මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපුටා දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ගණනාවක් වාර්තා කර ඇත.
එම ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ කමිටුවේ අතුරු වාර්තාව මහින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශ සළකා බලා මෙම තීරණය ගත් බව ඇමතිවරයා පැවසු බවත් එහි සඳහන් අතර ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේදීය.
කෙසේ වුවත් එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා MCC ගිවිසුම සම්බන්ධව දැක්වූ සමස්ථ ප්‍රතිචාරය වෙනුවට මෙකී මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ ආණ්ඩුවට මේ මොහොතේ MCC ගිවිසුම සම්බන්ධව ජනතාවට යැවිය යුතු ප්‍රචාරය පමණක් බව පෙනෙන්නට ඇත.
සැබවින්ම අමාත්‍යවරයා MCC ගිවිසුම සම්බන්ධව දැක්වූ අදහස් සම්පිණ්ඩනය කළහොත් එහි ඇත්තේ මෙම ගිවිසුම අත්සන් කිරීම තුල ලංකාවට ලැබෙන ඩොලර් මිලියන 480ක ප්‍රදානය ගැනීමට එකඟ බවය.
බන්දුල වටේ යයි !
ඒ බව අද සාකච්ඡාවේදී අමාත්‍යවරයා දැක්වූ මේ අදහස් සාක්ෂි දරයි.
MCC ගිවිසුම සම්බන්ධව සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම්ය. එසේම එම ගිවිසුම ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කල එකක් නොවන අතර එය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් එක්සත් ජාතික පක්ෂ අභිමතය පරිදි සකස්කර ඉදිරිපත් කරනු ලැබුවකි. රටේ පවතින උග්‍ර ප්‍රාග්ධන හිඟය යටතේ ඕනෑම මිත්‍ර රටකින් ලැබෙන ආපසු ගෙවීමට නොලැබෙන, පොළී අනුපාතයක් නොමැති ප්‍රදානයක් ගැනීමට සුදානම් ය. නමුත් රටට අහිතර කොටස් එහි ඇත්නම් ඒ ඉවත්කරන්න ඇමරිකාව සමඟ සිදුකරන සාකච්ඡා වලදී ඇතිවන එකඟතාව මතය.
එසේම ගිවිසුම අත්සන් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර එහි සම්මත වුවහොත් පමණය.
මෙහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා තවත් වැදගත් ප්‍රකාශයක් සිදුකළේය. ඒ ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ඇක්සා හා සෝෆා ගිවිසුම් අත්සන් කර ඇති බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉඩක් නොමැති බවය.
මෙහිදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයක් වූයේ රජය ඇමෙරිකාව සමග එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකළත් ඇමෙරිකාව සමග අත්සන් කළ ඇක්සා හා සෝෆා ගිවිසුම් ගැන රජය කටයුතු කරන්නේ කෙසේද යන්නයි
"ඒ ගැන විවේචනය කළේ නෑ. එම්.සී.සී. ගිවිසුම ගැනයි විවේචනය කළේ. අත්සන් කළ ගිවිසුම් ගැන සළකා බලන්න අවස්ථාවක් නෑ." යන්න අමාත්‍යවරයාගේ පිළිතුර විය.
ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ රාජපක්ෂ කඳවුර MCC ගිවිසුම පෙරමුණේ තබා ගෙනගිය විරෝධය ජනතාව රවටා දැමුණු ප්‍රෝඩාවක් බව ඕනෑවටත් වඩා තහවුරු වෙයි. ඒ ජාතික ආරක්ෂාව සහ ලංකාවේ ඉඩම් වල අයිතිය ඇමරිකාවට ලැබෙන බව හෝ රට මැද ඇමරිකානු තාප්පයක් ඉදිවන මේ කිසිම කතාවක් එකී ගිවිසුමේ නොමැති නිසාය. ඒ සම්බන්ධව එම වකවානුවේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කෙරුණු අතර 2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පසුව MCC ගිවිසුම අත්සන් තබනු ඇති බවත් සඳහන් කෙරිණ.
ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය

මොකක්ද මේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම !
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 85ක්) සැපයීමට නියමිතය.
ඒ, ව්‍යාපෘති ආධාර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 447.5ක් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 32.5ක් වශයෙනි.
මෙම ආධාර මුදල ලබා දෙන්නේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහාය.
මෙම ගිවිසුම්ගත ආධාර සැපයීම සදහා සලකා බැලෙන නිර්ණායක කිහිපයක් පවතී. එනම්, ආර්ථික නිදහස, සාධාරණ පාලනය, මහ ජනතාව වෙනුවෙන් කරන ආයෝජන ආදියයි.
පහත දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මිලේනියම් චැලෙන්ජ් ආයතනය සලකා බැලූ නිර්ණායක සහ ඒවායේ මට්ටම් වේ.
ආධාර ලබා ගැනීමේදී මිලේනියම් චැලෙන්ජ් ආයතනය ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති සීමාවන් කිහිපයක් ද පවතී. ඒ අනුව, ගිවිසුමෙන් පෙන්වාදී ඇති හෝ තවදුරටත් ලිඛිතව ආණ්ඩුව දැනුවත් කෙරෙන පරිදි එක්සත් ජනපද නීතිය හෝ ප්‍රතිපත්තිය උල්ලංඝණය කෙරෙන්නාවූ කවර හෝ අරමුණක් වෙනුවෙන් මෙම ආධාර උපයෝගී කර නොගන්නා බවට ආණ්ඩුව වගබලාගත යුතුවේ. ඒ අනුව, ඊට මතු දැක්වෙන කරුණු ද ඇතුළත් වන්නා සේම ඊට සීමා නොවේ.
මෙම ගිවිසුම හරහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති අධ්‍යයනය කෙරෙනුයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලයකිනි. මෙහි විශේෂත්වය වන්නේ, එම අධ්‍යක්ෂ මණ්ඩලයට කිසිදු දේශපාලනඥයෙකු ඇතුළත් නොවීමය.
එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය මෙසේය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය හරහා එවකට මුදල් ඇමති වූ මංගල සමරවීර 2019 නොවැම්බර් 01 වන දා නිවේදනයක් ද නිකුත් කල අතර ඒ අදාළ ගිවිසුමේ රටට අහිතකර කොටසක් ඇත්නම් පෙන්වන ලෙස එවකට විපක්ෂ නායක වූ මහින්ද රාජපක්ෂට අභියෝග කරමින්ය.
මුදල් අමාත්‍යංශය එදා නිකුත් කළ නිවේදනය

"ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත තවත් ජයග්‍රහණයකට ගෝඨාභය රාජපක්ෂ සහ එම කණ්ඩායම අකුල් හෙළන" බවටද ඒ සමයේ මංගල සමරවීර අමාත්‍යවරයා ටිව්ටර් පණිවුඩයක් ද පළ කර තිබිණි.
පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ පොදුජන පෙරමුණ පාර්ශවය උඩුදුම්බර කාශ්‍යප හිමි නැමැත්තෙකු පවා මාරාන්තික උපවාසයකට යොමුකර මෙම MCC ප්‍රදානය සම්බන්ධව ව්‍යාජ බිල්ලෙක් මවනු ලැබිණ.

ඒ අවස්ථාවේ අදාළ ගිවිසුම ප්‍රසිද්ධ කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළත් දේශපාලන ව්‍යාපෘතියක නිරතව සිටි ජඩමාධ්‍ය මුළුමණින්ම මෙකී ගිවිසුම සම්බන්ධව ව්‍යාජ බිල්ලාව දිගටම මවනු ලැබිණ. ඒ ඊනියා දේශප්‍රේමී සහ අන්ත ජාතිවාදී ප්‍රෝඩාව හමුවේ රැවටුනේ අහිංසක ජනතාවය. එහෙත් දැන් අන්තිමට මේ ආණ්ඩුවට යන්න තිබෙන්නේද එදා මංගල ඇමති කියූ පාරේය.
ඒ බව ඔවුන් සෘජුව නොකියයි. ඔවුන් ඒ වෙනුවට වටේ යන්නේ එජාප ආණ්ඩුව සකස්කළ ගිවිසුම නොව පොදුජන පෙරමුණ සංශෝධන සහිතව ඊට එකඟ බව සඳහන් කරමින්ය. නමුත් ඔය කියන අහිතකර සහ පොදුජන පෙරමුණ විරුද්ධ කොන්දේසි මොනවාද යන්න එකක්වත් අද වන තුරු මේ ආණ්ඩුව කියා නැත.
ඒ පාර්ශවයේ සිටින අවස්ථාවාදී සහ ඊනියා ජාතිවාදීන් කිසිවෙකුත් ඒ ගැන ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරන්නේද නැත. ඒ හමුවේ දැනටත් කරන ජනතාව අන්දවන ප්‍රකාශ හමුවේ ඇසිය යුත්තේ එක ප්‍රශ්නයකි.
ඒ, "MCC හරහා ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 480 ව නොමිලේ ලැබෙන ප්‍රදානයක් නම් ඒවා ගන්න අපි දාන කොන්දේසි වලට එකඟවෙන්න ඇමරිකාවට පිස්සුද ? " යන්නය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
