බවත් ඉදිරියේ දී දෙරට වඩා පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වාර්ෂික නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාවට පිටත් කර හැරීම හා ඒ වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදීම වෙනුවෙන් අද (16) පෙරවරුවේ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයට එක් වෙමිනි.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසර දෙකක කාලයක් සඳහා 2022 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දෙනු ලැබීය.
එම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසරක කාලයක් සක්‍රීය සේවයේ යෙදෙමින් සුවිශේෂී සේවාවක් ඉටු කරනු ලැබූ අතර එම ගුවන් යානයේ වාර්ෂික අනිවාර්ය නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාව වෙත යැවීමට කටයුතු කරන ලදී. එම ගුවන් යානය වෙනුවට අනුප්‍රාප්තික ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය මෙලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබා දී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේ ද පැවසීය.
අපගේ අසල්වැසි සහ මිත්‍ර රටක් වන ඉන්දියාව අපට විශාල ලෙස උපකාර කරනවා. අප දෙරට අතර පවතින්නේ දීර්ඝකාලින බැඳීමක්. ශ්‍රී ලංකාව මුහුණ දුන් පසුගිය ආර්ථික අභියෝගය හමුවේ ඉන්දියාව මිත්‍රත්වයෙන් එහා ගියා සහෝදරත්වයිකින් යුතුව අප වෙනුවෙන් කටයුතු කළා.
මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ ඉන්දීය නිල සංචාරය සමඟ එම බැඳිම් තවදුරටත් ශක්තිමත් වූ බව කිවයුතුයි. ඒ අනුව ඉදිරියේ දී දෙරට සමීප සහයෝගයකින් වැඩ කිරීමට තීරණය කර තිබෙනවා. “සබඳතාව” යන්න මෙහි වැදගත්කම කරුණයි. එය පුළුල් අර්ථයක් තිබෙන වචනයක්. එය මාර්ග සබඳතා, ජනතාව අතර සබඳතා, ආර්ථික සබඳතා, සැපයුම් සබඳතා හෝ ආරක්ෂක සබඳතා විය හැකියි.
පසුගිය දුෂ්කර කාල පරිච්ඡේදය තුළ අපේ මෙම සමුද්‍රීය මෙහෙයුම් කටයුතු කරගෙන යාමට අත්‍යාවශ්‍යව තිබූ ඉන්ධන ලබාදෙමින් ඇමරිකානු රජය සහ ඕස්ටේලියානු රජය ද අපේ ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට සහාය ලබා දුන්නා.
ගුවන් හමුදාවේ බොහෝ යානා අලුත්වැඩියා කිරීමට අවශ්‍යව තිබු හෙයින් එම කාලය තුළ ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරලීම පමණක් නොව ගුවන් හමුදාවේ අවශතාවයන් සපුරාලීම ද මහත් අභියෝගයක් වුණා.
නවීන තාක්ෂණයත් සමඟ අපගේ ගුවන් යානාද එයට සරිලන අන්දමින් නවීකරණය කිරීමට අවශ්‍යව තිබුණත් අපගේ ආර්ථික තත්ත්වය නිසා එය සිදු කිරීම අපහසු කාර්යයක් වුණා.එබැවින් අපට මෙම සහාය ලබාදීම පිළිබඳ මම ඉන්දීය රජයට නැවත වාරයක් ස්තූවන්ත වෙනවා.
අපේ සමුද්‍ර මෙහෙයුම් පිළිබඳ අවධානය යොමු කරන විට නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ ප්‍රවාහනය හා මිනිස් ජාවාරම මැඩපැවැත්වීම වැනි කටයුතුවලදී විශේෂ තැනක් ගන්නවා. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රීයව පිහිටි රටක් ලෙස මෙහිදී අපට විශාල වගකීමක් පැවරී තිබෙනවා.
