පුවත්

මුදලට තරග පාවාදීම : ඉන්දීය ක්‍රිකට් කළමනාකරුවන් දෙදෙනෙකුට අධි චෝදනා !
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිට, එංගලන්ත හා නවසීලන්ත ක්‍රීඩකයින්ට බලපෑම් කළ බව කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව නීතිපතිවරයා, අද (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක නීතිපතිවරයා වෙනුවෙන් මෙසේ අදහස් දැක්වූ අතර මුදලට තරග පාවා දීමේ සිද්ධියට සම්බන්ධව අධිකරණය මඟින් පනවා ඇති රටින් පිටවීමේ තහනම ඉවත් කරවා ගැනීමට සැකකාර ඉන්දීය ක්‍රිකට් කළමනාකාරවරුන් ගොනු කළ විශේෂ මෝෂමට විරෝධය ද පළකර සිටියේ ය.
මෙම නඩු දෙක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අතර සැකකාර කළමනාකරුවන්ට රටින් පිටවීම වළක්වමින් නිකුත් කර තිබූ තහනම් නියෝග ඉවත් කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ උදාර කරුණාතිලක ක්අළ්ධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග වරුසවිතාන ක්‍රීඩකයාට බලපෑම් කළ ඉන්දියාවේ කෑන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක කළමනාකාර යෝගී පටෙල්ට පසුගිය 16 වැනි දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ බවය.
2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙම අධි චෝදනා නඩුව ගොනුකර ඇති බවද සඳහන් කළේය.

තවත් ඔන්ලයින් මුදල් වංචාකරුවෙක් මාට්ටු !
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ණය ලබාදෙන බවට ප්‍රකාශය කරමින් මුදල් වංචා කළ ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවන සැකකරුවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .
එසේම මෙම සැකකරු වාහන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු විභාගයකට අදාළව අධිකරණය මගහැර දීර්ඝ කාලයක් සැඟව සිට ඇති බව ද පොලිසිය පවසයි.
එම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයකදී තිහගොඩ පොලීසිය විසින් මෙම සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සන්තකයේ තිබී ටැබ් පරිගණකයක්, ජංගම දුරකථන හයක්, විවිධ බැංකු කාඩ්පත් අටක් සහ මුදලින් රුපියල් හතලිස්දහසක් පමණ පොලීසිය භාරයට ගෙන ඇත.
පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙන්නේ සැකකරු විසින් ඔන්ලයින් ණය ලබාදෙන මුවාවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් ණය සේවා ගාස්තු ලෙස රුපියල් 3000 සිට 5000ක් දක්වා වූ මුදලක් විවිධ බැංකු වෙත බැර කරවාගෙන ඇති බවය.
අනතුරුව ණය මුදල් ලබාදීමක් සිදු නොකර අදාළ ණය ඉල්ලුම්කරුවන් මගහරිමින් සැකකරු මෙම වංචාව සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
මේ සඳහා සැකකරු මුහුණුපොත සහ වට්ස්ඇප් භාවිතයට ගෙන ඇති බවට හෙළිවී ඇත.
සැකකරු අද (22) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

