පුවත්

ඩෑන් ප්‍රයසාද්ව ශරීර ඇප මත මුදා හැරේ
සිය ඥාතියකු සමග ඇතිකරගත් දේපල ආරවුලකට අදාලව අධිකරණය හමුවේ පැවති නඩුවක පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ඩෑන් ප්‍රයසාද් නැමැත්තා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (13) නියෝග කළේය.
කොළඹ ප්‍රදේශයේ දේපලක් සම්බන්ධයෙන් සැකකාර ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඔහුගේ ඥාතියකු සමග එසේ ආරවුලක් ඇතිකරගෙන තිබී ඇති බවත් පසුව සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වෙත ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා ඇති බවද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.
එසේ කැඳවා තිබූ නඩු වාරයක් සඳහා සැකකාර ඩෑන් ප්‍රියසාද් නමැත්තා පෙනී නොසිටීම සම්බන්ධයෙන් අධිකරණය මගින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණි.
වරෙන්තු මත සිටි සැකකාර පුද්ගලයා වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව එසේ ඇප මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
වෙනත් නඩුවක් සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර බන්ධනාගාර නිලධාරීන් මගින් ඔහුව අද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

'ගෝලීය පුරවැසියන් ලෙස අප එක් විය යුතුයි' - ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවද දේශසීමා ඉක්මවා යන
අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස අප එක් විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, අද (12) එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමිනි.
ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම යන මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සිය දේශනය පවත්වනු ලැබීය. තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම මෙහිදී අවධාරණය කෙරිණ.
මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපාය මාර්ග සහ සැලසුම් සංවර්ධනයකෙරෙහි මෙම සමුළුව මඟින් ගාමක බලයක් ලබා දෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක් මෙන්ම ඒකාබද්ධ පෙරමුණක් අවශ්‍ය බවද කියා සිටියේය.
සමාජ සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රමිතිගත රාජ්‍යයකට මෙන්ම කෘතහස්ත ලෝකයකට වැදගත් වන අතර, ගිවිසුම් සහ නීති විධිමත් ආකාරයට ක්‍රියාත්මක කිරීම, අඩු ආදායම්ලාභීන්ට සහ අස්ථායී ප්‍රජාවන්ට ක්‍රමවත් සහයෝගය සැලසීම මෙන්ම නිලධාරීන්ගේ වගවීම තහවුරු කිරීම සඳහා නිදහස් මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන්ට ඉඩසැලසීමේ වැදගත්කම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළේය.
ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් සහිතව 1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ යාවත්කාලීන විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ගෝලීය ආර්ථික මූල්‍යකරණයේදී කොන්දේසි දැඩිවීම, අනාගතයේදී ගෙවීමට නියමිත විශාල ණය ගෙවීම් සහ පුළුල් ස්වෛරී ණය අර්බුදයකට මුහුණ දීමට වත්මන් ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය දුර්වල ලෙස සූදානම් වීමත් සමග ගෝලීය දැක්ම අතිශයින් ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, නූතන ලෝකයට සාධාරණ ලෙස ගළපා ගත හැකි මූල්‍ය සංශෝධනයන්ට පරිවර්තනය වීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.
මානව කේන්ද්‍රීය අනාගත සංවර්ධනය පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ශක්තිමත් සයිබර් ආරක්ෂණ ක්‍රියාවලියකට ලෝකය යොමුවීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
රොබෝවරයෙකුගේ භාවිතය හේතුවෙන් රැකියා අහිමි වන මානව සම්පත සවිබල ගැන්වීම වෙනුවෙන් අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ නව රැකියා අවස්ථාවන් හඳුනා ගනිමින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඒ වෙනුවෙන් ගෝලීය නායකයන් සාමූහිකව කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
‘අප සියලු දෙනා මුහුණ දෙන ප්‍රශ්න මෙන්ම අපගේ හදවත්වල “ලබ් ඩබ්” නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනඟමු’ යන ආයාචනය බව ජනාධිපති අනුර දිසානායක මෙහිදී ප්‍රකාශ කළේය.
“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය” යන මාර්ටින් ලූතර් කිං ගේ ප්‍රකාශය උපුටා දැක්වූ ජනාධිපතිවරයා, “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” ගොඩනැඟීමට ශ්‍රී ලංකාවේ ජනතාවද 2024 වසරේ දී එක් වූ බව පෙන්වා දුන්නේය.
මෙම ඓතිහාසික සමුළුව හමුවේ අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, “අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු” යැයි ලෝක රාජ්‍ය සමුළු නියෝජිතයින්ට ආරාධනා කර සිටියේය.

