එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ එකඟත්වයෙන් යුතුව තමන්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දුනහොත් සීමිත කාලයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ බලාපොරොත්තුවෙන් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කථානයක කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇත.
ඔහු මේ බව දන්වා ඇතිතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම්වලින් පැමිණි ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙසය.
කෙසේ වෙතත් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් තීව්‍ර කරමින් අනෙක් පුද්ගලයන් කපා දමමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා බලාපොරොත්තු නොවන බව බවද ඔහු එහිදී කියා ඇත.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂ නායකත්වය ආරක්ෂා කිරීම පිණිස කතානායක කරු ජයසූරිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ඇතැයි පැතිර යන ආරංචි සත්‍යයකින් තොර බවද ඔහු කියා ඇත.
‘‘සජිත්ව ජනපති අපේක්ෂකයා ලෙස නම් කරනවා‘‘

මේ අතර අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ යෝජනාවෙන් කතානායක කරු ජයසූරියගේ ස්ථීරත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරි සතියේ දී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කරන බවයි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කරන්නැයි ඉල්ලා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ ඊයේ (23) පැවති “සජිත් එනවා”දෙවැනි ජන රැලිය අමතමිනි.
තව දෙසතියකින් ගෝල් ෆේස් පිටියේ දී එම ජනාධිපති අපේක්ෂකයා රටට හඳුන්වා දෙන බව කී මංගල සමරවීර අමාත්‍යවරයා, එම මහ ජන රැලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය මෙන්ම දෙමල , මුස්ලිම් සියලුම පක්ෂ වල නියෝජිතයන් ද සහභාගී වන බව සඳහන් කළේය.