විජේදාස ගේ පත්වීමට තිලංගගෙන් බාල්දියක් !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාණය වී ඇති අර්බුදය හමුවේ, එම පක්ෂයෙන් කැඩී ගිය කොටස් කිහිපයක් සමගි ජන බලවේගය සහ ලංසා කඳවුරේ නව සන්ධානය සමඟ එකතුවෙන සාකච්ජා පටන් අරගෙන.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදයේ තීරණාත්මක සිදුවීම් කිහිපයක් ගිය සතියේ වාර්තා වූනා. හිටපු ජනාධිපති සිරිසේනට පනවා තිබූ පක්ෂ සභාපතිත්වය තහනම දීර්ඝ කිරීමට අධිකරණය කටයුතු කළා.
පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා මැතිවරණ කොමිසම වෙත දන්වා තිබුණේ සභාපතිවරයාගේ අනුදැනුමින් තොරව රැස්වූ දේශපාලන මණ්ඩලේ පත්වීම් නීත්‍යානුකූල නෑ කියලා . මේ අතර පක්ෂයේ නව පත්වීම් ලද පිරිසත් මැතිවරණ කොමිසම වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබුනා.
මෙම දැන්වීම සම්බන්ධ ප්‍රතිචාර දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියලා තිබුනේ, ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නෑ කියලා. ඉදිරියේදී සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍යට කියලා තිබුනා.
කොහොම වුනත් ඊයේ පෙරේදා ශ්‍රීලනිප අවුලේ අලුත් පොලා පැනීමක් සිද්ධ වුනා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති විදියට පත්කර ගෙන. ඊට පස්සේ අධිකරණ ඇමති එයාගේ පිරිසක් සමග පක්ෂ මූලස්ථානය ට ඇතුල්වෙන්න හදද්දී , පොලිසියෙන් ඉඩදීලා.
'' පක්ෂ මූලස්ථානය ට ඇතුල්වෙන්න බෑ කියලා අධිකරණ වාරණ නියෝගයක් නෑ .. අපි මේ ගැන පොලිසියට විරුද්ධව FR එකක් ෆයිල් කරනවා '' - විජේදාස එතනදී පොලිසියේ ලොක්කෙකුට කියලා තිබුනා. විජේදසගේ චෝදනාව එල්ලවෙලා තිබුනේ පොලිස් ඇමති ටිරාන්ට..
කොහොම වුනත් ඊයේ වෙච්ච සීන් එකට මෛත්‍රී පාර්ශවයේ උප සභාපති තිලංග ඉන්නෙත් ලොකු අවුලක.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා කැඳවූ රැස්වීම අනීතික විධායක සභා රැස්වීමක් කියලා තිලංග සුමතිපාල කියනවා.
'' කවද්ද විජේදාස ශ්‍රී ලංකා එකට බැඳුනේ .. එයාට සමාජිකත්වේ දුන්නේ කව්ද ? '' - තිලංග අහනවා.
ආරංචි හැටියට විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා එකේ සමජිකත්වේ ගත්ත ද කියලා අහලා පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම් අද හෙට විජේදසට ලියුමක් යවන්න ලු හදන්නේ. එහෙම ලියුමක් යවලා වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා තියෙන්නේ බැසිල් ලු.
- ----------
ඒ කතා කොහොම වුනත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක නම් කියන්නේ , පාස්කු ප්‍රහාරයේ වන්දිය ගෙවීම සඳහා මෛත්‍රී කෝටි 8 කට ශ්‍රීලංකා එක විජේදාසට විකුණලා ද කියලා සැකයක් මතුව තියනවා කියලයි.
“විජේදාස රාජපක්ෂ කොහොමද වැඩබලන සභාපති වෙන්නේ? එයා පක්ෂයේ සාමාජිකයෙක් ද?”
මෛත්‍රීපාල සිරිසේන සමග සිටගැනීමට පෙර විජේදාස රාජපක්ෂ වසර ගණනාවකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් කතා කරලාවත් නැති බව දුමින්ද කියනවා.
“නඩු ටිකෙන් බේරෙන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ පක්ෂය වික්කා. අද පාස්කු ප්‍රහාරයට අවු. 5 යි. වින්දිතයො විශාල ප්‍රමාණයක් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයට මිලියන 100 ක් ගෙවන්න තියෙනවා, මිලියන 15 යි ගෙවලා තියෙන්නෙ. තව මිලියන 85 ක් ගෙවන්න තියෙනවා. හෙට කිව්වොත් කවුරුහරි මිලියන 85 ක් ගෙවන්නම් කියලා.. ඒ මිනිහටත් මේ පක්ෂෙ දෙයි නෙ. එහෙම පක්ෂෙ දන්දෙන්න පුළුවන් ද?” - දුමින්ද අහනවා.
දුමින්දලා- තිලංගලා එහෙම කියද්දී විජේදාස නම් කියන්නේ වෙනම කතාවක්.
'' නිමලු යි - අමරවීර යි , දුමින්ද යි - ලසන්ත යි හදන්නේ ශ්‍රී ලංකා එක UNP එකට අරගෙන යන්න . ඔය තිලංග හදන්නේ ශ්‍රී ලංකා එක සජබෙට ගැටගහන්න . එහෙම ගැටගහලා ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් ගන්න. ඔය හතර පස්දෙනා හැරෙන්න, ශ්‍රී ලංකා එකේ හැමෝම ක් ඉන්නේ , ඔය කාටවත් ජැක් ගහන්නේ නැතුව ශ්‍රී ලංකා එක ගොඩදාමු කියන ස්ථාවරේ. අනික රනිල් ජනාධිපතිවරනෙට එන්නේ නෑ ..රනිල් තව ටික දවසකින් ඕක කිව්වම තමයි අමරවීර ලට උණ හැදෙන්නේ '' - ඔන්න ඔහොම , විජේදාස ඊයේ මාධ්‍ය සාකච්ජාවෙන් පස්සේ , මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකුට වෙනම කියලා .
වෙනත් පක්ෂයක මන්ත්‍රී කෙනෙකුට කැබිනට් එකේ ඉන්න බැරිකමක් නෑ කියලත් විජේදාස කියනවා. '' ජනාධිපතිතුමා මේ දැනුත් මට කතාකලා .. එතුමාට නම් මේවා ප්‍රශ්නයක් නෙමෙයි.. '' විජේදාස එහෙමත් කියලා .
- දේශපාලන වාර්තාකරු

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගනී !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ ද එම අවස්ථාවට වැඩම කර සිටී අතර උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.
මුතියංගණය රජමහා විහාරාධිපති පූජ්‍ය මුරුංදෙණියේ ධම්මරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියේය.

