පුවත්

ශ්‍රී ලංකාව, කාන්තාවකට තනිව සංචාරයට හොඳම රටක්
කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.
ලෝ ප්‍රකට ‘ටයිම් අවුට්’ (timeout.com) සඟරාව විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂණ වාර්තාවකට අනුව මේ පිළිබද තොරතුරු අනාවරණය කර ඇත.
තරුණ කාන්තාවන් බහු සංස්කෘතීන් සහිත රටවල් පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන අතර එහිදී කාන්තාවන්ට ඇති ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.
එම හේතුව නිසාම වැඩි වශයෙන් මෙලෙස තනිව සංචාරය සඳහා වයස අවුරුදු 28ට අඩු තරුණ පිරිස් ප්‍රියතාවක් දක්වන බව සඳහන්වේ.
කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතර දෙවන ස්ථානය පෘතුගාලයටත් තුන්වන ස්ථානය චෙකියා ජන රජයටත් හතරවන ස්ථානය ජපානයටත් ලැබී තිබේ.
කාන්තාවන්ට කිමිදීමට වඩාත් ආරක්ෂිත ස්ථාන, යුනෙස්කෝ ලෝක උරුම සහ නුවරඑළියේ චමත්කාරය, කන්ද උඩරට දුම්රිය සංචාර වැනි ආකර්ශනීය ස්ථාන හේතුවෙන් තනිව සංචාරයේ යෙදෙන විදේශීය කාන්තාවන්ට දකුණු ආසියාතික රාජ්‍යන් අතරින් ශ්‍රී ලංකාව සුදුසුම ස්ථානය ලෙස නම් කර ඇත.
මෙම ශ්‍රේණිගත කිරීමේ 05 වන ස්ථානය ග්වාතමාලාවටත්, 06 වන ස්ථානට ග්‍රීසියටත්, 07වන ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

වැට් වැඩි කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
එකතු කළ අගය මත බදු (වැට්) 15% සිට 18% දක්වා වැඩි කිරීමට අදාල එකතු කල අගය මත බදු පනත යටතේ නියෝගය වැඩි ඡන්ද 36කින් පාර්ලිමේන්තුවේදී අද (02) පස්වරුවේ සම්මතවිය.
එම නියෝගයට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 19ක් පමණි.
එම නියෝගය අනුමත කිරීමට සලකා බැලුණු අවස්ථාවේදී ඊට විරුද්ධ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මුලසුනට දැනුම් දුන්නේය.
නියෝගය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
මෙයට අමතරව බැංකු සංශෝධන පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝගද මෙහිදී සම්මත විය.

මත්පැන් බලපත්‍රවලට අතුරු තහනම් නියෝගයක්
සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රහිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැයි මස 10 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඇතුළු සෙසු නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වර්තමානයේ අවිධිමත් ආකාරයට නීතියට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සිදුවන බවට චෝදනා කළේය.
ඇතැම් බලපත්‍ර නිකුත් කිරීමේදී සුරා බදු රෙගුලාසිවල සඳහන් මූලික අවශ්‍යතා පවා උල්ලංඝනය කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ ජයවර්ධන පෙන්වා දුනි.
ඒ අනුව සුරාබදු පනතේ හා රෙගුලාසිවල සඳහන් ප්‍රතිපාදන අභිබවා ගොස් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා ඇතුළු සෙසු නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කෙරුණි.

සතොසෙන් අද සිට සහන මල්ලක්
අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබේ.
සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රුපියල් 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බවය.
එමෙන්ම අද සිට බිත්තරයක් රුපියල් 36 වැනි සිල්ලර මිලකට අලෙවි කිරීමටද සතොස පියවර ගෙන තිබේ.

