Language Switcher

V2025

පළාත් සභා පැවැත්වීමට හැකිද : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනාධිපතිට !

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතීද නැද්ද යන්න පිළිබද ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති යොමු කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අවසන් කරනු ලැබූ බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතව තිබෙන බවත් වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් විමසා ඇති යොමු කිරීමට අදාල ප්‍රශ්න වලට නීතිපතිවරයා ඇතුළු පාර්ශවයන් සෘනාත්මක පිළිතුරු සපයනු ලැබූ බවටත් මාධ්‍ය වාර්තා පළවෙයි.

සීමා නීර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කොට ඇති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ හැකිද සහ පළාත් සභා මැතිවරණ 2017 පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට පෙර පැවැති නීතිය අනුව පැවැත්විය හැකිද යන ප්‍රශ්න ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබිණ.

කෙසේවෙතත් මෙම ප්‍රශ්න සියල්ල වෙත නීතිපතිවරයා ඇතුළු සියලු පාර්ශවයන් සෘණාත්මකව පිළිතුරු සපයනු ලැබූ අතර මැතිවරණයක් පැවැත්වීමට නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් සංශෝධනයක් හෝ අලුතින් ගෙනෙන පනතක් සම්මත කිරීමෙන් පමණ සිදු කළ හැකි බවට සියලු පාර්ශවයන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වන ලදී .

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම යොමු කිරීම විභාගයට ගැනීම ආරම්භ විය.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යොමු කිරීම සම්බන්ධයෙන් මේ වන විට පාර්ශවයන් 13 ක් පමණ මැදිහත්කාර පෙත්සම් ගොනු කර ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කරුණු ඉදිරිපත් කර ඇත.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, එ.ජා.ප. මහලේකම් අකිල විරාජ් කාරිවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ඇතුළු පාර්ශවයන් 13 ක් මැදිහත්කාර පෙත්සම් ගොනු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අගොස්තු මස 30 දාට පෙර ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.