උද්ධමනයේ වාර්තාගත පහළ යාමක් !
2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මාර්තු මාසය සඳහා 2.5% ක් දක්වා අඩු වී ඇත.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ 2024 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයේ මේ බව සඳහන් වෙයි.
ඊට අනුව 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මාර්තු මාසයේ දී ද 5.0% ක් ලෙස නොවෙනස්ව පවති.
එමෙන්ම, 2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මාර්තු මාසයේ දී 0.7% ක් දක්වා අඩු වී ඇත.

ඇප නෑ : කෙහෙලිය ආයෙත් රිමාන්ඩ් !
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස හය දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.
ඊට අදාළ නඩුව අද (22) යළි කැඳවූ අවස්ථාවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම අදාළ නියෝගය කළාය .
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සිදුකළ ඇප ඉල්ලීමද මහේස්ත්‍රාත්වරිය එහිදී ප්‍රතික්ෂේප කළාය.

දියතලාව foxhill ධාවන තරගය අතරතුර සිදුවූ අනතුරකින් 07ක් ජීවිතක්ෂයට
දියතලාවල "ෆොක්ස්හිල්” මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අතරතුරදී මෝටර් රථ කිහිපයක් ධාවන පතයෙන් ඉවතට පැන සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.
එම අනතුරෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර තුවාල ලැබූවන් මේ වන විටත් දියතලාව රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් තරගය අතරතුරදී අනතුරට ලක්වීමෙන් පසුව එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් පසු පසින් ධාවනය වූ තවත් මෝටර් රථයක හැපී මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කරයි.