දුමී ලසන්ත අමරේ ගේ තනතුරු ගැලවීමට එරෙහිව වාරණ නියෝගයක් !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධූරවලින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මැති ඇමතිවරුන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අතුරු තහනම් නියෝගයක් අද (01) නිකුත් කළේය.
ස්වාභාවික යුක්ති මූල ධර්ම උල්ලංඝණය කරමින් නිසි විනය පරීක්ෂණයක් හෝ පැවැත්වීමකින් තොරව පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව තමන් තනතුරු වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනීතික සහ අත්තනෝමතික ක්‍රියා කර ඇතැයි පෙන්වා දෙමින් පෙත්සම්කරුවන් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව අප්‍රේල් 08 දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ අතුරු තහනම් නියෝගය නිකුත්කර ඇත .
අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් පෙත්සම් යළි කැඳවන අප්‍රේල් 08 වැනිදා විරෝධතා දැක්වීමට වගඋත්තරකරුවන්ට නියම කළ දිසා විනිසුරුවරයා අතුරු තහනම් දැන්වීම් හා නොතීසි ද වගඋත්තරකරුවන් වෙත යැවීමටද නියම කළේය.
දුමින්ද දිසානයාක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර විසින් ගොනු කර ඇති පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, වැඩ බලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහියංගන ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධන කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පසුගිය මාර්තු 30 වැනිදා පක්ෂයේ විධායක සභාව රැස්වී තමන් පක්‍ෂයේ දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි සඳහන් කරන එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර පක්ෂයේ විධායක සභාව ගත් එම තීරණය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් පෙන්වාදී තිබේ .
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා අදාළ පෙත්සම ලබන 08 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කුවේරා ද සොයිසා, චන්දක ජයසුන්දර පෙනී සිටියහ.
නඩු තීන්දුවෙන් පසු ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයට වෙත ගිය දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කිරීමක් කළහ.

අයථා ලාභ ඉපයීම් ගැන ප්‍රශ්න කරන්න : ආයතන 05ක් පාර්ලිමේන්තු කැඳවයි !
බී ලූනු, හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ආනයනකරුවන් අයථා ලෙස ලාභ උපයා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ආයතන පහක් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට හෙට (02) කැඳවනු ලැබ තිබේ.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට මෙසේ කැඳවා තිබෙන්නේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,
පාරිභෝගික සේවා අධිකාරිය,ශ්‍රී ලංකා රේගුව, ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව, සහ කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ දෙපාර්තමේන්තුව යන ආයතනය.

මහ බැංකුවේ වැටුප් අවුල ලිහන්න : ජනපතිගෙන් කමිටුවක් !
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ.
රජයේ මුදල් කාරක සභාව හා ශ්‍රී ලංකා මහ බැංකුව අතර සිදු වූ සියලු ලිපි ගණුදෙනු මත පදනම්ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටළුවට සාධාරණ විසඳුමක් සහිතව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024-2026 වැටුප් සංශෝධනය ශීර්ෂය සහිත 2024-03-16 දිනැති ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිපියට විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡාවට තුඩු දී ඇති වැටුප් වැඩි කිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කර තිබේ.
දිනේෂ් ස්ටීවන් වීරක්කොඩි, අර්ජුන හේරත්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, ඇන්තනී නිහාල් ෆොන්සේකා, අනුෂ්ක එස්. විජේසිංහ, දුමින්ද හුලංගමුව යන අය මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇත.
ශ්‍රී ලංකා මහබැංකුවට අදාළ මෙන්ම විශේෂිත කාර්ය මණ්ඩලවල ප්‍රවීනත්වය ප්‍රමුඛ කර සියළු කාර්ය මණ්ඩල ශ්‍රේණිවල පාරිශ්‍රමික සාධාරණ ලෙස ගැලපුම් කිරීම මෙම කමිටුව විසින් කරනු ඇති බවට රජයේ මුදල් කාරක සභාව අපේක්ෂා කරයි.
වෘත්තීය කාර්ය මණ්ඩලයට වැටුප් තීරණය කිරීමේ ක්‍රමවේදය වෘත්තීය නොවන සහ සෙසු කාර්ය මණ්ඩලයෙන් වෙන් කළ යතු බවට ද දැඩි ලෙස නිර්දේශ කර තිබේ.
අනුගත සංශෝධනවලදී ශ්‍රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩල පාරිශ්‍රමික, විනිවිදයනසුළු ක්‍රමවේදයකට අනුව සිදු කිරීම මෙම කමිටුව විසින් කළ යුතු බවට රජයේ මුදල් කාරක සභාව ද නිර්දේශ කරයි.
ඒ පිළිබඳ වාර්තාව සති 04ක් ඇතුළත රජයේ මුදල් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත්, ලැබී ඇති කරුණු මත අන්‍යෝන්‍යව පිළිගත් විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩිවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල්දමන ලෙසත් රජයේ මුදල් කාරක සභාව නිර්දේශ කරයි.

