ලංකා ආර්ථිකය ස්ථාවර කරන ජනපතිගේ වැඩපිළිවෙළ : ජපාන විදේශ අමාත්‍යවරියගේ පැසසුමට !

ලංකා ආර්ථිකය ස්ථාවර කරන  ජනපතිගේ වැඩපිළිවෙළ : ජපාන විදේශ අමාත්‍යවරියගේ පැසසුමට !

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මියගේ ඇගයීමට ලක් විය.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන විදේශ අමාත්‍යවරිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුව අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදි අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සහ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය ඇතුළු ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක, දැනට අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කිරීම තම රජයේ අරමුණ බව ද ජපාන විදේශ අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් තැබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින ජපාන විදේශ අමාත්‍ය කමිකාවා මහත්මිය, ශ්‍රී ලංකාවේ ඊට අදාළව නව නීති සම්පාදනය කරමින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන ඇති සාධනීය පියවර ඇගයීමට ලක් කළාය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ඓතිහාසික සබඳතාව මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම තම අරමුණ බවද පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දුන් සහාය පිළිබඳව සිය ස්තූතිය පිරිනැමීමටද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන්‍ ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240504 WA0001

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.