ටෙලිනාට්‍ය කර්මාන්තයට රජයෙන් අතහිත
හරවත් සහ ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දායාද කිරීම අරමුූණ කර එම ක්ෂේත්‍රයේ නිරත වුවන්ගේ දැනුම, හැකියාව සහ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් සම්පාදනය කිරීම මෙන් ම, ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා උපරිම අයුරින් සම්පාදනය කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
අමාත්‍යවරයා මෙම කරුණූ අනාවරණය කළේ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ (ටෙ.ලි.නි.ස) විධායක සභිකයින් සමග පසුගිය දා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක දී ය. 1993 වර්ෂයේ දී ආරම්භ කර ඇති ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය එම ක්ෂේත්‍රයේ නිරත රංගන, නිර්මාණ සහ කාර්මික ශිල්පීන් දහස ඉක්ම වු පිරිසක් සාමාජිකත්වය දරන මෙරට ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රබලම සංවිධානයකි.
දේශීය ටෙලිනාට්‍ය නිර්මාණවේදීන් සහ එම ක්ෂේත්‍රයේ නිරත වු නිෂ්පාදන පාර්ශවය වර්තමානය වන විට මුහුණ දී සිටින ගැටලු පිළිබඳ විධිමත් ව විමසා බැලීමත්, එම ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා දීමත්, එමෙන් ම දේශීය ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රයට අදාළ ව රජයේ නව යෝජනා සහ සැලසුම් දියත් කිරීම පිළිබඳ ව අදහස් හා යෝජනා ලබා ගැනීමත් අරමුණු කර දේශීය ටෙලි නාට්‍ය නිර්මාණවේදීන්ගේ සංවිධාන සමඟ පවත්වනු ලබන සාකච්ජා මාලාව යටතේ මෙම සාකච්ඡාව පැවැත්විණි.
ජන මනස පුබුදුවාලන, අර්ථවත්, ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ බිහිකිරීම උදෙසා මෙහි දී අමාත්‍යවරයා සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ විධායක සභිකයින් අතර ඉතා දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එහි දී ටෙලි නිර්මාණ නියාමනය කිරීමට ආයතනයක් පිහිටුවීම, සියළුම නිෂ්පාදන ආයතනය ප්‍රමිතිගත ක්‍රියාදාමයක් තුළට ගෙන ඒම සහ යම් අධිකාරියක් යටතේ මෙම සියළු කටයුතු අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සැකසීම මෙහි දී මුලික වශයෙන් සාකච්ඡා විය.
මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්, ටෙලි නාට්‍ය රූපගත කිරීමේ දී අවශ්‍ය වන රාජ්‍ය ආයතන සතු දර්ශන තලයන් ඉතා සහනදායී ගාස්තුවකට ලබා දීම, ටෙලි නාට්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භයේ සිට ම යම් ප්‍රමිතිගත ක්‍රමවේදයකට සිදු කිරීම සහ ටෙලි නාට්‍ය සමාජ මාධ්‍ය තුළින් විකාශය කිරීමේ දී උපයන ආදායමෙන් යම් සාධාරණ ප්‍රතිශතයක් නිෂ්පාදන පාර්ශවය වෙත ලබාදීම යන කරුණූ ක්‍රියාත්මක කිරීමට අදාළ ව කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව සඳහන් කළේ ය.
එමෙන් ම කොළඹට නුදුරු තදාසන්න ප්‍රදේශයක අලුතින් ටෙලි සිනමා දර්ශන තල ගම්මානයක් ඉදිකිරීමට අදාළ ව ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ගෙන ආ යෝජනාව පිළිගත් අමාත්‍යවරයා ඒ සඳහා ඉතා කඩිනමින් ක්‍රියාත්මක වන බව පැවසී ය. තව ද, ටෙලි නාට්‍ය කර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සහ ටෙලිනාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේ නිරතවුවන්ගේ වෘත්තිකත්වය බල ගැන්වීම උදෙසා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ක්‍රමවේදයකට නිර්මාණ සහ කාර්මික ශිල්පීන් ඇතුළත් කර ගැනීම යන කරුණු පිළිබඳ මෙහි දී ඉතා දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එම කරුණු ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අදාළ කඩිනම් සැලැස්මක් සකස් කිරීම සඳහා අමාත්‍යවරයා එම මොහොතේ දී ම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා ලොව නවීන තාක්ෂණ ප්‍රවණතා හමුවේ මෙරටට සුදුසු සහ යෝග්‍යතම තාක්ෂණ ක්‍රියාදාමයක් තුළට මෙරට රූපවාහිනී විකාශන සහ අනෙකුත් නිර්මාණ ක්‍රියාදාමයන් ඇතුළත් කිරීමට රජය මේ වන විටත් සැලසුම් කර ඇති බව සඳහන් කළේ ය.
එමෙන් ම, ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රයට අදාළ සියළු සැලසුම් සකස් කිරීමේ දී, ප්‍රේක්ෂක රසඥතාවය වර්ධනය කරමින් ඉහළ රසාස්වාදයක් ප්‍රේක්ෂකයන්ට ලබාදීම ප්‍රමුඛ කාර්යය වියයුතු බවත්, ඒ සඳහා සියළුම නිර්මාණවේදීන් තම උපරිම කැපවීම සහ දායකත්වය ලබාදීය යුතු බව ද මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.
මෙම සාකච්ඡාව සඳහා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ වත්මන් සභාපති චන්දන ලියනගුණවර්ධන, ප්‍රධාන ලේකම් සුනිල් කොස්තා, ප්‍රධාන සංවිධායක රාජා රණසිංහ, උප සභාපති පරාක්‍රම නිරිඇල්ල, විධායක සභිකයින් වන රවීන්ද්‍ර ගුරුගේ ඇතුළු නිර්මාණවේදීන් පිරිසක් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගී වුහ

