V2025

පුවත්

ආපදා සහන සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරයට

පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අද (අප්‍රේල් 05) දින විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත්විය.

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ආපදා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

ඉතා කෙටි කාලයක් තුල ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආපදා සහන සේවා කණ්ඩායම් සූදානම් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

ථේරවාදී බුදු දහම නැවත අප රටේ ස්ථාපිත කිරීමට දායකත්වය ලබාදුන් ලෝකයේ ප්‍රධානතම බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරයට ආපදා සහන මානුෂීය සේවාවන්ට අමතරව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්, දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ජනතාව විසින් පරිත්‍යාග කරනු ලදුව එක්‍ රැස් කරනු ලැබූ වෛද්‍යාධාර ඇතුළු සහනාධාර තොගයක් ද, මෙම කණ්ඩායම සමග මියන්මාර රජය වෙත ලබාදීමට කටයුතු කරනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමුඛ විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදු කිරීමට මූලිකත්වයෙන් කටයුතු කරනු ලැබූ අතර, මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම විසින් ද, මෙම මහගු කර්තව්‍යය වෙත සිය සහයෝගය දක්වන ලදී.

මෙම මානුෂීය මෙහෙයුම් ඔස්සේ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම, හදිසි ආපදා තත්ත්වයකදී අපගේ මිත්‍ර පාර්ශ්වික රාජ්‍යයන් වෙත අවශ්‍ය සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවේ කැපවීම මනාව පිළිඹිබු කරයි.

ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගනී

දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයාව, ජනාධිපති අනුර කුමාර දිසානායක  විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

ඒ අනුව එහිදී බලශක්ති ආනයනය හා අපනයනය, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ඇතුළු තවත් ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීම එහිදී සිදුවිය.

සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ද මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනට...

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මීට ටික වේලාවකට පෙර තුන්දින නිල සංචාරයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණෙන්නේ තායිලන්තයේ පැවති බිම්ස්ටෙක් නායක සමුළුවට සහභාගීවීමෙන් අනතුරුවයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මෙරටට පිළිගනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්  සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  ඇතුළු පිරිසක් විසිනි.

මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය හෙට(05) පෙරවරු 9.00 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ඉන්දීය අගමැතිවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක  අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන මෙම ද්වීපාර්ශ්වික හමුව හා සාකච්ඡාවලින් අනතුරුව ද්වීපාර්ශ්වික එකඟතා කිහිපයකට අත්සන් තැබීමට නියමිතයි.

අවුරුදු සමයේ සුරාසැල් වසා තැබීම ගැන නිවේදනයක්

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන සුරාසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අප්‍රියෙල් 13 සහ 14 යන දෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් මත්පැන් හල් වසා තැබිය යුතු බව එම නිවේදනයේ සඳහන්වේ.

එමෙන්ම, 2025.04.13 දින සිට 2025.04.14 දින දක්වා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන (03 Star) ට ඉහළ සුරා බදු රු. බී 07 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රලත් ස්ථානවල නේවාසිකව රැදී සිටින විදේශීය සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට හැකියාව පවතී.

මෙම කාල සීමාව තුල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත කෙටි අංකය වන 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව වෙත විවෘතව තැබෙනු ඇ‍ති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි,

“අහරින් ස්වයංපෝෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට ” තේමාව යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව 58 වන වරට මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබිණි.

රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර “කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි” ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව මෙහිදී සිදු කෙරිණි.

ජාතික අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක  පළමුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනුරාධපුර සිංහ කණුව අසල සිට පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදීමත් සමඟ චාරිත්‍රානුකූලව අලුත් සහල් මංගල්‍යයේ කටයුතු ආරම්භ කෙරිණි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ විසින් අලුත් සහලින් රන් පාත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන ආ සහල්වලින් රන් පාත්‍රය පිරවීම සිදු කෙරිණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්විය.

