සිරිසේන කැමති වුවත් නැතත් : ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂකයා වෙල්ගම !

සිරිසේන කැමති වුවත් නැතත් : ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂකයා වෙල්ගම !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයෙන් වෙනම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ කණ්ඩායමක් සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඔහු වෙනුවට වෙනත් පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ඉදි‌රිපත් කිරීමට එම කණ්ඩායම සැලසුම් කරමින් සිටී. මේ වෙද්දී ඒකාබද්ධ විපක්ෂයෙන් වෙන්ව සිටින ශ්‍රීලනිපයේ හිටපු ජ්‍යෙෂ්ඨ සභාපතිවරයෙකු වන කුමාර වෙල්ගම මහතාගේ නම එලෙස අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීම සඳහා යෝජිත නම් අතර ඉදිරියෙන්ම ඇත.

මේ පිළිබඳව පසුගිය දින කිහිපයේ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති අතර ඒ පිළිබඳ යෝජනාවලියක් අගෝස්තු 22 වැනිදා ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක වෙත ආසන සංවිධායකවරු 18 දෙනෙකුගේ අත්සනින් යුතුව බාර දී ඇත.

එම කණ්ඩායමේ සිටින ආසන සංවිධායකවරයෙකු වන නීතිඥ රජික කොඩිතුවක්කු ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ශ්‍රීලනිපය විනාශ කළ බවත්, ශ්‍රීලනිපය රාජපක්ෂවරුන්‌ගේ පක්ෂයට ගියහොත් ශ්‍රීලනිපය තවත් විනාශ වනු ඇති බවත් තම කණ්ඩායමේ යෝජනාවලියෙහි සඳහන් කර තිබෙන බවය.

පොදුජන පෙරමුණ සමග එක්වීම වෙනුවට තනිව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම හෝ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමකට සහයෝගය ලබා දීම කළ යුතු බව එම යෝජනාවලියෙහි සඳහන් කර ඇතැයිද ඔහු පැවසීය. එම යෝජනාවලිය ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කරන බව එහිදී දුමින්ද දිසානායක මහතා පොරොන්දු වූ බවද ඔහු කීය.

වාර්තා වන ආකාරයට ශ්‍රීලනිපයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා සාමාජිකයන් අතරින් බහුතරයකගේ මතය වේ.

සැප්තැම්බර් 03 වැනිදාට පෙර:

මේ අතර ශ්‍රීලනිපය සැප්තැම්බර් 03 වැනිදාට පෙර පොදුජන පෙරමුණ සමග සන්ධානගත වෙනවාද නැද්ද යන්න පිළිබඳව තීන්දුවක් ගත යුතු බවට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ. සැප්තැම්බර් 03 වැනිදා ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන බව 'අනිද්දා' කළ සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දක්වමින් ශ්‍රීලනිප ජාතික සංවිධානයක දුමින්ද දිසානායක ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රීලනිපය කොන්දේසි විරහිතව පොදුජන පෙරමුණ සමග එක් නොවන බවයි. පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඇතුළු සාමාජිකයන්ගේ ගෞරවය රැකෙන ආකාරයේ තීන්දුවක් ගන්නා බවද ඔහු සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වෙනවාද නැද්ද යන්න පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බලය පවරා ඇති බවද ඔහු කියා සිටියි.එසේ වුවත් අවසන් තීන්දුව ගන්නේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් බව ඔහු වැඩිදුරටත් පවසයි.

(අනිද්දා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න