රට ගොඩනගන්න හැකි නායකයා රනිල් බව ඔප්පුවී තිබෙනවා !
රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වන බවත් එබැවින් ඒ මහතාගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.
මේ වන විට ලබා ඇති ප්‍රගතිය හමුවේ ඕනෑම අයෙකුට රට පාලනය කළ හැකි බව ඇතැමුන් විශ්වාස කිරීමට පෙළඹී ඇතත් එය නිවැරදි නොවන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමේ කටයුතු අවසන් කර ඒ පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමෙන් පසුව ඒ සඳහා ලක්ෂ 04ක පමණ අයදුම්පත් ප්‍රමාණයක් ලැබෙනු ඇති බවට අප අපේක්ෂා කරනවා. ඒ අනුව ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ලබාදීම සම්පූර්ණ කිරීමට නියමිතව තිබෙනවා. නමුත් පසුගිය මැයි මාසයේ සිට පළමුවර අස්වැසුම සඳහා අයදුම් කල ලක්ෂ 34ක ප්‍රමාණය පිළිබඳව ද නැවත සමීක්ෂණයක් සිදු කරන බව පැවසිය යුතුයි. ඒ වගේම අලුතින් අයදුම්පත්‍ර යොමු කල ලක්ෂ 04ක ප්‍රමාණය සම්බන්ධව ද සම්පූර්ණ සමීක්ෂණයක් ද සිදු කෙරෙනවා. අප එය සිදු කරන්නේ මෙම සහනාධාරය ලැබිය යුතු සුදුසුම කණ්ඩායම තෝරාගැනීමේ ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහායි.
එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 24ක් තෝරාගැනීමෙන් පසු ඔවුන් පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට ද අප බාලාපොරොත්තු වනවා. එහි දී අස්වැසුම මඟින් ලබාදුන් මුදල් ඔවුන් විසින් කුමන කටයුත්තක් සඳහා වියදම් කලා ද ? යන්න සහ ඉදිරියේ දී සවිබල ගැන්වීමේ වැඩසටහනකට මෙය කෙතෙක් දුරට සහයෝගය ලබා දෙනවා ද ? සහ ඔවුන් ලැබූ ප්‍රතිලාභය කුමක් ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.
අඛණ්ඩව කාර්තු 06ක් සෘණ ආර්ථික වර්ධන වේගයක් තිබුණු රටක් මේ වන විට යහපත් තත්ත්වයකට ගෙන ඒමට අප කටයුතු කලා. 2023 තුන්වන සහ හතරවන කාර්තුවල ආර්ථිකය ප්‍රසාරණය වීම ඇරඹුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අනෙකුත් මූල්‍ය පහසුකම් ලබාදෙන ආයතන සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කළහැකි පිළිගත් මූල්‍ය විනයක් තුළ රටේ ආර්ථිකය ගමන් කරවීම හේතුවෙන් මෙම තත්ත්වයට පත්වීමට හැකි වූ බව සඳහන් කළ යුතුයි. එහිදී ජනතාවට අපහසුතා පැවතියත් මේ වන විට එම තත්ත්වය ක්‍රමානූකූලව අඩුවෙමින් පවතිනවා.
ඒ අනුව ඉකුත් මාසයේ දී උද්ධමනය 0.9%කින් අඩු වී තිබෙනවා. රුපියල තවදුරටත් ශක්තිමත් වීම තුළ එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමට අවශ්‍ය පසුබිම රටතුළ නිර්මාණය වෙමින් පවතින බව ද අප විශ්වාස කරනවා. අද වන විට මිල ගණන් ස්ථාවර වෙමින් පවතිනවා.
ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් යම් කාරණා හුවා දක්වමින් විවිධ විවේචන සිදු කළා. නමුත් ඒවා සාධාරණ නොවන බව මේ වන විට රටේ ජනතාවට ඔප්පු වී තිබෙනවා. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන නායකත්වය ඇගයිය යුතුයි. රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වනවා. ඔහු ඉතා දක්ෂ ලෙස ආර්ථික අර්බුදය කළමනාකරණය කළා. එබැවින් ඒ මහතාගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍යයි.
මේ වන විට රට ලබා ඇති ප්‍රගතිය හමුවේ ඕනෑම අයෙකුට රට පාලනය කල හැකි බවට ඇතැමුන් විශ්වාස කිරීමට පෙළඹී තිබෙනවා. නමුත් එය වැරදි අදහසක් බව කිව යුතුයි.
දැන් රට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති නිසා ඇතැමුන් මේ අකාරයට විශ්වාස කරනවා විය හැකියි. නමුත් එවැනි තත්ත්වයක් තවමත් නැහැ.
දැනට මේ පවතින ස්ථාවරත්වය ලබා ඇත්තේ ඉතාම හොඳ කළමනාකරණය සහ සෘජු තීන්දු ගැනීම තුළ මෙන්ම ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීම හරහායි. නමුත් එය ඕනෑම අයෙකුට කළ හැකි දෙයක් නොවෙයි. වත්මන් වැඩපිළිවෙල තුළ ඉදිරියට ගියහොත් 2024 වර්ෂයේ දී 2% ඉක්ම වූ ආර්ථික වර්ධන වේගයක් දක්වා ගමන් කළ හැකි බවට දැඩි විශ්වාසයක් තිබෙනවා.
තව ද විනිමය අනුපාතය ශක්තිමත් වුව ද, උද්ධමනය 70% සිට 5% දක්වා අඩු වූව ද, මිල අඩු වීමේ වාසිය ජනතාවට නොලැබෙන බවට ජනතාව විසින් මැසිවිලි නඟනවා. ඒ කලු කඩ මාෆියාව විසින් මිල පාලනයකට යටත් නොකිරීම නිසා මෙය සිදු වන බව සඳහන් කල යුතුයි. වෙළඳ අමාත්‍යවරයා විසින් මෙම හේතුව පදනම් කර ගනිමින් ලබන සතියේ සිට තොග මිල ගණන් ජනතාව වෙත සති පතා දැනුම් දීමට කටයුතු කරන බවට තීන්දුවක් ගෙන තිබෙනවා. ඉන් පසු සිල්ලර මිල ගණන් පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාගත හැකියි.
එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ද අද වනවිට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දෙවන සමාලෝචනය සති දෙකකට පෙර අවසන් කලා. මේ වන විට ඒ පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. එය තුන්වන වාරිකය ලබාගැනීම සඳහා අතිශයින් පිටිවහලක් බවට පත් වනවා.

ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවයි
රාජ්‍ය ත්‍යාග නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිරගතව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර තිබේ.
ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට ජනවාරි 31 වන දින මෙම නඩුව සම්බන්ධයෙන් වසර 14 බැගින් සිර දඬුවම් නියම වූයේ, පෙබරවාරි මස 08 වන දා පැවති මැතිවරණයට සතියකට පෙර ය.
දින 10කින් ආරම්භ වන ඊද් නිවාඩුවෙන් පසු නඩුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තෙක් මෙම යුවළගේ දඩුවම අත්හිටුවන බව ඉස්ලාමාබාද් මහාධිකරණය අද (අප්‍රේල් 01) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔහු විසින් ගොනුකර තිබූ අභියාචනයක් සලකාබැලීමට තීරණය කිරීමත් සමග අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.
2018 සිට 2022 අප්‍රේල් දක්වා අගමැති ධූරයේ සිටි අවධියේ තමන් වෙත ලැබුණු පකිස්ථාන රුපියල් මිලියන 140කට වඩා වටිනාකමකින් යුතු රාජ්‍ය ත්‍යාග විකුණා ඉපැයූ වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් 71 හැවිරිදි ඉම්රාන් ඛාන් වෙත චෝදනා එල්ල වී තිබේ.
මෙම නඩුව පකිස්ථානයේ දූෂණ විරෝධී ඒජන්සිය විසින් ගොනු කරනු ලැබ ඇත.
කෙසේ වෙතත් මීට පෙර ඔහුට එරෙහිව පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තවදුරටත් බන්ධනාගාරගතව සිටී.

2024 පළමු කාර්තුවේ සංචාරක පැමිණීම ඉහළට
මාර්තු 27වැනිදාවන විට ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් 600,000 සීමාව ඉක්මවා ගිය අතර එය පසුගිය වසරට සාපේක්ෂව අඩකට ආසන්න කාලයක් තුළ ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්ත වලට අනුව මාර්තු මාසයේ මුල් දින 27 තුළ සංචාරක පැමිණීම් 608,475 දක්වා ළඟා වී තිබේ.
2024 මාර්තු සඳහා විශාලතම සංචාරක ගමනාගමන උත්පාදක යාන්ත්‍රණය ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දියාව වන අතර එය මුළු පැමිණීම්වලින් සියයට 16 ක් වේ.
දෙවන ශ්‍රේණිගත කිරීම රුසියානු සමූහාණ්ඩුව වන අතර එය මුළු පැමිණීමෙන් සියයට 14 ක් ගෙන එයි.
තුන්වන ස්ථානය ජර්මනිය වන අතර සංචාරක පැමිණීම්වලින් සියයට 9 යි. සිව්වන ස්ථානයට සමීපව පසුවන්නේ එක්සත් රාජධානිය වන අතර පස්වන ස්ථානය චීනය වේ.
නවතම මහ බැංකු දත්තවලට අනුව වසරේ මුල් මාස දෙක තුළ සංචාරක ඉපැයීම් ඇ.ඩො. මිලියන 687 කි.
මෙය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වසරින් වසර (YoY) සියයට 118.2 ක වර්ධනයක් සනිටුහන් කරයි.

