Language Switcher

V2025

මැතිවරණ කොමිසමේ සභාපතිගේ හැසිරීම සැකයි !

ඉදිරි නොවැම්බර 16 වන දිනට නියමිත ජනාධිපතිවරණය පැවැත්වීමේදී මැතිවරණ කොමිසම කෙතරම් අපක්ෂපාතී වනු ඇතිද යන්න ගැන ජනතාව අතර අතිශය වැදගත් හා බරපතල ප්‍රශ්නයක් මතු වී ඇතැයි ප්‍රවීණ දේශපාලන විචාරකයකු මෙන්ම, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන කුසල් පෙරේරා පවසයි.

ඔහු විසින් ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට විද්‍යුත් තැපෑලෙන් අද (20) දින යොමුකර ඇති ලිපියක මේ බව සඳහන්කර ඇත.

විශ්‍රාමික ආරක්ෂක සේවා ප්‍රධානීන්නට අමතරව වත්මන් හමුදාපතිගේ ප්‍රකාශයක්ද යොදා සිංහල පුවත් පතක පල කෙරුණු මැතිවරණ ප්‍රචාරක දැන්වීම සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඇල්මැරුණ ප්‍රතිපත්තිය එහිදී  දැඩිව විවේචනය කර තිබේ.

මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් මැතිවරණ කොමිසමේ සභාපති වෙත යොමුකළ එම සම්පුර්ණ ලිපිය පහත දැක්වෙයි.

සභාපති
ජාතික මැතිවරණ කොමිසම

මැතිවරණ ලේකම් කාර්යාලයය

රාජගිරිය. 

සභාපති තුමනි, 

හමුදාපති සම්බන්ධ කෙරුණු මැතිවරණ ප්‍රචාරක දැන්වීම පිළිබඳවය 

විශ්‍රාමික ආරක්ෂක සේවා ප්‍රධානීන්නට අමතරව වත්මන් හමුදාපතිගේ ප්‍රකාශයක්ද යොදා සිංහල පුවත් පතක පල කෙරුණු මැතිවරණ ප්‍රචාරක දැන්වීම මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මතු කළ බැව් අවිවාදිතය. 

එයට සමාජයේ පැන නැගුණු විරෝධය හමුවේ එය වරදක් බව ඔබ ප්‍රකාශ කළ අතර, ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලෙස ඔබ ගත් එකම පියවර වූයේ හමුදාපතිගෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කරුණු විමසීම පමණි. එම ප්‍රචාරක දැන්වීම පිළිබඳව ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඔවුන් දන්වා ඇතැයිද ඒ අනුව එම පැහැදිලි කිරීම් සහ හමුදාපතිගේ පැහැදිලි කිරීම ඔබ පිළිගන්නේ යැයි මෙම නොවැම්බර 20 වන ඉරිදා ප්‍රධාන ධාරාවේ ඉංග්‍රීසි පුවත් පතක සඳහන්ව ඇත. 

ඔවුන්ගේ නිදොස් බව පිළිගැනීමෙහි ප්‍රශ්නයක් නැත. එය කිසිවකු ප්‍රශ්න කරන්නේද නැත. එහෙත් එම ප්‍රචාරක දැන්වීමෙන් ඡන්දදායකයාට සිදුවූ බරපතල අගතියට ඉන් විසඳුමක් නොලැබෙන බව ඔබ හොඳාකාරව දැන සිටිය යුතුය. එනිසා එම ප්‍රචාරක දැන්වීම පළ කළ පුවත් පතටත් එය පළ කිරීම සඳහා පුවත් පතට දැන්වීම බාරදුන් පුද්ගලයාට හෝ පුද්ගල කණ්ඩායමට එරෙහිව වහා පියවර ගත යුතුව ඇත. ඒ සඳහා එකී දැන්වීම බාරදුන් පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම පිළිබඳව අදාල තොරතුරු පැය 24 ක් ඇතුළත මැතිවරණ කොමිසමට ලබා දෙන්නට යැයි පුවත් පත් හිමිකරුගෙන් ඉල්ලා සිටින්නට මැතිවරණ කොමිසමට බලයක් ඇත. එතෙක් එම පුවත් පතෙහි මැතිවරණ ප්‍රචාරක දැන්වවීම් පළ කිරීම අත්හිටු වන්නටත් මැතිවරණ කොමිසමට බලයක් ඇතැයි මම විශ්වාස කරමි. එවැනි පියවර කිසිත් නොගෙන හමුදාපතිගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිදොස් බව පිළිගනිමින් ප්‍රශ්නය එතැනින් තුනීකර අමතක කර දැමීමට ඔබගේ උත්සාහයක් ඇතැයි මම චෝදනා කරමි. 

එය ඉදිරි නොවැම්බර 16 වන දිනට නියමිත ජනාධිපතිවරණය පැවැත්වීමේදී ඔබ හා මැතිවරණ කොමිසම කෙතරම් අපක්ෂපාතී වනු ඇතිද යන්න ගැන ජනතාව අතර අතිශය වැදගත් හා බරපතල ප්‍රශ්නයක් මතු කිරීමට හේතු වනු ඇත. එවැනි ප්‍රශ්න කිරීමක් සාධාරණය කිරීම සඳහා මීට ඉහතින්ද පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව ඔබගේ ප්‍රකාශ සහ තීන්දු හේතු වූ බැව් මතක් කරනු කැමැත්තෙමි. ඒ සම්බන්ධව මවිසින් 2019 ජනවාරි 19 වන දින ඔබ වෙත යොමු කළ ලිපිය වෙත නැවත ඔබගේ අවධානය යොමු කරමි. එයට මෙතෙක් ඔබගෙන් පිළිතුරු නොලැබුණු බවද මෙහි අවධාරණය කරමි. 

එබැවින් ඡන්දදායකයාට බරපතල අගතියක් සිදු කෙරුණු අනියමින් පල කෙරුණු මෙම මැතිවරණ ප්‍රචාරක දැන්වීම පිළිබඳව අදාල පුවත් පතට සහ ඊට වගකිව යුතු පුද්ගලයාට හෝ කණ්ඩායමට එරෙහිව වහා පියවර ගනිමින් ජාතික මැතිවරණ කොමිසමෙහි ස්වාධීනත්වය හා අපක්ෂපාතිත්වය සමාජය හමුවේ තහවුරු කරන මෙන් මෙයින් ඉල්ලමි. 

ස්තුතියි.

මෙයට විශ්වාසී,

මාධ්‍යවේදී හා දේශපාලන විචාරක

කුසල් පෙරේරා