අපට මුහුණදීමට සිදුවන අභියෝග දිනෙන් දින වෙනස් වන නිසා අප අනාගතය දෙස බලමින් කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා නාවික හමුදාව ආරම්භ කරන විට අද මුහුණ දෙන අන්දමේ තර්ජනවලට මුහුණ දීමට සිදුව තිබුණේ නැහැ. පසුගිය යුද සමයේ දී ගුවන් හමුදාවට තිබූ වගකීම් මීට වඩා වෙනස්. නව තාක්ෂණය සහ කාලය සමඟ සිදුවන වෙනස්කම් සමඟ අපද ඉදිරියට යා යුතුයි.
මෙම නව අභියෝගවලට මුහුණදීම සඳහා අපේ ආරක්ෂක අංශය ද නවීකරණය විය යුතුයි. එම නවීකරණ වැඩපිළිවෙළ ජනාධිපතිතුමා විසින් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන් කළයුතුයි.
මීට අමතරව වැලි ජාවාරම මැඩලීම වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගැනීම යන කරුණු පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අපේ රට සූර්ය සහ සුළං බලශක්ති ප්‍රභවයන්ගෙන් අනුන රටක්. අප ඒවා ආරක්ෂා කරගත යුතුයි. එහිදී හමුදාවන්ට ද විශාල වගකීමක් පැවරී තිබෙන බව මම මෙහිදී සිහිපත් කරනවා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න යන ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දේශීය ණය ප්‍රශස්තකරණය ගැන මහ බැංකුවෙන් තවත් නිවේදනයක් !
දේශිය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් අගයන් මත නිකුත් කළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල්වලින් නාමනය කළ නව භාණ්ඩාගාර බැඳුම්කරවලින් පියවීම ඊයේ සිදුකරන ලද බව මහ බැංකුව නිවේදනය කර සිටියි.
ඒ සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නව විචල්‍ය අනුපාතයක් යටතේ ශ්‍රී ලංකා රුපියල්වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර 05ක් ලෙස පරිවර්තනය කර මෙම පියවීම සිදුකර තිබේ.
මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පසුගිය ජුලි 04වැනිදා මෙලෙස ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, රුපියල් බැඳුම්කරවලට හුවමාරු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනට අදාළ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙසටය.

රථවාහන කිහිපයක ආනයන සීමා ලිහිල් කෙරේ
පොදු ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන බස්, ලොරි, ට්‍රක් සහ බවුසර් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කර තිබේ.
මුදල් අමාත්‍යංශය විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද : ජනාධිපති මඩු මංගල්‍යයට යයි
උතුරේ හා දකුණේ සාමයේ සංකේතය ලෙස සැලකෙන මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) පැවැත්වේ.
මංගල්‍ය දිව්‍ය පූජාව අද උදෑසන 6.00 ට ආරම්භ විය.
මඩු දේවස්ථානයේ මංගල්‍ය පැවැත්වෙන්නේ, සෑම වසරකම අගෝස්තු මස 15 වැනි දිනයි.
ඒ, මරියෝත්තමාවන්ගේ ස්වර්ගරෝපිතවීම හෙවත් අහස් නැගීමේ මංගල්‍යය මුල් කර ගනිමිනි.
ජනාධිපති වික්‍රමසිංහ මෙවර මඩු මංගල්‍යයේ උදෑසන දේව මෙහෙයට එක්වීම ද විශේෂත්වයකි.
ප්‍රධාන දේව මෙහෙයෙන් පසු මඩු මාතා පිළිරුව රැගත් පෙරහර බැතිමතුන්ට වන්දනා මාන සිදු කිරීම සඳහා දේවස්ථාන භූමියේ සංචාරය කෙරිණි .
දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි බැතිමත්හු වාර්ෂික මඩු මංගල්‍යයට එක්ව සිටියහ.
මරඳමඩු මාතා පිළිරුවට ඔටුනු පළඳවා 2024 වසරට වසර සියයක් සම්පූර්ණ වන අතර ඒ වෙනුවෙන් පවත්වන දේව මෙහෙයන් වසර පුරාම පැවැත්වීමට දේවස්ථාන පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ප්‍රධාන දේව මෙහෙයට එක් වූ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් එහිදී පැවැසූයේ ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ ජනාධිපති වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බවත් ඊට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශීර්වාදය හිමිවන බවත්ය.
මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.
මන්නාරම රදගුරු අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ආරාධනයෙන් පැමිණි වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩප්පේ හිමිපාණන්, ගාල්ල රදගුරු අතිඋතුම් රේමන් වික්‍රමසිංහ හිමිපාණන්, අනුරාධපුර රදගුරු අතිඋතුම් නෝබට් අන්දාදි හිමිපාණන් ඇතුළු ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලා රැසකගේ ද ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංවර්ධන පදනමේ සභාපති ආචාර්ය චන්දෘ ප්‍රනාන්දු දේවගැති තුමන් ඇතුළු පියතුමන්ලා ද, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු මැති ඇමැතිවරුගේ සහභාගීත්වයෙන් මංගල්‍ය දිව්‍ය පූජාව පැවැත් විය.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=2934#sigProId1af4c37f9e

හිටපු ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් දේශපාලන ඔප් එකක : රට ජාතිය හෝල් සේල් !
ආරක්ෂක අංශයේ හිටපු ලොකු ලොක්කො ටිකක් මේ රටට පාලකයෙක් පත් කරන්න අමුතු දේශපාලන ගේමක් ගහගෙන එන්නලු යන්නේ. මේ වැඩේට ආරක්ෂක අංශවලින් විශ්‍රාම ගිය ලොකුම ලොකු කට්ටියකුත් හාමුදුරුවරු කට්ටියකුත් එකතු වෙලාලු ඉන්නෙ.
මේ දේශපාලන ව්‍යාපෘතියේ ඉන්නේ යුද්ධය අවසන් මොහොතේ නම් ගම් කියැවුණු ලොකූ කට්ටියක්. ඒකෙන් එක්කෙනෙක් මහ පුටුවේ වාඩිකරවන්න මෙයාලගෙ සැලසුමක් තියෙනවා.
එයා තවම තනතුරුවලින් එළියට ඇවිල්ලා නැති නිසා, උන්නැහේ විශ්‍රාම අරගෙන එනකොට එයාට මැච් එක ගහන්න පිච් එක හදලා තියන්නලු යන්නේ. කොහොම වුණත් මේක පටන් ගන්න යන්නේ ආණ්ඩුව කරන්න යන බලය බෙදීමට විරුද්ධවත් එක්ක.
හැබැයි වැඩේ වැඩිදුර ගෙනියන්න බැරිවෙයි කියලලු කට්ටිය කියන්නේ. ඒ දැනටම දේශපාලනය කරන ආරක්ෂක අංශ ලොක්කෙක් ලොකු පුටු හීනේ ඉන්න නිසා.
- Deshaya

ආණ්ඩු මාරු වන විට මාරු නොවන සංචාරක ප්‍රතිපත්තියක් ළඟදීම !
ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත්, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රට ගොඩනැඟිමට ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ අද සංචාරක ක්ෂේත්‍රයේ ද පිබිදීමක් දක්නට ලැබෙනවා. එදා රට භාර ගැනීම ප්‍රතික්ෂේප කළ නායකයන් අතර, නොබියව එම අභියෝගය භාරගත් ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බව කිව යුතුයි.
සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම මෙරට ඩොලර් අර්බුදය විසඳා ගැනීමට ඇති ප්‍රධාන ප්‍රවේශයක් ලෙස පෙන්වා දිය හැකියි. මීට වසරකට පෙර සංචාරක ක්ෂේත්‍රය පැවති තත්ත්වයට වඩා අද ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ නිහතමානී සතුටක් තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. අප එය තවත් ප්‍රවර්ධනය කළ යුතුයි.
ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක්. නමුත් මෙම සුන්දර රටේ වටිනාකම කිසිවෙකු තවම තේරුම්ගෙන නැහැ. ඒ වගේම මේ රට නිධානයක්. මේ නිධානයෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේද කියා අප තවම සිතා නැහැ. ඒ සඳහා අවශ්‍ය ආකල්පමය වෙනස සිදු කිරීම තමයි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ වී තිබෙන්නේ.