සාම්ප‍්‍රදායිකව ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මී පැණි පූජාව සඳහා පිරිසිදු මී පැණි බඳුන ආදිවාසී උපනායක ගුණබන්ඩියලා ඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන ගිතෙල් පූජාව සඳහා සබරගමුව ඓතිහාසික සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුන ජනාධිපති අනුර කුමාර දිසානායක  වෙත පිළිගැන්විණි.

“58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය” සමරු කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර මෙරට කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් දායකත්වය සැපයූ ගොවි නායකයින් වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපති අනුර කුමාර දිසානායක  අතින් සිදු විය.

වස විසෙන් තොර අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙන් පළාත් මට්ටමින්‌ ගොවි ජනතාව වෙත බිත්තර වී බෙදා දීමටද මෙහිදී ජනාධිපතිවරයා එක් විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ වත්මන් රජය විසින් වෙනස් කරමින් සිටින්නේ ඉබාගාතේ ගිය ආර්ථික සැලැස්මක් බවයි. වී ගබඩා විනාශවීමට ඉඩ හැර, වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 2800ක ණය බරක සිර කර තිබෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා එම සුන් බුන් ගොඩ නැවත ප්‍රතිසංස්කරණය කර ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වගකීම වත්මන් රජය භාරගෙන තිබෙන බවද අවධාරණය කළේය.

එහිදී මෙරට කෘෂිකර්මාන්තයට අදාළ රාජ්‍ය යාන්ත්‍රණයේ සේම සමස්ත ගොවි ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවත්, මෙරට සංස්කෘතික හර පද්ධතියද ඒකාබද්ධ කර ගනිමින් කෘෂි ආර්ථිකයේ උරුමය ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් යළි අත්පත් කර ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

අපගේ පෙර රජ දරුවන් කෘෂිකර්මාන්තයට සහ වාරි කර්මාන්තයට කළ සේවාව මත ශ්‍රේෂ්ඨත්වයට පත්ව ඇති බවත් රට අහරින් ස්වයංපෝෂිත කිරීමට එය ඉතා වැදගත් වූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක  මෙහිදී සඳහන් කළේය.

අද වන විට තිරසර සංවර්ධනය පිළිබඳව ලෝකයේම කතිකාවක් ගොඩනැගෙමින් තිබෙන බවත්, ශ්‍රී ලාංකේය වාපි ශිෂ්ටාචාරය තිරසර සංවර්ධනයේ මහඟු උදාහරණයක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වසර දෙදහසක් පමණ පැරණි මෙරට වාරි පද්ධතිය කෘෂිකර්මාන්තයේ දියුණුව උදෙසා මේ වන විටත් තිරසරව දායක වෙමින් පවතින බවද ප්‍රකාශ කළේය.

එබැවින් වාරිමාර්ග පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 02ක් වෙන් කළ බවත්, මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා සදහන් කළේය. ජානවල අයිතිය ආරක්ෂා කරමින් බීජ වලින් ස්වංපෝෂිත රටක් බිහිකිරීම සඳහා බීජ ගොවිපොළවල් සංවර්ධනය කිරීමටද රජය සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෘෂි නිෂ්පාදන සඳහා ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණ මිලක් අවශ්‍ය බවත්, නමුත් දිගුකාලීනව වෙළඳපළ විකෘතිතාවයක් ඇතිව තිබෙන නිසා ඉදිරි කන්න දෙක, තුන තුළ රාජ්‍ය මැදිහත්වීමක් සිදුකර ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණ මිලක් ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු කිරීමට අවශ්‍ය පියවර මෙවර අයවැය මගින් සිදු කර ඇති බවත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ගබඩා කිරීම සඳහා ධාරිතා පහසුකම් ඇති කිරීමට පියවර ගෙන ඇති බවත්, මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම තුළින් වෙළඳපොළ විකෘතිතාවය මගහරවා ගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

රුවන්වැලි චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමිපාණන් වහන්සේ, ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරු සහ ගොවි නායකයෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක්

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර තිබේ.

සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යනගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වනදා පැවැත්වෙන බව නිවේදනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්ද  මේ බව දැනුම් දී ඇත.

එම නිවේදනයේ දැක්වෙන පරිදි, 2025 අප්‍රේල් මස 04 දින සිට 2025 අප්‍රේල් මස 30 වන දින දක්වා මාර්ගගතව (online) අයදුම්පත් කැඳවනු ලැබේ.

‍2025 අප්‍රේල් මස 30 දින මධ්‍යම රාත්‍රී 12.00 පැයට මාර්ගගත ප්‍රවේශය වසා තබන අතර කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව අවධාරණය කර ඇත.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිර්පත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණි.

ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන්නේ අඩු ආදායම් සහිත 2026 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන් පමණි.

අයදුම් කිරීමට අදාළ උපදෙස් හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැක.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳව ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇති බව සඳහන් වේ.

දුරකථන අංක – 011-2784537, 011-2786616, 011-2784208 011-2786200, 011-2784201,

විද්‍යුත් ලිපිනය – //This email address is being protected from spambots. You need JavaScript enabled to view it.">http://This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ක්ෂණික දුරකථන අංකය – 1911

ෆැක්ස් අංකය – 011-2784422

නව තීරු බදු ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුව ජනපති හමු වෙයි

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මෙම තීරු බදු පැනවීමේ පසුබිම සහ පදනමත්, මෙවැනි විශාල අගයකින් තීරු බදු පැනවීම නිසා කුඩා ආර්ථිකයක් හිමි අප වැනි රටවලට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳවත් මෙහිදී පුළුල්ව විමසා බැලු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

උද්ගතව ඇති නව තත්ත්වය හමුවේ රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

කමිටුව නියෝජනය කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලනෙත්තිරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන පෙරේරා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඔමාර්, මාස් හෝල්ඩිංග් සම නිර්මාතෘ ෂෙරාඩ් අමලීන්, ලංකා ගාමන්ට් කළමනාකරණ අධ්‍යක්ෂ සයිෆ් ජැෆර්ජි, මිචලින් ලංකා පුද්ගලික සමාගමේ නිලන්ති වැලිවේ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ද සහභාගි වූහ.

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි නියෝගය හෙට

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කෙරුණු නාමයෝජනා, ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ නියෝගය හෙට (04) ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

ඒ අනුව උප්පැන්න සහතිකවල සහතික පිටපත් ඉදිරිපත් කිරීම, විධිමත් ලෙස දිවුරුම ඉදිරිපත් නොකිරීම සහ උප්පැන්න සහතිකවල ඡායා පිටපත් පමණක් ඉදිරිපත් කිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනාවලට අදාළව ගොනුකරන ලද පෙත්සම් පිළිබඳ තීන්දුව ද හෙට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඊට අමතරව නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවේ විමසීමට භාජනය වී තිබෙන පෙත්සම්වලට අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්, හෙට තෙක් මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද (03) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියම කළේය.

අදාළ පෙත්සම් පිළිබඳ අද අධිකරණය හමුවේ කරුණු සලකා බැලූ අතර වැඩිදුර විමසීම හෙට තෙක් කල් තබන ලදී.

adaderana.lk

දේශබන්දු තෙන්නකෝන් යළි රිමාන්ඩ්

වැඩ තහනමකට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 10 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔහු අද (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පසුගිය (20) වෙනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් මාර්තු (19) පෙරවරුවේ අධිකරණයට භාර විය.

