ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් අතර සාර්ථක සාකච්ජා වටයක් ආරම්භවී තිබියදී එය කඩාකප්පල් කිරීම සඳහා 'පොහොට්ටුවේ' නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඉතා සැලසුම් සහගත ලෙස කටයුතු කටයුතු කරමින් සිටින බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසිය.
ඔහු ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී විනය චෝදනා එළවී තනතුරුවලින් නෙරපා දැමු එස්.බී. දිසානායක හා ඩිලාන් පෙරේරා යන සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වහාම 'පොහොට්ටුවේ' සාමාජිකයින් ලෙස එක්කර ගැනීමට බැසිල් රාජපක්ෂ විසින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ඒ අනුව මීළඟ සාකච්ජාවට පෙර පවුලේ ප්‍රශ්න විසඳා ගන්න ලෙස ගෝඨාබය රාජපක්ෂට දැනුම් දුන් බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන තිදෙනා ජනාධිපතිවරයාගේ උපදෙස් මත පෙරේදා (28) දිනයේ ගෝඨාබය රාජපක්ෂගේ නිවසට ගොස් ඔහු සමග දීර්ග ලෙස සාකච්ඡා කර මුලික එකඟතාවයන් කිහිපයකට එළඹ තිබිණ. ගෝඨාබයගේ ජ්‍යෙෂ්ඨ උපදේශක දිලිත් ජයවීර විසින් ඊට අදාල සම්බන්ධිකරණ කටයුතු සිදුකර ඇත.
බැසිල් රාජපක්ෂ විසින් බඳවාගැනීමට කටයුතු කර ඇත්තේ ගෝඨාබය හා ශ්‍රීලනිප නායකයින් අතර සාකච්ජා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබියදීය.
මේ සම්බන්ධයෙන් theleader.lk වෙත වැඩිදුරත් අදහස් දැක්වූ ශ්‍රීලනිප ප්‍රධානියකු මෙසේ පැවසිය.
''බැසිල් මහත්තයා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ක කතා කරන ගමන් අපේ කට්ටිය ඒ පැත්තට උස්සනවා. ඒ කියන්නේ ඔහු අපි එක්ක සාකච්ජාවට එන්නේ අවංකව නෙමෙයි. අපට කෙලවන්න. බැසිල් රාජපක්ෂ මහත්තය ගේම් කාරයෙක් බව කවුරුත් දන්නවා. එත් අපි ගෝඨාබය මහත්තයත් එක්ක අපි යම් එකඟතාවයක් ඇතිකර ගන්න උත්සහ කරද්දී තමන්ගේ සහෝදරයට එරෙහිවත් බැසිල් ගේමක් දෙයි කියලා අපි හිතුවේ නැහැ.''
ශ්‍රීලනිප පොහොට්ටු සාකච්ඡා සාර්ථක නෑ !
මේ අතර සති අන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවට මාධ්‍ය වාර්තා පළ වුවද නව සන්ධානය ඇති කර ගැනීම පිළිබඳව කිසිදු එකඟතාවක් එම සාකච්ඡාවලදී ඇති කරගෙන නැති බවයි.
අගෝස්තු 27 වනදා විපක්ෂ නායක කාර්‍යාලයේ දී පක්ෂ දෙකේ නායකයන් අතර සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එම සාකච්ඡාවට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හා සභාපති ජී.එල්. පීරිස් සහභාගී වූහ. ශ්‍රීලනිපයෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න සහභාගි වී තිබුණි. අගෝස්තු 27 වැනිදා රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්විණ.
එම සාකච්ඡාවලදී ජනාධිපතිවරණ අපේක්ෂකත්වය, සන්ධානය ඇති කර ගන්නා ආකාරය ඇතුළු කාරණා පිළිබඳව කිසිදු එකඟතාවක් ඇති කර ගැනීමට හැකි වී නැත. ඒවා මූලික සාකච්ඡාවලින් ඉදිරියට ගෙන යෑමට නොහැකි වූ බව සාකච්ඡාවලට සහභාගිවූ කිහිප දෙනෙක් කීය.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට පෙර ශ්‍රීලනිපය නොතකා හරිමින් කටයුත් කළ ප්‍රතිපත්තිය වෙනස් කරගෙන ඇතැයි සාකච්ඡාවලට සහභාගි වූ ශ්‍රීලනිප නියෝජිතයෝ කීහ.
කෙසේ වෙතත් ශ්‍රීලනිප නියෝජිතයන් පවසන්නේ පොදුජන පෙරමුණ සමග එක්වෙනවාද නැද්ද යන්න තීරණයක් ගැනීමට තරම් තවමත් සාකච්ඡා සතුටුදායක මට්ටමකට පැමිණ නැති බවයි.
ශ්‍රීලනිපයේ තනතුරු වෙනස්කම් හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක නැවත ශ්‍රීලනිපයේ අභ්‍යන්තර සාකච්ඡාවලට සහභාගි වීම මගින් බාහිරට පෙන්නුම් කරන්නේද එම කාරණය බව ඔවුහු පැවසූහ.