අද මේ රට පත්ව තිබෙන තත්ත්වයට පසුගිය වසර 75 තිස්සේ මේ රට පාලනය කළ දේශපාලනඥයන් වගකිව යුතුයි. නමුත් අද තනි පුද්ගලයෙකු රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිනවා.
සංචාරකයන්ට සුන්දර ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළ නංවා ගැනීමට නම් සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු රැසක් විසඳිය යුතුව තිබෙනවා.
මෙරට සංචාරක ආකර්ශණය දිනාගත් ස්ථානවල පවතින තදබදය අඩු කිරීමට ඉදිරියේ දී වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ද අපේක්ෂා කරනවා. එසේම මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ එක්ව සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර තිබෙනවා.
සංචාරකයන්ගේ පහසුව සඳහා ජංගම දුරකථන යෙදවුමක් මෙන්ම විදෙස් සංචාරකයන්ට මුහුණදීමට සිදුවන විවිධ අක්‍රමිකතා වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ වගේම සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමට අප කටයුතු කරනවා. ආණ්ඩු සහ දේශපාලනඥයන් වෙනස් වන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් මෙරට සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍යයි. අමාත්‍යවරයා වෙනස් වුණා කියා රටේ සංචාරක ප්‍රතිපත්තිය වෙනස් වෙන්න බැහැ. ඒ නිසා දීර්ඝ විශ්ලේෂණයකින් අනතුරුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව සකස් කළ නව සංචාරක ප්‍රතිපත්තිය අප කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න අප ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරනවා.
මෙතෙක් අපට තිබූ අභියෝගය වූයේ මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනිමයි. ඒ වගේම ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන අභියෝගය වන්නේ සංචාරක කේෂ්ත්‍රයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න. මෙරට හෝටල් ක්ෂේත්‍රයේ සේවය කරන්නන් පළමු සේවා සහතිකය ලබා ගත් විගසම විදෙස් රැකියා සඳහා පිටත්ව යනවා. පසුව සිදු කෙරෙන්නේ ඒ වෙනුවෙන් වෙනත් අයෙකු බඳවා ගැනීමයි. මේ තත්ත්වය මෙරට හෝටල් ක්ෂේත්‍රයේ විශාල ගැටලුවක් ලෙස මම දකිනවා. එය ඇතුළු ක්ෂේත්‍රයේ තිබෙන අනෙකුත් ගැටලු විසදීමට අප කඩිනමින් පියවර ගන්නවා.
සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන සම්බන්ධයෙන් විවෘත කෙටි චිත්‍රපට උළෙලක් පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා. කේෂ්ත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් තුළින් හොඳම කෙටි චිත්‍රපට 10 තෝරා ගෙන ඔවුන්ට මූල්‍යමය ත්‍යාග ලබා දීමට, මෙන්ම ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා. මෙම වැඩසටහන වාර්ෂිකව පැවැත්වීමටත් කටයුතු කරනවා.
ඒ වගේම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් හිල්ටන් හෝටල් සමූහයේ අතිසුඛෝපභෝගී හෝටලය එළැඹෙන 19 වනදා යාල ප්‍රදේශයේ දී ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතයි. ඒ හා සමගාමීව සංචාරක ප්‍රචාරක වැඩසටහන් මාලාවක් ද දියත් කිරිමට සැලසුම් කර තිබෙනවා.

මිලින්ද එයි : ක්ෂෙනුකා යයි !
ජනාධිපති මාධ්‍ය ඒකකයේ විදෙස් මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරන ක්ෂෙනුකා සෙනෙවිරත්න ඉන්දියාවේ මීළඟ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්කර යැවීමේ සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.
ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට එම ධුරයේ කටයුතු කරන මිලින්ද මොරගොඩ ගේ නිල කාලය එළඹෙන සැප්තැම්බර් මාසයේදී අවසන් වන අතර ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම තීන්දුව ගෙන ඇත.
මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමයේදී එවක ආණ්ඩුවේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ උපදෙස් මතය. කෙසේ වුවත් ඔහුගේ ධූර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ක්ෂෙනුකා සෙනෙවිරත්න මීට පෙර නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලෙසත් පසුව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත් කටයුතු කර තිබෙන පළපුරුදු නිලඩ් රාජතාන්ත්‍රික නිලධාරිනියකි.