ගාසාහි ළමා අරමුදලට රජයෙන් ඩොලර් මිලියනයක්
ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයනේ අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (HE. Zuhair M.H. Dar Zaid) වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහසක් අනුව ආරම්භ වූ ගාසාහි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත මේ වන විටත් පරිත්‍යාගශිලි බොහෝ පිරිසක් අරමුදල් බැර කර තිබේ.
එමෙන්ම මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීම වෙනුවෙන් අමාත්‍යාංශ සහ රජයේ ආයතන විසින් වෙන් කර තිබූ ප්‍රතිපාදන ද මෙම අරමුදල වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව අරමුදල වෙත ලැබුණු ඇමරිකන් ඩොලර් මිලියනයක මුදල මෙලෙස පළමු අදියර යටතේ පලස්තීන රජය වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.
එසේම “Children of Gaza Fund” අරමුදලට දායක වන ලෙස මෙරට පරිත්‍යාගශිලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි රුපියල් මිලියන 20කට අධික මුදලක් මේ වන විට අරමුදල වෙත ලැබී ඇති අතර එම මුදල් ද ඉදිරියේ දී පලස්තීන රජය වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය.
2024 අප්‍රේල් 30 දක්වා පමණක් පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල වෙත තවදුරටත් දායක වීමට අවස්ථාව සලසා දී තිබෙන අතර ඒ සඳහා දායකවීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් අප්‍රේල් මස 30 වනදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත WhatsApp මඟින් යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටි.
අද ජනාධිපති කාර්යාලයේ දී පැවති චෙක් පත භාරදීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.

ඉන්ධන මිල පහළට !
වහාම ක්‍රියාත්මක වන පරිදි අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වර්ග කිහිපයක මිල පහත දමා ඇත.
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම මෙන්ම ලෝක වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල පවතින ආකාරය සැලකිල්ලට ගෙන මෙම මිල සංශෝධනය සිදුකර ඇත .
ඊට අදාළ සිපෙට්කෝ විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

ආයෙත් එන්න හදපු කෙනාව සජිත් ප්‍රතිකේෂ්ප කරලා !
සජිත්ගේ සජබ එක්ක සන්ධාන ගතවෙලා පාර්ලිමේන්තු ඇවිත්, ආයෙත් එක එක පක්ෂ සංවිධාන අටවා ගෙන ඉක්මනින් විපක්ෂයේ නායකත්වය ගන්න උත්සාහ කරලා ඒ සේරම අසාර්ථක වුනු නායක සයිස් කෙනෙක් ගැන තමයි මේ කතාව .
ඔන්න දන්න සෙල්ලම් සේරම දාලා අසාර්ථක වුනු ඒ උන්නැහේ සජබ පක්ෂයේ ඉහළම තනතුරක් දරන කෙනෙක්ව රහසේම හම්බෙලා . ඊට පස්සේ එයා එක්කම සජබ නායක සජිත් ව හම්බෙලා .
ඒ ගිහින් පරණ හාදකම් ආයෙත් අලුත් කරගෙන ආයෙමත් ආදරෙන් අලුත් ගමනක් යන්න යෝජනාවක් දාලා . හැබැයි ආරංචි විදිහට සජිත් මේකට කැමති වෙලා නෑ . සජිත් ගේ ස්ථාවරය වෙලා තියෙන්නේ , මේ කෙනා කාලෙන් කාලෙට දිනන පැත්තට ඇවිත් ප්‍රබල අමාත්‍ය ධූර ගන්නවා , ඊට පස්සේ ඒ කඳවුරේ නායකයා වෙන්න ගේම් ගහනවා. ඒ නිසා තියෙන මරාල වෙනුවෙන් අලුත් මරාල ඕන නෑ කියලලු. ගියා නම් ගිය විදිහට එයාට ඉන්න කියන්න . අපි මේ යන විදිහට යමු කියලලු.
ඔය අස්සේ සජබ සමහරු කියන්නේ සජිත් එයාට අභියෝගයක් වෙන්න පුළුවන් කාවවත් ගන්නේ නෑ . කොහොමටත් ඉස්සරහට යන්න ඕන අය ඉන්නවා නම් , වෙන ගමනක් ගැන හිතන්න වෙනවා කියලලු.