ජනපති, බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් හමුවේ
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක යෙදෙන ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11) එරටදී රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු හමු වූ අතර තවත් එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් කිහිපපොළක්ද හමුවූහ.
ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට පැමිණි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් හමු වී සුහද සාකච්ඡාවක නිරත වී ඇත.

ඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.
ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඩුබායි සිට මෙරටට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් ඔහුව අද (11) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7,456ක් පිරවීමට අනුමැතිය
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ සඳහා අත්‍යවශ්‍ය බඳවා ගැනීම් ප්‍රමාණය හඳුනාගෙන ගනිමින් 7,456ක පිරිසක් රාජ්‍ය සේවය සඳහා බඳවාගැනීම් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
මේ සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමට ඉකුත් දෙසැම්බර් 30 වැනිදා පැවති රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු නම්කර තිබේ.
ඒ අනූව එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.
මේ සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබා දීම පිණිස අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ධුරය ශානිට
ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටවීමට තීරණය කර තිබේ.
එය නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කටයුතු කිරීමට නියමිතය.

IMF විධායක අධ්‍යක්ෂ හා අගමැතිනිය අතර හමුවක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා ඇත.
ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය, බදු ආදායම් ඵලදායී කළමනාකරණය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ඇතුළු ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳවයි මෙම හමුවේදී අවධානය යොමු වී තිබේ.
ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරිය, රජයේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳව ද කරුණු සාකච්ඡා කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන ෙ මෙම සාකච්ඡාවට සහභාගී වී තිබෙන බවද වාර්තා වෙයි.

ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි
ආහාර සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) රැස්ව තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී මෙලෙස රැස්ව ඇති අතර එම අවස්ථාවේදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කෙරිණි.
සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම මෙම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණ වේ.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත්, නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
වී මිලදී ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, වී මිලදී ගැනීම සඳහා මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිලදී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ අතර, මිල පාලනයක් ඇති කරමින් පාරිභෝගික හිතකර වෙළඳපොළක් ඇති කිරීමට ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා විය.
තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා විසින් කමිටු සාමාජිකයින්ට උපදෙස් දෙන ලදී.
ඒ අනුව, ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ ඒ සඳහා නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ඩුබායිහිදී ජනපති මහත් හරසරින් පිළිගනී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පෙබරවාරි 11 සිට 13 දක්වා පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵව (WGS)- 2025ට සහභාගී වීම සඳහා මෙරටින් බැහැරව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අද (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය.
එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිණි.
මෙම පිළිගැනීමේ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්ෂිලා ආර්නෝල්ඩා , ඩුබායි සහ උතුරු එමීරයන් සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ඇලෙක්සි ගුණසේකර ඇතුළු ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගි වූහ.
අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක, මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවීමට නියමිතය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.
අනතුරුව, ජනාධිපතිවරයා ඩුබායිහි පිහිටා ඇති සුප්‍රසිද්ධ අනාගත කෞතුකාගාරයේ (Future Museum) පැවැත්වෙන ‘TIME 100 Gala Dinner’ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වීමට නියමිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද ජනාධිපතිවරයා සමඟින් මෙම සංචාරයට එක්ව සිටියි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට නව කාර්ය සාධක බලකායක්..
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.
ඒ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේගේ සභාපතීත්වයෙනි.
කාර්ය සාධක බලකායට තවත් සාමාජිකයින් 05 දෙනෙකු ද ඇතුළත් වේ.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර , කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්තත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම එම කාර්ය සාධක බලකායේ ඇතුළත්.
මීට අමතරව ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නෙලුමනී දවුලගල සහ මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒ. කේ. ඩී. ඩී. ඩී. අරන්දර එම කාර්ය සාධක බලකායට ඇතුළත් වේ.

විදුලි කප්පාදුව අද සහ හෙට
හදිසි විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
මේ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
මේ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාගැනීමට නියමිත බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම යථාතත්ත්වයට
අද පෙරවරුවේ සිට දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදු විය.
ඒ අනුව මේ වන විට ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම යථාතත්ත්වයට පත්කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ නගරය, කළුතර,කොළොන්නාව, කැලණිය,පන්නිපිටිය, අඹතලේ ජල පවිත්‍රාගාරය, සපුගස්කන්ද, බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර තිබේ.

වෙරළ ‘Clean’ කිරීමේ වැඩපිළිවෙල අද සිට
Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහන හෙට(09) පෙරවරු 08.00ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
එය මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේ දී පැවැත්වේ.
මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර හා දකුණ පළාත් ආවරණයවන පරිදි තවත් ස්ථාන 124 දී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් පෙ.ව. 8.00 සිට 11.00 දක්වා ක්‍රියාත්මක වනු ඇත.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (08)පැවැත්වුණි.
රට පුරා කිලෝමීටර් 1,740 ක වෙරළ තීරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර පැවසීය.
ඒ් අනුව මෙම වැඩසටහන ඔස්සේ වෙරළ පිරිසිදුකම, සංරක්ෂණය, ආරක්ෂාව සහ නරඹන්නන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව සුගීෂ්වර මහතා පැහැදිලි කළේය. ශ්‍රී ලංකාව සුන්දර වෙරළ තීරයන්ගෙන් වටවී තිබුණද, ධීවර ජනගහනය ඇතුළු දේශීය ප්‍රජාවන්ට ඒවායෙන් එන සැලකිය යුතු ප්‍රතිලාභ තිබියදීත්, ඒවායේ පාරිසරික තිරසාරභාවය සහ පිරිසිදුකම බොහෝ විට නොසලකා හැර ඇති බව ඔහු පැවසීය.

Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් ආධාර
Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක ආධාර ලැබී තිබේ.
මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන නවතම කම්පැක්ටර් රථ 28ක් මේ යටතේ දිවයිනට ලැබී ඇති බවයි.
ඒවා බස්නාහිර, උතුරු හා නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමට යොදවනු ඇති.
මීට අදාළ හුවමාරු පත්‍රවලට අත්සන් තැබීම පසුගිය දා මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති
ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය.
ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම මෘදුකාංග හරහා සිදු කළ හැකිය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය හා ලංකා පේ (Lanka Pay) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මහ බැංකුව මගින් ගෙවීම් වේදීකාව සුරක්ෂිත කිරීමටත් ජනතාවගේ විශ්වාසය ඇති කිරීමටත් කටයුතු කරයි.
“Govpay ” වේදිකාව හරහා පළමු අදියර ලෙස රාජ්‍ය ආයතන 16ක සියලු සේවාවන්ට අදාළ ගෙවීම් කටයුතු සිදු කළ හැකි අතර, ලබන අප්‍රේල් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 30ක් මෙම වේදිකාව භාවිතා කිරීමට සැලසුම් කර තිබේ. ඉදිරියේදී සියලුම රාජ්‍ය ආයතන මේ හා ඒකාබද්ධ කිරීමට බලපොරොත්තු වන අතර දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 12ක්ද මේ හා එක්වී සිටී.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ තාක්ෂණය හා විද්‍යාව සමඟ ඇතිවන දියුණුව නිසා ජනතාවගේ ජීවිත පහසු කරවන බවත්, එමගින් කාර්යක්ෂම, ගුණාත්මක හා නාස්තිය අවම සේවාවක් ලබාගත හැකි බවත්ය.
ලෝකය අදියරෙන් අදියර පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේ තාක්ෂණය ලබාගත් ජයග්‍රහණ නිසා බව පැවසූ ජනාධිපතිවරයා, විද්‍යාවේ හා තාක්ෂණයේ නව සොයා ගැනීම් මිනිස් ශිෂ්ටාචාරය එක් අදිරයක සිට තවත් තලයකට ඔසවා තැබූ බවත් සඳහන් කළේය.
ජනාධිපති අරමුදලේ සේවා මෙතෙක් කාලයක් ක්‍රියාත්මක වූයේ කොළඹ සිට බවත්, නමුත් එහිදී ඈත ගම්මානවල සිටින පුරවැසියාට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක අද සිට එම ක්‍රමවේදය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව පැවසීය.
මීට බොහෝ කාලයකට පෙර මෙවැනි තීන්දු තීරණ ගත යුතුව තිබූ බවත්, නිශ්චිත මොහොතේ තීන්දු තීරණ නොගැනීම නිසා ජනතාවගේ ජීවිත මෙන්ම රටේ ආර්ථිකයත් පසුගාමී තැනක පවතින බවත්, අද ඩිජිටල්කරණය නිසා නගරය සහ ගම ඒකාබද්ධ වී තිබෙන බවත්, ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට මෙන්ම ගමේ ප්‍රශ්න විසඳීමට ඩිජිටල්කරණය ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අප රට පවතින තලයෙන් අලුත් තලයකට ඔසවා තැබිය හැකි එකම ක්ෂේත්‍රය ඩිජිටල්කරණය බවත්, එමගින් ජනතාවගේ අවශ්‍යතාවන් කිසිදු පීඩාවකින් හා රස්තියාදුවකින් තොරව ඉටු කරගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
යාන්ත්‍රික ජීවන රටාව හේතුවෙන් අපේ රටේ ජනතාවට සංස්කෘතිකමය ජීවිත අහිමි වී ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනතාවට සංස්කෘතිකමය ජීවිතයක් ඇති කර ගැනීමට ඩිජිටල්කරණය පහසුවක් වනු ඇති බවත්, එමනිසා මෙම වැඩසටහන සාර්ථක කර ගත යුතු බවත්, ඩිජිටල් හැඳුනුම්පත එහි ප්‍රධාන හැරවුම බවත් පැවසීය.
මේ වෙනස්කම් ඉතා වේගයෙන් ඇති කරගත යුතු බවත්, විනිවිදභාවය, කාර්යක්ෂමතාවය, ගම සහ නගරය අතර පවතින දුරස්ථභාවය තුරන් කිරීමට මෙන්ම ඩිජිටල්කරණය අප රට අලුත් තලයකට ඔසවා තබනු ඇති බවත්, ඒ වෙනුවෙන් රජය ඉතා කැපවීමෙන් කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.
ඩිජිටල්කරණය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙහිදී කියා සිටියේ ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය කුසලතාවලින් 75% ක්
ශ්‍රී ලංකාව සතුව ඇති බවයි. එහෙත්, එහි විභවය සම්පූර්ණයෙන් විවෘත කිරීමට නම්, රට ඉතිරි පරතරය පියවා ගත යුතු අතර ඉදිරි වසර තුන තුළ සම්පූර්ණ කළ යුතු බවද විජේසූරිය සදහන් කළේය .
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමට ක්‍රියාත්මක කිරීම මෙහිදී ආරම්භ කළ අතර, එහිදී මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර භාර ගැනීම සංකේතවත්ව සිදු කෙරිණි.
මේ අතර නව ඩිජිටල්කරණ වැඩසටහන යටතේ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල, සහතික කළ මුල් පිටපත් ඔවුන් සිටින රටවල තානාපති කාර්යාලය මඟින් ලබා ගැනීමට අවකාශය සලසා ඇත.
මෙහි ආරම්භයක් ලෙස දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුට උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහිදී සිදු කෙරිණි .
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් සිටින රටේ තානාපති කාර්යාලය හරහා උප්පැන්න, මරණ සහ විවාහ සහතිකවල සහතික කළ මුල් පිටපත් ලබා ගැනීමට හැකි වීම ඉතා වැදගත් පියවරක් වන අතර, එය ඔවුන්ගේ ජීවිත පහසු කරවීමට බොහෝ ආකාරවලින් බලපායි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඩිජිටල්කරණය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සියලු පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ඇරඹේ
සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ආරම්භ කර තිබේ.
ඒ පිළිබඳ අනාවරණය වී ඇත්තේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදීයි.
කාරක සභාව අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අභයරත්නගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.
පසුගිය වර්ෂයේ පළාත් පාලන ආයතනවල සේවකයින් 8,435 දෙනෙකු ස්ථිර කර ඇති ඇතැයි ද කාරක සභාවේදී අනාවරණ වී ඇත.

රවීගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව සම්මතයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.
මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක විසිනි.
යෝජනාව පිළිබඳ විවාදයේදී මන්ත්‍රීවරු සිවු දෙනෙක් අදහස් දැක්වූහ.
එහිදී අදහස් දැක්වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේ, යම් දේශපාලන පක්ෂයක් විසින් මතයක් දරා මෙය සමාජයේ ද්‍රෝහි කමක් බවට පත් කර ඇති බවය.
මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වී ඇති බවත් මේ හේතුවෙන් නැවත එය යතාතත්ත්වයට පත් කිරීමට තමන් මෙම යෝජනාව ගෙන ආ බවය.
මේ අවස්ථාවේදී ජනතාවගේ සිතුම් පැතුම් නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බැවින් අවශ්‍ය වන්නේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීම බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
"මම මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒ තියන සමාජ විරෝධය නැති කරන්න. අපි මේක වෙනස් කළේ නැත්නම් මේක නිකං නගරසභාව බවට පත් වේවී. ඒක රටට අහිතකර තත්ත්වයක් බවට තමයි පෙනුනේ ගිය අවුරුදු කීපය තුළ. අලුතින් දේශපාලන සංස්කෘතියක් බිහිකරමින් යන අවස්ථාවක අපි සියලු දෙනාම ඒකරාශි වෙලා මේ ඉල්ලීම කරන්නේ අපි අපිටම ප්‍රශ්නයක් ඇති කරගන්නවාද නැත්නම් සමාජය තුළ අපි ගැන තියෙන විශ්වාසය තව වැඩිකරනවාද කියන චේතනාවෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ."
''යෝජනාවට අපේ කණ්ඩායම උපරිම සහාය දෙනවා''
විවාදයේ පිළිතුරු කතාව කරනු ලැබු අගමැතිනී හරිනි අමරසූරිය මෙසේද පැවසුවාය.
''මේ යෝජනාව ආපු වෙලාවේ මම සතුටට පත්වුණා. මොකද විපක්ෂයේ අයත් අපි කතා කරන වෙනසත් ජනතාව ඉල්ලන වෙනසත් තේරුම් ගෙන ඒ භාෂාවම කතා කරන්න පටන් ගත්තු එකට. එහෙත් විපක්ෂයේ සමහර අය මේ වැදගත් යෝජනාවේ හරය තේරුම් නොගෙන මෙතන වෙන දේවල් කතා කළා. ඒ ගැන මම කණගාටු වෙනවා. යෝජනාවට අපේ කණ්ඩායම උපරිම සහාය දෙනවා.
Page 16 of 464