පෞද්ගලික රෝහලක කෝටි ගාණක ගැහිල්ලක් !
කොළඹ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලක සිදුව ඇති රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියේ විශේෂ අංශයක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
අදාළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් අය කරගන්නා මුදල්වලට රෝහලෙන් ලබාදෙන 20%ක විශේෂ වට්ටම් මුදල එම රෝහලේ අංශ ප්‍රධානියකු ඇතුළු 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් වංචාසහගතව ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ක්‍රියාත්මක ය.
රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇති අතර ර රෝගීන් ඇතුළුව දෙසියකගෙන් පමණ දෙනා ගෙන් මේ වන විට ප්‍රකාශ ද ලබාගෙන ඇති බවත් වාර්තා වෙයි.
එහි නේවාසික රෝගියෙකු ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටව යන අවස්ථාවේ රෝහල වෙනුවෙන් ගෙවිය යුතු සම්පූර්ණම මුදල ගෙවිය යුතු අතර රෝහලෙන් ලබා දෙන විශේෂ වට්ටම ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ පසු එය ලබාදීම සාමාන්‍යය ක්‍රියාපටිපාටියයි.
නමුත් මෙම විශේෂ වට්ටම පිළිබඳ බහුතරයක් රෝගීන් ගෙන් නොදැනුවත්භාවය ප්‍රයෝජනයට ගෙන බ්ල්පත් අංශ ප්‍රධානියා ඇතුළු හය දෙනකු ව්‍යාජ ලේඛන සකසා වසර ගණනාවක සිට මෙම මුදල් වංචාව සිදු කර ඇතැයි හෙළි වී තිබේ.
මේ වරටත් අදාළ චෝදනා එල්ල වන සේවකයන් හයදෙනා සේවයෙන් ඉවත් කර ඇත.

ජවිපෙ ඉන්දීය විරෝධය අවසන් !
ඉන්දියාව සමඟ හොඳ දැක්මක් සහිතව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.
හුණුපිටිය මංසන්ධියේ පැවති ජාතික ජනබලවේගය පක්ෂයේ කැලණිය ආසන බලමණ්ඩලය අමතමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ඉන්දියාව ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටිමත්, ඉන්දියාවට ශ්‍රී ලංකාවේ භූ දේශපාලනයද ඇතුළත් වී තිබීම පිළිබඳව හොඳ දැක්මක් සහිතව ඉන්දියා සමග ගනුදෙනු කිරීමට සූදානම් බව එහිදී අනුර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
ඉන්දියාව, චීනය ලෝකයේ විශාලම ආර්ථිකයන් බවත් ලොව විශාලතම නිෂ්පාදකයන් බවත් පැවසූ ඔහු එම රටවල් සමග හොද ගණුදෙනුවක් කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භක අවධියේ සිට ඉන්දීය විරෝධයක සිටි අතර එහි මුල් අවධියේ පැවති අධ්‍යාපන පංති 5 තුළ, ඉන්දීය ව්‍යාප්තවාදය යනුවෙන් පන්තියක් ද එක්කර තිබිණ. එසේම ඉන්දු - ලංකා ගිවිසුම අවස්ථාවේ ඊට විරුද්ධවද ජවිපෙ ප්‍රසිද්ධියේ කටයුතු කෙරිණ. ඒ අනුව මේ වන විට පෙන්නුම් කරන්නේ ජවිපෙ ඉන්දියාව සම්බන්ධ එම පැරණි අදහසින් විතැන්ව ඇති බවය.

චැනල් අයි නාලිකාව ලයිකාට දීම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරලා !
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීමට රූපවාහිනියේ වත්මන් සභාපතිවරයා විසින් ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
‘චැනල් අයි’ නාලිකාව ‘ලයිකා’ වෙත ලබා දීම සඳහා ජුලි මස අග දෙපාර්ශවය විසින් ගිවිසගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොතිබූ බවත් වාර්තා වෙයි.