ශ්‍රී ලංකා සංචාරය ගැන මෝදිගෙන් සටහනක්

ශ්‍රී ලංකා සංචාරයේ දී “පොදු අනාගතයක් උදෙසා හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කරමින්” යන ඒකාබද්ධ දැක්ම සම්බන්ධයෙන් වන ප්‍රගතිය සමාලෝචනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සදහන් කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ තායිලන්ත සහ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් X පණිවිඩයක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

6 වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා තායිලන්තය බලා අද (03) දිනයේ පිටත් වන මෝදි මහතා අප්‍රේල් 04 – 06 දින වල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

එම X පණිවිඩයේ මෙසේ ද දැක්වේ.

“මා තායිලන්තයේ සිට අප්‍රේල් 04-06 දක්වා දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පිටත් වනු ඇත. මෙම සංචාරය ජනාධිපති දිසානායක මැතිතුමා විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී සිදු කළ අති සාර්ථක ඉන්දීය සංචාරයෙන් අනතුරුව සිදු වේ. “පොදු අනාගතයක් උදෙසා හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කරමින්” යන ඒකාබද්ධ දැක්ම සම්බන්ධයෙන් වන ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ අපගේ හවුල් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තවදුරටත් මඟපෙන්වීම ලබාදීමට අපට අවස්ථාව හිමි වනු ඇත. මෙම සංචාරයන් අතීතයේ පදනම් මත ඉදිරියට ගොඩනැගීමටත් අපගේ ජනතාවගේ සහ පුළුල් කලාපයේ සුබ සිද්ධිය උදෙසා අපගේ සමීප සබඳතා ශක්තිමත් කිරීමටත් දායක වනු ඇති බව මට විශ්වාසයි.”

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප්‍රේල් 09 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී මර්වින් සිල්වා  අත්අඩංගුවට ගත්තේය.

එහිදි හිටපු අමාත්‍යවරයාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගත්තේය.

ඒ අනුව මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් අද (03) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මෙලෙස නියෝග කර ඇත.

 

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අදත් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (03) දින තෙක් වළකින ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත අභියාචනාධිකරණය අද (02) යළි නියෝග කළේය.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.

එහිදී දැනට ප්‍රතික්ෂේප කර තිබෙන නාමයෝජනා අතුරින් උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කර තිබෙන නාමයෝජනා යළි භාර ගැනීමට අධිකරණය හමුවේ එකඟතාවයක් ඇතිවුණි.

ඒ අනුව දැනට භාරගැනීමට එකඟතාවයකට පත්වී තිබෙන නාමයෝජනා හැර සෙසු නාම යෝජනාවලට අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඡන්ද විමසීම් කටයුතු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම හෙට දින තෙක් වළක්වමින් අධිකරණය තවදුරටත් නියෝගයක් නිකුත් කළේය.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම අද දහවල් තෙක් කල් තිබුණි.

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්වජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව විසින් මේ වන විට අභියාචනාධීකරණය හමුවේ පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර තිබුණි.

යාපනයට ආගමන විගමන කාර්යාලයක්

ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ඇතුළත්වන උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ දැනට ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපිත කර තිබෙයි.

කිලිනොච්ච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට මෙම කටයුතු සඳහා විශාල කාලයක් වැය කිරීමට සිදුවන නිසා උතුරු මැද පළාතේ ජනතාවට කඩිනම් සේවාවක් ලබා ගැනීම පිණිස ආගමන විගමන දෙපාර්තමේන්තුවක් ආරම්භ කිරීමට යෝජනා විය.

ඒ අනුව මෙම මාසයේ දී අදාළ ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක සහ සෞඛ්‍ය කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙයි

එස්. එම්. රංජිත්ට සහ ඔහුගේ නෑනාට බරපතළ වැඩ සහිත වසර 16ක සිර දඬුවම්..

උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.එම්. රංජිත්  සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අයට බරපතළ වැඩ සහිත වසර 16 සිර දඩුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය අද (02) නියෝග කළේ ය.

අල්ලස් කොමිසම මගින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කළේ, චෝදනා 06ක් යටතේයි.