පාස්කු ප්‍රහාරය - සාක්ෂි එක්ක එන්න : ජනාධිපති පරීක්ෂණ කොමිසම දන්වලා !
පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කළ තැනැත්තන් කවුද කියා තමන් දන්නා බව ප්‍රකාශ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විශේෂ ජනාධිපති පරීක්ෂණ සභාවක් හමුවේ පෙනී සිට ඊට අදාළ සාක්ෂි සහිතව තොරතුරු ඉදිරිපත් කරන ලෙස නියම කර ඇත.
එම පරීක්ෂණ සභාවේ සභාපතිත්වය දරන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයි.එම්. ඉමාම් මහතාය. 2023 වසරේ සැප්තැම්බර් මස ප්‍රචාරය කළ චැනල් 4 නාලිකා චිත්‍රපටයකින් පාස්කු ප්‍රහාරය ගැන හෙළිදරව් කළ කරුණු විමර්ශනය ඇතුළු පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන මෙම පරීක්ෂණ සභාවට පැවරී ඇති රාජකාරියයි.
එම පරීක්ෂණ සභාවේ ප්‍රධාන ලේකම්වරිය වන එස්. මනෝහරන් මහත්මිය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මීට අදාළ ලිඛිත නියෝගය පසුගිය බ්‍රහස්පතින්දා යවනු ලැබීය. ඒ අනුව අප්‍රේල් මස 02 දින එකී පරීක්ෂණ සභාව හමුවේ පෙනී සිටින ලෙසත් එදිනට ඔහු විසින් සිදු කළ ප්‍රකාශයට අදාළ සියලු සාක්ෂි රැගෙන එන ලෙසත් අදාළ ලිඛිත නියෝගයෙහි සඳහන්ය.
ඒ අතර ලබන අප්‍රේල් 04 දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කර ඇත.
- deshaya