ඒ අනුව එම ගිවිසුම සඳහා ආවරණ අනුමැතියක් ලබාගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රීකාවක් ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් අද (14 සඳුදා) උදැසන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය විසින් එම කැබිනට් පත්‍රීකාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවත් දැනගන්නට ඇත.
කිසිඳු පාරදෘශ්‍ය භාවයකින් තොරව සිදුකළ මෙම ක්‍රියාමාර්ගය අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බවත් වාර්තා වෙයි.
‘චැනල් අයි’ නාලිකාව දිගින් දිගටම පාඩු ලබන බැවින් පුද්ගලික ආයෝජකයෙකුට බදු පදනම මත පැවරීමට හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කර තිබිණ.
ඒ අනුව 2023 පෙබරවාරි 03 දා ඊට අදාල ටෙන්ඩර් කැඳවීමේ නිවේදනයක් පළකර තිබු අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 17 දින අවසන්ව තිබේ.
නියමිත දිනට ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කරමින් යෝජනා ඉදිරිපත් කර තිබුනේ මෙරට ප්‍රකට සන්නිවේදන ආයතන 2ක් පමණි. කෙසේ වුවත් ලයිකා සමාගම සමඟ ගිවිසුම්ගතවීම සිදුව ඇත්තේ එම ආයතන ද නොසළකා බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව ගැන නිවේදනයක් !
විදෙස්ගතවන ගුවන් මගීන්ගේ පහසුව පිණිස ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම සඳහන් කරයි.
ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර ඇති බවද එහි දැක්වෙයි.
කෙසේ වෙතත් තවදුරටත් සෑම ගුවන් මගියෙකුම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ලක්වන බවද සමාගම පවසයි.
මෙලෙස ඉවත්කිරීමට පියවර ගෙන ඇති ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබූ බවද ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිකුත්කළ නිවේදනයෙහි පෙන්වාදී තිබේ.
මීට පෙර එම යන්ත්‍රය ඇතුළුව ස්කෑන් යන්ත්‍ර 03ක් හරහා විදෙස්ගතවන ගුවන් මගීන් පරීක්ෂා කිරීම හරහා විශාල තදබදයක් ඇතිවූ බවද සමාගම පවසයි.
මේ වනවිට රටේ පවතින සාමකාමී තත්ත්වයත් ගුවන් මගීන්හට විදේශගතවීමේදී සිදුවන අපහසුතාවයන්ද සැළකිල්ලට ගනිමින් ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව ඇත.
මේ අතර නවීන තාක්ෂණයෙන් යුතු කැමරා 446කින් ලබාගන්නා රූප රාමු ඇතුළත් ආරක්ෂිත CCTV කැමරා පද්ධතියකින් යුතු පැනලයක් හරහා පැය 24 පුරා මගීන් නිරීක්ෂණය කරන බවද සඳහන් වෙයි.
සිවිල් ඇඳුමින් සැරසුණු ගුවන්තොටුපොළ සහ ත්‍රිවිධ හමුදාවන්ගෙන් සමන්විත ආවේක්ෂණ කණ්ඩායමක් ද පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්තවල සේවයේ නිරත වන බවද එම සමාගම වැඩිදුරටත් පවසයි.

වියළි කාලගුණය පානීය ජල සැපයුමටත් හරස් වෙන ලකුණු !
මේ වන විට පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දී සිටියි.
ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද මණ්ඩලය සඳහන් කරයි.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර පවතින තත්ත්වය තුළ පාරිභෝගිකයින්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමේ දී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවත් පවසයි .
කෙසේ වෙතත් වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන දුෂ්කරතා පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව ප්‍රකාශ කරන බවත් මේ මොහොතේ ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් එම මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර වාහන සේදීම, ගෙවතු වගාව ඇතුළු අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය භාවිත කිරීම අවම කර දෛනික කටයුතු සඳහා පමණක් ජලය භාවිත කිරීමට කටයුතු කරන ලෙස ද එම මණ්ඩලය ඉල්ලා සිටියි.
Page 164 of 464