අඩු ආදායම්ලාභී සෑම පවුලක් සඳහා මසකට සහල් කිලෝ 10 බැගින් - ජනාධිපති ප්‍රධානත්වයෙන් ඇරඹේ !
රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද එම සියලුදෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ අද (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.
මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආරවණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් වෙත අප්‍රේල් සහ මැයි මාස දෙකක කාලයක් සඳහා මසකට සහල් කිලෝ දහය බැගින් ලබා දීමට නියමිතය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහළොවක ප්‍රතිලාභී පවුල් 191,548ක් සහල් සහනාධාරය ලැබීමට සුදුසුකම් ලබා තිබේ. අද දින පවුල් දහසකට සහල් බෙදා දීම සංකේතවත් කරමින් ප්‍රතිලාභීන් 25 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් සහල් මලු ලබාදීම සිදු විය.
මීට සමගාමීව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත සහල් බෙදාදීම ආරම්භ කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
අද මේ රටේ ජනතාව සතුටින් සිංහල හා දෙමළ අලුත් අවුරද්ද සමරනවා. පසුගිය වසර දෙක තුළ මේ පිළිබඳව සිතන්නටවත් නොහැකි තත්ත්වයකයි රට තිබුණේ. පසුගිය කාලයේ අපට අවශ්‍ය ඉන්ධන, ගෑස්, පොහොර සපයා ගත නොහැකිව ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා.
2022 සිංහල අලුත් අවුරුද්ද මම ගත කළේ කඹුරුගමුව ප්‍රදේශයේදී බව සිහිපත් කරන්න කැමතියි. එහි ඉන්ධන පිරවුම් සැල් ඉදිරිපිට රැය පහන්වන තුරු ජනතාව රැදී සිටින අයුරු මම දුටුවා. ඔවුන් පාලකයන්ට දැඩිව දෝෂාරෝපණය කරමින් සිටියා. එවන් තත්ත්වයක තිබු රට අද ලබා ඇති ප්‍රගතිය බොහෝ දෙනාට සිතා ගැනීමට පවා අසීරු වී තිබෙනවා. අද රට තුළ ඇති වි තිබෙන මෙම ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් බොහෝ අසීරු තීරණ ගැනීමට අපට සිදු වුණා. එම තීරණ ජනප්‍රිය තීරණ නොවන බව කිවයුතුයි.
මීට පෙර මේ රටේ ආණ්ඩු තිබුණේ එක් පක්ෂයකට අයත් ආණ්ඩු. එසේ නොමැතිනම් පක්ෂ දෙක තුනක් එක්ව ගොඩනගාගත් ආණ්ඩු. නමුත් මෙම ආණ්ඩුව එවැනි එකක් නොවෙයි.
එක්සත් ජාතික පක්ෂයේ මම විතරයි හිටියේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය මේ සියලු පක්ෂවල අය ආණ්ඩුව සමඟ එක් වුණා. රටේ අවශ්‍යතාව වෙනුවෙන් එම ආණ්ඩුව ගොඩනැගුවා. මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි බව ඇතැම් අය පැවසුවා.
කෙසේ හෝ අප රට වෙනුවෙන් වූ අරමුණ සාර්ථකව ක්‍රියාත්මක කළා. ඒ පිළිබඳ මම අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම මේ අසීරු කාලයේ ජනතාවට අවශ්‍ය සහන ලබාදිමට ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් ලේකම්වරු අනෙක් නිලධාරින් විශාල සේවාවක් ඉටු කළා. අප සියලුදෙනා එකට වැඩ කළ නිසා තමයි අද මේ ප්‍රගතිය ලබාගෙන තිබෙන්නේ.
අද සංචාරක ව්‍යාපාරය නොසිතු අන්දමේ දියුණුවක් ලබමින් තිබෙනවා. ඒ සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් අපි මේ වන විට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම තුළින් එම මුදලුත් අද රටේ ආර්ථිකයට එක්වෙලා තිබෙනවා.
අසීරු කාලයේ දුප්පත්, පොහොසත් බේදයකින් තොරව අප සියලුදෙනා දුක් වින්දා. අද රට දියුණු වෙමින් පැවතියත් තවමත් එක් කණ්ඩායමක් අපහසුතාවයන්ට මුහුණ දී සිටිනවා. රුපියලේ අගය අඩුවීම, ව්‍යාපාර කඩා වැටීම, රැකියා අහිමි වීම නිසා පිරිසක් තවමත් අපහසුතාවයෙන් සිටිනවා.
රටේ සංවර්ධන ක්‍රියාවලියේ වාසිය සියලුදෙනාට හිමිවිය යුතුයි. ඒ නිසා අස්වැසුම වැඩසටහනින් ලබාදෙන ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ දැමීමට අප කටයුතු කළා. ඒ වගේම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම මාසයේ සහ ලබන මාසයේ සහල් කිලෝ 10 බැගින් අඩු ආදායම්ලාභී ජනතාවට ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.
අපි මෙම සහල් මිලදී ගත්තේ විශාල මෝල් හිමියන්ගෙන් නොවෙයි. කුඩා මෝල් හිමියන්ගෙන්. අපි මෙම මිලදී ගැනීම් සිදු කරද්දි වෙළෙඳපොළෙ මිලට වඩා වැඩි මිලකට මිලදී ගන්නවා. එවිට එම කුඩා පරිමාණ වී මෝල් හිමියන්ටත්, ගොවි ජනතාවටත් සහන ලැබෙනවා.
රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ගොඩනැගීමේදී කිසිවෙක් පසුකර හෝ අතහැර යාමට මම එකඟ නැහැ. ඒ නිසා ක්‍රමානුකූලව රටේ ආර්ථිකය දියුණු කරනවා. අද සංචාරක ව්‍යාරය හරහා ගමට මුදල් ලැබෙනවා. ඒ වගේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ශක්තිමත් අපනයන කෘෂිකර්මාන්තය ඇති කිරීම එහි අරමුණ බව කිවයුතුයි.
ඒ වගේම වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැගීම පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා. එම ජනතාවට ඉඩම් ලබාදීම පිළිබඳව මේ වන විට කටයතු කරගෙන යනවා. ඒ වගේම ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි. කොළඹ මහල් නිවාස 50,000ක අයිතිය එම ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
මෙම වැඩකටයුතුවලදී අප දේශපාලන වශයෙන් බෙදිය යුතු නැහැ. අපි බෙදුනා නම් අද රටේ මෙම ප්‍රගතිය දකින්න ලැබෙන්නේ නැහැ. පක්ෂ දේශපාලනය අමතක කර අප ඉදිරියට යා යුතුයි. ඒ වගේම මෙම ඌව පළතේ දියුණුව වෙනුවෙන් විශාල වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අද දින ලබා දෙන සහල් කිලෝ විස්සේ ප්‍රතිලාභය මේ ජනතාවට ඉතාම වටිනවා. නමුත් මෙම ප්‍රතිලාභ දිගුකාලීන වශයෙන් ජනතාවට ලබා දිය යුතු වන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ ආර්ථික සැලසුම අනුව ජනතාවට දෙපයින් නැගි සිටීමට වැඩි කාලයක් ගතවන්නේ නැහැ.
ජනතාවගේ අතට වැඩි ආදායමක් ලැබෙන ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා මේ වන විට කටයුතු කරමින් තිබෙනවා. ජනාධිපතිතුමා තමන්ගේ දර්ශනය මහ පොළොව පැල කර වැඩ පෙන්වා තිබෙනවා.
ඒ නිසා වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදී බංකොලොත් වූ රට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. ඒ වගේම ජීවත්වීමට අසීරු තත්ත්වයේ සිට ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා "අස්වැසුම" මගින් රුපියල් 15,000ක් මුදලක් ලබා දුන්නා. ඒ වගේම ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදීම " උරුමය " වැඩසටහන හරහා සිදු කරමින් තිබෙනවා. මේවා කයියනායකලා දෙනවා වගේ දෙන පොරොන්දු නෙවෙයි. ජනාධිපතිතුමා පසුගිය වසර දෙක තුළදී මහපොළවේ පැළ කළ යතාර්ථයයි.
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක
සහල් ප්‍රතිලාභය ජනතාවට ලබාදීම බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම පිළිබඳව අපි සතුටට පත්වනවා. සහල් කිලෝ විස්සක් ලබාදීම සඳහා එක් අයෙක් වෙනුවෙන් රුපියල් 6000ක මුදලක් වැයකිරීමට සිදුවෙනවා. නමුත් ජීවත් වීමට අගහිගකම් ඇති ජනතාව වෙනුවෙන් මෙම ප්‍රතිලාභ ලබාදීම ප්‍රශංසනීයයි .
රට බංකොලොත් වී තිබු නිසා එදා රට භාරගන්න නායකයෙක් හිටියේ නැහැ. නායකයින් රටින් පලායද්දි රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම භාර ගත්තා. මේ වන විට පක්ෂවලට ඡන්දය ලබාදීමේ සාම්ප්‍රදායික ක්‍රමය අවසන් වී තිබෙනවා. ආසනයට රටට වැඩක් කරන පුද්ගලයින්ට ඡන්දය ලබාදීම සඳහා ජනතාව පෙරට පැමිණෙමින් තිබෙනවා.
මා වසර විසි හතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළත් ආර්ථික වශයෙන් රට මුදා ගත් නායකයාට සහයෝගය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වුණා. මින් ඉදිරියට පක්ෂවලට ඡන්ද දීමට ජනතාව ඉදිරියට එන්නේ නැහැ. එම නිසා මෙවර ජනාධිපතිවරණයේදී ඉතා වැඩි ඡන්ද ප්‍රමාණයකින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි අවුරුදු පහ සඳහා ද ඔබතුමාට මේ රට ජනතාව විසින් බාර දෙනවා. එය නියතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ්
මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට ජනාධිපතිවරයා ඉටු කරන මෙහෙවර ප්‍රශංසනීයයි. එදා තිබු පෝළිම් යුගය අවසන් කර ජනතාවට සාමකාමීව ජීවත් වීමට හැකි රටක් නිර්මාණය කිරීමට එතුමාට හැකිවුණා. එතුමාගේ විදේශ සබඳතා මත මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන එමින් අද වන විට අඩු ආදායම්ලාභී පවුල් සඳහා ප්‍රතිලාභ ලබාදීමටත් එතුමාට හැකි වී තිබෙනවා.
ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභය ලක්ෂ 24කට ලබා දීමට කටයුතු කර තිබෙනවා. උරුමය වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලබාදීම සිදුකරනවා. ඒ වගේම රාජ්‍ය සේවා වැටුප රුපියල් දස දහසකින් ඉහළ නංවා තිබෙනවා. මේ සියල්ල සිදු කළේ ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය නිසයි. එම නිසා ඉදිරියේදී වතු ජනතාවගේ වැටුප් වැඩි කිරීමත් සලකා බලන ලෙස මා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිතුමාගේ මිළග මැතිවරණ ජයග්‍රහණය නියත බව කිව යුතුයි.
ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමර්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය යන මහත්වරු ඇතුළු ඌව පළාතේ දේශපාලන නියෝජිතයන් ද, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන , වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=1620#sigProId52753e04d3