ඒ 2012 හා 2014 කාලය අතරතුර එස්. එම්. රංජිත් සමරකෝන් උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාවරයා ලෙස කටයුතු කරමින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන අයට අයුතු ලාභයක් ලබාදීමට කටයුතු කිරීම,

ඉන්ධන දීමනාවක් වැටුප සමග ලබා දී තිබියදි ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26කට අධික මුදලක් ලබා දීම,

එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙලඹවිම ඇතුළු චෝදනායි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා සිය තීන්දුව ලබා දෙමින් පැවසූවේ, විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.

ඒ අනුව අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නම් වරද සිදු කිරීමට විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා දඩුවම් නියෝග නිකුත් කළේ ය.

පුද්ගල ආදායම් බදු අද සිට අලුත් සීමාවන් අනුව.....

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින්ට අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

චක්‍රලේඛයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඒ සඳහා ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවයි.

ඕනෑම තැන්පතු හිමියෙකුට ගෙවිය යුතු පොලිය මත සියයට 10ක අත්තිකාරම් ආදායම් බදු අඩු කිරීමක් අද සිට ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි නව සීමා යටතේ පුද්ගල ආදායම් බදු අයකිරීම සිදු වෙයි.

පුද්ගල ආදායම් බදු අයකරන සීමා සංශෝධනය කරන පනත් කෙටුම්පත ගැසට් කෙරුණේ පසුගිය පෙබරවාරී මාසයේදී ය.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට අනුව නව පුද්ගල ආදායම් බදු සීමාවන් වන්නේ,

  •  රුපියල් එක්ලක්ෂ පනස් දහසක් දක්වා මාසික ආදායම් නව සංශෝධනයට අනුව පුද්ගල ආදායම් බද්දෙන් නිදහස්.
  • රුපියල් එක්ලක්ෂ පනස් දහස ඉක්මවා මාසිකව උපයන රුපියල් 83,334 ට 6% ක් එනම් රුපියල් 5000 ක් අදායම් බදු ලෙස ගෙවිය යුතුයි.
  • ඉන් පසුව උපයන රුපියල් 41,667 ට ගෙවිය යුතු බදු ප්‍රතිශතය 18 %ක්.
  • එනම් රුපියල් 7500 ක් පුද්ගලික ආදායම් බදු ලෙස ගෙවිය යුතුයි.
  • ඉන්පසුව වැඩිවන රුපියල් 41,667 ට 24% ක් ගෙවිය යුතු අතර එය රුපියල් 10,000 කට ආසන්න මුදලක්.
  • මීළග 41,667 ට අයකරන පුද්ගල ආදායම් බදු ප්‍රතිශතය 30% ක්.

එය දළ වශයෙන් රුපියල් 12,500 ක්.

ඉන්පසුව වැඩිවන රුපියල් 41667 ක මුදල හා ඉන් ඔබ්බට උපයන මාසික ආදායමට 36% ක පුද්ගල ආදායම් බදු ප්‍රතිශතයක් ගෙවිය යුතුයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්යයි

නව වාහන ලියාපදිංචි කිරීම සහ ඒ ආශ්‍රිත සේවාවන් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) නිවේදනය කර ඇත.

යතුරුපැදි, ත්‍රිරෝද රථ, ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර් සහ ට්‍රැක්ටර් ට්‍රේලර් ලියාපදිංචි කිරීම හෝ මාරු කිරීම සඳහා TIN අංකය අනිවාර්ය නොවන බව දෙපාර්තමේන්තුව පැවසීය.

වාහන ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු, වාහන ලියාපදිංචි කිරීම සඳහා TIN අංකය අනිවාර්ය වන බව රජය පසුගිය මාසයේ නිවේදනය කළ බැවින් මෙම පැහැදිලි කිරීම වැඩිදුරටත් සිදු කර ඇත. 

නාම යෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතනවලට අධිකරණයෙන් දුන් නියෝගය

පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව මේ වන විට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට දින තෙක් අත්හිටුවන ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත.

එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු විවිධ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Page 9 of 464