එළවපු දයාසිරිව සිරිසේන ට හොඳ වෙලා : ශ්‍රීලනිප ලොකු තනතුරකට ආරාධනා කරලා !
මේ වෙනකොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පුවත් මවන චරිතයක් වෙලා. ඒ අස්සේ මැවුණු අලුත්ම පුවත තමයි , පසුගියදා චෝදනා පත්‍රයක් දාලා ශ්‍රීලනිප මහ ලේකම් ධූරයෙන් එළියට ඇදලා දාපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උප සභාපති ධූරය බාරගන්න ආරාධනා කිරීම.
හිටපු ජනාධිපති සිරිසේන මේ යෝජනාව දයාසිරි ට ඉදිරිපත් කරා කියන්නේ තමන්ගේ නිවසට එන්න කියලා . ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උප සභාපති ධූරය බාරගත්තොත් පක්ෂය විසින් නිකුත්කර ඇති චෝදනා පත්‍රය යළි හකුළාගන්නා බවත් කියලා.
හැබැයි ආරංචි විදිහට දයාසිරි ඒ යෝජනාව ප්‍රතිකේෂ්ප කරලා. දයාසිරි පාර්ශ්වය කියන විදිහට තමන් ආය බාරගත්තොත් බාරගන්නෙ ශ්‍රීලනිප මහ ලේකම් ධූරය පමණක් දයාසිරි සිරිසේන ගේ මුහුණටම කියලා.
හැබැයි සිරිසේන කිව්වා කියන්නේ ඒ තනතුර දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීවරයා දරන නිසා , ඒක නම් දෙන්න බැරි වෙයි කියලා .
හැබැයි ආරංචි විදිහට මේ වෙනකොටත් මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල ඉන්නෙත් දෙගිඩියාවක ලු. මොකද එයාගේ හිතවතුන් මතක් කරලා , මෛත්‍රීපාල සිරිසේන ට ශක්තියක් දෙන්න ආපු දුමින්ද ව ශ්‍රීලනිප මහ ලේකම් ධූරයෙන් ඉවත් කළ සිරිසේන ඒක දයාසිරි ට දුන්නා කියලා .
දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකාවේ ද පළමු AI චිත්‍රපටය නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනවා - ජනපති
යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති 20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල අමතමිනි.
කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා සලසා දෙන බවද පැවසු ජනාධිපතිවරයා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කලාව ද සූදානම් කළ යුතු බවත්, කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය අද ලෝක චිත්‍රපට කලාවට එක්වී තිබෙන අතර ඒ සමඟ ඉදිරියට යමින් ශ්‍රී ලංකාවේ ද පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
දිවයිනේ කීර්තිමත් ව්‍යවසායකයෙකු වන Kingdom of Raigam සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය රවී ලියනගේ ගේ සංකල්පයක් මත රයිගම් ටෙලීස් මහලේකම් කාර්යාලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.
2023 වසරේ තිරගත වූ ටෙලි නාට්‍ය, මාධ්‍ය වැඩසටහන් මෙන්ම රූපවාහිනී ප්‍රවෘත්ති වැඩසටහන් ආදී අංශයන්ගේ විශිෂ්ටතා ඇගයීමට ලක් කරමින් කාණ්ඩ හතක් ඔස්සේ සම්මාන හැටකට අධික ප්‍රමාණයක් පිරිනැමීම මෙහිදී සිදු විය.
රයිගම් විශේෂ ප්‍රණාම සම්මාන ප්‍රදානයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වූ අතර අතුල රන්සිරිලාල් මහතා, ගිවන්ත අර්ථසාද් සහ ග්‍රේස් තෙන්නකෝන් යන ප්‍රවීණ කලා ශිල්පීන් එහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබීය.
එමෙන්ම ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන “රයිගම් ප්‍රතිභා ප්‍රභා” ගෞරව සම්මානය ආචාර්ය රෝහණ වීරසිංහ වෙත පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස ප්‍රවීණ රංගනවේදී මහේන්ද්‍ර පෙරේරා ද වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස සේමිණී ඉද්දමල්ගොඩ ද ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.
එමෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය මෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස ප්‍රසන්න ජයකොඩි විසින් අධ්‍යක්ෂණය කළ සහ වසන්ත කන්නංගර විසින් නිෂ්පාදනය කළ “එයා දැන් බැඳලා” ටෙලි නාට්‍යය ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.
වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස හිරු ටීවී සහ සිරස ටීවී යන නාලිකා ද්විත්වය ජනාධිපතිවරයා අතින් සම සම්මාන දිනා ගත් අතර, වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව සහ වසරේ සම්මානනිය නාලිකාව යන සම්මාන ද්විත්වයම දිනාගත් ස්වාධීන රූපවාහිනි ආයතනය ද ජනාධිපතිවරයා අතින් සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම සම්මාන රාත්‍රිය ප්‍රවීණ ගායක ගායිකාවන් සහ ප්‍රවීණ රංගනවේදීන් විසින් ඉදිරිපත් කළ විශේෂාංගයන්ගෙන් වර්ණවත් විය.
සම්මානයට පාත්‍ර වූ සියලු කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සමඟ සමූහ ජායාරූපයකට පෙනී සිටි ජනාධිපතිවරයා, ප්‍රවීණ කලාකරුවන්, ගායක ගායිකාවන් ඇතුළු පැමිණි සිටි පිරිස සමඟ සුහද කතා බහකට ද එක්විය.
සම්මාන උළෙල ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය,
රයිගම් සමූහ ව්‍යාපාරය විසින් ආරම්භ කළ මෙම සම්මාන ප්‍රදානෝත්සවය අද 20 වන සංවත්සරය සමරනවා. මෙම සම්මාන උළෙල සඳහා ලබා දෙන දායකත්වය වෙනුවෙන් මම රයිගම් සමූහ ව්‍යාපාරය වෙත ස්තූතිවන්ත වීමට කැමතියි.
පසුගිය විසි වසර තුළ රූපවාහිනිය තුළ දැවැන්ත විප්ලවයක් සිදුව තිබෙනවා. ජංගම දුරකථනය, ලැප් ටොප් පරිගණකය සමඟ අද රූපවාහිනිය අභියෝගයකට ලක්ව තිබෙනවා. අද Netflix, Amazon සමඟ ලෝකය ඉදිරියට යනවා. අපත් මේ සමඟ ඉදිරියට යා යුතුයි. අද අනෙකුත් රටවල් භාෂා ගණනාවකින් චිත්‍රපට නිර්මාණය කරනවා. ග්‍රීසිය වැනි කුඩා රටවලද එය සිදු වෙනවා. අපත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.
ඒ නිසා යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීකරණය කර චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සංවර්ධන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට අපගේ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදීමට අප කටයුතු කරන බව කිවයුතුයි. රූපවාහිනිය ආරම්භ කරන විට විශාල පිරිසකට ජපානයේ පුහුණු අවස්ථා ලබා දුන්නා. එම යුගයේ යශෝරාවය වැනි නව ටෙලි නාට්‍ය නිර්මාණය වීමට එය හේතු වුණා. අප නුදුරේදීම නැවත ඒ සඳහා කටයුතු කරන බවද මෙම මෙහිදී සිහිපත් කරනවා.
ඒ වගේම කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය පසුගිය වසරේ සිට චිත්‍රපට කලාවට එක් වී තිබෙනවා. The Frost කෙටි චිත්‍රපටිය නිර්මාණ කර තිබෙන්නේ AI තාක්ෂණයෙන්. එම චිත්‍රපටවල තිර පිටපත පවා සකස් කර තිබෙන්නෙත් AI තාක්ෂණයෙන්. ඒ වගේම ඉන්දියාව Maharaja in Denims නිර්මාණය කරමින් සිටිනවා. එය ලංකාවටත් එනවා. අපත් මීට සූදානම් විය යුතුයි.
කෘත්‍රීම බුද්ධිය ලංකාවට හඳුන්වාදීම පිළිබඳ දැනට අප පත් කර තිබෙන කමිටුවට මම උපදෙස් ලබා දී තිබෙනවා මොරටුව විශ්වවිද්‍යාලය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සම්බන්ධ කර ගනිමින් ලංකාවේ පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කියලා. ඒ සඳහා රජයෙන් මුදල් ලබාදීමට කටයුතු කරන බව කිවයුතුයි.
මේ අයුරින් අපි නොසිතන ලෙස චිත්‍රපට කර්මාන්තය වෙනසකට ලක්වෙමින් තිබෙනවා. චිත්‍රපට සංස්ථාව නවීකරණය කරමින් සහ පළමු AI චිත්‍රපටය නිර්මාණය කරමින් අපි අලුත් ගමනකට මුල පුරමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ජේ. බී. දිසානායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද ප්‍රවීණ රංගනවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන්, ගායක ගායිකාවන්, කලාකරුවන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු සභාවනීය ආරාධිත පිරිසක් සම්මාන උළෙලට එක්ව සිටියහ.

තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව : සිරිසේනට තවත් නඩුවක් !
දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අද (30) ගත් තීරණයට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද (30) පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර එහිදී මෙම තීරණ ගෙන තිබුණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන පත්කර ඇති අතර භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ පත්කර තිබේ.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර වෙනුවට සරත් ඒකනායක පත්කර ඇත.

නාමල්ගේ පට්ටම ගැන පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් කලකිරීමක !
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත්කළ ආකාරය සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් බරපතළ කළකිරීමකට පත්ව සිටින බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , පසුගියදා පැවති පොදුජන පෙරමුණේ සම්මේලනය අවස්ථාවේ එම පක්ෂයේ ජාතික සංවිධායක ධූරය පුරප්පාඩුව තබා ඇත.
අනතුරුව පසුගිය දිනක බැසිල් රාජපක්ෂ විසින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූරයක් දරන පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු අමතා පක්ෂයේ ජාතික සංවිධායක ධූරය ගෙන පක්ෂය ගොඩනැගීම සඳහා මැදිහත් වන ලෙස දැනුම්දී ඇත. එහෙත් එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා එම ඉල්ලීම ප්‍රතිකේෂ්ප කර ඇති අතර ඒ තමන්ට මේ වන විට ආණ්ඩුව පාර්ශ්වයෙන් පවරා ඇති වගකීම් සමුහය පෙන්වා දෙමින් ය.
පසුව බැසිල් රාජපක්ෂ විසින් පොදුජන පෙරමුණේ තවත් ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකු අමතා ජාතික සංවිධායක ධූරය බාරගන්නා ලෙස ඉල්ලා ඇති අතර ඔහු ඊට එකඟතාව පළකර ඇත. ඔහු ලැබුණු තනතුර පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුව ඇති බවත් ඒ එම මන්ත්‍රීවරයා උග්‍ර බැසිල් වාදියෙකු ලෙස ප්‍රසිද්ධ නිසා බවත් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නිල නිවසේ පසුගියදා පැවති පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීම අවස්ථාවේ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ නම යෝජනා කර ඇති අතර පසුව එය සම්මත කරගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ද සැලකෙන්නේ උග්‍ර බැසිල්වාදියකු ලෙස බැවින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ පත්වීම රාජපක්ෂ පවුල විසින් පසුව ගනුලැබූ රහසිගත තීන්දුවක් බව කළකිරුණු මන්ත්‍රීවරුන් ගේ අදහස වී තිබේ.
දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මෙසේ අවසන් මොහොතේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරය අහිමිව ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තු කමිටුවක සභාපති ධූරය ලැබීම හේතුවෙන් විපක්ෂයේ විරෝධය පළවූ මන්ත්‍රීවරයා ය.
Page 97 of 475