ශ්‍රීලනිප අර්බුදය : වැඩේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි සහ නීති විරෝධීයි : දුමින්දගෙන් සැර ලිපියක් !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය දිග්ගැස්සෙන ස්වභාවයක් පෙන්නුම් කරමින් අද (21) කැඳවා තිබූ පක්ෂයේ විධායක සභා රැස්වීම සහ එහිදී ගනුලැබූ තීන්දුව නීති විරෝධී බව දක්වමින් ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් පක්ෂයේ වැඩබලන ලේකම් මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල වෙත ලිපියක් යොමුකර අවධාරණය කර ඇත .
එහි දැක්වෙන්නේ පක්ෂයේ වැඩබලන ලේකම් ද අධිකරණ නියෝග පවා නොතකා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කර ඇති බවය.
අදාළ ලිපිය පහත දැක්වෙයි .

විජේදාස පිළිගන්නේ නෑ : ලසන්ත ප්‍රසිද්ධියේ ගේම ඉල්ලයි !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පත් කිරීම පිළි නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.
පක්ෂයේ සාමාජිකයකු වත් නොවන පුද්ගලයකු වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කිසිම නීතිමය හැකියාවක් නැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .
කෙසේ වුවත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරුන් දෙදෙනෙකු සිටින අතර ඒ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ය.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රීලනිප සභාපති ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත්කර ඇති නමුත් ඔහු දිගින් දිගටම පක්ෂයේ කටයුතු වලට බලපෑම් කරමින් සිටින බවය.

දකුණේ ආණ්ඩුකාර විලී ඉල්ලා අස්වෙයි : පුරප්පාඩුව ලක්ෂ්මන් ට ?
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී ඇති බව වාර්තා වෙයි .
ඒ අනුව එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවත් වාර්තා වෙයි.
මෙලෙස ඉල්ලා අස්වී තිබෙන විලී ගමගේ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගේ අතිශය සමීපතමයකු වෙයි.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි. දකුණු පළාත නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකු විසින් මේ ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් සිදුකර ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි . මේ වන විට ලක්ෂ්මන් යාපා අබේවර්ධන වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කරයි.
මේ අතර අද (21) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මේ වනවිට නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර ඒ වාරණයට ලක්වූ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු කණ්ඩායමක් එම මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී ය.

පාස්කු ප්‍රහාරයට වසර 5ක් සපිරෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ.
ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි.
ඒ අනුව, කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පාගමන ඊයේ මධ්‍යම රාත්‍රිය පුරා පැවැත්වුණි.
2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදිනයේ අන්තවාදීන් කණ්ඩායමක් විසින් දේවස්ථාන 3ක් හා හෝටල් 3ක් ඇතුලු ස්ථාන 6කට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබීය.
මෙම ප්‍රහාරයට පස්වසරක් ගත වීම නිමිත්තෙන් සිහිකිරීම් වැඩසටහන් මාලාව සංවිධානය කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ඉලක්කය බවට පත් වු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය සහ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි.
ඊයේ පස්වරුවේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගය අගරදගුරු පදවියේ සහායක රදගරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය සමීපතමයින් අහිමි වු ඥාතීන් හා තුවාල ලැබුවන් එක් ව සිටියේය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පැවසුවේ, දේවස්ථානවල පැවැත්වෙන සැමරුම් සඳහා ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.
''පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුද කියලා තාම කවුරුත් කියලා නෑ. හැබැයි ඒක මම දන්නවා.'' යයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළේය.

ශ්‍රීලනිප වැඩබලන සභාපති ධුරය විජේදාසට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කර ඇත.
ඒ අද (21) දින කෝට්ටේ සෝලිස් ශාලාවේ දී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක දීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය වෙනුවෙන් එම රැස්වීම කැඳවා තිබුනේ, ශ්‍රීලනිප වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල විසිනි.
මෙම රැස්වීම නීත්‍යනුකූල නොවන බව පවසමින්, එම පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක විසින් වැඩබලන ලේකම්වරයා වෙත ඊයේ (20) දිනයේ ලිපියක් යොමුකර තිබිණ.
වැඩබලන සභාපතිවරු දෙදෙනෙක් !
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රේල් 4 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව අප්‍රේල් 08 දා රැස්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය, පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කර ගනු ලැබිය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති එම දේශපාලන මණ්ඩල රැස්වීමට එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් සහභාගී වී සිටියේය.
ශ්‍රීලනිප නිමල් සිරිපාල පාර්ශවයේ මෙම තීන්දුවට මෛත්‍රී පාර්ශවයේ විරෝධය පලවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ, ඒ පිළිබද අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

බස්නාහිර ආරක්ෂාව දැඩි කෙරෙයි !
බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස (01) වනදා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මේ වන විටත් පුහුණු කරමින් සිටින බව ය.
පසුගිය වසර 3 තුළ බස්නාහිර පළාතේ පොලිස්බල ප්‍රදේශ 25ක ඝීග්‍රයෙන් අපරාධ ඉහළ ගොස් ඇති බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
ඒ අතර පසුගිය වසර තුළ රන් මාල කොල්ලකෑම් 846ක්, ගෙවල් බිදුම් 12,125ක් සහ වාහන සොරකම් 1,748ක් වාර්තාවන බව පොලිස් වාර්තා පවසයි.
එය සමස්ත දිවයිනේම සිදුවූ අපරාධ අතරින් ප්‍රතිශතයක් ලෙස 32%කි.
ඒ අනුව එම අපරාධ මර්දනය සඳහා දිවයිනේම පොලිස් කොට්ඨාසවල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ,පොලිස් ස්ථානවල සිටින නිලධාරීන්ගෙන් 60% ක් ඒ සඳහා යොදවන ලෙසය.
එහි පළමු පියවර ලෙස බස්නාහිර පළාත තුළ සිටින පොලිස් නිලධාරීන්ට පාපැදි, ටී56 වර්ගයේ ගිනි අවිද සහිතව ලබාදී අදාළ ප්‍රදේශවල සංචාරය කරවීමට නියමිතව තිබේ.
එමෙන්ම පාතාල මර්දනය සඳහා යොදවා ඇති පොලිස් කණ්ඩායම් 20ට අමතරව පොලිස්පතිවරයා ඉදිරියේදී නව පොලිස් කණ්ඩායම් 10ක් යෙදවීමටද නියමිතය.
එම කණ්ඩායම් 10ට අපරාධ කල්ලි සාමාජිකයන් 360කට ආසන්න පිරිසකගේ නාමාවලියක් ලබාදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් ලබා දෙන බව වාර්තා වෙයි.
මේ අතර තවත් 100 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග මේ වනවිට විශේෂ පුහුණුවකට යොදවා තිබේ.
ඔවුන් සඳහා විශේෂ නිල ඇඳුමක්, යතුරුපැදි සහ ගිනි අවි ද ලබාදීමට නියමිතය.
ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ අපරාධකරුවන් හඹාගොස් අත්අඩංගුවට ගැනීමය.
එමෙන්ම කොළඹ නගරය තුළ පොලීසිය නිරීක්ෂණය කරනු ලබන CCTV කැමරා 176ක සංඛ්‍යාව 2000ක් දක්වා වැඩි කිරීමට ද පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව පෞද්ගලික නිවාසවල ඇති cctv ද ඔවුන්ගේ කැමැත්ත පරිදි පොලිසිය මගින් නිරීක්ෂණය කිරීමට කටයුතු කරනු ඇත.

ශ්‍රීලනිප සිරිසේන පාර්ශ්වය සහ සිරිපාල පාර්ශ්වය එළිපිට ගැටෙති !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය කැඳවූ රැස්වීමක් පැවති ස්ථානයට ගොස් විරෝධය පළකීරිමට එහි වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ කණ්ඩායම අද (20) කටයුතු කර තිබේ .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලනිප ලේකම් ලෙස මේ වන විට යෝජනා කර තිබෙන , ශ්‍රීලනිප ජාතික සංවිධායක ධූරය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසන්නේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අදාළ රැස්වීම නීත්‍යානුකූල නොවන බවය.
වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තනතුරු බෙදීයාම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරි තත්ත්වය තුළ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය අද කැඳවා ඇත්තේ දේශපාලන මණ්ඩල රැස්වීමක් ය.
එම පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ජයවර්ධනපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක කැඳවා ඇති බවද වාර්තා වෙයි.
කෙසේවෙතත් එය නීත්‍යනුකූල රැස්වීමක් නොවන බව පවසමින් පක්ෂයේ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ ලේකම් සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් විරෝධය පළ කර තිබුණි.
එසේම මේ වන විට ශ්‍රීලනිප සභාපති ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සභාපති ධූරය වාරණය තවත් දීර්ඝ කිරීමට පසුගියදා අධිකරණය නියෝග කර තිබිණ .

ලාංකික කාන්තාවක් ඉන්දීය මහ මැතිවරණයේදී ජන්දය දාලා !
ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කර ඇත .
ඒ සමඟ ඇය ඉන්දීය මහ මැතිවරණයකදී සිය ඡන්දය භාවිත කළ පළමු ශ්‍රී ලාංකික සරණාගතයාව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට , කේ. නාලිනී 1986 වසරේදී මන්දපම්හි පිහිටි ශ්‍රී ලාංකික සරණාගත කඳවුරකදී උපත ලබා ඇත. ඇයගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ලෙස සේවය කර ඇති අතර පසුව සරණාගතයින් ලෙස ඔවුන් ඉන්දියාවට පැමිණ තිබේ.
2022 වසරේදී ඉන්දීය ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මදුරාසි මහාධිකරණයට නාලිනී පෙත්සමක් ගොනු කර ඇති අතර එම නඩුවේදී තමන් ඉන්දීය පුරවැසියෙක් බවට අධිකරණය ඉදිරියේ කරුණු තහවුරු කිරීමට නාලිනීට හැකියාව ලැබී ඇත.
ඒ කේ.නාලිනී 1987 වසරට පෙර උපත ලබා තිබීම හේතුවෙන් ය. 1950 සිට 1987 වසර දක්වා සරණාගත කඳවුරුවලදී උපත ලැබූ පිරිසට ඉන්දීය පුරවැසිභාවය ලබාදීමට එරට රජය ගත් තීරණය මෙහිදී බලපා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .

ජනපති අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ නිරීක්ෂණ චාරිකාවක !
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළ තුළ පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ කෙරිණි.
අද පෙරවරුවේ අඹේවෙල කිරි ගොවිපොළ වෙත පැමිණි ජනාධිපතිවරයාව කිරි ගොවිපොළ සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.
ගොවිපොළේ නව සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා කිරි ගවයන් රඳවා සිටින පරිශ්‍රය ද නිරික්ෂණ කළේය.
අනතුරුව එහි විධායක කාර්ය මණ්ඩලය සමඟ කෙටි සාකච්ඡාවකට ද එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය හා එමගින් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් කළේය.
එමෙන්ම ගොවිපොළ නැරඹීමට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විවිධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.
එම කාර්යාල පරිශ්‍රයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් ද තැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.
මේ අතර සති අන්තයේ ගොවිපොළ නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.
1940 දශකයේදි ආරම්භ කෙරුණු අඹේවෙල ගොවිපොළ 2001 වසරේ පෞද්ගලීකරණයට ලක් කෙරුණු අතර ඉන් පසු සිදු කෙරුණු පුළුල් නවීකරණය හේතුවෙන් මේ වන විට එය කිරි නිෂ්පාදන සහ ගොවිපොළ තාක්ෂණයේ ඉහළම තාක්ෂණික භාවිතයක් සහිත ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රධානතම මධ්‍යස්ථානය බවට පත්ව ඇති බව අඹේවෙල ගොවිපොළ සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මෙහිදී සඳහන් කළේය.
ගොවිපොළේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ , අග්‍රාමාත්‍ය ධූරය දරන සමයේ සිටම ලබාදෙන සහාය මෙහිදී අගය කළ ඒ මහතා ජනාධිපතිවරයා නිරතුරුවම ගොවිපොළේ කටයුතු සොයා බැලීමට පැමිණීම පිළිබඳවද ස්තූතිය පිරිනැමීය.
2022 දෙසැම්බර් මස ජනාධිපතිවරයා ගොවිපොළ වෙත පැමිණෙන විට එහි දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් 40,000ක් පමණ වූ බවත්, පසුව ක්‍රියාත්මක කළ නවීකරණ වැඩපිළිවෙළ හේතුවෙන් මේ වසර වන විට කිරි ලීටර් 52,000ක දෛනික නිෂ්පාදනයක් සිදු කෙරෙන බවත් එය 30%ක වර්ධනයක් බවත් සරත් බණ්ඩාර පැවසීය.
ක්‍රමානුකූලව කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ගනිමින් වසරකට කිරි ලීටර් මිලියන 20ක් නිෂ්පාදනය කිරීමට ගොවිපොළ සමූහය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
කිරි ගවයන් සඳහා වන ඉහළ ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක ප්‍රභේද මෙරටදීම නිර්මාණය කිරීමට අඹේවෙල සමූහය මේ වන විට සමත්ව ඇති අතර එම කිරි ගවයන් නඩත්තු කිරීම, අවශ්‍ය ආහාර පාන ලබා දීම, බර කිරීම, රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ එවා හඳුනා ගැනීමකදී ගවයින් වෙන් කිරීම ආදී සියලු කටයුතු ස්වයංක්‍රීය ක්‍රමවේදයකට අනුව යාන්ත්‍රානුසාරයෙන් සිදු කෙරේ.
එසේම පසුගිය සංචාරයේ දී ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් පරිදි මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අත්දැකීම් සඳහා මේ වන විට ගොවිපොළ විවෘත කර ඇති බවත්, තවත් එක් ගොවිපොළක් ආදර්ශ ගොවිපොළක් ලෙස මහජනතාවට විවෘත කර ඇති අතර ගොවි ජනතාව, ගොවි සංගම් නියෝජිතයන් ඇතුළු ඕනැම අයෙකුට එහි පැමිණ ආදර්ශ ගොවිපොළක අත්දැකීම් ලබා ගත හැකි බවත් සරත් බණ්ඩාර පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ මේ වන විට රට තුළ ඇතිව තිබෙන ආර්ථක ස්ථාවරත්වය නිසා සංචාරකයන්ගේ පැමිණීමද ඉහළ ගොස් ඇති බවත්, දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් දෛනිකව අඹේවෙල කිරි ගොවිපොළ නැරඹීමට පැමිණෙන බවත් පෙන්වා දුන් සරත් බණ්ඩාර වසර කිහිපයකින් පසුව එක් දිනක සංචාරකයන් වැඩිම පිරිසකගේ පැමිණීම වන සංචාරකයන් 9,000කගේ පැමිණීම මෙම වසරේ දිනක සනිටුහන් කෙරුණු බවත් සඳහන් කළේය.
ගොවිපොළ වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මෙම වසරේදී ක්‍රියාවට නංවා තිබෙන බවත් ඔවුන්ගේ පහසුකම් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත් සරත් බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=1620#sigProId1d1d5d9f33

සේවයට වාර්තා නොකළ නාවික හමුදා සාමාජිකයින්ටත් ඉවත් වීමට අවස්ථාව
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සිය සාමාජිකයන්ටත් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අද දින සිට මැයි 20 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළ බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 දින හෝ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද ශිල්පීය අංශවලට අයත් නාවිකයින් සහ වෘත්තීමය වෛද්‍ය හා දන්ත අංශයේ නාවිකයින් හැර අනෙකුත් නාවිකයින්ට එලෙස නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව හිමි වේ.
ඊට සුදුසුකම් ලබන නාවික සාමාජිකයින් තමන්ට ආසන්නතම නාවික හමුදා කඳවුර වෙත වාර්තා කල යුතු අතර, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර, දැනට විදේශගතව සිටින නාවිකයින් හට යලි වාර්තා කිරීමකින් තොරව නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අවස්ථාව හිමිවන බවයි නාවික හමුදාව පැවසයි.
මේ අතර නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින යුද හමුදා සාමාජිකයින්ටද අද සිට මසක් ඇතුළත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
Page 91 of 475